මේ සම්මානය ලැබෙන්න තිබුණේ මනුස්‌සකමට...

වසන්ත බණ්‌ඩාර දුග්ගන්නාරාළ කියල කියන්නේ මේ රටේ නූතන කලාව සම්බන්ධ ඇගයීම්වලදී නිතර කතා බහට ලක්‌වන චරිතයක්‌. සම්මානයට පාත්‍ර වන අපේ කාලයේ තරුණ කලාකරුවෙක්‌. පසුගිය දිනකත් ඔහු සුමති ටෙලි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වන අයුරු දුටු අපි ඔහුට කතා කළේ සුබ පතන්න. ඒ මොහොතේ ඔහුට යමක්‌ ඒ සම්මානය ගැන අප සමග කතා කළ යුතු බවත් කිව්වා. මේ කතාබහ අපි අරඹන්නේ ඒ අනුවයි..........

ඔබ මොනවද මෙවැනි සම්මාන උළෙලවල් ගැන හිතන්නේ.

ඉතා හොඳ දෙයක්‌. මෙබඳු සම්මාන උළෙලවල්වලදී නිර්මාණ කරන්නන්ගේ නිර්මාණ ඇගයෙන තරමට තමයි ඒ නිර්මාණකරුවෝ දිරිමත් වෙන්නේ. තව තව නිර්මාණකරණයට පිවිසෙන්නේ. මෙවන් උළෙලවල් අපි අගය කරන්නේ ඒකයි.

මෙහිදී ඔබගේ නිර්මාණ දෙකක්‌ම සම්මානයට පාත්‍ර වුණා.

ඔව්..... මම නිර්මාණය කරපු ගොවි ගීතය මෙහිදී වසරේ හොඳම ශ්‍රව්‍ය දෘෂ්‍ය ගීතය ලෙස සම්මාන ලැබුවා. එය තමයි මම ලද සම්මානය. අනිත් එක අද මේ මුළු රටම මගේ අදහසක්‌ මගේ නිර්මාණයක්‌ මගේ යෝජනාවක්‌ කියා දන්න "ශූර ගොවියා" වැඩසටහන මේ උළෙලේදී හොඳම සඟරාමය වැඩසටහන ලෙස සම්මානයට පාත්‍ර වුණා. හැබැයි එහිදී සම්මානය ලැබුණෙ මට නොවෙයි. අප විසින් සංකල්පයක්‌ විදියට ශූර ගොවියා වැඩසටහන නිර්මාණය කරල නිෂ්පාදනය කරල ලොකු නිෂ්පාදන වියදමක්‌ දරල ඉවර වෙලා, ඒ වැඩසටහන රටට පෙන්නන්න අප විසින් තෝරගත්තා රුපවාහිනී නාලිකාවක්‌. මේ වැඩසටහන සඳහා ඉන් පැමිණි අධ්‍යක්‍ෂවරයාටයි සම්මානය ලැබුණේ.

මෙය උළෙලේ සංවිධායකවරුන්ගේ වරදකින් සිදුවූවක්‌ කියාද ඔබ කියන්නේ.

අනේ නැහැ..... මෙම සම්මාන උළෙලේ සංවිධායකයන් මෙය සංවිධානය කළේ සද්භාවයෙන් බව අපි දන්නවා. ඔවුන් දැනගෙන හිටියා මෙය මගේ වැඩසටහනක්‌ බව. මගේ නිර්මාණයක්‌ බව. අන්තිමේදී ශූර ගොවියා අවසාන වටයට නාමික වුණාට පස්‌සේ තමයි ඔවුනුත් දැන ගත්තේ මෙය ඉදිරිපත් වෙලා තියෙන්නේ මා නමින් නොවන වග. ඔවුන් ඒ බව මට දැන්නුවා. මම එවෙලේ අදාළ රූපවාහිනී ආයතනයට කතා කරල මේ නම වෙනස්‌ කරන්න ඇහුවා. මම අසාධාරණ යෝaජනාවක්‌ කළේ නැහැ. මම කිව්වේ නිර්මාණ අධ්‍යක්‍ෂක වෙනුවට දෙදෙනාගේම නම් යොදමූ කියලයි. ඒත් අදාළ ආයතනය කිව්වේ ආයතනයේ නොවන කෙනකුගේ නමක්‌ අධ්‍යක්‍ෂණය සඳහා යොදන්න බැහැ කියලා.

ඇයි මුලදී නම යෙදුවේ නැත්තේ.

ඇත්තටම අපි ඒ ගැන හිතුවේ නැහැ. අපි අදාළ රූපවාහිනියට අපේ වැඩසටහන දුන්නේ අපි මුදල් ගෙවල ප්‍රචාරය කරන්න විතරයි. නමුත් එහි රූපවාහිනී විකාශයට වෙනම අධ්‍යක්‍ෂවරයෙක්‌ ඉන්න බව අපි දන්නවා. අපි වැඩසටහනක නිර්මාණාත්මක අයිතිය අපිට හිමිය කියල ගිවිසුම් අත්සන් කරල නොවෙයිනේ රූපවාහිනියකට විකාශය සඳහා දෙන්නේ.......

නම කාගේ තිබුණත් ඔබ නිර්මාණය කරපු, ඔබ හදා වඩා වැඩි දියුණු කරපු නිර්මාණයකට සම්මාන ලැබුණාම ඒ සතුට මදිද..........

ඔබ නිවැරැදියි..... පුද්ගලිකව මට නම් ඒ සතුටම ප්‍රමාණවත්. මොකද මේ නිර්මාණය සමග තරග කරපු අනෙක්‌ සඟරාමය වැඩසටහන් වූයේ දොරමඩලාව වගේ ජනප්‍රිය වැඩසටහන්. ඒවා අභිබවා ශූර ගොවියා ඉදිරියට ඒමම මගේ සතුටට ප්‍රමාණවත්. නමුත් මම කියන පුද්ගලයා පිටුපස තව විශාල බලවේගයක්‌ තියෙනවා. ඒ තමයි සී. අයි. සී. කෘෂි ව්‍යාපාර සමාගම යටතේ ස්‌ථාපිත වුණ "මනුස්‌සකම" කියන සමාජ සත්කාරක ව්‍යාපෘතිය. ශූර ගොවියා මගේ චිත්ත සන්තානයේ ලියෑවුණත් එහි හැඩය, ස්‌වභාවය, වර්ණය, ගුණ සුවඳ මගේ නිර්මාණ කෞශල්‍යයෙන් හා මෙහෙයවීමෙන් නිර්මිත වුණත් ශූර ගොවියා කියන වැඩසටහන නිෂ්පාදනය වෙන්නේ මනුස්‌සකම ව්‍යාපෘතියේ මුදල් ප්‍රතිපාදන යටතේ. මනුස්‌සකම තමයි ශූර ගොවියාගේ පියා. ඒක නිසා මගේ ලොකු වගකීමක්‌ තියෙනවා. පිටස්‌තර ලෝකයෙන් සමාජයෙන් ශූර ගොවියාට හිමිවුණ තක්‌සේරුව හා වටිනාකම මෙන්ම ඇගයුම "මනුස්‌සකම" වෙත ලබා දෙන්න. මට කනගාටු එය මට ඉටු කිරීමට බැරිවීම ගැනයි.

සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.