වැලි කතරේ සිට නාඳුනන පුතු වෙත...
Please Help Find My Child

දරුකමට හදා ගැනීම සඳහා එක්‌තරා කාලයක මෙරටින් විදේශවලට ගෙන ගිය දරුවන් දශක දෙක තුන වැනි දිගු කල් ගත වී තමන්ගේ වැදූ අම්මලා දැක ගැනීමට දරන වෑයම පිළිබඳ කතා මාලාවක්‌ අපි පසුගිය දිනවල ලීවෙමු. ගෙවී ගිය සති තුන හතර තිස්‌සේ ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාර සහ ඉල්ලීම් මෙවැනි සටහනක්‌ ලිවීම සඳහා අප නැවත කැඳවනු ලැබ තිබේ.

දිගු කලෙක සිට සවුදි අරාබියේ රැකියාව කරන හලාවත ප්‍රදේශයේ 48 වියෑති මවක්‌ අප අමතා තිබුණාය. ජීවිතයේ එක්‌තරා කාලයක අනන්ත දුක්‌ පීඩා නිසාම තමන්ගෙන් වෙන්වුණු තම පුතු පිළිබඳ ඉතා දිගු ලිපියක ඇය ඇගේ කතාව සටහන් කර තිබිණි.

කිසිවක්‌ නොසඟවා පළ කරන්නැයි ඉල්ලා සිටින "චිත්‍රමාලී" නම් වන ඇය ඉතාම දුප්පත් පවුලක වැඩිමහල් දියණියයි. සිදු නොවිය යුතු පරිදි අවුරුදු 16 දී පමණ විවාහ වූ ඇය 1981.06.12 දා හලාවත රෝහලේදී පුතකු ලැබුවාය.

බිරියටත් දරුවන්ටත් දුක්‌ දෙමින් තමන්ගේ ලෝකවල ජීවත්වන තාත්තලා පිළිබඳ කතා අපේ සමාජය තුළ ඕනෑ තරම් තිබේ. මේ මවටත් ඉතා ඉක්‌මනින් ම සිය කුලගෙය කඳුළක්‌ වන ඉරණමට මුහුණ පාන්නට සිදු වූයේ ඒ අයුරිනි. දරුවාටත් මවටත් කිසිදු පිළිසරණක්‌ නැති මේ සැමියා ඇය කියන පරිදි ක්‍රමයෙන් අධික ලෙස මත්පැනට ලොල් වන්නටත් ඉතා දරුණු සැර පරුෂ ලෙස හැසිරෙන්නටත් වූයේය. ගෙදර ජීවිතය අවිචාරයෙන් පිරවීමේ කනගාටුදයක ආදීනව මේ තාත්තාට කියා දෙන්නට තරම් කිසිවකු ඔවුන් ජීවත් වූ පරිසරය තුළ සිටින්නට ද නැත.

ජීවිතය නොසිතූ පරිදි එන්න එන්නම දුෂ්කර වී කරකියා ගන්නට කිසිවක්‌ ම නොතිබුණු ඇය එකල බොරැල්ලේ කාර්ල්aෂු ගාඩ්න්හි තිබුණු මඩමකට ආවේ එහි පිහිටෙන් මාස ගණනක්‌ වයසැති තම කුඩා දරුවා ජීවත් කරවීමේ අරමුණිනි. එහෙත් දරුවා එතෙර රටකට දෙන්නට කැමැති දැයි එතැන සිටි කන්‍යා සොයුරියක්‌ යෝජනා කළ විට ඊට සිත් නොදුන් ඇය දරුවා රැගෙන නැවත හලාවත බලා ගියාය. එහෙත් ජීවිතයට සහනයක්‌ නම් ලැබුණේ නැත. අසරණකමේද නැති බැරිකමේ ද දෙබලයක මේ අම්මා සිර වී ගියාය. ඇය ඒ බව සිය ලිපියේ කියන්නේ මෙසේය.

"කුලී වැඩකටවත් දරුව දාල යන්න තැනක්‌ තිබුණෙ නැහැ. එක දවසක්‌ ගෙදර කිසිම දෙයක්‌ තිබුණෙ නැහැ. දරුවට තේ ටිකක්‌ දෙන්න සීනි ටිකක්‌, කැඳ ටිකකට හාල් මිටක්‌වත් තිබුණෙ නැහැ. මගේ කිරි බිව්ව දරුව හාමත් වුණා. මේ ගින්න තව තවත් උහුලගන්න බැරි තැන මම ආයෙත් දරුවව අරන් බොරැල්ලේ අර තැනට ආවා."

නැවත ගමට ගොස්‌ දරුවා සමඟ අතරමං වන්නට නොකැමැති වූ ඇය දරුවා එතෙර රටකට දෙන්නට තීරණය කළේ සිතකින් නොවේ. ඒ අනුව කාල්ෂු ගාඩ්න්හි "වෙල්කම් හවුස්‌" නමැති මේ ආයතනයට පැමිණි ඔස්‌ටේ්‍රලියානු සුදු ජාතික යුවළකට තම දරුවා දෙන්නට ඇය කැමැති වූවාය. කුඩා දියණියන් දෙදෙනකු සිටින මේ සුදු යුවළට පුතකු ලෙස ටි්‍රෂාන් හර්ෂණ මාටින් යනුවෙන් නම් ලැබූ මේ පුතා ඔස්‌ටේ්‍රලියාව බලා ගියේ 1982 දී ය.

අද පශ්චාත්තාපයේ හා වේදනාවේ පතුල දකිමින් සිටින ඇය මේ දරුවා සොයා දෙන්නැයි ඉල්ලා සිටින්නීය.

"මම දිවුරල කියන්නං මහත්තයො මම මගේ දරුව වෙනුවෙන් අඩු තරමේ හලාවතට යන්න බස්‌ වියදමවත් ගත්තෙ නැහැ. දරුව දීල ටික දවසකින් මම එතැනට ආපහු ගියා තොරතුරු දැනගන්න. ඒත් මට මගේ පුතා ගැන කිසිම දෙයක්‌ දැන ගන්න ලැබුණෙ නැහැ.

"දරුවට දුක්‌ දෙන්න බැරිකමට එයාගෙ අනාගතේ ගැන හිතලයි මේ දේ කළේ. ඒත් ඒක මොන තරම් මෝඩකමක්‌ද කියල මට දැන් තේරෙනවා. අපි ගමේ අහිංසක මිනිස්‌සු හැටියට මේ කිසි දෙයක්‌ දැනගෙන හිටියෙ නැහැ මහත්තයො ගමේ සමාගම් කඩෙයි, පොළයි, ඩිස්‌පැන්සරියයි ඇරෙන්න ඉන් එහාට කිසි දෙයක්‌ ජීවිතේ ගැන දැනගෙන හිsටියෙ නෑ ..."

දැන් කාලය වසර 28 ක්‌ පමණ ගෙවී ගොස්‌ තිබේ. මේ තත්ත්වයට සපුරා වගකිව යුතු යෑයි ඇය සිතන ඇගේ විවාහක සහකරුවා නොහොත් සැමියාට දොස්‌ පැවරීමේ කාලය ඉකුත් වී දැන් බොහෝ කල් ය. අද මැදපෙරදිග රටක ජීවිතයේ තනි වී සිටින මේ අම්මාට කිසිවක්‌ම අවශ්‍ය නොවේ. ඇයගේ එකම පැතුම තම පුතාගේ මුහුණ දැකීම පමණි.

ඇගේ මේ දිගු ලිපියෙන් සැපයෙන තොරතුරු යට සැඟවුණු ශෝකය හා සන්තාපය හැම ගැහැනියකටම පොදු අත්දැකීමක්‌ නොවේ. එහෙත් මාතෘ ස්‌නේහය නමැති පොදු හැඟීම එහි නිධන්ව ඇති බවට සැකයක්‌ නැත.

සිය පුතු සොයා දෙන්නැයි ඉල්ලා සිටින ඇගේ ජීවිත අභ්‍යන්තරයෙන් නැගෙන කම්පාව ලෝකයේ කොහේ හෝ සිට මෙය කියවන සංවේදී හදවත් ඇති මිනිසුනට කරන ආමන්ත්‍රණයක්‌ බඳුය.

ඔබ කිසියම් ගැහැනියකගේ හෝ මිනිසකුගේ ඉතා ගැඹුරු වේදනාකාරී ප්‍රශ්නයක්‌ ගැන ඔබේ නෙත්, සවන් හා හදවත විවෘත කරන්නේ නම් ඒ ගැහැනිය හෝ මිනිසා ඉතා ඉක්‌මනින් ඔබ සමඟ සුහද වන්නේය. ඇගේ හෝ ඔහුගේ කතාව පිළිබඳ ඔබ හෘදය සංවේදී වන්නේ නම්, තමන් සතු විශාල ම රහස හෙතෙම ඔබට කියනු ඇත. මේ ඔවුන්ගේ ජීවිතවල එවැනි කතා වන්නට පුළුවන.

අනෙක්‌ අතට අද මා මෙහි පළ කරන්නේ තමන්ගේ වැදූ අම්මා දැක ගැනීමේ නොතිත් ආශාවෙන් පෙළෙන යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකීය දරුවන් කීප දෙනකුගේ ඉල්ලීමකි (මේ දරුවන්ගේ සේයා රූ විටින් විට මෙහි පළ විය.)

මාස 4 - 5 වැනි කිරි කැටි අවදියේ නොරටට ගෙන ගිය ඔවුන් දැන් වයස අවුරුදු 25 - 30 වැනි වියේ පසුවන සුරූපී දියණියන් ය. කඩවසම් පුතුන්ය. තම සුදු දෙමාපියන් ළඟ මෙතෙක්‌ කලක්‌ සුරැකිව තිබී ලොකු මහත් වන විට තමන් අතට පත්වුණු තමන්ගේ වැදූ අම්මා යෑයි සිතන මේ කාන්තාවන්ගේ සේයාරූ පළ කර ඔවුන් සොයා දෙන්නැයි ඔවුහු අයෑද සිටිති. මේ ඔවුන් එතෙරට දෙන අවස්‌ථාවල යම් යම් තැන්වලදී ගත් සේයාරූ ය. මෙවැනි සේයාරූ හා අම්මලාගේ නම් ගම් ගණනාවක්‌ අප වෙත ලැබී තිබේ. ඒ සමහර දරුවන් කිරිකැටියන් ලෙස එදා අම්මාගේ තුරුලේ සිටිනු මෙහි පෙනේ.

මේ ලේඛනයේ ඉතාම අසීරු ගැටුම්කාරී අවස්‌ථාවට මා මුහුණ පෑවේ මේ මොහොතේ ය. මේ කාන්තාවන් කීපදෙනකුගේ හෝ සේයා රූ මේ අයුරින් පළ කිරීම සමහර විට ප්‍රශ්නයට තුඩු දෙන අවදානම් තීරණයක්‌ විය හැකිය. සති කීපයක්‌ මේ සේයාරූ තබා ගෙන සිටින්නට සිදු වූයේ ද එහෙයිනි.

ජීවිතයේ කිසියම් කාල වකවානුවක ජීවිතයේ විවිධාකාර අසීරු තත්ත්වයන්ට මුහුණ පෑ මේ අම්මලාට දරුවන් නොරටට දෙන්නට සිදු වූයේ යම් යම් හේතූන් නිසා වන්නට පුළුවන. දැන් ඔවුන් මොන විදියේ ජීවිත ගත කරනවාද මේවා සදාකාලික රහස්‌ වශයෙන් නිධන්ගත වූ දේවල් ද යන්න ඇත්තටම ප්‍රශ්නයකි.

හැබැයි මේ පින්තූරවල සිටින්නේ සමහර විට ඔවුන්ගේ සැබෑ අම්මලා ද නොවිය හැකිය. මේ ව්‍යාපාරය ගෙන ගිය අය විසින් යොදන ලද අතරමැදි කාන්තාවන් වන්නට ද පුළුවන. ඒ තත්ත්වයන් පිළිබඳ අප මීට පෙර ලියා තිබේ. දරුවාගේ අම්මා මෙහි පෙනෙන කාන්තාව නොවුණත් ඇය මේ දරුවාගේ අම්මා පිළිබඳ බොහෝ විට දැන සිටිනු ඇත. ලංකාවේ කොහේ හෝ පුංචි පැල්පතක කුප්පි ලාම්පු එළියෙන් නැතහොත් ග්‍රාමීය රෝහලක හොර රහසේ ඉපදී උසාවි අවසරය ගත්තද හීන් සීරුවේ තුවා කැබැල්ලක එතී අතින් අතට ගොස්‌ පොරෝනයක උණුසුම මැද ගුවන් ගැබට නැගී නොරටට ගිය ඇත්ත කතාව මේ දරුවන්ට කියා දෙන්නට සිටින්නේ කවුද?

එහෙත් දැන් තම ජීවිතයේ හොඳම පණිවිඩය ලැබෙන තෙක්‌ මේ දරුවෝ බලා සිටිති. ඒ පණිවිඩය ලැබෙන පළමු මොහොතේ ම ඔවුන් ශ්‍රී ලංකාව බලා එන්නට තීරණය කරනු ඇත. වසය සති මාස ගණන්වලින් පසු තම මව සවිඥානිකව නොදුටු මේ දරුවන්ටත් ඔවුන් වැදූ අම්මලාටත් දශක දෙක තුනකට පසු ඔවුනොවුන්ගේ සුසුම් ආඝ්‍රාණය කරන්නට අවස්‌ථාව උදා කර දිය හැකි නම් එය මොන තරම්ද? එක පිට එක නැඟී සිටින වැඩුණු ඇතුන් හත්දෙනකුගේ උසටවත් ඒ විශ්ව ස්‌නේහය පිළිබඳ පුදුමාකාර හැඟීම සම කළ හැකි වන්නේ ද?

තිස්‌ස කොරතොට
tissakorathota@gmail.com

මේ සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිචාරයක්‌ දක්‌වන මවුවරුන් හෝ වෙනත් අයෙක්‌ වෙත් නම් 0779941919 හෝ 0718183054 (ලියුම්කරු) ඇමතීමෙන් මෙම දරුවන් පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.