හොල්මන් සමග හැබැහින් : භූතයෙකු සමග රැයක්‌

1977 දී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතෙක්‌ රජ කළ පාර්ශ්වය පරාජයට පත් විය. පරාජයට පත් අයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ රාජ්‍ය සේවකයන් වෙත බලයට පත් කණ්‌ඩායම නිර්මාණය කළ ශාපයේ චණ්‌ඩ මාරුතය හමා එන්නට වූහ. ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙන් හිටි හැටියේ තැන් තැන් වලට මාරු කෙරිණි. පවුල් ජීවිත කඩා වැටුණි. ආර්ථික අගාධයකට ඇද වැටුණි. කායික මෙන්ම මානසික පීඩාවට ද ලක්‌ කෙරිණි.

උපාධිධාරී ගුරුවරයකු වූ පියසෝමටද මෙම ශාපයෙන් ගැලවීමක්‌ නොවීය. අම්පාර ප්‍රදේශයේ කවදාවත් අසා නොමැති පාසලකට ඔහු මාරුකර යවා තිබුණි. බිරිඳ හා මිතුරන් අසවල් බලවතා මගින් සහනයක්‌ ලද හැකි බව කීවද, ඔහු ඊට එකඟ නොවීය.

ජීවිතයේ පළමු වතාවට අම්පාර නගරයට පා තබන විට හිරු අහස මුදුනට නැඟ තිබිණි. දැඩි රශ්මියෙන් ගත දවාලීය. හමන සුළඟ ද ගතට පීඩාවකි. කුස ගිනි දැඩිව දැනෙයි. පළමුව සුදගින්න නිවා ගැනීමට සිතූ හේ අරමුණකින් තොරව වීථියක්‌ දිගේ ගමන් කරන්නට විය. කඩවල දැන්වීම් පුවරු කියවමින් ඉදිරියට ගිය පියසෝම "මාතර හෝටලය" නම් දැන්වීම් පුවරුව අසල නතර විය. කලින් දැන හැදිනුම් කමක්‌ නැතද, "මාතර" යන්නට හේ ආකර්ශනය විය. "ගමේ කම" මතුවී ආ හෙයිනි. කා බී ගතමනාව ගෙවූ පියසෝම, මුදලාලී සමග කතාවට වැටුණි. හෙතෙම මාතර ට නුදුරු උප නගරයක අයෙකු බවද, ඔහු දන්නා පවුලක්‌ තමාගේ ද හිතමිතුරන් බවද, එම කතා බහෙන් හෙළි විය. මුදලාලි තුළ ද ගමේකම මතු වී ආ බැවින්සෙ "පෝ ඒසස්‌" සිගරට්‌ දහයේ පැකට්‌ටුවක්‌ පියසෝමට තිළිණ කළේය.

මුදලාලිගෙන් අසා දැන ගත් පරිදි පාසලට සැතපුම් අටක පමණ දුරක්‌ ඇත. කරත්තයකින් හෝ පාපැදියකින් විනා එහි යැමට වෙනත් වාහනයක්‌ නැත. මුදලාලි විසින් හඳුන්වා දෙන ලද පාපැදි කරුවෙකු මගින් පියසෝම ගමන ඇරඹිය. "ඕක තමයි ඉස්‌කෝලෙ" කියූ පාපැදිකරු පියසෝම බස්‌සවා ආපසු හැරිණි. අඩි විස්‌සක්‌ පමණ දිග ඉලුක්‌ සෙවිලි කළ ගෙයක්‌ ඔහු ඉදිරියේය. මිටි තාප්පයේ තැනින් තැන මැටි ගැල වී වරිච්චි මතු වී පෙනේ. "මේකත් ඉස්‌කෝලයක්‌ ද" යි පියසෝම ට සිතුනි. හේ ඊට ඇතුල් විය. කිසිවෙක්‌ නැත. අසල වූ කුඩා කාමරයක දොර බාගෙට විවෘතය. ඊට සමීප වූ හේ උගුර පාදා "කව්ද ඉන්නෙ" යෑයි විමසීය. මද වේලාවකට පසු කෙසඟ සිරුරැති උඩුකය නිරාවරණය කරගත් තැනැත්තෙක්‌ පැමිණියේය. දෙදෙනාම දෙදෙනාගේ දර්ශනයෙන් විමතියට පත් වූවා සේය.

"මේ ඉස්‌කෝලෙ ප්‍රින්සිපල් මහත්තයා හමු වෙන්නයි ආවේ"

"හාෘ මහත්තයා ඇතුලට එන්න කො."

දෙදෙනාට දෙදෙනා හඳුන්වා ගැනීමෙන් පසු වැඩභාර ගැනීමේ රාජකාරිය ගෙතුළ දීම නිමා කළේය. විදුහල්පතිවරයා ද මේ පරිසරයේම කොටසක්‌ වී ඇතැයි පියසෝමට සිතුනි. එතැන් සිට පියසෝම ටද නේවාසිකාගාරය වූයේ මේ කුඩා කාමරයයි.

බිරිඳ හා දරුවා සිහිපත් වන හැම විටම පියසෝම ගේ හදවත හඬා වැටේ. රැකියාවට ආයුබෝවන් කීමට සිතුනු වාර අනන්තය. අන් ආදායම් මාර්ගයක්‌ නොවීම නිසා අදහස යටපත් කළේය. එබැවින් ඔහු අන් මඟZක්‌ ගැන සිතීය.

බොහෝ දිනක්‌ ගත් වෙහෙස ඵල දරමින් යන්තම් පහසුකම් ඇති නිවසක්‌ සොයා ගැනීමට හැකි විය. එය පාසලට සැතපුමක්‌ පමණ දුරිනි. හිමිකරු සමග ගිය ඔහුට දැක ගැනීමට ලැබුණේ කුඩා නිවසකි. කලකින් කැත්තක්‌, උදැල්ලක්‌ නුදුටු ගෙවත්තෙහි වල් පැලෑටි සිත් සේ නිවස දොරකඩ ද අසුරා ඇත. හිමිකරු දොර විවෘත කළේය. කාමර දෙකක්‌ හා සාලයකින් යුක්‌තය. ඉස්‌තෝප්පුවක්‌ ද වූ අතර ඊට යාබද කාමරයකි. එහි දොර විවෘත කිරීමට යතුර නොමැති බව හිමිකරු කීය.

ගම්වැසියන්ගේ ද සහාය ලැබ ගෙවත්ත හා ගෙය ශුද්ධ පවිත්‍ර කළ පියසෝම ඒ සති අන්තයේ ගමට ගියේය. බිරිඳ හා දරුවා කැඳවා ගෙන පැමිණ එහි පදිංචි විය. සිත ප්‍රබෝධමත් ය. අසල්වාසීන් ද යහපත් වැසියෝ වීම සහනයකි.

විදුහල්පතිවරයාගේ සහෝදරයෙක්‌ හදිසියේ මිය ගියේය. මළ ගෙදර වූයේ උදේ ගොස්‌ සවස පැමිණිය හැකි දුරකින් නොවේ. අසල නිවැසි කාන්තාවක වූ කරලිනා නැන්දා තනියට කැඳවා ගන්නා ලෙස බිරිඳට දැන් වූ පියසෝම පිටත් විය.

වේලාසනින් කා බී පියසෝමගේ බිරිඳ එනම් කුසුමා හා කරලිනා නිදන්නට සැරසුනි. දරුවා හා කුසුමා කාමරයේය. කරලිනා කාමරයේ දොරකඩ පැදුරක්‌ එළා එහි සැතපුනාය. චිමිනි ලාම්පුව එළිය අඩු කර සාලයේ මුල්ලේ තැබීය.

කුසුමාට වැඩි කාලයක්‌ නිදි සුව විඳීමට නොලැබුණි.

"නෝනාෘ නෝනාෘෘ" යෑයි කරලිනා නැඟූ හඬින් කුසුමා පිබිදුනා පමණක්‌ නොව, එකවර නැඟී සිටියාය. සාලයට පිවිසියාය. ලාම්පුවේ එළිය වැඩි කර ඇත. කරලිනාගේ මුහුණ හොඳින් දිස්‌ වේ. බියපත් වූ බවක්‌ එහි රැඳී ඇත.

"ඇයි නැන්දෙ?"

"නෝනාට ඇහුනද?"

"ඇයි? අදත් අලි ආවද?"

"අලි නොවෙයි නෝනා. ඉස්‌සරහ කාමරේ දොර ඇරුනා."

"ආ... ඕක කලිනුත් අපිට ඇහුනා. ඒ ඉස්‌සරහ කාමරේ නොවෙයි, නැන්දලාගෙ ගෙදර නොවෑ."

"පිස්‌සුද නෝනා? අපේ ගෙදර කොයින්ද එහෙම අරින්න දොරක්‌."

කුසුමාගේ සිතට කිසියම් සැකයක්‌ මතුව ආවේය. කල්පනාවේ යෙදුනි.

" අපි හිතුව නෝනල මේවා දැන ගෙන ආව කියලයි. මෙකක්‌ හරි ගුරුකමක්‌ කරලා ඒවා අයින් කරල ඇති කියලයි" යනුවෙන් යළි හඬ අවදි කළ කරලින් දිගු කතාවක්‌ මුදා හළේය.

එම නිවසේ පදිංචිව සිටියේ පේදිරිස්‌ මුදලාලි නම් තැනැත්තෙකි. ඔහු ධාර්මික අයෙක්‌ වූහ. දනට පිනට බොහෝ ලැදිය. එහෙත් දැඩි මසුරෙක්‌ ලෙස ගම්මුන් අතර ප්‍රචලිතය. නිවසේ ඉදිරි කාමරයේ ඔහු විසීය. හදිසියේ මුදලාලි මිsය ගියේය. තෙමසකට පසු දානය දීමෙන් අනතුරුව මුදලාලිගේ දූ දරුවන් නිවස අතහැර අන් නිවසක පදිංචියට ගියේය. ඊට හේතු වූයේ රාත්‍රි කාලයට නැගෙන යම් යම් ශබ්දවලට ඔවුන් බිය වීමයි.

මේ කතාවට සවන් දී සිටි කුසුමාගේ සිත ගත බියෙන් වෙව්ලා ගියේය. ඉකුත් දිනවල සිදු වූ දැ සිතුවම් පටක්‌ සේ දිස්‌ වන්නට විය. ඉදිරිපිට කාමරයේ දොර විවෘත වන හඬ, කව්දෝ ඇවිදින හඬ, වරින් වර නික්‌මෙන පිරිත් දෙසන හඬ යළිත් ඇසෙන්නට මෙන් විය. මෙතෙක්‌ දිනක්‌ ගත කර ඇත්තේ භූත ගුහාවක නොවේදැයි සිත හඬා වැටුණි. දරුපැටියා තුරුල් කරගත් ඇය නිදි වර්ජිතව රැය පහන් කළාය. ස්‌ථිර නිගමනයකට එළඹුනාය.

පසුදා දහවල් සැමියා පැමිණෙන විට ගමන් බෑගය සූදානම්ය. සැමියා සමග ගමට ගිය ඇය යළිත් ඒ පැත්ත පළාතේ නොපැමිණියාය. පසුව ගම්මුන්ට ආරංචි වූයේ පියසෝම ද වෙනත් පාසලකට මාරු වී ගොස්‌ ඇති බවයි.

එස්‌. සෝමසිරි
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.