හතර දෙනෙක්‌ මූදේ-කියන්න බෑ වූදේ
එලොව ගිහින් මෙලොව ආ මහේෂ්


ලතාවකට මුහුදේ පාවෙමින් යන මහා නෞකාවක්‌.... හදිසියේම ඇතිවන කුණාටුවකට හසුව කැඩී බිඳී මුහුදුබත් වන එම නෞකාවේ සිට තෙරක්‌ නොපෙනෙන සාගරයේ අතරමංව දෛවයේ හාස්‌කමකින් යළි ජීවත් වීමට වරම් ලබා දූපතකට ගසාගෙන එන මිනිසෙක්‌...

අප කුඩා කළ දුටු රොබින්සන් කෲසෝ නමැති ඒ සොඳුරු වෘත්තාන්තය මා සිහියට නැගෙමින් තිබේ.

කොළඹ මරදානේ ඇති ධීවර අමාත්‍යංශයේ අඳුරු මුල්ලක වූ සුන්දර සුරතල් මත්ස්‍යයන් සහිත ටැංකියක්‌ අසළ සිටගෙන අපේ ඡායාරුප ශිල්පී ධර්මසේන වැලිවිටයගේ කැමරාවට මුහුණ දෙමින් දැන් මේ මා ඉදිරියේ සිටින්නේ ඒ රොබින්සන් කෲසෝ නොවේද? මගේ සිත මගෙන් එසේ විමසා සිටී.

එහෙත් මේ ඒ රොබින්සන් කෲසෝ නොවේ. මොහු හීන්දැරිය. තරුණය. පුරා මාස අටක්‌ තිස්‌සේ මහ මුහුදේ තනිව ගිනි අව්වට හසු වීම නිසාදෝ රොබින්සන් කෲසෝගේ මෙන් නොව ඔහුගේ සිරුරද කාලවර්ණය. බිහිසුණු මරණයේ සෙවනැලි මිනිසකුට දැරිය නොහැකි තරමටම දුටු නිසාදෝ දෙනෙත් මුහුණේ ගිලී ගොසිනි. මේ මුහුණේ ඇත්තේ දැඩි විඩාබර අසරණ කමකි.

තිබෙන වෙනස එසේ වුවත් මේ අපේ කාලයේ රොබින්සන් කෲසෝ යෑයි ඔහු හැඳින්වුවහොත් එහි අතිශයෝක්‌තියක්‌ නොවන බවද සටහන් කළ යුතුය.

ඒ රොබින්සන් කෲසෝහි අප දුටුවාටත් වඩා බිහිසුණු ලෙස මහා සාගරයේ අතරමංව මරණයේ දොරකඩටම පා තැබූ ඔහු ලද ජීවිත අත්දැකීම ඒ තරමටම ත්‍රාසය හා භීතිය මුසුව තිබෙන්නක්‌ බැවිනඃs.

ඔහු නමින් මහේෂ් පද්මකුමාරය....දකුණු පුරවරයේ එක්‌ ප්‍රකට ගම්මානයක්‌ වන බේරුවලදී මීට වසර 28 ට පෙර මහේෂ් මෙලොව එළිය දිටීය. ඒ පවුලේ තුන්වැන්නා ලෙසිනි.

වැලිවිටිය සිය කාර්යය නිමා කර සිටී. මම විඩාබර ඒ නෙත් දෙස එක එල්ලේ බලමින් අපේ රොබින්සන් කෘdසෝ අසළට කිට්‌ටු වීමි..

"ඉතින් මල්ලි මොකද වූණේ....? මම මහේෂ්ගෙන් ඇසුවෙමි..

"මොනව වෙන්නද අයියෙ... මම ආයෙත් ජීවත් වෙනව... ඒත් එදා මගෙත් එක්‌ක එකට මුහුදට ගිය යාලුවො කවුරුත් අද මේ ලෝකෙ නැහැ.... ඒ ඔක්‌කොම මැරුණේ මගේ මේ ඇස්‌ දෙක ඉස්‌සරහ... ඒක මතක්‌වෙනකොට නම් හිතෙනව මාත් ජීවත් නොවුන නම් හොඳයි කියල. මට හරි මහන්සියි... අයියේ... තරහ වෙන්න එපා මම හැම දෙයක්‌ම කෙටියෙන් කියන්නම්...මහේෂ්ගේ විඩාබර හඬ මා ඉදිරියේ අවදි වන්නට වුයේ එලෙසිනි.

ජීවිතයත් මරණයත් අතර මහා සටනක්‌ කර මරණය පරදා යළි ජීවය ලැබ දිගු ගුවන් ගමනකින් පසු යළි මව් බිමට පා තැබූ මහේෂ්ගේ ගතට දැනෙන ඒ විඩාබර බව සැබෑවකි.

ඉදින් ඔහු කරන ඒ ඉල්ලීමට මා කෙසේ සවන් නොදෙන්නද? මම නිහඬවම ඒ හඬට කන් යොමු කර ඔහු දෙස බලා සිටියෙමි.

" එදා මට මතකයි... ඒ පහුගිය මාර්තු මාසෙ 19 වෙනිද... ප්‍රියන්තයි, අමලුයි, රංජිත් අයියයි, නිහාලුයි මමයි. අපේ ගමේ නලින් අයියට අයිති "දිනූෂ 2" ටැංකි බෝට්‌ටුව අරගෙන බේරුවලින් රස්‌සාවට පිටත් වුණේ එදා..

ප්‍රියන්ත තමයි බෝට්‌ටුව භාරව හිටියෙ. අපි මාස හතරකට විතර කෑම වතුර වගේම අල්ලන මාලුවලට දාන්න ලුණු ගෝනි 50 කුත් දාගෙනයි ගමන පිටත් වුණේ.

හැම සැරේම අපි එහෙම රස්‌සාවට ගියහම යන්නෙ මුරුසි දිsවයින අවට මුහුදට. ඒක සතියක විතර ගමනක්‌... එදත් අපි බේරුවලින් පිටත් වෙලා සතියකට විතර පස්‌සේ මුරුසි දිවයින අවට මුහුදට ආව.

අපි ඔක්‌කොම හිටියෙ හරිම විනොදෙන්... ඒ ඇවිත් අපි දැල් දාල රස්‌සාව පටන් ගත්ත..ඒ විදිහට මාස දෙකක්‌ම අපි කට්‌ටිය මාලු ඇල්ලුව.. ඒ වෙකොට අපි මාලුවලට දාන්න ගෙනියපු ලුණුත් ඉවර වෙලා තිබුණේ.. පස්‌සෙ ප්‍රියන්ත කිව්ව දැන් ඉතින් ආයෙත් පිටත් වෙමු කියල.

මහේෂ්ගේ හඬ මඳින් මඳ බිඳ වැටෙමින් ඒ දැස්‌ සියුම් කඳුළක දිස්‌නයෙන් දිලිසෙමින් තිබේ. මම මඳකට ඔහුට ඉඩ දී ඉවත බලා ගතිමි. ඒ නිමේෂයේ දිගු සුසුමකින් ළය සැහැල්ලු කරගත් මහේෂ යළි කථා කරන්නට විය

පස්‌සෙ අපි දැල් අකුලල බෝට්‌ටුවට දාගෙන ආයිත් එන්න පිටත් වුණා. බෝට්‌ටුව පිරෙන්න මාලු.. ඒ එන අතරෙත් අපි එක්‌කෙනාට විහිළු කර කර හරිම සතුටෙන් ආවෙ.

ඒ විදිහට දවස්‌ තුනක්‌ විතර අපි ගොඩබිම පැත්තට ආව...ඒ එන අතරෙ තුන්වෙනි දවසෙ රෑ එක පාරටම අමුතු සද්දයක්‌ ඇවිත් බෝට්‌ටුවෙ එන්ජිම නතර වුණා. එවෙලෙ අපිට හිතා ගන්න බැරි වුණා මොකක්‌ද වුණේ කියල... එතකොටම ප්‍රියන්ත කිව්ව එන්ජිමට හුළං ඇද්දද කොහෙද දැන් ඉතින් එළි වෙනකන් මෙතනම ඉමු කියල..

හැමදාම උදේට අපේ බෝට්‌ටුව අයිති නලින් අයිය සෙට්‌ එකෙන් අපිට කථා කරනව.. පහුවෙනිදට කථා කළාම එයාගෙනුත් අහල බෝට්‌ටුව හදා ගමු කියලා තමයි ප්‍රියන්ත එළිවෙනකන් ඉමු කියලා කිව්වෙ.

පස්‌සෙ අපි එතනම බෝට්‌ටුව නතර කරගෙන රෑට උයාගෙන කාල නිදා ගත්ත. පහුවෙනිදට එළි වුණහම උදේ අටට විතර නලින් අපිට කතා කළා.

එවෙලෙ ප්‍රියන්ත බෝට්‌ටුව කැඩිච්ච සිද්ධිය නලින්ට කිව්වා. පස්‌සෙ නලින්ගෙනුත් අහල අපි බෝට්‌ටුවෙ එන්ජිම ගලවල හදන්න පටන් ගත්ත..ඒත් අපි කොච්චර උත්සාහ ගත්තත් ඒක හදා ගන්න බැරිවුණා. දවස්‌ තුනක්‌ම ඒ විදිහට බෝට්‌ටුව හදා ගන්න බැලුවත් හිරි ගියේ නැහැ. ඒ දවස්‌ තුනේම අපි නලින් එක්‌ක කථා කළා... එයා කිව්වෙත් කොහොම හරි බෝට්‌ටුව හදාගෙන එන්න බලන්න කියන එක විතරයි.

මේ සිදුව තිබෙන වරදේ තරම කොතරම්ද? මොවුන් එසේ මහ සයුරේ අතරමන්ව සිටියදී බෝට්‌ටුවේ හිමිකරු වූ නලින් නමැත්තා ඔවුන්ගේ ජීවිත පිළිබඳ නොතකා එසේ ක්‍රියා කරනු ලැබුවේ මන්ද.? එය මෙම සිද්ධියේදී මතුවන බරපතලම ගැටලුවකි..

තමන්ගේ බෝට්‌ටුව රැගෙන මුහුදට ගිය පිරිස එසේ අසරණව සිටියදී නලින් නමැත්තා නිසි ලෙස ක්‍රියාත්මක නොවූයේ ඇයි?

අද මෙලෙස මුහුදේ අතරමං වන ධීවරයන් බේරා ගැනීම සඳහා නාවික හමුදාව පුළුල් වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කිර තිබේ. එසේ නම් මේ සිද්ධිය පිළිබඳ නාවික හමුදාව හෝ ධීවර අමාත්‍යංශයේ ඇති වගකිව යුතු අංශ දැනුවත් කිරීමට නලින් කටයුතු නොකර සිටියේ කුමන හේතුවක්‌ නිසාද?

එසේම අවශ්‍ය වුයේ නම් බෝට්‌ටුවේ සිටි පිරිසටද සිය ගුවන් විදුලි පණිවුඩ හරහා මෙය නාවික්‌ හමුදාවට හෝ ධිවර අමාත්‍යංශයට දැනුම් දීමට අවස්‌ථාව තිබිණි. එහෙත් එයද සිදුව නොමැත.

එසේ වීමට හේතුව කුමක්‌ද? මෙය වගකිව යුතු අංශවල අවධානය යොමු විය යුතුම කරුණකි.

..අපි දවස්‌ තුනේම එන්ජිම හදා ගන්න බැලුවත් ඒක හරි ගියේ නැහැ... ඒ අතරෙ අපි හිටපු හරියේ මුහුද සැර වෙන්න ගත්ත. පස්‌සෙ ප්‍රියන්ත කිව්ව..මෙහෙම හිටියොත් අපි ලොකු අමාරුවක වැටෙනව..ඒ නිසා රුවලක්‌ හදාගෙන ෂී සෙල්ස්‌ දූපත් පැත්තට යමු... එහෙට ගිහින් බෝට්‌ටුව හදා ගන්න බලමු කියල..

මේ වෙනකොට එන්ජිම වැඩ කරන්නෙ නැති නිසා අපේ සෙට්‌ එකේ බැටරිය බැහැල ඒකත් වැඩ කරන්නෙ නැතුව ගියා..පස්‌සෙ අපි රුවලක්‌ හදාගෙන ප්‍රියන්ත කිව්ව විදිහට ෂී සෙල්ස්‌ දූපත් පැත්තට යන්න පටන් ගත්ත.. මාසයක්‌ විතර ඒ විදිහට ෂී සෙල්ස්‌ පැත්තට ගියත් මුහුද සැර වැඩි නිසා අපිට එහෙට යාගන්න බැරි වුණා.

අන්තිමේ අපි හිටිය බෝට්‌ටුව මුහුදෙ දිය වැළකට අහු වෙලා ෂී ෂෙල්ස්‌ දූපත්වලින් ඈතට පාවෙන්න පටන් ගත්ත... අපිට කරගන්න කිසිම දෙයක්‌ තිබුණේ නැහැ. ඒ අතරෙ දවසක්‌ බෝට්‌ටුව ලොකු මාරියාවකට අහු වුණේ අපි කවුරුත් නොහිතපු විදිහට..

ඒක හරිම මූසල සිද්ධියක්‌. ඉස්‌සෙල්ලම අපේ එක්‌කෙනෙක්‌ අපෙන් වෙන් වුණේ එතැනදි. බෝට්‌ටුව මාරියාවට අහුවෙන වෙලේ ප්‍රියන්ත හිටියෙ බෝට්‌ටුවෙ ඉස්‌සරහ. අපි කැබින් එක ළඟට වෙලයි හිටියෙ...

එක පාරටම මාරියාවත් එක්‌ක ආපු ලොකු රැල්ලක්‌ බෝට්‌ටුවෙ ප්‍රියන්ත හිටිය පැත්තට උඩින් ගියේ අපි බලාගෙන ඉන්නැද්දිමයි... ඒ රැල්ල ගියාට පස්‌සෙ එතන හිටිය ප්‍රියන්ත එකපාරටම පේන්ඩ නැතුව ගියා.. ඒ එක්‌කම අපි මුහුදු රැල්ල ගිය පැත්ත බැලුවේ වුණේ මොකක්‌ද කියල හිතා ගන්න බැරුව. එවෙලෙ අපි දැක්‌ක අපේ ඇස්‌ ඉස්‌සරහම වතුරට වැටිල හිටිය ප්‍රියන්ත ඔක්‌කොම අතහැරල වතුර යටට ඇදිල යනව..

මහෙෂ් යළි එක්‌වරම නිහඬ විය. මම ඔහු දෙස විමසිල්ලෙන් බැලුවෙමි. නිහඬවම බිම බලාගෙ සිටි මහේෂ් යළි හඬ අවදි කරන්නට වූයේ මා එසේ ඔහු දෙස බලා සිටින බව දැකීමත් සමගිනි.

ප්‍රියන්තගෙ මරණෙත් එක්‌ක තමයි පළවෙනි වතාවට ජීවිත ගැන මහා බයක්‌ අපේ හිත්වලට දැනෙන්න ගත්තෙ.

මේ අතරෙ ආයෙත් ලොකු දිය වැලකට අහුවෙලා අපේ බෝට්‌ටුව වේගයෙන් පාවෙලා යන්න පටන් ගත්ත. බෝට්‌ටුව ඇදිල ගියේ සෝමාලියානු මුහුද පැත්තට.

අපේ ජීවිත බේරල දෙන්න කියල දෙවියන්ට කියනව ඇරෙන්න ඒ වෙනකොට අපිට කරන්න වෙන කිසිම දෙයක්‌ ඉතුරු වෙලා තිබුණේ නැහැ... ඒ විදිහට දවස්‌ ගානක්‌ අපිව සෝමාලියා මුහුද පැත්තට පාවෙලා ගියා. මේ අතරෙ දවසක්‌ අපි හතර දෙනා එකතු වෙලා එකිනෙකාට බදාගෙන මොන විදිහකින් හරි කවුරුහරි බේරුනොත් වෙච්ච දේ ගෙවල්වලට ගිහින් කියනව කියල ඇස්‌වල කඳුළු පුරෝගෙන එක්‌ එක්‌කෙනාට පොරොන්දු වුණා.

ඒ වෙනකොට ඒ තරමටම මරණය කියන එක අපි ළඟට කිට්‌ටු වෙලයි තිබුණෙ.

පාවෙලා ගිය බෝට්‌ටුව සෝමාලියා මුහුදට ඇතුළු වුණේ අපි ඒ විදිහට සම්පූර්ණයෙන්ම ජීවිත ආසාව අතහැරල ඉන්න අවස්‌ථාවක. සෝමාලියා මුහුදට ඇතුළු වුණු බෝට්‌ටුව තව තවත් සෝමාලියාව පැත්තටම යන්න පටන් ගත්ත.

මේ අතරෙ දවසක්‌ අපි දැක්‌ක අපේ බෝට්‌ටුවට පේන දුරින් නැව් දෙකකුයි තවත් බෝට්‌ටු වගේ ලොකු යාත්‍රා දෙකකුයි අපිව පහු කරගෙන යනව.. අපි හිතුවෙ ඔවුන් ඇවිත් අපිව බේර ගනියි කියල.. හිත්වලට දැනුනෙ පුදුමාකාර සතුටක්‌.

අපි හතර දෙනාම එකතු ලෙවා රෙදි වන වන ඔවුන්ට සංඥ කළා අපිව බේර ගන්න කියලා.. මට විශ්වාසයි ඔවුන් අපිව දැක්‌ක. ඒත් එයාල අපිව බේර ගන්න ආවෙ නැහැ.

සමහරවිට අපි සෝමාලියානු මුහුදු කොල්ලකාරයො කියල ඔවුන් හිතන්න ඇති. ඒ නැව් දෙකයි යාත්‍රායි අපෙන් ඈත් වෙලා යනකොට අපේ හිත්වලට දැනුනෙ මහා පුදුමාකාර දුකක්‌.

මේ සිද්ධියත් එක්‌ක අපිට අපේ ජීවිත ගැන තිබුණ බලාපොරොත්තුව නැත්තටම නැතිවෙලා ගියා.. ඒ වෙනකොට අපේ කෑමත් ඉවර වෙලා තිබුණේ. හතර දෙනාම ජීවිත රැක ගත්තෙ මුහුදෙ මාලු අල්ලන් කාලයි.

මේ අතරෙ සෝමාලියා මුහුදෙ තිබුණු අපේ බෝට්‌ටුව ආයෙත් එකපාරටම දියවැලකට අහුවෙලා පාවෙන්න පටන් ගත්ත.

එවෙලෙ බෝට්‌ටුව පාවුණේ අරාබි මුහුද පැත්තට.කොච්චර දවසක්‌ ඒ විදිහට අපිව පාවුණාද කියල අපි දන්නෙ නැහැ. මොකද ඒ වෙනකොට එළිය වැටෙනව කලුවර වෙනව ඇරෙන්න මුහුදෙ අතරමං වෙලා කොච්ර දවසක්‌ ගතවෙලාද කියල අපිට තේරුමක්‌ තිබුණෙ නැහැ.

මෙහෙම අරාබි මුහුද පැත්තට බෝට්‌ටුව පාවෙන අතරෙ අපේ වතුරත් ඉවර වුණා. එවෙල අපිට දැනුන අපේ ජීවිතවල අවසාන කාලය ළඟටම ඇවිත් කියල.. ඒ වෙනකොට කාටවත් කතා කරන්නවත් වුවමණාවක්‌ තිබුණේ නැහැ. හතර දෙනාම ගොළුවො වගේ පැත්කට වෙලා ඔහේ බාලාගත්ත අතේ බලා ගෙන ජීවත් වුණේ.

ඒත් එහෙම වතුර ඉවර වෙලා දවසක්‌ විතර යනකොට එක පාරට මහා වැස්‌සකට අපේ බෝට්‌ටුව මැදි වුණා. අපි කළේ බෝට්‌ටුවෙ තිබුණු බැරල් අරගෙන පුළුවන් තරම් වැහි වතුර එකතු කර ගත්ත එක.

ඒ වැහිවතුර ටික අපි හතර දෙනාට තවත් දවස්‌ දෙකකට විතර ප්‍රමාණවත් වුණා. හැමෝගෙම හිතේ තිබුණෙ මේ දවස්‌ දෙකේවත් කාට හරි අපිව මුණ ගැහිල බේර ගනියි කියන බලාපොරොත්තුව. ඒත් ඒ වැහි වතුර ඉවර වුණාට කවුරුවත් අපිට මුණ ගැහුනෙ නම් නැහැ..

ඒ වතුර ටිකත් ඉවර වුණාට පස්‌සෙ අපිට තේරුණා අපිට මරණය හැර වෙන දෙයක්‌ උරුම වෙන්නෙ නැති බව...

මේ විදිහට එක දවසයි ගත වුණේ.. අපේ තව කෙනෙක්‌ බොන්න වතුර නැතුව මැරුණේ මේ අතරෙයි. ඒ මැරුණේ රංජිත් අයිය.. අපි කළේ හිත් තද කරගෙන රංජිත් අයියගෙ මිනිය උස්‌සල මුහුදට දාන එක. ඒ ඇරෙන්න එවෙලෙ රංජිත් අයිය වෙනුවෙන් කරන්න වෙන කිසිම දෙයක්‌ අපිට ඉතුරු වෙලා තිබුණේ නැහැ.

මහේෂ්ගේ හඬ යළි වෙව්ලුම් කන්නට විය. සැබැවින්ම මේ බිහිසුණු අත්දැකීම සිහි කරන ඔහුගේ සිත තුළ වුයේ භීතිය, දුක එකට මුසු වී මිනිස්‌ සිතක මෙවන් මොහොතක ඇතිවන උතුරා යන කඩා වැටීම බව මට පසක්‌ වුයේ නිරායාශයෙනි.

මම ඔහුට ඉඩ දී මදක්‌ ඉවත බලාගෙන සිටියෙමි. ආයාශයෙන් සිත සනසා ගත් මහේෂ් යළි කථා කරයි.

රංජිත් අයිය නැති වෙලා එක දවසයි ගියේ නිහාලුත් ඒ විදිහටම වතුර නැතුව මැරුණ. මායි අමලුයි එකතු වෙලා නිහාල්ගෙ මිනියත් මුහුදට දැම්ම. ඒ වෙනකො අමලුත් හිටියෙ හිරිම අමාරුවෙන්. මටත් වතුර තිබහ දිව ගිලෙන තරමට දැනෙන්න පටන් අරගෙන තිබුණේ...

මේ වෙනකොට අපේ බෝට්‌ටුව තිබුණෙ මාලදිවයින් මුහුද පැත්තට පාවෙමින්... නිහාල්ගෙ මිනිය මුහුදට දාල ටික වෙලාවයි ගත වුණේ. අමලුත් බෝට්‌ටුව ඇතුළෙ වැටිල දඟලන්න පටන් ගත්ත. එවෙලෙ මට තේරුණා අන්තිමට ඉතුරු වෙන්නෙ මම විතරයි කියල.

මේ විදිහට ටික වෙලාවක්‌ දඟල දඟල හිටිය අමලුත් අන්තිමට නිහඬ වුණා. අනිත් අයගේ වගේම මම කළේ අමල්ගෙ මිනියත් උස්‌සල මුහුදට දාන එක.

අමල්ගෙ මිනිය මුහුදට දාල වැඩි වෙලාවක්‌ ගියේ නැහැ. මාවත් ඒ විදිහටම බෝට්‌ටුව ඇතුළෙ කලන්තෙ දාල වැටෙනව මට මතකයි.

ඒත් ටික වෙලාවකින් මට දැනුන කවුරු හරි වතුර ගෙනත් මගේ මූණට ඉහනව වගේ. ඒ එක්‌කම මගේ ඇඟට මහා හයියක්‌ ආව. මම එකපාරටම ඇස්‌ ඇරල බැලුව වෙන්නෙ මොකක්‌ද කියල... බෝට්‌ටුව ලොකු වැස්‌සකට මැදි වෙලා.. මගේ මූණට වැටිල තියෙන්නෙ ඒ වැහි වතුර.

එවෙලෙ මම ඉස්‌සල්ලම කළේ ඉන්න විදිහටම ඉඳන් හයියෙන් කට ඇරගෙන අහසෙන් වැටෙන වැහි වතුර ටිකක්‌ බොන එක. පස්‌සෙ මම නැගිටල බෝට්‌ටුවෙ තිබුණ බැරල් එකක්‌ තියල තනියම වැහි වතුර එකතු කළා. ඒ වැහි වතුර ටික තනි මට තවත් දවස්‌ තුනකට විතර ඇති වුණා.

එවෙලෙ මගේ හිතට දැනුන කොහොම හරි මට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියල. මේ විදිහට දවස්‌ දෙකයි ගියේ. දෙවනි දවසෙ උදේ මම තනියම බෝට්‌ටුවෙ ටැංකිය උඩට වෙලා ඉන්නකොට තමයි දැක්‌කෙ අපේ බෝට්‌ටුව පෙනෙන දුරින් බොට්‌ටු දෙකක්‌ යනව.

මම ඉක්‌මනට බෝට්‌ටුවෙ තිබුණ රෙද්දක්‌ අරගෙන ඔවුන්ට පේන්න වනමින් මාව බේර ගන්න කියල සංඥ කළා. එවෙලෙ මම දැක්‌ක ඒ බෝට්‌ටු දෙක මගේ පැත්තට හරවනව. ඇත්තටම ඒ බෝට්‌ටු හරවනව දැක්‌ක ගමන් මට ඇඬුණ. පස්‌සෙ ඔවුන් ඇවිත් මාව බේර ගත්ත. එවෙලෙයි මම දැන ගත්තෙ ඔවුන් මාලදිවයින් ජාතියන් බව.

මහේෂ්ගේ හඬ යළි නොඇසී යයි. ඒ වෙහෙසටද, සිතේ ඇති දුකටද, සතුටටද කිsයා මට නොවැටහේ. කෙසේ වෙතත් තව තවත් ඔහු වෙහෙසීමටද මගේ සිත මට ඉඩ නොදේ..

එහෙත් ඇසිය යුතු නිසාම අවසන් වශයෙන් මම මහෙෂ්ගෙන් මෙසේ විමසුවෙමි.

මහේෂ් ආයෙත් මුහුදු රස්‌සාවට යනවද..

නැහැ අයියේ මට අයෙත් මුහුදු යන්න බැහැ... මේ සිද්ධිය මතක්‌ වෙයි...මගේ යාලුවො මැරුණ විදිහ මැවි මැවී පෙනෙයි. ඉතින් මම කොහොමද මුහුදු යන්නෙ..?

ඒත් මට මගේ අම්මවයි මල්ලිවයි බලා ගන්න තියෙනව.. මම උසස්‌ පෙළ විභාගයත් කරපු කෙනෙක්‌. ඉතින් රජයෙන් හරි මට රස්‌සාවක්‌ ලැබෙනව නම් ඒක ලොකු පිනක්‌... මම මුහුදු ගියේ රස්‌සාවක්‌ නැති කමට.

සමන් ගමගේ
ඡායාරූප-ධර්මසේන වැලිවිටිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.