කුලී කුරක්‌කමට ගොස්‌ ඉං ගං හෙවීම
හෙවත් සරසවි සිසු සටන්


පසුගිය දිනෙක රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිට පොල්ලෙන් පිළිතුරු දී තිබේ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අතින් එවැනි සාහසික ක්‍රියාවක්‌ සිදුවූ ප්‍රථම අවස්‌ථාව හැටියට මේ අපචාරය ඉතිහාසයට එක්‌වෙයි. රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහසක්‌ දෙනා පාලනයට එරෙහිව මිනී පෙට්‌ටි කර තියාගෙන අනුරාධපුර නගරයේ වීදි පුරා සංචාරය කළහ. මේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලයට ගියේ ඉගෙන ගන්නද? නැතහොත් ගුරුවරුන්ට අභියෝග කරමින් විප්ලව කරන්නද? යන ප්‍රශ්නය නිතැතින්ම පැන නගී. මෙය හරියටම අපේ රජරට භාෂාවෙන් කියනවා නම් කුලී කුරක්‌කමට ගොස්‌ ඉංගං සෙවීමකි.

මේ රටේ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමේ භාග්‍ය ලැබෙන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට සුදුසුකම් ලබන පිරිසෙන් 20% ක්‌වැනි සුළු පිරිසකටයි. 80% ක්‌ පමණ දෙනාට විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට අවස්‌ථා නොලැබ අධ්‍යාපනයෙන් හැලී යති. නැතහොත් රුපියල් දහස්‌ ගණනින් පෞද්ගලික පන්තිවලට ගෙවා බාහිරව උපාධියට සූදානම් වෙති. මේ අනුව තවත් බොහෝ දෙනෙකුට නොලැබුණ භාග්‍යවත් අවස්‌ථාවක්‌ තමන් බුක්‌ති විඳින බව විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව අමතක නොකළ යුතුය.

මෙසේ විශ්වවිද්‍යාල ගතවන්නට පවා ඔවුන් මොනතරම් දුක්‌ කන්දරාවක්‌ විඳින ලද්දේ ද? පාසල් අධ්‍යාපනයේදී උපකාරක පංතිත් අධ්‍යාපනයේදී මොනතරම් වෙහෙසක්‌ විඳින ලද්දේද? මවුපියන්ගේ දහඩිය හා කඳුළු මුසුවූ මුදල් මොනතරම් ප්‍රමාණයක්‌ සිය දරුවා විශ්වවිද්‍යාල ගතවීමට වියදම් කරන ලද්දේද? මේ සියලු දුක්‌ වේදනා - පීඩා - නැතිබැරිකම් යන සියල්ල වෙනුවෙන් දිනාගෙන ඇති එකම ප්‍රතිඵලය විශ්වවිද්‍යාල ගතවීමය. බොහෝ දෙනෙකුට ලබාගත නොහැකිවූ ඒ වරප්‍රසාදය තමන් වෙත ලැබුණ විට මොනතරම් ආදරයකින් ගෞරවයකින් එය ආරක්‌ෂා කරගත යුතුද?

කලක සිට අපේ රටේ විශ්වවිද්‍යාලවල මූලික ලක්‌ෂණයක්‌ වශයෙන් පවතිමින් අදවනවිට එහි උච්ච අවස්‌ථාවට හෙවත් පොලු හරඹය දක්‌වා වර්ධනය වී ඇති මෙම කලහකාරී විප්ලවකාරී - විනය විරෝධී - ගති පැවතුම් නිසා වැදගත් මවුපියෝ සිය දරුවන් විශ්වවිද්‍යාලවලට එවීමට බියෙන් සිටිති. ඇතැම් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ප්‍රජාව ගේ චර්යා රටාවන් නිසා ඒවා අශ්වවිද්‍යාල බවට පරිවර්තනය වෙමින් ඇත. ගුණ දහමත්, බණ දහමත් නැතිව වරදට දඬුවමක්‌ නැතිව - හිතුවක්‌කාරයන් ලෙස ගෙදරදී ද පාසලේදී ද ඇතිදැඩිවන ළමා පිරිස - අතපය හැදී වැඩී ඇඟේ හයිය හිතට ගත්විට ඔවුන් හැසිරෙන්නේ කර නැගුණු ගොන් නාම්බන් මෙනි. විනයෙන් හික්‌මීමෙන් - සදාචාරයෙන් තොරව - හැදී වැඩී ඇති තරුණ පිරිසට විශ්වවිද්‍යාලයට ගියවිට රැල්ල හා සාමූහිකත්වය එක්‌වූවිට මෙවැනි කලහකාරී ගති පැවතුම් තවදුරටත් මුවහත් වේ.

අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ යන උද්දච්ච සිතුවිලි ඔලුවට උරාගත්විට මොවුන්ගේ අපචාරී හැසිරීම් රටාව කඩුල්ල පැන සමාජයට දෝරේ ගලා යයි. මෙවැනි පිරිස්‌ විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ උගතුන් වශයෙන් නොව පුස්‌සන් වශයෙනි. විශ්වවිද්‍යාලය හැරදා සමාජයට ගියදා පටන් ඔවුන් සමාජයටද "තුවාලයක්‌" වෙති.

මෙයින් වසර දෙක තුනකට පෙර එක්‌වර උපාධිධාරීන් හතලිස්‌ දහසක්‌ රජයේ සේවයට හෙවත් මහජනයාගෙන් පඩි ලබන සේවයට බඳවා ගනු ලැබීය. මේසා විශාල පිරිසක්‌ රජයේ සේවයට බඳවාගත් ප්‍රථම අවස්‌ථාව ද මෙයයි. මෙපමණ පිරිසක්‌ එකවර රජයේ සේවයට බඳවා ගත්විට රජය තුළ මොනතරම් කාර්යක්‌ෂම හා කාර්යශූර සේවයක්‌ ඇතිවිය යුතුද? අද වනතුරුත් එවැනි ශුභවාදී විප්ලවීය වෙනසක්‌ සිදුවී තිබේද? ඇත්ත වශයෙන්ම නැත. මෑතක සිට විශ්වවිද්‍යාලවලින් පිටවන බහුතරය පුස්‌සක්‌ වී ඇති බවට මෙය හොඳම සාක්‌ෂියකි. රජය මේ තරම් මහජන මුදල් සම්භාරයක්‌ විශ්වවිද්‍යාල සඳහා වැය කරන්නේ රටට මෙබඳු පුස්‌සන් බෝ කිරීමට දැයි ප්‍රශ්නයක්‌ පැන නගී.

උපාධිධාරීන් ලෙස ගුරු සේවයට බැඳෙන අයගෙන් ඉතා ටික දෙනෙකු ගුරු වෘත්තියේ සැබෑ අභිමානය රැකගෙන දරුවන් වෙනුවෙන් කැපවී ඉගැන්වීමේ කටයුතු කරති. ඔවුන්ගේ විනය - හැසිරීම - කථාබහ - ඇඳුම යන මේ සියල්ල දරුවාට ආදර්ශයට ගත හැකි පරිදි සංවර තත්ත්වයක පවතී. නමුත් බහුතරයක්‌ ගුරුවරුන්ගෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට යහ ආදර්ශ ලැබෙන්නේ නැත. යහපත් ඉගැන්වීමක්‌ කෙරෙන්නේ නැත. වැඩි දෙනා මුදල් පසු පස හඹා යන ගුරුවරු වෙති. පාසලේ පන්ති අධ්‍යාපනයට වඩා ඔවුන් උනන්දු වන්නේ උපකාරක පන්තිවල අධ්‍යාපනයටයි. සමහර ගුරුවරුන් පාසලේ පංතියේ ළමුන් උපකාරක පන්තිවලට බෙදා ගන්නට බැරිව රණ්‌ඩු දබර වන අවස්‌ථා තිබේ. සමහර උපාධිලත් හාමුදුරු ගුරුවරු පවා පාසලේ අධ්‍යාපනයට වඩා උපකාරක පංතිවල මුදලට ඉගැන්වීමට යති. ගුරුවරුන් ලෙස පාසල්වලට පත්වී සිටින මේ උපාධිධාරී ගුරුවරුන්ගේ ගුරුකමට නුසුදුසු හැසිරීම් නිසා මුළු රටේම අධ්‍යාපන මට්‌ටම නොසිතූ විරූ අන්දමින් ගිලා බැස තිබේ. අද අපේ රටේ උපාධිධාරියකු හදන්නට රජය හා ජනතාව වැය කරන මුදල් සම්භාරයේ ශුභවාදී අස්‌වැන්න ජනතාවට ලැබෙන්නේ නැත.

ගුරුවරුන් පමණක්‌ නොව වෛද්‍ය වෘත්තියට ගියත් ප්‍රකට වන්නේ වෛද්‍ය වෘත්තිය තුළ පත්වීම් ලබා සිටින උපාධිධාරී වෛද්‍යවරුන් බහුතරය ලෙඩාට වඩා ලෙඩේ තුළින් මුදල් උපයන පිරිසක්‌ බවට පත්වී ඇති බවය. ගුරුවරයා ශිෂ්‍යයාට ඉගැන්වීම තුළින් මුදල් ඉපැයීමට පෙළඹී සිටින ආකාරයෙන්ම බහුතරයක්‌ උපාධිධාරී වෛද්‍යවරුද ලෙඩාට වෙදකම් කිරීම තුළින් මුදල් ඉපැයීමට ඇබ්බැහිවී සිටිති. දොස්‌තර කඩ හරහා රෝගීන් පරීක්‍ෂාdවට එන විශේෂඥ වෛද්‍යවරු සිය දැනුම තුළින් අසමාන ලෙස මුදල් උපයති. ගුරුවරුන්ටද, වෛද්‍යවරුන්ටද මේ දැනුම් සම්භාරය ලබා දුන්නේ මහජනයා විසින් වුවද ඒ කල් ගුණය මේ උපාධිධාරී පිරිස්‌ අතර දකින්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ තරමටම විශ්වවිද්‍යාල තුළ මෙන්ම ඒ අධ්‍යාපන රටාව තුළ ගුණධර්ම පතුලටම පිරිහී ඇත. ගුරුන්ට පොල්ල ඔසවන විශ්වවිද්‍යාල සිසුන් සමාජයට පැමිණිවිට පොලු දෙකක්‌ම දෑතට ගනු නිසැකය.

මේ තත්ත්වය තරුණ පරපුර තුළ පෝෂණය වීමට මුලින්ම වගකිවයුත්තේ මවුපියෝය. ඊළඟට පාසලේ ගුරුවරුය. එසේම මේ රටේ අවිචාරයෙන් නීති පනවන්නන්ද මේ තත්ත්වයට වගකිව යුතුය. දරුවකුට වරදට දඬුවම් කිරීම මවුපිය පදවියේ උරුමයකි. ශිෂ්‍යයකුට වරදට දඬුවම් කිරීම ගුරු පදවියේ උරුමයකි. නමුත් අද දරුවන් හදා ගැනීම සඳහා වරදට දඬුවම් කිරීමට ඇති මවුපිය උරුමය සහ ගුරු උරුමය නීති රීති මගින් තහනම් කර තිබේ. මේ නිසා ගෙදරදී දරුවා හිතුවක්‌කාර ලෙස හැදෙයි. පාසලේදී ද දරුවා හිතුවක්‌කාර ලෙස හැදෙයි. අන්තිමට විශ්වවිද්‍යාලයට ගියවිටද ඔහුගෙන් ගලා යන්නේ විනය විරෝධී හික්‌මීමක්‌ නැති හිතුවක්‌කාර චර්යා රටාවකි. අද විශ්වවිද්‍යාල තුළ හිතුවක්‌කාරී තරුණ පිරිසක්‌ බෝවීමට මේ සමාජ පසුබිම ප්‍රබල ආධාරයක්‌ වී ඇත.

හැඳි නොගා හදන කැඳ නීරස වන්නාක්‌ මෙන්ම නොතලා හදන දරුවා ද සමාජයේ හිතුවක්‌කාර දඩබ්බරයෙකු වන්නේ යයි රජරට අයට කටට හුරුපුරුදු කථාවක්‌ තිබේ. පැරැන්නන් මේවා කියා ඇත්තේ කට කහනවටම නොවේ. අද පවත්නා නීති රීති අනුව දරුවා මොනතරම් බරපතල වරදක්‌ කළත් දරුවාට අත තියන්නට නීතියෙන් ඉඩක්‌ නැත. පාසලේදී දරුවා මොනතරම් වරදක්‌ කළත් ඔහුට දඬුවම් කරන්නට ගුරුවරුන්ට බලයක්‌ නැත. අප ඉගෙන ගත්තේ ගුරුතුමා - කලුලෑල්ල - හුණුකෑල්ල - වේවැල යන අධ්‍යාපනය තුළය. අදත් අප අපේ ගුරුවරුන් දුටුවිට හුනස්‌නෙන් නැඟී සිට ගරු බුහුමන් දක්‌වමු.

අද සිසු පරපුරෙන් සිදුවන්නේ කුමක්‌ද? ගුරුවරයාට එරෙහිව පොල්ල අතට ගැනීමය. එක්‌ දේශපාලන පක්‍ෂයක උසිගැන්වීම් නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දඩබ්බරයන් වී ඇතැයි කියන්නට ඇතැම් අය ඉක්‌මන් වෙති. සමහරුන් පිළිබඳ එහි ඇත්තක්‌ තිබෙන්නට පුලුවන. නමුත් ජීවිත කාලයක්‌ පුරා වෙහෙස මහන්සිවී මවුපියන්ගේ දහඩියෙන් තෙමුණු මුදල් වියදම් කර විශ්වවිද්‍යාලයට පැමිණ නාඩගම් නටන්නට තරම් ඔවුන් මෝඩයෝද?

මෙයින් දශක දෙක තුනකට පෙර බොහෝ විට විශ්වවිද්‍යාලවලට ගියේ රටේ එක්‌තරා අධි පංතියක දුවා දරුවෝය. එකල විශ්වවිද්‍යාලය ඔවුන්ගේ රාජධානියක්‌ වුණි. නමුත් රට පුරාවට විශ්වවිද්‍යාල ඇතිවීමත් සමඟ ගම්බද දුප්පත් පවුල්වල දුවා දරුවෝ වැඩි වැඩියෙන් විශ්වවිද්‍යාලවලට ඇතුළුවූහ. එපමණක්‌ නොව විශ්වවිද්‍යාලීය සමාජයේ වැඩි බලය ගමෙන් ගිය දුප්පතුන්ගේ දරුවන්ට උරුමවන විශ්වවිද්‍යාලීය බලය ගමට යැමත් සමඟ ගමෙන් ගිය දරුවන් විනයත් - සදාචාරයත් නැති දඩබ්බරයන් පිරිසක්‌ යයි හුවා දක්‌වන්නට ඇතැම් අය හිතාමතාම මෙවැනි උගුල් අටවනවා දැයි සිතා බැලීම ද වැදගත් වේ.

මේ නිසා කුලී කුරක්‌කමට ගිය අයගේ වගකීම හා සදාචාරය විය යුත්තේ කුරක්‌කන් ටික කපාදී ගෙදර ඒමය. ඒ වගකීම එසේ තිබියදී විශ්වවිද්‍යාලවල ඉංගම් හෙවත් අරළු බුලු සොයන්නට යැම නිසා අද මේ තත්ත්වය මතුවී තිබේ. ශිෂ්‍යයන් ශිෂ්‍යයෝම විය යුතු මිස පාලකයන්වීමට යා යුතු නැත. තම තමන්ගේ මායිම් හා ඉසව්ව නිවැරදිව තේරුම් ගත්විට විශ්වවිද්‍යාලයේ සිටින්නට පොලු මුගුරු අවශ්‍ය නැත.

එප්පාවල රත්න බී. ඒකනායක

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.