පොලිසියෙන් ඇසුණු කතා

දේශපාලනේට ඔක්‌කොම යටයි

ගමේ බොහෝ දෙනකුට විවිධාකාරයේ නිර්ණාමික ලියුම් තැපැල් මගින් ආවේය. විශේෂයෙන්ම ගමේ වෙසෙන අවිවාහක තරුණියන්ට, ඉහළ පංතිවල අධ්‍යාපන ලබන රූමත් සිසුවියන්ට එවන් ලියුම් නිරතුරුව ලැබෙන්නට විය. ඒවායේ තිබුණේ අමු තිත්ත කුණුහරුපය. විකෘති ආශාවකින් පෙළෙන්නකුගේ තුච්ඡ වැඩකැයි තීරණය කළ ඔවුහු නිහඬ වූහ.

"ඔය වැඩේ කරන්නෙ අහවලා අහවලා එකතුවෙලා ගමේ ස්‌කෝලෙදි රෑට තමයි ඕවා ලියන්නේ. අහවල් පංතියෙ ඉස්‌සරහ පේළියෙ ඩෙස්‌ උඩ ඉටිපන්දම් කිරි ගොඩ තමයි හොඳම සාක්‍ෂිය.

"ගමේ ප්‍රභූවරයකුට නිර්ණාමික ලිපියක්‌ ලැබිණි.

හේ එම ලිපියද රැගෙන මින් පෙර අපහාසාත්මක නිර්ණාමික ලිපි ලැබී තිබූ තරුණියන් සිසුවියන් හමුවීමට ඔවුන්ගේ නිවෙස්‌වලට ගියේය. ඔවුන්ගේ දෙමාපියන් හා කතා බස්‌ කර එම ලිපි ඉල්ලාගෙන පරීක්‍ෂා කළ ප්‍රභූවරයාට පසක්‌ වූයේ එම සියලුම ලිපි එකම පුද්ගලයකුගේ අකුරු බවයි.

"එතකොට ඔය මහත්තයට ආපු ඔය ලියුමෙ තේරුම මොකක්‌ද? ඒකෙ තියෙන්නෙත්a මේ අකුරුම නේ" ඔවුහු විමසූහ.

"තමන් බේරිලා අනුන් අල්ලන්න කරපු උපක්‍රමයක්‌ ඒක. එයා හිතන්නෙ නැතුව ඇති මේ ලියුම් ඔක්‌කොම එකට තියල බලාවි කියල" ප්‍රභූවරයා ඔවුන්ගේ සැකය දුරු කළේ එසේය.

ප්‍රභූවරයාත් එවන් නිර්ණාමික ලිපි ලත් තරුණියන්ගේ වැඩිහිටි ඥතීන් කිහිපදෙනකුත්a එක්‌වී එම ලිපියේ නම් සඳහන් පුද්ගලයන් දෙදෙනා මුණගැසුනහ. ඔවුනට යට කී ප්‍රභූවරයාට එවා තිබූ අවසන් නිර්ණාමික ලිපිය පෙන්වූහ.

"ඕවා ලිව්වේ අපි නෙවෙයි. ඕනනම් අපේ අත් අකුරු පෙන්වන්නම්. ඕවා ඔක්‌කොම ලිව්වෙ අහවලා. අපි කියපු වගක්‌ කියන්න එපා. අපි හොඳටම දන්න නිසයි මේ කියන්නේ." කලක්‌ යුද හමුදාවේ සේවය කර උතුරු පළාතේදී යුද්ධයකට මැදිව තුවාල ලැබ හමුදා සේවයෙන් පැනවිත් සිටින රැකියා විරහිත ගැමි තරුණයකුගේ නම සඳහන් කරමින් ඔවුහු කීහ.

"මොකක්‌ද එයා මේ වගේ ලියුම් ලියල බලාපොරොත්තු වෙන්නෙ?" ඔවුහු ඇසූහ.

"උගේ තියෙන කාඩ කමටනේ ලියන්නේ. ඌ කරන තවත් ඔය වගේ වැඩ එමටයි." චූදිත තරුණයෝ කීහ.

එසේම එම තරුණයන් දෙදෙනා සිය කැමැත්තෙන් තම අත් අකුරු ඔවුනට පෙන්වූහ. තමනට ලැබී ඇති ලියුම්වල ඇති අත් අකුරුත් ඔවුන් එවෙලේ ලියා දුන් අත්අකුරුත් අතර කිසිම සම්බන්ධතාවක්‌ නැති බව ඔවුනට පසක්‌ වූයෙන් ඔවුන් දෙදෙනා පිළිබඳ තිබූ සැකය දුරු විය.

දැන් ඔවුහු නියම සැකකරු හඳුනාගෙන හමාරය. එම ප්‍රභූවරයා ඔහු හමුවී ඔහුට එම චෝදනාව කළේය. හේ එය තරයේම ප්‍රතික්‍ෂේප කළ නමුදු නිදොස්‌ වීම සඳහා තම අත් අකුරු ලබාදෙන ලෙස කළ ඉල්ලීමට එකහෙළාම විරෝධය පළ කළේය.

තමා නොවෙයි නම් ඒ ජරා ලියුම් එව්වේ ඇයි තමාට අත්අකුරු දෙන්න බැරි?" ප්‍රභූවරයා ප්‍රශ්න කළේය.

"මගේ අත්අකුරු පරීක්‍ෂා කරන්න ඔයාලට මොකක්‌ද තියෙන බලය? හේ ප්‍රශ්න කළේය.

"බලයක්‌ නම් නෑ. ඒක ඇත්ත හොඳයි අපි බලාගන්නම්කෝ." කී ඔවුහු පොලිසියට ගොස්‌ ඒ ගැන පැමිණිලි කළහ.

දින කිහිපයකට පසු ගමට ආ පොලිස්‌ නිලධාරියෙක්‌ එම දෙපාර්ශ්වයට ඊළඟ ඉරිදා පෙරවරුවේ පොලිසියට පැමිණෙන ලෙස දැන්වීය.

පැමිණිලි පාර්ශ්වය දින කිහිපයක්‌ ම පොලිසියට ගොස්‌ උදේ පටන් මධ්‍යහ්නය පසුවෙනතුරුම රස්‌තියාදු වී ආපසු පැමිණියහ. සැකකරු පොලිසිය පළාතකට නාවේය.

ඊළඟ ඉරිදා උදේ අර ප්‍රභූවරයා ගමනක්‌ යමින් සිටියදී හීන්සීරුවේ ඔහු පසුපසින් ආ චූදිත තරුණයා ඔහුට යකඩ පොලු පහරක්‌ ගැසීය. ක්‍ෂණයකින් ක්‍රියාත්මක වූ හෙතෙම ඔහුගේ යකඩ පොල්ල උදුරාගෙන ඔහුට පහරදෙන්නට සැරසෙද්දී හේ පලා ගියේය.

ප්‍රභූවරයා තවත් පැමිණිල්ලක්‌ කළේය. චූදිත කළේ ප්‍රදේශයේ එක්‌තරා දේශපාලනඥයකු සමග පොලිසියට ගොස්‌ කට උත්තරයක්‌ දී ගමට විත් පුළුවන්කාරකම් කීමය.

"මෙච්චර ජරා වැඩක්‌ කරලා අහිංසක කෙල්ලන්ට තිත්ත කුණුහරුප ලියලා එවලා ඒක අතටම අහුවෙලත් ඔන්න පොලිසිය රාජකාරි කළ හැටි. දේශපාලනඥයා කියන ජාතිය ඉන්නෙම ජඩ වැඩ කරන උන්ගෙ පැත්තටයි" ගම්මු කතා කළහ.

බෝඩිමකින් ඇසුණු කතා

මනමාල අංකල්ට කෙල්ලන්ගෙන් කදිම සංග්‍රහයක්‌

එය නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි කාන්තා නේවාසිකාගාරයකි. එය පවත්වාගෙන ගියේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ යුවළක්‌ විසිනි. ඇන්ටි බෝඩිමේ නිසි බලධාරිනිය වූ අතර අංකල් සැපයුම් නිලධාරියා විය. කඩේ හා පොළේ ගොස්‌ බෝඩිමට අවශ්‍ය හැම දේ ගෙන ඒම අංකල්ගේ රාජකාරිය විය. ඊට අමතරව බෝඩිමේ ආරක්‍ෂක නිලධාරියා වූයේද ඔහුය.

නේවාසික යුවතියෝ තම කාමරවල දොරවල් වසාගෙන ඇඳුම් මාරු කරන විට අංකල් යතුරු සිදුරට ඇස තබා බලන බවට රාවයක්‌ බෝඩිම පුරා යුවතියන් අතර පැතිර ගියෙන් ඔවුහු ඒ ගැන සෝදිසියෙන් පසු වූහ.

"අනේ ඒ වයසක මනුස්‌සයා ටිකක්‌ බැලුවා කියල උඹලගෙ ඕවා හම යනවයෑ. ඔන්න ඔහේ බලන්න ඇරපල්ලා" එක්‌ යුවතියක්‌ කීවාය.

"නෑ නෑ නාකියාට හොඳ පාඩමක්‌ උගන්වන්න ඕන." බෝඩිමේ සිටි දඩබ්බරම යුවතිය කීවාය.

ඇය තම කාමරයේ සිටින මිතුරියන් දෙදෙනා සමග කතිකා කළාය. නිගමනයකට පැමිණියහ. ඒ අනුව පසුදින සවස තම සේවා ස්‌ථානවලින් පැයක කෙටි නිවාඩුවක්‌ ලබාගත් ඔවුන් තිදෙනා නේවාසිකාගාරයට පැමිණියහ.

ඔවුන් ගෙට ගොඩ වෙද්දී අංකල් ආලින්දයේ පුවත්පත් කියවමින් සිටිනු දක්‌නා ලදී.

"හලෝ අංකල්" යුවතියක්‌ කීවාය.

"හා දූලා අද වේලාසනින් ඇවිල්ලා..." හේ සිනාසෙමින් කීවේය.

"ඔව් අංකල් රස්‌සාවක්‌ කියල ඔය තරම්ම නහින්න පුළුවන්යෑ" කියමින් ඔවුහු තම කාමරයට ගියහ.

කාමරයට වැදුණු තිදෙනා එහි දොර වසා තම ඇඳුම් ගැලවූහ. යට ඇඳුම් පිටින් සතුටු සාමීචියක යෙදුනහ. ගත වූයේ මොහොතකි. අංකල් දොර අසලට එන බව ඔවුනට වැටහිණි. දොරට යටින් ඇති හිඩැස තුළින් කාමරයට සෙවනැල්ලක සේයාවක්‌ වැටුණු අයුරු ඉතාමත්ම සුපරික්‍ෂාකාරීව සිටි ඔවුනට පෙනිණි.

එකියක්‌ දොරට කෙලින්ම මුහුණලා සිට ගත්තාය. දැන් තිදෙනා කිසිවක්‌ නොදන්නා අයුරින් කතාවේ යෙදී සිටිති.

විනාඩි පහක දහයක කාලයක්‌ ගෙවී ගියේය. "දැන් ඔය මදැයි නේද?" කියමින් නැඟී සිටි එක්‌ යුවතියක්‌ එක්‌වරම දොර ඇරියාය.

දොරේ යතුරු සිදුර තුළින් තම අඩ නිරුවත නරඹමින් තවත් "වැරැදි වැඩක නිරතව සිටි අංකල් ඔවුනට හසු විය. වහා ක්‍රියාත්මක වූ ඔවුහු ඔහු අල්ලා කාමරයට ඇද ගත්හ. අංකල් ඔවුන්ගෙන් බේරී එළියට පැන ගැනීමට බලවත් ප්‍රයත්නයක්‌ දැරීය. ඒ අතරතුර ඔවුහු මහ හඬින් කෑ ගැසූහ.

"ඇන්ටී....... ඇන්ටී... අනේ හනික එන්න ඇන්ටී, මේ අංකල් අපට කරදර කරනවා. දුවලා එන්න ඇන්ටි."

ඇන්ටි වහා එතැනට දිව ආවාය. යට ඇඳුම් පිටින් සිටි යුවතියන් හා ඔවුන්ගේ කාමරය තුළ ඔවුන් හා පොර බදමින් සිටි තම සැමියා දුටු ඇගේ කෝපය ඉහ වහා ගියේය. ඉදිරියට පැන තම සැමියාට පහර දෙක තුනක්‌ ගැසූ ඕ ඔහුගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇදගෙන ගියාය.

"අනේ දුවේ, මේ වගක්‌ අනික්‌ අයට කියන්න එපා. ආයෙමත් ඒ වගේ දෙයක්‌ සිද්ධ වෙන්නේ නැති බවට මම සහතික වෙනවා." යළි යුවතියන් වෙත පැමිණි ඇය බැගෑපත් වූවාය.

එහෙත් එදින රැයේ මුළු බෝඩිම පුරා සිද්ධිය ආරංචි විය. "පව් බං අහිංසකයා. හොඳ වැඩේ නාකියාට," මේ ඔවුන් අංකල්ට පක්‍ෂව හා විපක්‍ෂව දැක්‌වූ අදහස්‌ය.

එමයුවතියන් තිදෙනා පසු දින උදේ වැඩට යමින් සිටියා. කඩේ ගොස්‌ පත්තර රැගෙන එන අංකල් ඔවුනට මගදී හමුවිය. හේ ඈත තියාම බිම බලාගෙන පත්තරයක්‌ කියවමින් ආවේ ඔවුන් නොදුටුවාක්‌ මෙනි.

"අංකල් ... තරහද? අපි නම් තරහ නෑ. අදත් බලන්න." ඔහු තමන් අසලට එද්දී එක්‌ යුවතියක්‌ පහත් හඬින් කීවාය. එය නොඇසුනාක්‌ මෙන් අංකල් යන්නට ගියේය.

කේ. ඩබ්ලිව්. ගුණවර්ධන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.