ජීවිතය සොයමින් මුහුදු පතුලේ සැරිසරන
කිමිදුම් කරුවන්ගේ අඳෝනාව!


මඩකලපුවේ සිට තිරිකුණාමලයට අපේ නඩය ගමන් ඇල්ලුවේ එරාවුර් වාලච්ෙච්න හරහා යි. එහිදී අප හමුවූ කිමිදුම් ධීවරයන් පිරිසක්‌ කී කතාවයි මේ.

මම ආර්. ජී. ආරියරත්න පදිංචි ත්‍රිකුණාමලයේ සුමේධගමයි. මම දැනට අවුරුදු විස්‌සකට වැඩි කාලයක්‌ තිස්‌සේ කිමිදුම් රැකියාව කරනවා. මගේ වයස අවුරුදු හතළිහයි. මම වගේ ම තවත් සෑහෙන පිsරිසක්‌ කිමිදුම් රැකියාවේ නිරත වෙනවා. අපි හැම දෙනාට ම තියෙන ප්‍රශ්නයක්‌ තමයි. අපේ කර්මාන්තය සංක්‍රමණික එකක්‌.

අපිට නාවික හමුදාවෙන් පාස්‌ එකක්‌ නිකුත් කරනවා. අපි ඒ පාස්‌ ක්‍රමයට කැමතියි. මොකද අපි ආරක්‍ෂක හේතූන් මත නාවික හමුදාවට සහාය දෙන්න ඕනෑ. ඒ වුණාට අපට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ පාස්‌ එක හදන්න අපෙන් ඉල්ලන ලියකියවිලි.

මොකද දෙසැම්බර් මාසේ ඉඳන් කිමිදුම්කරුවන් කියන අයට දෙන පාස්‌ ක්‍රමය නතර කරන්න කියලා කතාවක්‌ මෙහේ පැතිරිලා තියෙනවා. ඉතින් එහෙම වුණොත් මේ රැකියාව කරන්න වෙන්නේ නෑ. එහෙම වුණොත් අපට තියෙන ප්‍රශ්න වැඩි වෙනවා.

අපි මේ රස්‌සාව කරන්නේ කණ්‌ඩායම් හැටියටයි. දැනට අපි එක්‌ ආයතනයකටයි වැඩ කරන්නේ. ඒ ආයතනයේ අපි වගේ විස්‌සක්‌ විසි පහක්‌ විතර කිමිදුම්කරුවන් වැඩ කරනවා. අපි වටා එකතු වෙන කට්‌ටිය බැලුවා ම සියයක්‌ එකසිය විසි පහක්‌ විතර යෑපෙනවා. කිමිදුම්කරුවන්ගෙන් යෑපෙන කට්‌ටියයි ඒ පිරිස. ඉතින් අනිත් කොම්පැණිවලත් ඒ වගේ පිරිස්‌ වැඩ කරනවා. අපි වගේ කට්‌ටිය හින්දා යෑපෙන පිරිස විශාලයි. අපි වගේ කට්‌ටිය වැඩ කරන කොම්පැණි ත්‍රිකුණාමලයේ තියෙනවා දැනට දහයකට වැඩි සංඛ්‍යාවක්‌. ඒ හැම එකකම ඉන්න කිමිදුම්කරුවන්ගෙ සංඛ්‍යාව එකසිය පණහක්‌ විතර ඇති. ඊට වැඩි පිරිසක්‌ අපි කරන රස්‌සාව හා බැඳී ඉන්නවා.

අපි මේ රැකියාවේ නිරත වෙන්නේ පළපුරුද්දෙන් මිසක්‌ තාක්‌ෂණික පුහුණුවකින් නෙවෙයි. අපට ක්‍රමානුකූල පුහුණුවක්‌ කවුරුන්වත් දීලා නෑ. අපි වෙන කෙනෙකුගේ අත්දැකීමෙන් අර ගත්තු දැනුමින් තමයි මේ රැකියාවේ නියුතු වන්නේ.

අපට බලපාන ප්‍රධාන ප්‍රශ්නයක්‌ තමයි මූදු කූඩැල්ලන් සහ හක්‌ බෙල්ලන් අල්ලන්න පාස්‌ ක්‍රමයක්‌ නිකුත් කරලා තියෙනවා ධීවර අමාත්‍යාංශයෙන්. ඒ හරහා තමයි අපි මේ කර්මාන්තයේ නියෑළී ඉන්නේ. දැන් අපට ඒ පාස්‌ එක ගන්න නොහැකි තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා. මොකද ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් ලියුම් ගේන්න කියනවා.

නමුත් ඒකට දැන් වෙනම කට්‌ටියක්‌ හදා ගෙන. දකුණෙන් ආපු කට්‌ටියක්‌. ඒ පාස්‌ අර ගෙනය කියමින් කොටසක්‌ ඒ රැකියා කරනවා. ඔවුන් මුලතිව් සිට යාපනය දක්‌වා මූදේ බහිනවා. අපට ඒ පළාත්වලට යන්න බැරි තත්ත්වයක්‌ තමයි එළඹිලා තියෙන්නේ. ඔවුන් ඒ පාස්‌ ගත්තා ය කියන්නේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් කියලයි කියන්නේ. එහෙම ගත්තු කට්‌ටියගෙන් ගොඩබිමේ ඉඳල ගිහිල්ලා කිමිදුම්කරුවන් එක්‌ අයකුගෙන් එක්‌ හක්‌ බෙල්ලකුට රුපියල් දෙසීය ගාණේ අය කරනවා දැනට. නමුත් එහෙම කරන්නවත් දැන් අපට යන්න බෑ. මොකද අපට ඒ පාස්‌ එක නැති නිසා. අපේ රැකියාවේ නියුතු ත්‍රිකුණාමලයේ කිමිදුම්කරුවන්ට තියෙන ප්‍රධාන ගැටලුව ඒකයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයට ගිහින් අපට පාස්‌ එකක්‌ නිකුත් කරන්නයි කීවාට ඒක ලැබෙන්නේ නෑ. ඒකට හේතුව නම් මොකක්‌ද කියලා කියන්න මං දන්නේ නෑ. අපට ඒ පාස්‌ එක ගන්න මූලිකව ම යන්න තියෙන්නේ ෆිෂරිස්‌ එක හරහානේ. මෙහේ තියෙන ෆිෂරිස්‌ එකට ගිහින් උදව් ඉල්ලුවා ම ඒකෙ නිලධාරීන් කියන්නේ මේක ඉහළ නියෝගයක්‌ ඔය කට්‌ටියට පාස්‌ එකක්‌ දෙන්න අපට බෑ මොකද එහෙං නතර කරන්න කියලයි තියෙන්නේ කියලයි ඔවුන් කින්නේ.

දැනට අපට මේ පාස්‌ එක හදන්න ඒ කට්‌ටිය ඉල්ලනවා රුපියල් විසිපහක මුදලක්‌ බැඳල රිසිට්‌ එකක්‌ ඉල්ලනවා. ඒත් දැන් ඒකත් නතර කරලයි තියෙන්නේ. ඒක මෙතෙක්‌ කලක්‌ නිකුත් කළේ මාස හයකටයි නාවික හමුදාවෙන් ඒ බලපත්‍රය. ඉතින් ඒක අපි යළි අලුත් කරන්න ඕනෑ. මේ දෙසැම්බර් මාසෙන් පස්‌සේ ඒක අවළංගුයි. ඊට පස්‌සේ අලුත් පාස්‌ එකක්‌ දෙන්නේ නෑ කියලයි කියන්නේ.

මොකද අපි ධීවර කිමිදුම් කාරයන් නේ. අපි විශේෂ පිරිසක්‌ නේ. අපි අල්ලන්නේ මූදු කූඩැල්ලනුයි හක්‌ බෙල්ලනුයි නේ. අන්න ඒක ලු අපට පාස්‌ එක නොදෙන්නේ. ඉතින් අපට ඒක හින්දා විසඳුමක්‌ නෑ. අපි ඉල්ලනවා විසඳුමක්‌.

ඒ වගේම තව ප්‍රශ්නයක්‌ තමයි අපි කිමිදුම්කරුවන් වශයෙන් අපි බොහොම අවදානම් රස්‌සාවක්‌ නේ කරන්නේ. ඒ කියන්නේ ස්‌වභාවික අවදානම් තියෙනවා. ස්‌වභාවික විපත් තියෙනවා. අපට හැදෙනවා බෙන්ස්‌ කියලා ලෙඩක්‌. ඒකට අපට ප්‍රතිකාර කර ගන්න ක්‍රමයක්‌ නෑ. ඒ සඳහා ප්‍රතිකාර කර ගන්න තියෙන්නේ ත්‍රිකුණාමලයෙ නාවික හමුදා රෝහලේ විතරයි.

හේතුව තමයි අපි මුහුද යට කිමි දෙන කොට නයිට්‍රජන් වායු බුබුලක්‌ ශරීර ගත වෙනවා. ඒ ලෙඩේ හැදුනා ම නාවික හමුදාවෙ රෝහලට යන්න බැරි බරපතල ගැටලුවක්‌ තියෙනවා. ඒක තමයි රුපියල් විසි පන්දාහක මූලික ගෙවීමක්‌ කරන්න ඕනෑ මුලින් ම. ඊට පස්‌සේ ප්‍රතිකාරවලට කියල පැයකට රුපියල් දාහක වගේ අයකිරීමක්‌ කරනවා. අපට වැZළඳෙන ඒ ලෙඩේට බෙහෙත් අනික්‌ කිසිම ඉස්‌පිරිතාලෙක නෑ. දැනට ඒ ලෙඩේට ප්‍රතිකාර විධියක්‌ තියෙන්නේ ලංකාවේ නාවික හමුදා රෝහලේ විතරයි. ඉතින් අපට ප්‍රතිකාර ගන්න නම් යන්න තියෙන්නේ නේවි ඉස්‌පිරිතාලෙටම විතරයි.

බෙන්ස්‌ කියන රෝගය වැළඳුනාම සම්පූර්ණයෙන්ම ශරීරය අප්‍රාණික වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා අංශබාග තත්ත්වයකටයි පත් වෙන්නේ රෝගය වැළඳුන කෙනෙකුට නාවික හමුදාවේ ඉස්‌පිරිතාලෙට තමයි යන්න වෙන්නේ. මේ රෝගයේ අවදානම කිමිදුම්කරුවන් සියලු දෙනාටම තියෙන එකක්‌. ඒ නයිට්‍රජන් බුබුල ශාරීර ගත වුණොත් පමණයි. නමුත් ඒ අවදානම මේ වෘත්තියේ යෙයෙදෙන හැම කෙනෙකුටම තියෙනවා. ඉතින් අපට වෙන රස්‌සාවකට යොමු වෙන්නත් අමාරුයි. ඉතින් අපි කියන්නේ මේ රෝගයෙන් අප ගලවා ගන්න රජය මැදිහත්වෙලා රක්‌ෂණ ක්‍රමයක්‌ අපි වෙනුවෙන් අරඹන්න. අපි කරන්නේ මාළු අල්ලන් ගෙනැවිත් අර කොම්පැණිවලට දෙන එක නිසා ආයතන මට්‌ටමින් කියලත් පිහිටක්‌ ඇත්තෙ නෑ.

මගේ නම ගාමිණි ජයලත්, මගේ උපන්ගම ත්‍රිකුණාමලය. මමත් කරන්නේ කිමිදුම් රැකියාවයි විසිතුරු මසුන් ඇල්ලීම, ඒ වගේම හක්‌ බෙල්ලන් හා මුහුදු කූඩැල්ලන් ඇල්ලීමයි මහ මුහුදේ කිමිදිලා කරන්නේ. අද වෙන කොට ත්‍රිකුණාමලයේ ජීවත් වෙමින් කිමිදුම් රස්‌සාවේ යෙදෙන සියලුම කිමිදුම්කරුවන්ට ඇතිවෙලා තියෙන පළමු වැනි ප්‍රශ්නය තමයි අපේ රැකියාවට දමා ඇති තහංචිය. ඒ කියන්නේ විශේෂයෙන් අපට උතුරට රැකියාවේ යන්න විදියක්‌ නෑ. මොකද ඊට අදාල බලපත්‍රය හදා ගන්න පිළිවෙළක්‌ නැතිකම නිසා. වෙනත් ප්‍රදේශවලින් ඇවිත් කොටසක්‌ එහේ රැකියාව කරනවා.

යුද්ද කාලෙවත් අපි ත්‍රිකුණාමලය අතැරලා ගියේ නෑ, එහෙම නොගිය නිසා තමයි අදත් ත්‍රිකුණාමලය කියලා නගරයක්‌ දිස්‌ත්‍රික්‌කයක්‌ ඉතිරිවෙලා තියෙන්නේ.

අපි බලාපෙරොත්තු වුණා මේක කොටින්ගෙන් නිදහස්‌ කර ගත් පසු අපටත් උතුරෙ ගිහින් රස්‌සාව කරන් ජීවත් වෙන්න පුළුවන් වේවිය කියා. ඊට සරිලන පරිසරයක්‌ ගොඩ නැඟේවිය කියා. හැබැයි අවාසනාවකට අපට ඒ තත්ත්වය උදා වුණේ නෑ. ඒකට හේතුව මොකක්‌ද කියනවා නම් එක පුද්ගලයෙක්‌ තමයි මෙහි ඒකාධිකාරය පවත්වාගෙන යන්නේ. ඉතින් අපි ජනාධිපති තුමාගෙන් ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා අපටත් උතුරෙ ගිහින් රැකියාව කර ගෙන ජීවත් වීමට අවස්‌ථාව උදා කර දෙන්න යෑයි කියා.

ත්‍රිකුණාමලේ කිමිදුම්කරුවන්ට එහේ රැකියාව කරන්න බෑ. අද වෙන කොට. නමුත් දකුණෙන් ආපු කිමිදුම්කරුවො මේ මොහෙතෙත් උතුරෙ අපි කරන මේ රැකියාව කරනවා. ඒ රැකියාව කරන අයත් කවුදෝ පුද්ගලයෙකුට එක බෙල්ලෙකු වෙනුවෙන් රුපියල් දෙසීයක්‌ ගෙවලා තමයි බෙල්ලන් අල්ලන්නේ. ඒ තත්ත්වය වෙනස්‌ කරලා අපටත් උතුරට ගිහින් රැකියාව කරගෙන අපේ දරු මල්ලන් ජීවත් කරවන්න ඉඩකඩ පාදා දෙන්න කියලයි අපි අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටින්නේ.

සුගතපාල  මෙන්ඩිස්‌

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.