සිරිපා හිමේ හොල්මන් කතා....

රාජමලේ රාජලිංගම්ට සිරිපා බිමේදි අකරතැබ්බයක්‌

සිරිපා වන්දනා සමය ඇරඹීමත් සමගම සිංහල වෙළෙඳ සල්වල සේවය කරන්නට වතුකරයේ දෙමළ තරුණයන් බොහෝ දෙනෙක්‌ පැමිණෙති. වෙළෙඳ සල්වලට අවශ්‍ය බඩුමුට්‌ටු කර මතින් ගෙන ඒමා මෙන්ම වෙළෙඳ සල්වල කටයුතුවලට උදව් උපකාර කිරීම නිසා තේ වත්තේ වැඩ කරන වැටුපට වඩා වැටුපක්‌ ඔවුහු උපයා ගනිති. එය අමතර ආදායමක්‌ද වේ. සමහර වෙළෙඳ සල් හිමියන්ට විශ්වාස වූවනට සිය සම්පූර්ණ වෙළෙඳ ආයතනයම භාරදීමට තරම් වූ තරමට හිතවත් වූ අවංක තරුණයෝද ඇත. වතු කම්කරුවන් වූ ඔවුන් බොහෝවිට සොරකම් කිරීමට මැළිකමක්‌ දක්‌වති. සොරකමක්‌ සිදුකළ හොත් එය ඔහුට සැමදාටම පාඩුවක්‌ වන හෙයිනි.

රාජමලේ තේවත්තේ පදිංචි රාජලිංගම්ද එවැනිම අයෙකි. වසර තිහක පමණ කාලයක සිට අප හඳුනන්නෙකි. ඔහු තරුණයෙක්‌ ලෙස අප හඳුනා ගත්තද දැන් ලොකු දරු මුනුපුරන්ගේ පියෙකි. සිරිපාද පාරේ වන්දනා වාරයේ පවත්නා තාවකාලික කඩවල වැඩකරන දෙමළ උදවියට ඔවුන්ගේ නම් කියා කතා කරන්නේ නැහැ. එසේම හැරමිටිපාන ආපන ශාලාවේ සේවය කළ රාජලිංගම්ට අප ආමන්ත්‍රණය කළේ රාජමලේ බංඩයියා යනුවෙනි.

රාජමලේ බංඩයියාද සිංහල අවුරුද්ද දා නැවතී සිටියේ හැරමිටිපානේ ආපන ශාලාවේය. අලුත් අවුරුදු දා සිරිපා නැමදුමට එදා පැමිණ සිටි අය මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝය. සවස්‌ කාලයේ ආපන ශාලාවට පැමිණි ඔවුහු රාත්‍රි ආහාරය ආපන ශාලාවේ නැවතී වැළඳීමට අපෙන් අවසර ඉල්ලා සිටියහ. අවශ්‍ය ජලය, වීදුරු, පිඟන් හා අනෙකුත් අවැසි දේ සපයා දුන්නේ බංඩයියාය. ඔවුන් ගෙනා ආහාරවලින් අඩක්‌වත් ඔවුහු භුක්‌ති නොවින්දාහ. ඒ අධික මහන්සිය හා වෙහෙස බැව් පැවසූ අතර පස්‌ හය දෙනකුට පමණ සෑහෙන ආහාර ඉතිරි විය.

පොලොස්‌ මාළු, ඇඹුල් තියල් මාළු, බැදපු මාලු, අල තෙල් දැමූ හා අච්චාරු ඒ අතර විය. කොස්‌, පොළොස්‌ තේ වත්තේ නොමැති නිසා ඒ අයගේ ජනප්‍රිය කෑමක්‌ ලෙස පොළොස්‌ ඇඹුල හැඳින්වේ. බංඩයියාගේ පුතාගේ බිරිය දරුවකු බලාපොරොත්තුවෙන් සිටින බව පෙරදී අප සමග පවසා තිබිණි. ඒ හෙයින් ඉතිරි වූ සියලුම කෑම

රැගෙන තම නිවසට ගෙනයන ලෙස අපි ඔහුට කීවෙමු. ඒ සඳහා අවශ්‍ය කාඩ්බෝඩ් පෙට්‌ටියක්‌ද සපයා දුනිමු. අසීමිත ප්‍රීතියෙන් පසු වූ බංඩයියාට ඉක්‌මන් ගමනින් නිවසට යැමට අවශ්‍ය විදුලි පන්දමක්‌ද සපයා දුනිමු. ඉදිකටු පානේ සිට රාජමලේ තේවත්තට මහ කැලේ මැදින් සැතපුම් දෙකක පමණ කෙටි පාරක්‌ තිබුණද රාත්‍රි කාලයේ වන සතුන් සැරිසරන බැවින් එම පාරේ යැම අනතුරුදායකයි. හැරමිටිපානේ සිට සැතපුම් දෙකකට පහළින් මකර තොරණ පිහිටා ඇති අතර මකර තොරණට ඉහළින් නල්ලතන්නි බංගලාවට ඉහළින් කැලය අයිනේ තේවත්තේ පාරෙන් සැතපුම් දෙකහමාරකින් පමණ රාජමලේ තේ වත්තට ළඟාවිය හැක. බංඩයියාද එම පාරෙන් නිවසට යැමට තීරණය කළෙන් නල්ලතන්නිය උඩලැයිමේ නිවසකින් ලබාගත් භූමිතෙල් පන්දමද අතැතිව ඉක්‌මන් ගමනින් පා තබන්නේ නිවැසියන් නින්දට යැමට පෙර නිවෙස වෙත ළඟාවීමේ අදිටනිනි.

මකර තොරණේ සිට රාජමලේ තේ වත්තේ පාරේ සැතපුම් දෙකක්‌ පමණ යනවිට පාර අසලම වත්තේ වැඩකරන අය මළ පසු වළ දමන කුඩා මිනීකනත්තකි (සොහොන් පිටියකි) ඒ අසලම සිරිපා නැගෙන හිර කඳුමුදුනෙන් ගලා එන දොළපාරකි. දොළ පාර පසු කරනවාත් සමගම මානාවලින් වහළය සෙවිළි කරන සිමෙන්තියෙන් තනන ලද කුඩා කෝවිලකි. ඒ අසලම රූස්‌ස නුග ගහකි. දොළපාර පසු කරනවාත් සමගම මහත් ආයාසයකින් කඳුමුදුන තරණය කළ බංඩයියාට පහළ නල්ලතන්නිය ටවුමේ සියගණන් දැල්වෙන විදුලි බුබුලු හා සිරිපා මාවතත් පෙනේ.

බංඩයියාට යැමට හැකිවූයේ ටික දුරකි. දොළ අසල වූ කනත්තේ සිට හීන් කෙදිරිලි හඬක්‌ ඇසිනි. වරක්‌ දෙකක්‌ අත වූ පන්දම වනා බණ්‌aaඩයියා නතරවිය. ඒ මිනිස්‌ කෙඳිරිලි හඬකි. මේ ගොම්මන් රාත්‍රියේ මේ මිනිස්‌ කටහඬ කාගේදැයි හේ විමසිල්ලෙන් අසා සිටියේය. කෙඳිරිලි හඬ වැඩිවිය. "අයියා දොරේ ෂරියාන පඩි, ෂෝරු කොඤaCදාං එඩිංග (මහත්තයා අයියා හරියට බඩගිනියි. බත් පොඩ්ඩක්‌ දෙන්න) යනුවෙන් සිය භාෂාවෙන්ම බණ්‌ඩයියාගෙන් ඒ කටහඬ කෑමට බත් ඉල්ලීය. "නී එන්නා, නුඹ මීට සතියකට පෙර මැරුන සෙල්ලදොරේ දැයි දෙමළෙන්ම බණ්‌ඩයියා ඇසීය.

ආවංග දොරේ, මම මැරුනේ බඩගින්නේ මට බත් ටිකක්‌ දෙන්නැයි හේ ටිකින් ටික බංඩයියාට ළංවිය. දෙමළබසින් නී පෝ නී පෝ කියමින් කියා පන්දමද අතින් අල්ලාගෙන බණ්‌ඩයියා දුවන්නට විය. බත් ඉල්ලන තැනැත්තාද බණ්‌ඩයියා අනුගමනය කරමින් පසු පසම එන්නට විය. ටික දුරක්‌ ගිය බණ්‌ඩයියාගේ ගත සීතල විය. දෙපා පණ නැති විය. තමාගේ නිවසට හැරෙන මුල්ගම වත්තත්, නල්ලතන්නිය වත්තත්, රාජමලේ වත්තත් එකතුවන තුන්මන් හන්දියේදී යටිගිරියෙන් හූවක්‌ කියූ බණ්‌ඩයියාට පියෙවි සිහිය නොමැති විය. ඔහු බිම ඇද වැටුනි. අත වූ භූමිතෙල් පන්දම බිම වැටී දැල්වෙමින් තිබිණි පසෙකට විසවී තුබූ විදුලි පන්දමද දැල්වෙයි.

ඒ වනවිට නල්ලතන්නියේ දොදොල් කඩවල දොදොල් හැඳි ගා වැඩ අවසන් කළ තරුණයන් තිදෙනෙක්‌ රාජමලේ වත්තට එමින් සිටියේ මුල්ගම හන්දියේ උඩපාරෙනි. එක වර ඇසූ හූ හඬත් පාරේ පසෙක දැල්වෙමින් තිබූ විදුලි හා භූමිතෙල් පන්දමත් දුටු ඔවුහු ඒ අසලට පැමිණියහ. යාබදව වැටී සිටි බණ්‌ඩයියා දොඩවමින් සිටිනු දුටු තරුණයෝ බණ්‌ඩයියා අරක්‌කු බීලා වෙරිවෙලා යෑයි පැවසූ අතර දෙදෙනෙක්‌ එතැන නැවතී සිටියදී එක්‌ තරුණයෙකු සැතපුම් කාලක්‌ පමණ දුරක වූ බණ්‌ඩයියාගේ නිවසට ගොස්‌ බණ්‌ඩයියා හොඳටම අරක්‌කු බීලා වෙරිවී වැටී ඇතැයි නිවැසියන්ට පැවසීය. නිවැසියෝ කලබල වූහ. දැල්වූ භූමිතෙල් පන්දම් කිහිපයක්‌ රැගෙන බණ්‌ඩයියා නිවසට කුදලාගෙන යැමට තරුණයෝ කීපදෙනෙක්‌ පැමිණියහ.

බණ්‌ඩයියාට නම කියමින් අවදි කළද හේ මළ කඳක්‌ සේය. සීතල සිරුර අත ගෑ යමෙක්‌ පැවසුයේ හේ මළ බවයි. අරක්‌කු බී වෙරිවී යනුවෙන් පැවසුවද අරක්‌කු ගඳක්‌ හේ මුවින් පිටනොවිනි. එක්‌ එක්‌ අය එක්‌ එක්‌ ප්‍රශ්න නැගුවද ඔහු ගෙදර ගෙනයැමට සියල්ලෝම යුහුසුලු වූහ.

නිවසට එන විට බොහෝ දෙනෙක්‌ පැවසුයේ බණ්‌ඩයියා මියගොස්‌ ඇති බවයි. ගෙයි ඉස්‌තෝප්පුවේ පැදුරක්‌ මත තැබූ ඔවුහු බණ්‌ඩයියාගේ මුහුණට වතුර ගසා පවන් සැලුවෝය. විනාඩි කිහිපයකින් බණ්‌ඩයියා කෙඳිරි ගාන්නට විය. තවත් ටික වේලාවකින් ඇසිපිය ඇරිනි. රතුවී ගිය ඇස්‌වලින් පෙනුනේ බීමත්කම නොව බියපත් කමක අකරතැබ්බයක්‌ සිදුවී ඇති බවයි.

පැයකට පමණ පසු බණ්‌ඩයියාට ප්‍රකෘති සිහිය ලැබිණි. එතැන් පටන් සිදුවු සියල්ල හෙළි කෙරිණි. මීට සතියකට පෙර මියගිය සෙල්ලදොරේ තමාට කතාකර මට බඩගිනියි. මට බත් ටිකක්‌ දෙන්නැයි තමා පසු පස පන්නා ආ බවත් පැවසූ අතර එම රුව තමා මනාව දුටු බැවින් බියවූ බව සියල්ලන්ටම පැවසීය.

එවෙලේම වත්තේ තෝත්තර කරන කෝවිල් කපුවාද ගෙන්වා නූල් යන්තර බැන්දත් කිසිම සහනයක්‌ නොවීය. පසුදින උපරිම අංශකයට බණ්‌ඩයියාට උණ වැළඳිනි. උදෑසනම වෑන් රථයකින් බණ්‌ඩයියා මස්‌කෙලිය රෝහලට ඇතුළත් කළෙන් දින කිහිපයකදීම සුවය ලැබුවත් ඔල්මාද ගතිය පහව ගියේ නැත. පසුව වෙනත් වත්තකින් කැඳවාගෙන ආ යකැදුරෙකුගෙන් නූල් සාත්තු හා තොවිලයක්‌ කරවා බණ්‌ඩයියා සුවපත් විය.

පසුදින උදෑසන රාජමලේ වත්තේ සිට පැමිණි අයෙක්‌ අප සමග පැවසුවේ දොල ළඟදී බණ්‌ඩයියාව යකා පන්නලා ලෙඩවී ඇති බවයි.

බණ්‌ඩයියා එදායින් පසුව නල්ලතන්නි තේ වත්තේ උඩලැයිමේ පාරේ යනවානම් යන්නේ හොඳටෝම අඳුර වැටෙන්නට මත්තෙන් හෝ කීපදෙනකු සමගිනි.

රාජා ඒ. කුලතුංග තුල්හිරිය

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.