සතිය ඔබට

මේෂ

අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව වැඩිවේ. වැඩිදුර අධ්‍යාපන කටයුත්තක්‌ කෙරෙහිද සිත යොමුවීමට පිළිවන. මව්පියනට දරුවන් නිසා සතුටුවීමට අවස්‌ථා උදාවිය හැකිය. රහසේ පැවැති පෙම් සබඳතා හෙළිදරව්වද කරදරයක්‌ නොපැමිණෙනු ඇත. ගෘහ ජීවිතය ප්‍රීතිමත් වෙයි. පවත්නා රෝගාබාධ සුව අතට හැරෙන ලකුණු පහළ වීමට හෝ නව ප්‍රතිකාර ක්‍රම සෙවීමට හෝ ඉඩ තිබේ. සමාජයේ උසස්‌ පුද්ගලයන්ගේ ඇසුර ලැබීමට ඉඩ ඇත. රැකී රක්‍ෂා, ව්‍යාපාර ආදියෙහි ප්‍රගතියක්‌ දකින්නට ලැබෙනවා ඇත. ආදායම් තත්ත්වය යහපත් වෙයි. හිත මිතුරන් අතර ප්‍රිය මනාපභාවයට පත්වෙයි. නිවසේ උත්සව අවස්‌ථාවක්‌ ඇතිවීමට කරුණු යෙදේ. බොහෝ කාලයක්‌ තිස්‌සේ පැවැති වැදගත් බලාපොරොත්තුවක්‌ ඉටුකර ගැනීමට අවස්‌ථාව සැලසෙනු ඇත. මැණික්‌ ආදී භූගත සම්පත් පිළිබඳ කටයුතුවල නිරත වන තැනැත්තන් හට වාසි සැලසෙන බව පෙනෙයි.

පොදු කටයුතු සඳහා සුබ දවස 01

වෘෂභ

ආදායමට වඩා වියදම් දැරීමට කරුණු යෙදේ. පෙම් සබඳතා නිසා පවුල් අතර අවුqල් ඇතිවීමට පිළිවන. අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව අඩුවෙයි. අසල්වැසියන් සමඟ අමනාප නොමනාප හට ගනියි. පවත්නා සෞඛ්‍ය තත්ත්වයේ වෙනසක්‌ ඇතිවිය නොහැකිය. ලේ ගමනේ සුළු වෙනසක්‌ ඇතිවිය හැකිය. සෑම දෙයක්‌ කෙරෙහිම දැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුය. බලාපොරොත්තු වන කටයුතු එලෙසින්ම තමා සිතූ පරිදි ඉටුකර ගැනීමට අපහසු විය හැකි නිසා අත ළඟටම පැමිණ සලසන වාසියක්‌ නොලැබීමට පිළිවන. උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්න මතුවීමේ ඉඩකඩ ඇත. හිත මිතුරු සබඳතා පළුදුවීමට පිළිවන. දුප්පත් ඥාතියෙකුගේ රෝගයකට ආධාර කිරීමට අවස්‌ථා මතුවෙයි. ජීවනෝපාය මාර්ග කෙරෙහි කලකිරීම් ස්‌වභාවයක්‌ ඇතිවිය හැකිය. බලාපොරොත්තු වූ ව්‍යාපාරයක්‌ නිසි විලස කර ගැනීමට නොහැකි වෙයි. එහෙත් බලාපොරොත්තු අත් නොහරියි.

පොදු කටයුතු සඳහා සුබ දවස 31

මිථුන

වගකීම් සහිත ප්‍රීතිමත් සති ආරම්භයක්‌ මතුවෙයි. අධ්‍යාපන චාරිකා ආදිය පිළියෙල විය හැකිය. පෙම් සබඳතා පිළිබඳ සැලකිල්ල අඩුවීමට පිළිවන. නිවසේ පරිසරයේ වෙනසක්‌ ඇතිවිය නොහැකිය. ප්‍රදේශ මාරුවක්‌ නිසා හෝ දුරබැහැර ගමන් බිමන් නිසා හෝ ඔබට සුළු පාඩු ඇතිවීමට ඉඩ තිබේ. සුළු සුළු අවහිර ආබාධ ඇති වුවද, දිනපතා කටයුතු කෙරෙහි එතරම් නරක බලපෑමක්‌ ඇතිවිය නොහැකිය. ඇතැම් මිතුරන්ගේ අනවශ්‍ය ඇසුර නිසා සමහරවිට අධික ලෙස අනවශ්‍ය කටයුතු සඳහා මුදල් වියදම් කිරීමට අවස්‌ථා සැලසීමට ඉඩ තිබේ. රැකී රක්‍ෂා, ව්‍යාපාර ආදී කටයුතුවල අවුලක්‌ ඇතිවීමට ඉඩක්‌ නැත. එහෙත් අතිරේක ආදායම් බලාපොරොත්තුවෙන් යම් යම් කටයුතු සඳහා මුදල් වැය කිරීමෙන් ප්‍රතිඵලයක්‌ ලැබිය හැකිවනු ඇත. තම නිර්මාණ කුසලතා දියුණු කර ගැනීමට විශේෂ දැනුම් තේරුම් ඇති තැනැත්තන්ගේ ආධාර උපකාර ගැනීමට හැකි වෙයි.

පොදු කටයුතු සඳහා සුබ දවස 06

කටක

එදිනෙදා කටයුතු සම්බන්ධ කරදර මතුවේ. ඇතැම් කටයුතු සාර්ථක කරගැනීමට අවස්‌ථාව සැලසුනද නොසැලකිල්ල නිසා එම කටයුතු සපුරා ගැනීමට නොහැකි විය හැකිය. වැදගත් බලාපොරොත්තු බිඳ වැටෙන ලකුණු පහළ වෙයි. රැකී - රක්‍ෂා ව්‍යාපාර ආදියෙහි සැලකිය යුතු දියුණුවක්‌ නොසිදුවනු ඇත. එහෙත් ආදායම් වියදම් සහ තත්ත්වයෙකින් පවත්වා ගැනීමට උනන්දු වෙයි. උරුම - හිමිකම් ඇතැම් ඥාතීන් සමඟ අමනාප ඇතිවීමට පිළිවන. අඹු-සැමි සමගියට බාධා පැමිණීමට පිළිවන. නිවසේ පරිසරය යහපත් නොවීමට කරුණු යෙදේ. ආගමික කටයුතු කෙරෙහි ලැදිකම් දක්‌වයි. වත්පිළිවෙත් පුද පූජා කෙරෙහි නැඹුරු වෙයි. විනෝද සංචාරක ගමන් බිමන් ආදියේදී පැරණි මිතුදම් සම්බන්ධ කර ගැනීමට අවස්‌ථා සැලසිය හැකිය. ආර්ථික තත්ත්වය යහපත් වුවද ඒ හා සමානව වියදම් ඇති වීමටද කරුණු යෙදෙනවා ඇත.

පොදු කටයුතු සඳහා සුබ දවස 09

සිංහ

වැඩි ලාභ පතා කරනු ලබන ඇතැම් කටයුතු වලින් අලාභ සිදුවිය හැකිය. පැවැති සහන බව තරමක්‌ දුරට අඩුවිය හැකිය. කල්ගිය අතපසු වූ කාර්යයන් තව තවත් කල් යනවා ඇත. විනෝදකාමී, සැහැල්ලු ජීවිතයක්‌ ගත කිරීමට ඉවහල් වන පසුබිමකට ඉඩ අවහිර වීමට පිළිවන. රැකියාවක්‌ පිළිබඳ පවතින අපේක්‍ෂාව ඉටුවන ලකුණු පහළ නොවේ. ගෘහ ජීවිතයේදී වගකීම් භාරයෙන් මිදීමට බොහෝ විට උත්සාහ ගනී. වැදගත් මිතුරු සබඳතා පුළුල් වන අතර ඔවුන්ගෙන් සුවිශේෂ උදව් උපකාර මේ සඳහා ලැබීමට පිළිවන. නාට්‍ය, සංගීතය හා ක්‍රීඩා වැනි කටයුතුවලට වැඩිපුර කාලය යොදවයි. ප්‍රසිද්ධියත් මහජන සහයෝගයත් ලැබේ. අමතර වියදම් මාර්ග ඇතිවීමට පිළිවන. අධ්‍යාපන කටයුතුවලට ලැබුණු ආධාර උපකාර අඩුවීමට ඉඩ ඇත. අනතුරු සිදුවිය හැකි සැටියක්‌ පෙනෙන නිසා පරෙස්‌සම් වීමට වගබලා ගන්න.

පොදු කටයුතු සඳහා සුබ දවස 04

කන්‍යා

මහත් බලාපොරොත්තු ඇතිව කරන ඇතැම් කටයුතු අවුල් වීමට පිළිවන. ජීවනෝපාය මාර්ගයකට අවහිර පැමිණීමට ඉඩ ඇත. ආර්ථික තත්ත්වය බිඳ වැටේ. ණය මුදලක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ යටතේ සමහර විට නීතියේ පිළිසරණ සෙවීමට සිදුවිය හැකිය. ඈත සිටින ඥාතියෙකු පිළිබඳ කනගාටුදායක පුවතක්‌ අසන්නට ලැබෙනු ඇත. අධ්‍යාපන කටයුතු වලින් බැහැර වී සිටීමට කරුණු යෙදේ. බලාපොරොත්තු පුදුමාකාර ලෙස නොසිතූ විරු අයුරු කඩාකප්පල් වන බවක්‌ පෙනේ. කළ යුතු නොකළ යුතු දෑ තේරුම් බේරුම් කර ගැනීමට අපහසු තත්ත්වයට පත්විය හැක. අධ්‍යාපන කටයුතු කෙරෙහි පෙර පැවැති උනන්දුව අඩුවීමට පිළිවන. පෙම් සබඳතා පිළිබඳ සිත්තැවුල් ඇතිවේ. අස්‌ථාන සැකය අඹුසැමි භේදවලට හේතුවිය හැකිය. නිවැසියන් අතර හොඳ හිත අඩු වීමට ඉඩ ඇත. පවත්නා රෝගාබාධ සඳහා නව ප්‍රතිකාර ක්‍රම සෙවීමට උනන්දුවක්‌ ඇතිවෙයි.

පොදු කටයුතු සඳහා සුබ දවස 06

තුලා

ජීවනෝපාය මාර්ගයන්හි වගකිව යුත්තන්ගේ සැලකිල්ල අඩුවීමට කරුණු යෙදේ. ආදායම් තත්ත්වයෙහි වෙනසක්‌ ඇතිවිය නොහැකිය. උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්නයක්‌ නිසා සමහර විට නීතියේ පිහිට සෙවීමට ඉඩ තිබේ. පොත පත කෙරෙහි ඇල්ම අඩුවීමට පිළිවන. පෙම්වතුන් පෙම්වතියන් අතර සුහදතාව පළුඳුවීමට කරුණු යෙදේ. මවුපියන් හට දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවිය හැකිය. ගෙදර දොර පරිසරයේ වෙනසක්‌ ඇතිවිය නොහැකිය. පිපිරීමකින් හෝ වෙනත් අයුරකින් හෝ අනතුරු සිදුවීමට ඉඩ ඇත. අලුතින් යුගදිවි ගෙවන්නන් අතර සමගියට බාධා පැමිණිය හැකි ප්‍රශ්න උද්ගත වීමට පිළිවන. පවත්නා එක්‌ රෝගයකට කරනු ලබන ප්‍රතිකාර වලින් වෙනත් අසනීප තත්ත්වයක්‌ මතුවීමට ඉඩ ඇත. සෑම අතින්ම පරෙස්‌සමෙන් ක්‍රියා කළ යුතු සතියකි මේ.

පොදු කටයුතු සඳහා සුබ දවස 31

වෘශ්චික

බාහිර අලංකාරයට යොමුවීම නිසා සමහර විට ආර්ථික අපහසුතා ඇතිවීමට පිළිවන. උසස්‌ අධ්‍යාපන කටයුත්තක්‌ සඳහා සිත යොමුවනු ඇත. උරුම හිමිකමක්‌ පිළිබඳ ප්‍රශ්නයක්‌ තමන්ගේ වාසියට විසඳෙනවා ඇත. විදේශ ගමනකට සිත යොමු වේ. ගුප්ත විද්‍යාවන් පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට පෙළැඹෙයි. එයින් සෑහෙන සතුටුදායක ප්‍රතිථල ලැබීමට පිළිවන. පෙම් සබඳතාවන් නිසා නිවැසියන් අතර මතභේද ඇතිවීමට ඉඩ ඇත. වාහන වලින් අනතුරු සිදුවිය හැකි බැවින් පරෙස්‌සම් වීම මැනවි. සංචාරක ගමන් බිමන් පිළියෙල වීමට පිළිවන. සිතේ සහනය සැනසිල්ල අඩු විය හැකිය. එදිනෙදා කටයුතු කෙරෙහිද, රැකී රක්‍ෂා, ව්‍යාපාර ආදී කටයුතු කෙරෙහිද උදාසීනභාවයෙන් යුතුව ක්‍රියා කරයි. ආදායම් මාර්ග දුර්වල වීමට පිළිවන. වැඩිහිටියන්ගේ බසට කන් නොදීමෙන් පාඩු සිදුකර ගනී. මිතුරු ඇසුර තර වෙයි. ඥාතීන්ගේ ආධාර උපකාර ලැබීමට පිළිවන.

පොදු කටයුතු සඳහා සුබ දවස 01

ධනු

අලුතින් යමක්‌ ඉදිරිපත් කිරීමටත් යම් යම් දේ පිළිබඳව පර්යේෂණ පැවැත්වීමටත් කැමැත්තක්‌ ඇතිවේ. ශරීර සෞඛ්‍ය යහපත් වෙයි. අධ්‍යාපන කටයුතු නව මගකට යොමු වීමට ඉඩ ඇත. නව පෙම් සබඳතා ඇතිවිය හැකිය. ඥාතීන්ගේ පැමිණීම බලාපොරොත්තු වීමට පිළිවන. නිවසේ එදිනෙදා කටයුතු වලදී ක්‍රමවත් භාවයක්‌ දැකිය හැකිය. ක්‍රීඩා කටයුතුවල යෙදෙන්නන්ගේ බලාපොරොත්තු ඉටුවෙයි. ව්‍යාපාර කටයුතු රැකීරක්‍ෂා ආදියෙහි දියුණුවක්‌ දකින්නට ලැබෙනු ඇත. බලාපොරොත්තු වූ ණය මුදලක්‌ ලැබෙන ලකුණු පහළ විය හැකිය. උරුම හිමිකම් තමන්ගේ වාසියට නිරවුල් විය හැකි අතර හදිසි ධන ලාභයක්‌ ලැබිය හැකි සැටියක්‌ද පෙනෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රියමනාප භාවයට පත්වෙයි. අසල්වැසි හොඳ හිත තර වෙයි. මිතුරු ඇසුරට එතරම් ප්‍රියමනාප භාවයක්‌ ඇතිවිය නොහැකිය. රහස්‌ පෙම් සබඳතා හෙළිදරව් වීමට ඉඩ ඇත.

පොදු කටයුතු සඳහා සුබ දවස 03

මකර

පොදු වෙළෙඳ ව්‍යාපාර සඳහා අවස්‌ථා සැලසෙයි. ඒ මගින් ආර්ථික තත්ත්වය යහපත් කරගැනීමටද ඉඩකඩ සලසා ගැනීමට පිළිවන් වනු ඇත. සමාජයේ පොදු කටයුතුවලට සම්බන්ධ වීමට ආරාධනා ලැබිය හැකිය. සමහර කටයුතුවලදී නායකත්වය ගෙන ක්‍රියා කිරීමටද සිදුවිය හැකිය. ණය මුදලක්‌ පිළිබඳ ප්‍රශ්නයකින් නිදහස්‌ වීමට හෝ ඒ පිළිබඳව යම්කිසි සතුටුදායක තීරණයකට එළැඹීමට හෝ පිළිවන් වෙයි. අමතර ආදායම් මාර්ග කෙරෙහිද අවධානය යොමුවීමට පිළිවන. අධ්‍යාපන කටයුතුවල ප්‍රගතියක්‌ දකින්නට ලැබෙනවා ඇත. පෙම් කරන්නන්හට විනෝද චාරිකා පිළියෙල විය හැකිය. නිවසේ උත්සව අවස්‌ථාවක්‌ හෝ නෑ මිතුරු හමුවක්‌ හෝ ඇතිවීමට පිළිවන. හන්දිපත් කැක්‌කුම, වාත අමාරු ආදිය ඇතිවීමට ඉඩ තිබේ. සතියේ අග ආදායමට වඩා වැය යෙදෙයි. තත්ත්වයේ උසස්‌වීමක්‌ හෝ යහපත් වෙනස්‌වීමක්‌ බලාපොරොත්තු විය හැකිය.

පොදු කටයුතු සඳහා සුබ දවස 05

කුම්භ

ඇතැම් මිතුරන් නිසා දුෂ්කර අවස්‌ථා උදාවීමටත්, ඒ නිසාම සමහරවිට කාලයත් ධනයත් වැය කිරීමටත් සිදුවිය හැකිය. රැකී රක්‍ෂා, ව්‍යාපාර ආදියෙහි සැලකිය යුතු වෙනසක්‌ ඇතිවීමට ඉඩක්‌ නැත. පෙම් සබඳතා නිසා එදිනෙදා කටයුතු කෙරෙහි එතරම් සැලකිල්ලක්‌ දක්‌වන සැටියක්‌ නොපෙනෙයි. ගෘහ ජීවිතයේ වෙනසක්‌ ඇතිවිය නොහැකිය. වැටීම් ආදියෙන් අනතුරු තුවාල සිදුවිය හැකි නිසා උස්‌ තැන්වල සිට වැඩ කරන්නන් පරෙස්‌සම් වීම මැනවි. විසඳා ගැනීමට නොහැකිව අවුල් සහගතව පැවැති ප්‍රශ්න කිහිපයක්‌ යම්කිසි පමණකට සතුටුදායක තත්ත්වයකින් විසඳෙන සැටියක්‌ පෙනෙන්නට තිබේ. සුබා සුබ මිශ්‍ර ඵල ගෙන දෙන සතියක්‌ බැවින් සෑම දෙයක්‌ම සර්ව සම්පූර්ණව නොවිසඳෙනු ඇත. කලක්‌ තිස්‌සේ පැවැති සතුරු කුමන්ත්‍රණයක්‌ හෙළි කර ගැනීමට හැකි වෙයි. කිසිම දෙයක්‌ පිළිබඳව ඉක්‌මන් තීරණ වලට පත් නොවීමට වග බලා ගන්න.

පොදු කටයුතු සඳහා සුබ දවස 05

මීන

බිය සතුරු කුමන්ත්‍රණ ආදිය ඇතිවීමට පිළිවන. උරුම හිමිකම් පිළිබඳ ප්‍රශ්න නිසා ඥාතීන් අතර අමනාප නොමනාපකම්ද ඇතිවීමට ඉඩ තිබේ. මිතුරු සබඳතාවනට හානි පැමිණීමට කරුණු යෙදේ. අගෝචර ස්‌ථානයන්හි හැසිරීම නිසා අස්‌ථාන චෝදනා ලැබීමටත් නින්දා අපහාස විඳීමටත් සිදුවිය හැකිය. අධ්‍යාපන කටයුතු පිළිබඳ කලකිරීමක්‌ ඇතිවීමට කරුණු යෙදේ. පෙම් සබඳතා වලින් ඈත් වී සිටීමෙන් හොඳහිත රැකෙනු ඇත. ගේදොර වගකීම් වලින් ඈත් වී සිටීමට උත්සාහ කරයි. හදවත ආශ්‍රිත ආබාධ වලට හේතු ඇති විය හැකිය. නඩු හබ වැනි නීතිමය කටයුතු වලට නොදැනුවත්වම පැටලෙන ස්‌වභාවයක්‌ ග්‍රහචාර අනුව පෙන්වයි. පොදු කටයුතු වලින් හැකිතාක්‌ දුරට වැළකී සිටින්න.

පොදු කටයුතු සඳහා සුබ දවස 03

විජයසිරි විද්‍යාරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.