ළමා ලෝකය ගැන ළමයකුගේ ඇසින්

හද තුළ කැකෑරෙන හැඟුමන් මෙසේ කැටි කරන්නට පන්හිඳ ඇඟිලි තුඩු අතර රුවා ගනිමි. මගේ හද විලාප නගන්නේය. මගේ මුවට කතා කරන්නට අවැසිය. දැත වෙවුලයි. ඔබට මේ කවර අරුමයක්‌ දැයි සිතනු ඇත. මේ මුළු ලොවටම ඇසෙන්නට හඬ නගන්නට මට අවැසිය. මගේ දැස බොඳ කරන කඳුළ ඔබට දී එය කෙතරම් බරදැයි නිවුටන්ගේ නියමයට අනුව නොව, ඔබේ නෙත්වලින් ඇද හැලෙන කඳුළු කැට වලින් කොපමණ දැයි දැන ගැනීමට මට අවැසිය.

මමද ළමයෙක්‌ වෙමි. පසුගිය දිනෙක මා කියවන පුවත්පත් කිහිපයකම තිබූ එක්‌ පුවතක්‌ කියවා මම හඬා වැටුනෙමි. වයස අවුරුදු 14 ක්‌ වූ හරියටම මගේ වයසේම පසුවන පුංචි සහෝදරියකට වූ ඒ විපැත්තිය පිළිබඳ කතාව, එපමණකින් පමණක්‌ ඔබ මතකය අවදි කරවීම ප්‍රමාණවත් නොවේ යෑයි සිතමි. මක්‌ නිසාද යත් නිතිපතාම පාහේ එවැනි පුවත් පත්තරවල පැත්තක්‌ම පුරවා තිබෙන නිසාවෙනි. මම කතා කරන්නේ කොළඹ කාසල් රෝහලේදී මවක්‌ වූ ඒ සොයුරිය ඇතුළු ළමයින් වන අප සියලු දෙනාම වෙනුවෙනි. කියන්නට කෙනෙක්‌ නැතිව එවැනි අකරතැබ්බයන්ට මුහුණ පෑ සොයුරියන් කොතෙක්‌ අප අතර සිටිත් ද?

අපි සියලු දෙනාම ළමයින් වෙමු. ළමයින් සුරතල්ය. ඔවුන්ගේ ලොව සුන්දරය. ඒ වෛරයක්‌, තරහවක්‌ නැති පිරිසිදු හදින් සැමට ආදරය කළ හැකි නිසාවෙනි. අපට ජාතිය, ආගම, කුලය, පන්ති, විෂමතාව කිසිසේත් බල නොපෑ යුතුය. අපි සියලු දෙනාම ළමයින් වෙමු. නමුත් මට තව ඉගෙන ගන්නටත්, මගේ මවුපියන් තුරුලේ සුරතල් වන්නටත් මගේම තවත් සොයුරියකට දරුවකුට මවක්‌ වන්නටත්, ඒ ප්‍රාණියා ජීවත් කරවන්නටත් මට ලස්‌සනට හැඳ පැළඳ සිනාසෙන්නටත් තවත් සහෝදරියකට අකාලයේ දරුවන් වෙනුවෙන් දහදිය වගුරුවන්නටත්, ලේ කිරිකර පොවන්නටත්, යොවුන් විය යටපත් කර සමාජයෙන් මුහුණ සඟවා සිටීමටත් සිදුව ඇත්තේ ඇයි?

මා ඉහත සඳහන් කළ කොළඹ රෝහලකදී මවක්‌ වූ දැරිය පිළිබඳ පුවත ගෙන බලමු. ඇගේ පියා මියගොසිනි. මව මානසික රෝගයකින් පෙළෙන්නියකි. සොයුරිය භාරයේ සිටියදී පෙදරේරුවකු අතින් මවක්‌ වූ ඇය යළි කෙසේ ළමයෙකු වන්නද? ඇගේ දරුවාට වයස අවු. 05 ක්‌ වන තුරු, ඇයට වයස අවුරුදු 18 ක්‌ වනතුරුම ඇයත් දරුවාත් දෙදෙනාම ළමා රක්‍ෂණ අධිකාරියට භාරය. මෙවන් සිද්ධියකදී පුරුද්දට මෙන් සියලු දෙනා දහ අතේ ඇඟිලි දිගු කරති. නමුත් වැඩිම ඇඟිලි ප්‍රමාණයක්‌ දිගුව ඇත්තේ ඔවුන් දෙසට බව ඔවුන්ට නොපෙනේ. නමුත් අපි අතැඟිලි විදා දැත දිගු කරන්නේ ලොවට ය. ඒ සොයුරියගේ මව මානසික රෝගයකින් පෙළුණු බව මෙහි වැරැද්ද නොවේ.

මා මෙම අවස්‌ථාවේ උලුප්පා දක්‌වන්නේ ලොව අප කෙරේ දක්‌වන නොසැලකිල්ලයි. දරුවකු මනා ආරක්‍ෂාවක්‌ ලැබිය යුතුය. එය දරුවකු සතු අයිතිවාසිකමකි. ආරක්‍ෂාවක්‌ නොමැතිව හැදෙන වීදි දරුවන් පවා ළමයින් ය. ඒ මේ රටේ අනාගතයයි. ඒ සියලු ළමයින් වෙනුවෙන් එකම නීතියක්‌ ක්‍රියාත්මක විය යුතුය. මට ඇවැසි ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට බලධාරීන්ට බල කිරීමටය. එම අසරණ දරුවන්ට පන්ති විෂමතාවයෙන් හානියක්‌ නොවන්නට තබා වීදි දරුවන් ළමා මවුවරුන් බිහිවීම වැළැක්‌වීමටය. සහසකුත් වූ සංවර්ධන සංග්‍රාමයන් දියත් කරන්නේ අනාගතයට නම් අපට පැහැදිලි අනාගතයක්‌ තිබිය යුතුය. අනාගතය සුරක්‍ෂික වන්නට නම් අප සුරක්‍ෂිත විය යුතුය. වීදි දරුවන් ළමා මවුවරු මේ සමාජයෙන් තුරන් විය යුතුය. සියලු නිසි ආරක්‍ෂාවක්‌ අහිමි දරුවන් වෙනුවෙන් නීති සම්පාදනය විය යුතුමය. මා කුඩා කල යෙහෙළියක්‌ ද දැන් විවාහ වී දරුවෙක්‌ ද සිටී. අද පුවත්පත් ගත්තද මෙවන් සිද්ධි කෙතරම් දිනකට පළවේද? දැන් එය අප කනට ඇසී පදම් වී කම්මලේ බල්ලාට මෙන් අපට ද වගක්‌ නැත

මා සිතට නිතැතින් ම ප්‍රශ්නාර්ථයක්‌ ගලා එයි. මවුපියන් තුරුලේ සුරතල් විය යුතු දරුවෙක්‌ කෙලෙසින් මවක්‌, බිරිඳක්‌ යන බැරෑරුම් චරිතවලට අවතීර්ණ වන්නේ දැයි යනුවෙනි. කාසල් රෝහලේදී මවක්‌ වූ දැරිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාම ළමා රක්‍ෂණ අධිකාරියට භාර දීමෙන් වත්මන් තත්ත්වය සමනය වේ. නමුත් සමාජය ඉදිරියේ ඇගේ මානසිකත්වය.

අවුරුදු 18 දී ළමා රක්‍ෂණ අධිකාකරියේ රැකවරණය ඈට අහිමි වනු ඇත. එවිට කුඩා දරුවකු සමඟ ඇය ජීවිතය හමුවේ බිඳ වැටෙනු ඇත. මේ ෙ€දනීය ඉරණමේ මුල සොයාගත යුතුය. එතැන් සිට මේ පිළිලය තවත් ව්‍යාප්තිය වළකා නැසිය යුතුය.

අද මිනිසා කෙරෙන් මිනිසත්කම තුරන් වී ගොස්‌ මිනිසා තම සිතෙහි වහලෙකු වී ඇත. ශිෂ්ට සම්පන්න සංස්‌කෘතියක්‌ ප්‍රෙෘඪ අනන්‍යතාවක්‌ තිබූ අපේ ජාතියේ අවසානය මේදෝහෝයි සිතේ. මුදලට, බලයට තම හෘදය සාක්‍ෂිය යටපත් කොටගත් අමන විද්වත් රැළ නොව සත්‍යය, සාධාරණය, පදනම් කොටගත් විද්වත් සැවොම එක්‌ වන ලෙස ඉල්ලමි. මා නගන මේ හඬ එක හඬින් ලොවට කියන්නට මට හඬ දෙන්න මට දිරිය දෙන්න ඒ ළමා ලොවම එළිය කරන්නට නම් නොව සිබිල් වෙත්තසිංහයන්ගෙන් පසු නැවත ළමයින් ළමා ලොවක්‌ පිළිබඳ මම නොදනිමි. අද අපි ළමා වයෝවෘද්ධයන් වෙමු. ඒ ඕනා දේ එපා දේ බය නැතුව පෙන්නා අප හිරිඔතප් සිඳලූ මාධ්‍ය සදාචාරයට පින් අත් වන්නටය. අද ළමා අපචාරවල වගකීමෙන් වැඩි හරියක්‌ම බැර කළ යුත්තේ ඔවුන්ටය. ටියුෂන් සංස්‌කෘතිය ද මීට වගකිව යුතුමය. පාසල් ගොස්‌ අතොරක්‌ නැති ටියුෂන් පන්ති අතර ළමයා සොයා යන්නේ මනසට යම් සැහැල්ලැවකි. අන්තර්ජාලයට පිවිස විවිධ වෙබ් අඩවිවල අසැබි දර්ශන බලන්නේ ඒ නිසාවෙන් යෑයි මට සිතේ.

අද අපේ රටේ විද්වතුන් දොඩමලු වන්නේ සහස්‍රක සංවර්ධන ඉලක්‌ක පිළිබඳවය. නමුත් ළමයින් වන අප නැත්නම් හෙටක්‌ ද සහස්‍රකයක්‌ ද නැත. අප වෙනුවෙන් අයෙක්‌ නැගිටිය යුතුය. අප තේරුම් ගත හැකි, අප නිදොස්‌ යෑයි සිතන අයෙක්‌ අපට සහාය විය යුතුය. මේ කෙඳිරිල්ලට හඬක්‌ විය යුතුය. මා අයෑදිමි. වීදි දරුවන්, ළමා මවුවරුන් නොමැති සමාජයක හෙට අපට දෑස්‌ හරින්නට, සියලු දෙනා එකාවන්ව දිරිය දෙන්න. බලධාරිනි නෙත් හැර බලන්න.

අවසන ළමයා හඳුනන, අපට ආදරය කරන කවුරුන් හෝ මේ හඬට හඬක්‌ වී අප මේ අගාධයෙන් මුදා ගන්නට දිරියක්‌ වේවායි පතමි.

මදාරා පසඳනී ගුණවර්ධන
10 ශ්‍රේණිය සී
තෙලිඡ්ජවිල මධ්‍ය විද්‍යාලය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.