රිසානා අපට කියන සත්‍ය කතාව!

සවුදි අධිකරණයක්‌ විසින් ශ්‍රී ලංකාවේ රිසානා නමැති දැරියට නියම කරන ලද මරණ දඬුවම පිළිබඳ පුවත අතිශය සංවේගය දනවන්නකි. අද අප පත්‍රයෙහිම පළ වී තිබෙන ඇගේ තොරතුරු කියවන පාඨකයෝ තව තවත් කම්පා වන්නාහු නිසැකය.

මෙම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද මේ වනවිට සවුදි රජු වෙත ලිපියක්‌ද යවා තිබේ. රාජ්‍යතාන්ත්‍රික ඇමතුමකට ලැබෙන ප්‍රතිචාරය යහපත් වුවහොත් රිසානාට ජීවත්වීමේ භාග්‍ය උදාවිය හැකිය. ඒ කුමක්‌ වුවත් මරණය යනු අපරාධයක්‌ කරන ලද අයෙක්‌ වුවත් කම්පා කරවන සුළු අත්දැකීමක්‌ බව නිසැකය. ඇතැම් විටෙක පුද්ගල විවිධත්වය අනුව එහි වෙනස්‌වීම් තිබීමටද බැරි නැත.

රීසානා සම්බන්ධයෙන් නම් එය කිසිසේත්ම අමානුෂික හා අසාධාරණ බව ඇගේ කතාව අපට තහවුරු කරයි. ඇත්ත වශයෙන්ම ඇය මෙම රැකියාව සඳහා යවනු ලැබ ඇත්තේ ඉතා වංචනික ලෙස බව පෙනේ.

රිසානාගේ නියම වයස සඟවා ඇය මෙම රැකියාවට යෑවීමට දායක වූ සියල්ලෝම මෙයට මූලික වශයෙන් වගකිව යුතු වෙති. දැනට වාර්තාවී තිබෙන අන්දමට ඇගේ දෙමව්පියෝද මේ අනිසි ක්‍රියාවට දායක වී සිටිති. සිය මෙහෙකරුවන්ට අරාබි ස්‌වාමිදියණියන් විසින් දක්‌වනු ලබන කරුණාව පිළිබඳ හද සසල කරවන කතාද අපට තිබේ.

මැද පෙරදිග සේවය වහල් මෙහෙයක්‌ ලෙස සමහරුන් විසින් හඳුන්වනු ලබන බවද අපි දනිමු. වහල්ලු යනු කිසිදු මානව හිමිකමක්‌ නැත්තෝය. වැඩවසම් සමාජ ක්‍රමය ආරම්භයේ සිට ඉතා ජනප්‍රියව තිබුණු වහල් වෙළෙ¹මද දැන් අභාවයට ගොස්‌ තිබේ. එහෙත් ඒ වචන භාවිත නොවූවත් අදත් මෙම වහල් මෙහෙවර සිදුවන බව අපගේ අදහසය. විශේෂයෙන් මැද පෙරදිග සේවය සඳහා යන බොහෝ දෙනෙකුගේ ජීවිතවලට උදාවූයේ යහපතට වඩා අයහපත බවද පොදු පිළිගැනීමය. එහෙත් අපේ ජාතික ආර්ථිකයේ විශාල බරක්‌ මැද පෙරදිග සේවය සඳහා යන අය මත පැටවී තිබෙන බවද කිව යුතුය.

මැදපෙරදිග රැකියා සඳහා යෑවීම ඇතුළු ඒ හා සම්බන්ධ විවිධ ආයතනවල ක්‍රියාකාරීත්වය ඉතා දූෂිත එකක්‌ බව කවුරුත් දනිති. ඇත්තටම නුපුහුණු ශ්‍රමයක්‌ සඳහා ශ්‍රී ලංකාවේ ගෙවන මිල මෙන් තුන් හතර ගුණයකටත් අධික මිලක්‌ හිමිවන තත්ත්වයක්‌ යටතේ මැදපෙරදිග සේවය ඉතා ආකර්ෂණීය එකක්‌ වී තිබේ.

අදත් බොහෝ දෙනෙක්‌ සිය සිහින මල්ඵල ගැන්විය හැකි එකම මග මෙම "වහල් මෙහෙය" බව පිළිගෙන තිබේ. අධ්‍යාපනය අතින් මෙන්ම සමාජ සංස්‌කෘතික අතින්ද නොදියුණු ගැහැනු හා පිරිමි බහුලව මැද පෙරදිගට යන්නෝ ඇතැම් විට එහිදී සිදුවිය හැකි ගැහැට ගැන නොදැනද නොවේ. එහෙත් මේ රිසානා දැරියට ඒ තරම්වත් සමාජ අවබෝධයක්‌ නැති බව පැහැදිලිය.

මවගේ හා පියාගේ ආදරය උණුසුම හිමිවිය යුතු වයසේදීම සිය පවුලේ බර ඇය මත පැටවීමට ඇගේ මව්පියන් තීරණය කිරීම දෛවයේ සරදමකට වඩා අපරාධයක්‌ බව අපි සෘජුවම කියන්නෙමු. ඇයට ඒ මරණ දඬුවම ලබා දෙන ලද්දේ ඇය එතෙර යෑවීමට සැලසුම් කළ පිරිස විසිනි. මේ අසරණ පවුලම දංගෙඩියට දක්‌කාගෙන යැමේ වරද සිදු කර ඇත්තේ ඇය රට පැටවූ ඒජන්සිකාරයා නොවේද? එසේ නම් අරාබි නීතිය කුමක්‌ වුවත් ඒ දුෂ්ට මිනිසාද එල්ලා මැරිය යුතු නොවේද?

ඉතා ළාබාල දැරියක වූ රිසානාට සිදුවී ඇත්තේ කිරි බොන වයසේ දරුවන් බලා ගැනීමටය. ඇත්ත වශයෙන්ම ඇගේ වයසේ දැරියකට එබඳු වගකීමක්‌ ඔරොත්තු දෙන්නේ නැත. දැනට අනාවරණය වී තිබෙන තොරතුරු අනුවද මෙය අත්වැරැද්දක්‌ බව පෙනී යයි. එසේ නොවුවත් අහිංසක දැරියකට එබඳු මාරාවේෂයක්‌ පිවිසීම යනු ඇදහිය හැකි දෙයක්‌ද?

මේ මොහොත වනවිටත් ඇගේ ඉරණම කුමක්‌දැයි අපි නොදනිමු. රිසානාගේ පියා නම් තවමත් අල්ලා දෙවියන්ට යාඥ කරමින් සිටිනුද විය හැකිය. මේ වර්ගයේ අපරාධ සිදුවීමේ පසුබිම දුප්පත්කමට බැර කිරීමද නොවටී.

කෙසේ හෝ මේ සිද්ධිය පිළිබඳව විදේශ සේවා අංශවල අවධානය යොමු විය යුතුය. එසේම නීතියට යටින් රිංගා මේ විපත් රටට සාදාදෙන ජාවාරම්කාර ඒජන්සිකරුවන්ටද විරුද්ධව ක්‍රියා කිරීම අත්‍යාවශ්‍යය. මැද පෙරදිග සේවයට එන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ ඒ රටවල සිටින තානාපති අංශවලද අවධානය යොමු විය යුතුය. මෙබඳු සිදුවීම් වලදී ඔවුන් වෙතද ඇඟිලි දිගු වනු නොවැළැක්‌විය හැකිය. රිසානා අපටත් රටටත් රට පාලනය කරන අයටත් බරපතල හා මඟ හැර යා නොහැකි සත්‍යයක්‌ පෙන්වා දී තිබේ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.