ඔබේ දරුවත් මාෆියා කල්ලියකද?

අ ධ්‍යාපනය සම්බන්ධව විවිධ අවුල් වියවුල් මතුව ඇති වකවානුවක, ඊටත් වඩා බරපතල කරුණු කාරණා ශිෂ්‍ය ප්‍රජාව සම්බන්ධයෙන් මතුවේ නම් එය වඩ වඩාත් අවධානයට ලක්‌විය යුතු කාරණයකි.

අදින් බොහෝ කලකට පෙරාතුව මෙරට පාසල් පද්ධතිය මගින් "නිර්මාණය" කර රටට දායාද කරන සිසුවා යහපත් පුරවැසියකු බවට තිබූ සමාජ මතය කෙමෙන් බිඳ වැටෙමින් පවතී. එකල "දඩබ්බර" ම සිසුවා වුවද "පංති කට්‌ කිරීම", "පංතියේ චණ්‌ඩියා වීම" වැනි ඉතාම ප්‍රාථමික, ලෙහෙසියෙන් නිවැරැදි කරගත හැකි, ගුරුවරයාට හෝ ගුරුවරියට "පාලනය" කරගත හැකි මට්‌ටමේ විය. එවැනි "දඩබ්බර - නොහික්‌මුණු" ශිෂ්‍යයා පවා පාසලෙන් සමු ගන්නා විට විශිෂ්ටතම ඇගයීමට ලක්‌ වූ ශිෂ්‍යයකු ලෙස සමාජ ගත වීමද සුලභව දක්‌නට ලැබිණි.

එහෙත් වර්තමානය වන විට තත්ත්වය බෙහෙවින් දරුණු අතට හැරෙමින් තිබේ. ශිෂ්‍යයාගේ "දඩබ්බර බව" "නොහික්‌මුණු" බව මේ වන විට රූපාන්තරණය වී ඇත්තේ "දාමරික" ස්‌වරූපයකටය. මේ වචනයම බොහෝ විට ගුරුවරුන්ගේ, මවුපියන්ගේ උදහස අපට එල්ලවීමට තරම් හේතුවනු ඇති බවටද සැකයක්‌ නැත. එහෙත් කරුණු කාරණා සඟවා කතාබහ කිරීම ගුරුවරයාට - මවුපියන්ට පාලනය කරගත හැකි "දඩබ්බර" බව, ඉක්‌මවා යන "විශාල කල්ලි" ස්‌වරූපයකට පෙරැළීමට ඇති ඉඩකඩකි. යථාර්ථය හෙළි නොකිරීම දරුණු තත්ත්වයන් මඟ හරවාලීමට ඇති ඉඩකඩ අවුරාලීමකි.

මෙවැනි දිගු පූර්විකාවකට හේතු වූයේ දිවයිනේ තදාසන්න නාගරික ප්‍රදේශ බොහෝමයක සිසුන්ගේ "නොපනත්කම්" කිහිපයක්‌ පිළිබඳව තොරතුරු වාර්තා වූ බැවිනි. ඒ බොහෝමයක්‌ තොරතුරු මාධ්‍යයට වාර්තා වූ ඒවාය. තවත් ඒවා මාධ්‍යයට වාර්තා නොවන එහෙත් බොහෝ පාසල් පද්ධතින් තුළ ශිෂ්‍යයන් අතර දක්‌නට ලැබෙන අවධානය යොමු කළ යුතු කාරණය.

මේ සිදුවීම් පෙළ වඩාත් තිව්‍ර කරන සිදුවීමක්‌ වාර්තා වූයේ බස්‌නාහිර පළාතේ ප්‍රදේශයක පිහිටි තක්‌සලාවකිනි. මෙය පරණ සිදුවීමක්‌ වුවද යළි යළිත් සිහිපත් කරන්නේ එහි ඇති භයානක බව කියා පාන්නටය. මාධ්‍යයන්ට වාර්තා වූ ආකාරයටත් අප විමර්ශනය කළ ආකාරයටත් එකී විදුහලේ ශිෂ්‍යයන් තුළ දකින්නට ලැබෙන්නේ අප පෙර කී පරිදි "අහිංසක දඩබ්බර" බවක්‌ නොවේ. එය මුළුමනින්ම "දාමරික" "විශාල කල්ලි" ස්‌වරූපයක ක්‍රියාදාමයකි.

බොහෝ විට බටහිර සමාජයෙහි හෝ දක්‌නට නොලැබෙන ආකාරයේ "ශිෂ්‍ය බලමුළුවක්‌" මේ පාතාල කල්ලි ක්‍රියාදාමය ක්‍රියාත්මක කරනු ලබයි. එහි ඇති සංවිධානාත්මක බව ඒත්තු ගැන්වීමට එම ක්‍රියාවලිය පිළිබඳව කෙටියෙන් හෝ තැබීම කළ යුතුය.

ශිෂ්‍යයන් සමූහයක්‌ තුළ ක්‍රියාත්මක වන මෙම කල්ලිය හඳුන්වනු ලබන්නේ "බ්ලැක්‌ ලයන්ස්‌  එසේත් නැත්නම් "කළු සිංහයන්" යන නමිනි. කල්ලියට බඳවා ගැනීම සිදු කරන්නේ ඊට අදාළ වූ අයදුම්පතක්‌ පිරවීමෙන් පසුවය. බඳවා ගැනීමේ ක්‍රියාදාමය එතෙකින් අවසන් නොවේ. ඊළඟ පියවර ලෙස "බ්ලැක්‌ ලයන්ස්‌" නවකයා කල්aලියේ නායක කාරකාදීන් ඉදිරිපිට තමන්ගේ "සුරුවිරුකම්" විදහා දැක්‌වෙන "සංදර්ශනයකට සහභාගි විය යුතුය. එහිදී තමන්ගේ "වැඩකිඩ" විදහා දැක්‌වීමට යොදා ගන්නා ක්‍රමවේදයද යම් ආකාරයක විකෘත ස්‌වරූපයක්‌ ගනී.

එතෙකිනිදු සියල්ල අවසන් නොවේ. නවක සාමාජිකයන්ට හිමි කල්ලිය තුළ අංශ බෙදීමක්‌ද වේ. එය කොමාන්ඩර්වරයකු, සටන් පුහුණුකරුවකු ආදී වූ නායකත්වයන්ගෙන් යුතු අංශවලින් සමන්විතය. ඊටත් වඩා සැලකිය යුතු අන්දමේ අංශයක්‌ද මේ කල්ලිය තුළ ක්‍රියාත්මක වේ. අප කළ විමසීම්වලදී හෙළි වූයේ එය "බෝම්බ අංශය" ලෙස හැඳින්වෙන බවයි. ඉතාම බරපතල සහ කිසිවිටෙකත් පාසල් සිසුන් අතර ගොඩනැඟේ යෑයි නොසිතිය හැකි අංශයක්‌ ලෙස එය සැලකිය හැකි බැවින් ඒ ගැන වැඩිදුරටත් අප කළ සොයා බැලීම්වලදී හෙළි වූයේ ඔවුන් අතින් සිදුවන්නේ පාසල් තුළ රතිඤ්Æ හා බට්‌ටන් පිපිරවීම් වැනි "බාල" වැඩ බවය. එහෙත් කල්ලියක්‌ විසින් සිදු කරනු ලබන මෙවැනි "පොඩි" වැඩ "පොඩි අයගේ" වැඩ කියා නොසලකා හැරීමටද නොපිළිවන. මන්ද එම පූර්වාදර්ශයන්a අනාගතය "බිම් බෝම්බ" නිපදවීම දක්‌වා වර්ධනය වීමේ පසුබිමක්‌ මතුවිය හැකි බැවිනි.

කෙසේ හෝ මේ "කමාන්ඩර්වරයා" ගෙන් සමන්විත සිසු කල්ලිය විසින් සිදු කරනු ලබන "නොපනත්කම්" ඉතා සරල ලෙස එම පාසලේම ගුරුවරු සලකන බවක්‌ද පෙනෙන්නට තිබේ.

"මගේ ළමයා හොඳයි", අනිත් ළමයි සේරම නරකයි" යන සුලභ මවුපිය සංකල්පය, පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය - ශිෂ්‍යාවන්ගේ මවුපියන් අතරද දක්‌නට ලැබෙන බවක්‌ පෙනෙන්නට තිබේ. මේ ගැන මවුපියන් කිහිපදෙනකුගෙන් විමසීමේදී ඔවුන් එක හෙලා කියා සිටියේ එවැන්නක්‌ පිළිබඳව නොදන්නා බවයි. එහෙත් අප තහවුරු කරගත් සිද්ධියක්‌ ගැන පවසා එසේ සිදුවන්නේ දැයි විමසා සිටීමේදී, "ඔව් එහෙමත් වෙනවා තමයි......" යනුවෙන් පවසා මග හැර ගිය මවුපියන් ද සිටියහ. සමහරකට ඒවා "සුළු සිද්ධීන්" ය. එහෙත් ඒ "සුළු සිද්ධීන්" "තරම" සොයා යද්දී හෙළිවන කරුණු අනාගත පරම්පරාවේ "අඳුරු පැතිකඩක්‌" විවරණය කරයි.

මේ ගැන ඒ දිනවල අදාළ විදුහලේ විදුහල්පතිනියගෙන් දුරකථනයෙන් විමසූ විට ඇයගේ පිළිතුර වූයේ "ඒ ගැන කතා කරන්න එපා" යන්න පමණකි. ඇය නොකියා කියන්නේ ප්‍රශ්නයක්‌ ඇති බව පිළිගන්නා නමුත් ඒ ගැන කතා නොකළ යුතු බවකි. මේ ගැන මේ වනවිට බස්‌නාහිර පළාත් මහ ඇමැතිවරයා ඇතුළු බස්‌නාහිර පළාත් අධ්‍යාපන කාර්යාලයේ යම් යම් පියවර ගෙන ඇති බවද කියෑවේ.

අප සඳහන් කළ පරිදි මේ ශිෂ්‍යයන් නිරත සමහරකට "සුළු" වන කාරණා සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම දක්‌වා දිගු වූවකි. ශිෂ්‍යයන් නොවන බොහෝ දාමරික කල්ලිවල මෙවැනි තත්ත්වයන් දක්‌නට ඇති අතර අප විශ්වාස කරන අන්දමට ශිෂ්‍යයන් අතර මෙවැනි ක්‍රියාදාමයන් පිළිබඳව වාර්තා වූ පළමු අවස්‌ථාව මෙය විය හැකිය.

පාසලේ ගුරුවරයකු ගුරුවරියක උගන්වන මොහොතෙහිම මත්ද්‍රව්‍ය භාවිත කර පන්ති කාමරයට පැමිණීමේ සිට ගුරුවරුන් ඉදිරියේදීම ප්‍රචණ්‌aඩ අයුරින් හැසිරීම දක්‌වා වූ ක්‍රියාවලියක්‌ ඒ තුළ දිස්‌වේ. එපමණකුදු නොව පාසල තුළ ශිෂ්‍ය කණ්‌ඩායම් අතර "දරුණු" ගණයේ ගුටි බැට හුවමාරු කර ගැනීම් සහ අවට පාසල්වල ශිෂ්‍යයන් සමඟ යුද්ධ ප්‍රකාශ කිරීම දක්‌වා වූ ඉතා භයානක සිද්ධිදාමයන් දිගින් දිගටම එය මැඩ පැවැත්වීමේ වැඩපිළිවෙළක්‌ දියත් වී නැත. එමෙන්ම සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වඩා භයානක කරුණ වන්නේ මේ ශිෂ්‍යයන් වැඩි දෙනෙක්‌ නකල්ස්‌, පිහි - කිනිසි, වැනි "බරපතල" ආයුධයන්ගෙන් සන්නද්ධව සිටීමයි.

මේ පිළිබඳව බොහෝ විට කරුණු කාරණා සඟවන මවුපියන්ද, මේ දෙස ඇස්‌කන් පියා සිටින ගුරුවරුන් ද තත්ත්වය අද හෙට සුබ වනවා යෑයි සිතා සිටින්නේ නම් එය අනුවණ කමකි. මෙවැනි "පාසල් නිල ඇඳුම් දාමරිකත්වයක්‌" - බ්ලැක්‌ ලයන්ස්‌ සංස්‌කෘතියක්‌ අනෙකුත් විදුහල් හා විවිධ අධ්‍යාපන ආයතන කෙරෙහි ව්‍යාප්ත වීමට වැඩි ඉඩකඩක්‌ ඇත.

ඒ එවැනි "ආකර්ශනීය දාමරිකකම්" ඉක්‌මනින් වැළඳ ගැනීමට බොහෝ ළමෝ සහ ගැටවර වියෙහි සිටින්නන් නිරන්තරයෙන් සූදානම් බැවිනි. එහෙයින් මෙය අදාළ විදුහලින්ම නතර කර දැමීමට පියවර ගත යුතුය. එකී "තක්‌සලාව පමණක්‌ නොව රටේ බොහෝ විදුහල් ද එවැනි තත්ත්වයකට ඇදවැටීමේ අවදානමක්‌ වැඩි වශයෙන් ඇති බවද අප අවධාරණය කරමු.

විවිධ ප්‍රධාන පෙළේ විදුහල්වලින් නිරන්තරයෙන් වාර්තා වන තොරතුරු ඊට සාධක සපයයි. සිසුන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ අවදානමක්‌ ඇත. පාසල් නිමවීමෙන් පසු මහනුවර, නුගේගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශ කිහිපයක මේ ගැන කළ ගවේෂණයකදී අපට හෙළි වූ කරුණු අනුව බොහෝ ශිෂ්‍යයන් පිරිසක්‌ ගංජා, නිල්ල සොයා, වැනි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෝය. එමෙන්ම "බාබුල්" කෑමෙහිද රුසියෝය. වගකිවයුත්තන් මේ ගැන සොයා බලන්නට ආරම්භ කළ යුතු හොඳම තැන අප ඉහතින් දැක්‌වූ විදුහලයි. පසුගියදා දිගින් දිගටම මත්ද්‍රව්‍ය වැටලීම් වාර්තා වූ අතර ඊට වැඩි වශයෙන් අධ්‍යාපන හදාරන සිසු සිසුවියන් බොහෝ සෙයින් ඇබ්බැහි වී ඇතැයි ද වාර්තා වේ.

මේ සිදුවීම් පෙළ පෙරකී විදුහලට පමණක්‌ ලඝූ කර පිළියම් යෙදීමද එතරම් සුබදායක නැත. දිගින් දිගටම අපට පාසල් සිසු දරුවන් පිළිබඳව ලැබෙන "හිතකර" නොවන තොරතුරු රට යන අත පිළිබඳව මඟ පෙන්වයි. කලකට ඉහත කොළඹට ආසන්න ප්‍රධාන නගරයක පෞද්ගලික පංතියක්‌ අසල එහි ඉගෙනුම ලබන ශිෂ්‍යයකු පිහි ඇනුම් කෑවේද සම වයසේ ශිෂ්‍යයන් අතර සිටි අයෙකුගේ මෙහෙයවීමෙනි.

උසස්‌ පෙළින් පසු සමාජයට මුදා හැරෙන්නේ එවන් ප්‍රචණ්‌ඩකාරී සිතුවිලිවලින් යුත් මානවකයකු නම් තත්ත්වයෙහි ඇති දරුණු බව මොනවට වටහාගත හැක. එපමණකුදු නොව පසුගිය කාලය පුරාම පාතාල කල්ලිවල කෙරුම් කාරයන්ගේ වයස්‌ මට්‌ටම ගැන සැලකිල්ලක්‌ යොමු කරද්දී, ඉතා ලාබාල වයසින්ම ඔවුන් එම පාතාල ක්‍රියාදාමයන්ට අවතීර්ණව ඇති බවක්‌ පෙනේ. එසේ නම් ඊට එවැනි විශාල ක්‍රියාකාරීන් බිහි වීමට පූර්ණ අනුබලයක්‌ මෙවැනි කල්ලි නොසපයතැයි කිව හැකිද?

අදින් බොහෝ කලකට පෙර මෙරට ජන සමාජය තුළ, පවුල් ඒකකයේ තිබූ සමීපතාව බිඳ වැටීමද මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමට හේතු සැලකිය හැක. බොහෝ විට වර්තමාන පවුල් ඒකකය තුළ එකිනෙකා අතර සිදුවන අදහස්‌ හුවමාරුව අද සිදුවන්නේම නැති තරම්ය. පෙර යුගයේ දරුවන්ට තම මවුපියන් සමගමද, මවුපියන් එකිනෙකා අතරද ඉතා සමීපතම අදහස්‌ හුවමාරුවක්‌ සිදුවිණි. වර්තමානයෙහි පවුල් ඒකකය තුළ තිබූ ඒ සබඳතාව අහෝසි වී ගොසිsනි. මවුපියනට දරුවන්ගේ ගැටලු සෙවීම, විසඳුම් ලබාදීම, සෙනෙහස දැක්‌වීම තබා ඔවුනොවුන් අතරද යහපත් සබඳතාවක්‌ පවත්වාගෙන යැම අසීරුව ඇත. රූපවාහිනිය ඉදිරිපිට හිඳගන්නා, පියාත් කුස්‌සියට වදින අම්මාත් දෙස බලමින් දරුවන් තමන්ගේ ලෝකවල තනි වේ. එසේත් නැතහොත් රූපවාහිනිය හෝ පරිගණකය තම මිතුරා කර ගනියි.

පාසල් සිසුන් සම්බන්ධයෙන් ගොඩ නැඟෙන මේ ව්‍යසනය ගැන කතා බහ කරද්දී, පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයේදී ප්‍රධාන දේශනය කළ මහැදුරු නලින් ද සිල්වා කළ සඳහන උපුටා දැක්‌වීම වටී යෑයි සිතමු.

"මේ රටේ දැන් පත්තර කියවන මිනිස්‌සු බොහොම අඩුයි. ඉංගී්‍රසි පත්තරයක්‌ කියවන්නේම නැති තරම්. අද පළකරන බොහෝ නවකතාවලින් හෝ රූපවාහිනියේ ටෙලි නාට්‍ය තුළින් කියෑවෙන්නේ අනියම් සම්බන්ධතා, සොරකම්, මැරකම්, මිනීමැරුම් වැනි දේ ගැනයි. නමුත් අපේ ජාතක කතාවලින් කියෑවෙන්නේ මේ දේ කළොත් මෙවැනි විපාකයක්‌ ලැබෙනවා කියන ආදර්ශයකුයි. නමුත් දැන් රූපවාහිනි, ගුවන් විදුලි නාට්‍යවල ඒ ආදර්ශය නොලැබෙන්නේ ඇයි. බටහිර ආදර්ශ වැළඳ ගැනීම ඊට හේතුවයි. මේ යන ක්‍රමයට රටේ අපරාධ රැල්ල වැඩි වුණොත් ඊට ජනමාධ්‍ය සෘජුව වගකිවයුතු යෑයි මා කියන්න කැමැතියි."

ඉන් අදහස්‌ කරන්නේ රටේ සමස්‌ත ජනමාධ්‍ය අහෝසි කොට මෙවැනි භීම තත්ත්වයන් වළක්‌වා ගත හැකි යෑයි යන්න නොවේ. හොඳ දෙයින් සමාජය ඈත්වන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතු තත්ත්වයන්ය.

අප මුලින් සඳහන් කළ පරිදි ඉහත කී කල්ලිය බිහිව ඇත්තේ බටහිර සමාජයේ ගැන්ග්ස්‌ටර් (ඨ්‌බටිඑeර) නැතිනම් මෙරට නාමකරණය වන "ගැන්සි"වලට අනුකූලවය. මහැදුරු නලින් ද සිල්වාගේ ප්‍රකාශ කොතරම් වලංගුදැයි පසක්‌ වන්නේ එවිටය. විශේෂයෙන් අප මේ ගැන කළ සොයාබැලීම්වලදී බොහෝ අය එවැනි තත්ත්වයක්‌ පාසල තුළ නැතැයි පවසන්නේ සැබැවින්ම ඔවුන් තුළ ඒ පිළිබඳ අවබෝධයක්‌ නැති බැවිනි. කල්ලියට සම්බන්ධ යෑයි කියෑවෙන සිසුන්ගේ මවුපියන් පවා, තමන්ගේ දරුවා එවැනි ක්‍රියාදාමයකට හවුල් යෑයි නොදන්නා බව ප්‍රදේශයේ අපට තොරතුරු පැවැසූ කිහිප දෙනෙක්‌ පැවසුවේ එහෙයිනි.

කෙසේ හෝ දිවයිනේ බොහෝ පාසල් කරා ව්‍යාප්තව ඇති, තවදුරටත් ව්‍යාප්ත විය හැකි මෙවැනි තත්ත්වයන් වළක්‌වා ගැනීමට වහ වහා පියවර ගත යුතු යෑයි අප අවධාරණය කරමු.

උදේශ සංජීව ගමගේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.