විල්පත්තුවේ සුන්දරත්වයට උමතුවූ
ස්‌වීඩනයේ සංචාරකයා



ඔහු නමින් "වුල්ෆ් බ්‍රියෝර්ක්‌මාන්" ය. දැන් වයස අවුරුදු පනහකි. වෘත්තියෙන් හෙතෙම ස්‌වීඩන සහ ඩෙන්මාර්ක්‌ රජයන්ට අයත් නිෂ්පාදන සමාගමක විධායක අධක්‍ෂවරයෙකි. ඔහුගේ සේවාස්‌ථානය පිහිටා ඇත්තේ ස්‌වීඩනයේ ස්‌ටොක්‌හොල්ම් නගරාසන්නයේය. ඉතාමත් කාර්ය බහුල වගකිවයුතු වෘත්තියක නිරතවුවද සෑම වසරකම මෙන් ලොව කොහේ හෝ රටක සංචාරය කරන්නට නම් හෙතෙම අමතක නොකරන්නේය. එහෙත් ඔහු ඒ සෑම සංචාරයක්‌ සඳහාම පිටවයන්නේ එක්‌ අරමුණක්‌ මූලික කොටගෙනය. ඒ කුරුල්ලන්ය. කුරුල්ලන් සොයා ඔහු ලොව නොගිය රටක්‌ නොමැති තරම්ය.

කුරුල්ලන්ට පෙම්බඳින ඒ සඳහා අති විශාල ධනස්‌කන්ධයක්‌ වැය කරන මේ අපූරු මිනිසා දැන් වසර ගණනාවක්‌ සිටම මාගේද සමීපතම මිතුරෙකි. ඒ මිතුරුකමට මූලිකවම හේතුවූයේ මා ශ්‍රී ලාංකිකයෙකුවීමය. දෙවැන්න මාද ඔහු සේවා කරන ආයතනයේම විධායක නිලධාරියකු ලෙස කලක්‌ සේවය කිරීමේදී ඇති වූ රාජකාරිමය සුහදත්වයයි.

උත්තරධ්‍රැවයේ මේ මිනිසා ගැන මට කියන්නට සිතුණේ අන්කවර හේතුවක්‌ නිසාවත් නොවේ. ඔහු ශ්‍රී ලාංකිකයෙකු වූ මටත්, තවත් බොහෝ අයටත් වඩා ශ්‍රී ලංකාව ගැනත්, ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැනත් දක්‌වන උනන්දුවත්, ආශාවත් ඒ සියල්ලන්ටම වඩා ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන ඔහු තුළ පවතින අපරිමිත දැනුම් සම්භාරයත් නිසාය. අනෙක්‌ විශේෂ කරුණවනුයේ අපේ රටේ යන්තම් පණ ලැබගෙන එන සංචාරක කර්මාන්තයට මෙවන් මිනිසුන්ගෙන් ලබාගත හැකි ප්‍රචාරය ද එවැන්නන් අපේ රට ගැන ලබාදෙන චරිත සහතිකය ද අපේ රටේ ඉදිරිගමනට දැඩි රුකුලක්‌ කරගත හැකි බැවිනි.

"මම ශ්‍රී ලංකාවට ගියේ මීට අවුරුදු විස්‌සකට විතර ඉස්‌සෙල්ලායි. ශ්‍රී ලංකාවට යන්න එපා. එහේ හරියට කලබල. මිනිස්‌සු මරණවා, පුච්චනවා, බෝම්බ දානවා කියලා මෙහේ ඉන්න මිනිසුන් කිව්වා. ඒත් මම තනිකඩයා. අනික ශ්‍රී ලංකාවේ කුරුල්ලන් ගැන, ශ්‍රී ලංකාවේ මිනිස්‌සුන්ගේ ලැදියාව ගැන, ආගන්තුක සත්කාරය ගැන පතපොතින් මම හුඟාක්‌ දේවල් දැනගෙන හිටියා. වෙන දෙයක්‌ වෙච්චාවදෙන් කියලා සති හතරක කාලයකට මම ශ්‍රී ලංකාවට ගියා. මම කුරුළු පිස්‌සෙක්‌. එහෙමත් නැත්නම් කුරුළු හිතවතෙක්‌. කොළඹ-කටුනායක ගුවන්තොටින් ටැක්‌සි රථයක නැඟුණු මම, ඒ රථයේ රියෑදුරාට කිව්වේ මාව විල්පත්තුවට ගෙනියන ලෙසටයි. විල්පත්තුව ආශ්‍රිතව සාමාන්‍ය පංතියේ හෝටලයක හෝ නවාතැන් පළක ලැඟුම්ගෙන කුරුල්ලන් දැකගැනීම, ඡායාරූප ගැනීමයි මගේ අරමුණ වුණේ. ඔබ තනියම එහේ යන්න එපා. ඒක අවදානම් ගමනක්‌ කියලා රියෑදුරු කිව්වා. ඒත් ශ්‍රී ලංකාවේ මිනිස්‌සු ගැන මට ලොකු විශ්වාසයක්‌ තිබුණා. ලෝකේ එක කොනක ඉඳලා ලොකු දුරක්‌ ගෙවාගෙන කුරුල්ලන් දැක ගන්නට ආවට ශ්‍රී ලංකාවේ කුරුල්ලන් නොදැක හිස්‌ අතින් යැමේ වුවමනාවක්‌ තිබුණේ නැහැ. වදෙන් පොරෙන් වාගේ රියෑදුරු කැමති කරවාගෙන කොහොමහරි මම විල්පත්තුවට ගියා. හැබැයි ඔය මඟදිගට බෝම්බ කලබල, මළ සිරුරු පුච්චපුවා, ඇඳිරි නීතිය වගේ දේවල් ගැනත් අහන්න, දකින්නත් නොලැබුණාම නොවෙයි. විල්පත්තු වැවේදී සමහරුන් කිව්වා කැලෑව ඇතුලේ එල්.ටී.ටී.ඊ. ගරිල්ලන් ඉන්නවා කියලා. තවත් අය කිව්වා රජයට විරුද්ධ ජ.වි.පෙ. කැරලිකරුවන් එහේ කඳවුරු බැඳලා කියලා. තවත් අය කිව්වා කැලෑව ඇතුලේ හමුදාවේ කඳවුරු තියනවා කියලා. ඒත් තවත් දෙතුන් දෙනෙක්‌ ස්‌වේච්ඡාවෙන්ම මට උදව් වෙන්න කැමති වුණා. හැබැයි ඒ සල්ලි බලාගෙන නෙමෙයි. පරිසර හිතකාමියෙකුට, ආගන්තුකයකුට සහාය දැක්‌වීමේ අරමුණ මුල් කරගෙනයි.

"විශ්වාස කරන්න, මම මගේ ජීවිත කාලයේදී ගිය හොඳම රට ශ්‍රී ලංකාව. මම මුළු ලෝකෙන්ම දැකපු කරුල්ලන් අතරින් වඩාත්ම සිත්ගත් කුරුල්ලන් සිටියේත් ශ්‍රී ලංකාවෙයි. මම ඔබට පමණක්‌ නොවෙයි මේ ගැන මං දන්නා කියන මෙවැනි සංචාරවලට ප්‍රියකරන හැමෝටමත් කියනා දෙයක්‌....." එක හුස්‌මට මෙන් වුල්ෆ් කියාගෙන ගියේය.

ඔබ ශ්‍රී ලංකාවට අමතරව කුරුල්ලන් සොයාගිය අනෙක්‌ රටවල් මෙනවාදැයි මම වුල්ෆ්ගෙන් විමසුවෙමි.

"ඒ ලැයිස්‌තුව හුඟාක්‌ දිග එකක්‌. ඒකේ නොම්මර එක ශ්‍රී ලංකාව. ඊට පස්‌සේ මොසැම්බික්‌, සැම්බියාව, කෙන්යාව, ඉරානය, බෝර්නියෝ, චීනය, බ්‍රසීලය, රුසියාව, ෆින්ලන්තය, නෝර්වේ ඔන්න ඔය ආදී වශයෙන් ඒ ලැයිස්‌තුව මහා දිග එකක්‌. කෙටියෙන් කියවානම් කුරුල්ලන් සොයාගෙන මම ලෝකේ හැම මහාද්වීපයකටම වාගේ ගිහිල්ලා තියෙනවා..." වුල්ෆ් ඊට පිළිවදන් දුන්නේය.

"ලෝකේ කොච්චරක්‌ විතර කුරුළු වර්ග සිටිනවාද?" මම විමසුවෙමි.

"දැනට කුරුළු වර්ග නවදහසක්‌ ගැන තොරතුරු ලැබී තිබෙනවා...." ඔහු කීවේය.

"මේ මුළු කුරුළු වර්ග නවදහසම ඔබ දැක තිබෙනවාද?" මම යළි විමසුවෙමි.

"අනේෘ නැහැ. මේ කුරුළු වර්ග නවදහසෙන් තුනෙන් එකක්‌ පමණයි මා දැක තිබෙන්නේ. කොටින්ම කිව්වොත් කුරුළු වර්ග තුන්දහසක්‌ පමණයි. මා දුටු බොහෝ කුරුළු වර්ගයන්ගෙන් නම් ගම්, විස්‌තර ඡායාරූප මා සතුයි...." ඔහු කියන්නේය.

ඔබ කුරුල්ලන් ගැන උනන්දුවීමට පටන්ගත්තේ කොපමණ කාලයක සිටදැයි මම ඔහුගෙන් විමසූ විට ඔහු දුන්නේ මෙවන් පිළිතුරකි.

"මීට අවුරුදු තිහකට ඉස්‌සෙල්ලා. එතකොට මගේ වයස අවුරුදු විස්‌සයි. ඒ කාලේ මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්‌. ශ්‍රී ලංකාවට යනකොට මගේ වයස අවුරුදු විසිපහයි".

"ඇයි ඔබ කුරුල්ලන්ට ඔය තරම්ම කැමති. කරුල්ලන් දැකීමෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්‌ද?" කුරුල්ලන් දැකගන්නට මෙතරම්ම වෙහෙසක්‌ ගන්නා ඔහුට මගෙන් යොමුවූ තවත් පැනයකි ඒ.

"මානසික සහනය. අවිවේකී මනසට කුරුල්ලන් දැකීමෙන් ලැබෙන්නේ සන්සුන්, සැහැල්ලු බවක්‌. කුරුල්ලන් දැකගන්නට යනවා කියන්නේ ස්‌වභාවධර්මයේ චමත්කාරය අත්විඳීම. එයින් මනසට පමණක්‌ නොව ගතට නෙතට ලැබෙන ප්‍රබෝධයත් අපමණයි. මා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ දිවිගෙවූ කාන්තාවක්‌ ගැන දැන හුන්නා. ඇය පිළිකා රෝගය උත්සන්නව ඉතා දරුණු ලෙස මානසිකව ඇදවැටිලයි සිටියේ. ඇයගේ වෛද්‍යවරුන් පවා ඇයගේ ජීවිතය පිළිබඳ වැඩිකල් බලාපොරොත්තු නොතබන ලෙසට දැනුම් දී තිබුණා. එහෙත් ඇයවත් නොසිතූ ලෙස ඇයගේ පවුලේ බූදලය හිමිවී තිබුණේ ඇයටයි. එය මහා ධනස්‌කන්දයක්‌. දැන් ඉතින් කොහොමත් මැරෙන එකනේ. ඒ නිසා මං මේ සල්ලි වියපැහැදම් කරනවා කියලා හිතලා ඇය රටින් රට සංචාරය කරන්න පටන් ගත්තා. ඒ හැම සංචාරයකම අරමුණ කුරුල්ලන් දැකගැනීම. කුරුල්ලන්ගේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීම. ඇය තමයි මේ ලෝකේ සිටින කුරුළු වර්ග නවදහසෙන් වැඩිම කුරුළු වර්ග ප්‍රමාණයක්‌ දුටු කාන්තාව. ඇය තැබූ සටහන්වලට අනුව ඇය දැක තිබුණු කුරුළු වර්ග ප්‍රමාණය සංඛ්‍යාවෙන් අටදහස්‌ හාරසිය හතළිස්‌ පහක්‌....

ඔබ සමහරවිට විශ්වාස නොකරාවි. කුරුල්ලන් දැකීමෙන් ඇති වූ මානසික තෘප්තිය නිසා වෙන්දෝ ඇය ඒ දරුණු පිළිකාවෙන් ගැලවී තිබුණා. ඒත් අප කාටවත් මරණය වැළැක්‌විය නොහැකියි. ඈටත් ඒ ඉරණමටම මුහුණ දෙන්නට සිදුවී තිබුණා. වරක්‌ ඇය කුරුල්ලන් දැකගැනීම සඳහා දකුණු ඇමෙරිකානු කලාපයේ සංචාරයක නිරතවෙලා තිබෙනවා. ඒ එන අතරමඟදී සිදුවූ අවාසනාවන්ත රිය අනතුරකින් ඇය මියගියා...." වුල්ෆ් කියා සිටියේය.

කුරුල්ලන් දැක ගන්නට ඔබ ආපසු ශ්‍රී ලංකාවට යනවා දැයි මම වුල්ෆ්ගෙන් විමසුවෙමි. "ඔව්ෘ මම ආපසු ශ්‍රී ලංකාවට යනවා. ඒ යන්නේ යාල, කුමන වගේම ශ්‍රී ලංකාවේ උතුර-නැගෙනහිර ප්‍රදේශවලත් සැරිසරන කුරුල්ලන් දැක ගන්නයි....." වුල්ෆ් කීවේය. මේ කුරුළු හිතවතා ශ්‍රී ලංකාව ගැන දක්‌වන ආකල්පය විමසීමටද මම අමතක නොකළෙමි.

"පසුගිය දශක දෙකක කාලය පුරාවටම ශ්‍රී ලංකාව ගැන බටහිර අපේ රටවල තිබුණේ එතරම් හොඳ පැහැදීමක්‌ නොවෙයි. ජාතීන් අතර අවාසනාවන්ත, භයානක යුද්ධයකින් මිනිසුන් දිනපතා මියයන බවත්, මානුෂික අයිතිවාසිකම් දිගින් දිගටම කඩවීම් පිළිබඳවත් පමණයි අපට අසන්නට ලැබුණේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට නොයන ලෙසට ස්‌වීඩනය මෙන්ම අනෙක්‌ බොහෝ බටහිර රටවල්ද අනතුරු හැඟවීම් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ගුවන්තොට පමණක්‌ නොව ප්‍රධාන අගනගරයද, අනෙකුත් සංචාරක කලාපයන්ද, වන උද්‍යානයන්ද අනාරක්‍ෂිත බවත්, දිනපතා බෝම්බ පිපිරවීම් සිදුවන බවටත්, ත්‍රස්‌තවාදී ප්‍රහාර එම ස්‌ථානවලට කොයි මොහොතේ හෝ එල්ලවිය හැකි බවටත් ප්‍රචාරය වී තිබුණා. ඉතින් මා පමණක්‌ නොව අනෙකුත් ස්‌වීඩන වැසියන්ද ශ්‍රී ලංකාවෙන් ඈත්වීම සාමාන්‍ය දෙයක්‌. ඒත් දැන් ශ්‍රී ලංකාවේ තත්ත්වය වෙනස්‌. ඒ දරුණු යුද්ධය අවසන්. දැන් අපට යළි ශ්‍රී ලංකාවේ සංචාරය කළ හැකියි. ශ්‍රී ලංකාවේ සමහර නායකයන් දැනුම් තේරුම් නොමැතිව බටහිර රටවලට බැණ වැදීම් දැන්වත් නොකළ යුතුයි. බටහිර ජාතිකයන් ශ්‍රී ලංකාවට විරුද්ධ නැහැ. අප වැනි බටහිර ජාතිකයන් ශ්‍රී ලංකාවට ආදරෙයි. ශ්‍රී ලංකාවේ නායකයන් කළ යුත්තේ බටහිර රටවල පැතිරෙන බොරු චෝදනාවලට නිසි පිළිතුරු ලබාදීමට ශක්‌තිමත් විදෙස්‌ සේවාවක්‌, රාජ්‍ය නිලධාරීන් පිරිසක්‌ ගොඩනංවා ගැනීමයි. පසුගිය කාලය පුරාවට මෙන්ම දැනටමත් ශ්‍රී ලංකාවේ විදෙස්‌ගත රාජ්‍ය නිලධාරීන් හරිහැටි ක්‍රියාත්මක වන බවක්‌ පේන්න නැහැ. බලන්න අනෙක්‌ රටවල් මෙහේ දෙන ප්‍රචාරය. තායිලන්තය, ඉන්දියාව, මැලේසියාව, වියට්‌නාමය, චීනය, මාලදිවයින, ඉන්දුනීසියාව, කාම්භෝජය, පිලිපීනය වැනි අනෙකුත් ආසියාවේ රටවල් සංචාරක ප්‍රවර්ධනය සඳහා මෙහේ දැවැන්ත ප්‍රචාරයක්‌, තරගයක්‌ ලබා දෙද්දී, ශ්‍රී ලංකාව ඇල්මැරුණු අන්දමට කටයුතු කරනවා. ඔබට වුණත් මෙහේ (ස්‌වීඩනයේ) රූපවාහිනි නාලිකා, දිනපතා පුවත්පත්, සඟරා බලද්දී ප්‍රධාන නගරයේ සැරිසරද්දී ඒ බව මොනවට දැක ගන්නට ලැබේවි.

"මේ ළඟදී මෙහේ ප්‍රචාරය වූවා ශ්‍රී ලංකාවේ නායකයන් එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටලා බටහිර ජාතිකයන් ප්‍රාණ ඇපකරුවන් කළා කියලා. තවත් වරක්‌ ප්‍රචාරය වූවා ශ්‍රී ලංකාවේ දැන් සිටින සමහර නායකයන් මිනිසුන් ගස්‌බැඳ වදදෙන බවට. ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වුවත් ශ්‍රී ලංකා නායකයන් කරනා මෙවැනි දෑ මෙහේ (බටහිර) ප්‍රචාරය වෙද්දී කවුරුන්වුවත් දෙවරක්‌ සිතන්නට පෙළඹෙනවා. ශ්‍රී ලංකාව වෙනුවට වෙනත් විකල්ප සොයනවා. සෑම වසරකම පාහේ ස්‌වීඩන් ජාතිකයන් ලක්‍ෂ පහක්‌ පමණ තායිලන්තයේ සංචාරය කරනවා. ආසියාවේ ලක්‍ෂ පහක්‌ පමණ තායිලන්තයේ සංචාරය කරනවා. ආසියාවේ අනෙක්‌ රටවලට යන ප්‍රමාණයත් ඉතා ඉහළයි. සාමාන්‍යයෙන් මේ සෑම සංචාරකයෙක්‌ම දළ වශයෙන් ඇමෙරිකානු එක්‌සත් ජනපද ඩොලර් දසදහසකට වඩා ඒ එක්‌ සංචාරයකට වැයකරනවා. යුද්ධය අවසන් කළ සුන්දර ශ්‍රී ලංකාවට මේක හොඳ අවස්‌ථාවක්‌. දැන්වත් ශ්‍රී ලංකාවේ නායකයන්, විදෙස්‌ගත රාජ්‍ය නිලධාරීන් බුද්ධිය මෙහෙයවා කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක පාරාදීසය බවට පමණක්‌ නොව, හොඳ සංවර්ධිත රටක්‌ බවටද පත්කළ හැකියි..." කුරුළු හිතවතා කීවේය.

බන්ධුල දිනපූර්ණ
ස්‌වීඩනයේ ස්‌ටොක්‌හොල්ම් නුවර සිට

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.