රැකියාව ජීවිතය ගිල ගැනීම

මිනිසුන් තමන් කරන රැකියාවත් එක්‌ක බැඳිලා ඉන්න බැඳීම මවිත කරවන සුළුයි. රස්‌සාවට යන්නෙ නොගිහින් බැරි නිසාය කියල අනිත් අයට පෙන්නුවාට ඒකෙ ඒ හැටි ඇත්තක්‌ නැහැ.

රස්‌සාව නිසා ඔවුන් විඳින්නෙ කිව නොහැකි තරමේ ආත්ම තෘප්තියක්‌. ඒත් රැකියාවක්‌ ජීවිතයත් එකට යන එකක්‌ වගේ පෙනුනට ඒක එකක්‌ නෙවි දෙකක්‌.

කෙනෙකුට මේ මිථ්‍යාව දරා ගන්න බැරි වෙන්නෙ මොනයම් හෝ කාරණාවක්‌ හින්ද රැකියාව නැති වුණාම. එහෙම නැත්නම් විශ්‍රාම ගිහින් රැකියාව නැති වුණාමයි. මේ තත්ත්වය කොයි තරම් බලසම්පන්නද කිව්වොත් රැකියාව විසින් මිනිසාගේ ජීවිතය ගිල ගන්නා බව ඒ තැනැත්තාට දැනෙන්නෙ නැහැ.

එහෙම වුණාම කෙනෙකුට රැකියාවෙන් ජීවිතය වෙන්කරලා තේරුම් ගන්න බැරිවෙලා යනව.

රාජනායකට වුණෙත් එහෙම දෙයක්‌. රාජනායකගේ කතාව නිසා කට කොණකට සිනාවක්‌ නැඟුණත් එහි ඇතුළතින් දිස්‌වෙන්නෙ අඬා වැටෙන හදවතක සංවේදී බවක්‌.

රාජනායක හැමදාම වේලාසනින්ම රැකියාවට යන තම වැඩ කොටස අපූරුවට ඉටුකරන කෙනෙකු හැටියට නමක්‌ තියා ගත්තු කෙනෙක්‌. එයා වැඩ කළේ මාළිගාවත්ත ආණ්‌ඩුවෙ කන්තෝරුවක.

හැමදාම උදේට දෙහිවල ඉඳලා දුම්රියෙන් එන රාජනායක මරදාන දුම්රිය පළෙන් බැහැලා පංචිකාවත්ත පාර දිගේ පයින් ඇවිදගෙන යන්න පුරුදුවෙලා හිටියා. පාර දෙපස තොරතුරු දෙස බලමින් යන රාජනායක සමහර වෙලාවට මාකට්‌ හන්දිය ළඟ නතර වෙලා බුලත් විටක්‌ ගන්නව. ඔහු ගෙදර ඉඳලා දෙහිවල දුම්රිය පළ ළඟට එන්නෙ උදේ රැයින්.

"මම යනවා ලක්‍ෂ්මී" ගේට්‌ටුව ළඟට ගිහින් නවතින රාජනායක පුරුද්දට වගේ එහෙම කියනවා.

"ළමයි ටික බලා ගන්න ලක්‍ෂ්මී"

"හොඳයි" ලක්‍ෂ්මී හිනාවෙමින් කියනවා. රාජනායකගෙ ගේ තිබුණේ මුහුදට කිට්‌ටුවට වෙන්න. ඉස්‌තෝප්පුවට ආවහම මුහුද අපූරුවට පේනවා.

"හලෝ රාජා අද රාජගෙ මුහුණ පින් පාටයි. දුම්රියට නැඟලා එයාට වෙන්කරගෙන තිබුණ අසුන වාඩි වුණාම රාජනායකගෙ මිත්‍රයො කියනව.

"ඇයි මොකද මගේ මුහුණේ වෙනසක්‌ හෙම පේනවද?"

"නෑ අද ටිකක්‌ සන්තෝෂෙන් ඉන්න නිසා එහෙම කීවේ."

පළමු පන්තියේ ලිපිකරුවෙකු වූ රාජනායකට විධායක ශේ්‍රණියට ඇතුළත් වීමට තිබුණේ ඉතා සුළු කාලයක්‌. ඒත් හදිසියේම වාගේ හිටපු ඕ. ඒ. මහත්තය මාරුවී ගිය නිසා නිකම්ම වාගේ රාජනායකට එතනට යන්නට පුළුවන් වුණා.

රාජනායක ඕ ඒ පුටුවෙ වාඩිවෙලා වැඩ කළේ සන්තෝෂෙන්. ඒත් ඒ සතුට පිටට නොපෙන්වන්න ඔහු පරෙස්‌සම් වුණා.

"මිස්‌ට රාජනායකෘ වැඩි කරුණාව පෙන්වන්න යන්න එපා"ෘ එතකොට රාජකාරිය හරියට කරන්න බැරිවෙනවා." පරිපාලන නිලධාරී අබේසිංහ මහතා රාජකාරි භාර ගත්ත පළමුවැනි දවසෙ රාජනායකට කිව්වා.

"හොඳමයි සර් මම දන්නවා" රාජනායක ඇදලා පැදලා කිව්වා.

දෙවෙනි මොහොතෙ කවුරු හරි කාර්යාලයේ වැඩ කරන මිසී කෙනෙක්‌ එයාගේ දුක්‌ ගැනවිල්ලක්‌ ගැන කිව්වොත් රාජනායකට ඔය සේරම අමතක වෙනවා. කන්තෝරුවෙ කවුරුත් වාගේ ඒ බව දැනගෙන හිටියා.

දවසක්‌ කන්තෝරුවෙ ඉඳලා ගෙදර ආපු රාජනායකගෙ හැසිරීමෙ ටිකක්‌ අමුතු බවක්‌ ලක්‍ෂ්මීට තේරුණා. අවුරුදු ගණනක්‌ එකට හිටපු ලක්‍ෂ්මීට රාජනායක ඇඟිල්ලක්‌ හෙලෙව්වොත් ඒ ඇයි කියල කියන්න පුළුවන් දැනුමක්‌ තිබුණා.

"මොකද රාජ අද ඔෆීස්‌ එකේ මොකුත් කරදරයක්‌ද?"

"නෑ ලක්‍ෂ්මී මොකුත් නෑ"

එදා සවස රාජනායක මුහුදු වෙරළට ගිහින් බොහෝ වේලාවක්‌ මුහුදු වෙරළේ ගත කළා. ඉර බැහැලා මුහුදු පතුලෙ ගිලිල යන කම් ඔහු එතැනින් නැගිට්‌ටේ නෑ.

තාත්තේ ඇයි මේ? රෑ වෙන කම් මෙතනට වෙලා තාත්තට මොකුත් කරදරයක්‌ද?"

පියා සොයා ආ දේවී ඇසුවා. දේවී කුමාරි කොළඹ විශ්වවිද්‍යාලයේ අවසන් වසර ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්‌. ඕ පියාට දැක්‌වූයේ නොමඳ සෙනෙහසක්‌.

"නෑ දුව මොකුත් නෑ. මං මේ නිකම් කාන්සියට වෙරළට වෙලා බලා හිටියා. කොච්චර හිටියත් එපා වෙන්නෙ නැති තැනක්‌ නෙ මුහුදු වෙරළ කියන්නෙ. සූර්යයා මුළු දවසෙම ලෝකෙට වැඩ කරලා වැඩ කරලා බැහැලා යන කොට හරිම දුකක්‌ ඇති වෙන්නෙ යි රාජනායක කීවේ වෑයමින් මුහුණට සිනාවක්‌ නඟාගෙන.

තවත් මාස කීපයක්‌ ගෙවී ගියා. පුරුදු විදියට රාජනායක වැඩට ගියා. වෙනද වගේම ලක්‍ෂ්මී එයාගේ බත්මුල බැඳලා දුන්නා. වෙනද වගේම රාජනායක ගේට්‌ටුව ළඟට ගිහින් හැරිල බලල මෙහෙම කියනවා.

"මම යනව ලක්‍ෂ්මී ළමයි ටික බලා ගන්න"

හැබැයි පොඩි වෙනසකුත් තිබුණා. වෙනද උදෙන්ම යන රාජනායක දවල් වෙලා යන්න පටන් ගත්තා. ඒ ගැන ඇහුවම කීවේ අද වැඩ ටිකක්‌ අඩුයි. ටිකක්‌ පරක්‌කු වෙලා ගියාට කමක්‌ නෑ කියලයි.

ඒක ඇත්ත වෙන්න ඇති කියලා ලක්‍ෂ්මී සිතුවත් ඇයට හිතේ සැකයකුත් ඇති වුණා. ඒත් ඒවා හාරා අවුස්‌සන එක ලක්‍ෂ්මීගෙ පුරුද්දක්‌ නෙවේ.

දවසක්‌දා දවල් දහයට විතර ගෙදර ඉස්‌තෝප්පුවේ කවුද ඉන්නව වගේ ලක්‍ෂ්මී අහම්බෙන් වගෙ දැක්‌කෙ. කාකි දිග කලිසමක්‌ ඇඳලා කමීසෙ උඩින් දාපු තරුණ හාදයෙක්‌ එතැන හිටියා.

"ඇයි කාව හම්බ වෙන්නද?"

"මාළිගාවත්තෙ කන්තෝරුවෙ වැඩකරන රාජනායක ඕ. ඒ මහත්තයගෙ ගේ මේකද?"

"ඔව් ඇයි?"

"මම ආවේ ඒ ඔෆීස්‌ එකේ ඉඳලා. කලබල වෙන්න එපා. මහත්තයට ටිකක්‌ අසනීප වෙලා. ඉස්‌පිරිතාලෙට එක්‌ක ගියා. වැඩි අමාරුවක්‌ නැහැ. නෝනාට කිව්ව ඉස්‌පිරිතාලෙට එන්න කියල.

"අනේ"

ලක්‍ෂ්මී රෝහලට ගියා නෙවේ දිව්වා.

"බය වෙන්න එපා ලක්‍ෂ්මී මට ටිකක්‌ කලන්තයක්‌ වගේ හැදුණා. දැන් සනීපයි. ඇඳ ළඟට ගිය ලක්‍ෂ්මීගේ අත අල්ලා ගත් රාජනායක කීවේ සිනාවක්‌ මුවට නංවා ගැනීමට වෑයම් කරමින්.

"මේ මිස්‌ට රාජනායකගෙ නෝන වෙන්න ඇති" ආපසු යන ගමනේ ඇය වෙත ආ අබේසිංහ ඇසුවා.

"ආ ඔව්."

"මට කියන්න කාරණාවක්‌ තියෙනවා. මම ඒ කන්තෝරුවෙ සෙකට්‌ටි්‍ර. මහත්තය දිගටම කන්තෝරුවට එන එක ගැන අපි බොහොම සතුටුයි. ඒත් දැන් පැන්ෂන් අරන් මාස ගණනක්‌ වෙලත් ඇවිත් නිකං ඉන්නෙ නෑ. මොනව හරි වැඩකට අපිට උදව් වෙනවා.

රජානායක මහත්තයා බොහොම උතුම් කෙනෙක්‌

"මොනවා...ෘ" මහත්තයා පැන්සන් ගිහින්ෘ

ලක්‍ෂ්මීගේ ඇස්‌ උඩ ගියා.

"ඇයි.... මම හිතුවා මිසිස්‌ රාජනායක දන්නවා ඇති කියල.... දැන් පැන්ෂන් ගිහිල්ලා මාස 6 ක්‌ වෙනවා."

"දෙයියනේ...!"

ඕ එහෙමම මෙහොතකට නැවතුනා

ලීලානන්ද වික්‍රමසිංහ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.