සවුදි රජතුමනි, රිසානා මරන්න එපා!

කටේ කිරි සුවඳ මැකී යන්නටත් පෙර ඇය මිනීමරුවෙක්‌ වූයේ කෙසේද? එය අත්වැරැද්දක්‌ බව බැලූ බැල්මට පෙනුනත් සවුදි අධිකරණය ඇයට දැනටමත් මරණ දඬුවම නියම කර හමාරය. මුතූර්හි පදිංචිව සිටි ඇය රිසානා නෆීක්‌ ය.

මෙම ආන්දෝල-නාත්මක සිද්ධිය මුලින්ම වාර්තා වූයේ මීට වසර තුනකට පෙර ය. සවුදි අරාබියේ කුඩා දරුවන් දසදෙනෙකු සිටි පවුලක එකී දරුවන් බලා ගැනීමට ආයා ලෙස රැකියාව භාර ගන්නී මේ අසරණ ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතික පුංචි දැරියයි.

හොරට හැදූ උප්පැන්නේ ඇයගේ වයස අවුරුදු 21 ලෙස සටහන් වුවත් එවකට සැබෑ වයස අවුරුදු 14 කි. දරුවන් දහදෙනෙකු බලා ගැනීමට නොව ඇයට තමාගේ වැඩකටයුතු ද තනිවම කර ගැනීමට තරම් හැකියාවකුදු නොමැති බව අමුතුවෙන් කිව යුතු ද නැත. එහෙව් රිසානාට කුඩා දරුවන් දහදෙනෙකුගේ වැඩ රාජකාරි පැවරී තිබිණි. තමන්ගේ කුසින් වදන දරුවන් තමන්ට ආදරයෙන් රැක බලා ගැනීමට නොහැකි මව්වරු මේ ලොව කුමකටදෘ බල්ලෝ බළලුන් වුව ද එකවර දමන පැටවුන් පස්‌හය දෙනා වුවද, ආදරයෙන් රැක බලා ගන්නේ උතුම් මව් සෙනෙහසේ අභිමානය කියා පාන්නක්‌ මෙනි. සවුදි අරාබියේ මවුවරුන් වදන දරුවන් රැකබලා ගත යුත්තේ පිටස්‌තර ආයලා විසිනි. ඒ අයගෙන් වැඩි දෙනෙක්‌ ශ්‍රී ලාංකික කාන්තාවෝ ය.

ඔවුන් අතර වසය සැඟවූ බාල වයස්‌කාර දියණිවරු ද සිටිතියි තහවුරු වී තිබේ. සවුදි නිවෙස්‌වල බැල මෙහෙවරකම් කරන මේ අය ඉතා අසරණ හා දුප්පත් අය ද වෙති. තමන්ගේ අත දරුවන්ට වුව ද කිරි කඳුළක්‌ පොවන්නට තරම් සෙනෙහෙවනන්තකමක්‌ නැති අම්මලාගෙන් රිසානාට සමාවක්‌ නොලැබීම පුදුමයට කරුණක්‌ නොවේ.

මේ සියලු දේ වෙලාගෙන ඇත්තේ සමාජ අසාධාරණයකි. රිසානා නෆීක්‌ නමැති දාහත් හැවිරිදි දියණියට සවුදියට යැමට සිදු වූයේ ද දුප්පත්කම නිසාම ය. රිසානා 2005 මැයි මාසයේ සවුදි අරාබියට ගියේ මෙහෙකාරියක ලෙස සේවය කිරීම සඳහා ය. රිසානාගේ පියා මොහොමඩ් රෆීක්‌ට ස්‌ථිර රැකියාවක්‌ නොවීය. මුතූර් ප්‍රදේශයේ කැලේ දර කපාගෙන විත් අලෙවි කිරීම ඔහුගේ රැකියාව විය. සිය වර්ගයා බෝ කිරීම අල්ලා දෙවියන්ගේ ආශිර්වාදයක්‌ හා යුතුකමක්‌ ඉටු කිරීමක්‌ ලෙස මොහොමඩ් රෆීක්‌ ද බැති සිතින් අදහන්නට ඇත. ඔහු ද දරුවන් සිව්දෙනකු හදන්නට ඇත්තේ ඒ නිසා වන්නට ද ඇත. එහෙත් අල්ලා දෙවියන් මේ දරු පැටවුන්ගේ කුස පුරවන්නට හෝ ඒ දරුවන් ජීවත් කරවන්නට සුදුසු මාර්ගයක්‌ රෆීක්‌ට සාදා නොදුන්නේ මන්දැයි කොතෙක්‌ ප්‍රශ්න කිරීමට ද ඉඩ තිබේ. දරු පැටවුන් සිවුදෙනකු කුසගින්නේ මොරදෙද්දී මේ අසරණ මවුපියන් සිදු කළේ අල්ලා දෙවියන් යෑදීම පමණි. අවසානයේදී අල්ලාගේ පිනට පහළ වූ වැඩිමල් දියණිය පවුලේ බර කර ගසන්නට සවුදියට බිලි පූජාවක්‌ නොවූයේ ද? වරද කොතැන වුවත් කතාව එය නොවේද?

හයක්‌ හතරක්‌ නොදත් මේ අසරණ කෙල්ල සවුදියට ගොස්‌ සති දෙකකින් සිය දෙමවුපියන්ට ලියා එවූ දේත් අතිශය ෙ€දනීය විය. ඇය එහි නොයෙක්‌ තාඩන පීඩනවලට ගොදුරු වූවාය. හදිසියේම එක්‌ දිනක මේ අසරණ කෙල්ල සවුදි හාම්පුතුන්ගේ දරුවෙකුට කිරි පොවමින් සිටියදී ඒ දරුවා හුස්‌ම සිරවී මියගොස්‌ තිබේ. ඒ 2007 ජුනි මාසයේදී ය. දරුවාගේ දෙමවුපියන් තම දරුවා රිසානා විසින් මරා දැමූ බවට චෝදනා කිරීමත් සමඟ සවුදි අධිකරණය විසින් 2007 දී රිසානාට මරණ දඬුවම නියම කරන ලදී. මේ මරණ දඬුවමට එරෙහි ඇපෑලක්‌ ඉදිරිපත් කිරීමට සවුදි රියාද් දෙලක්‍ෂ පනස්‌දහසක්‌ නැතහොත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 75 ක්‌ අවශ්‍ය බව රියාද් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රිසානාගේ පියාට දන්වා තිබේ. එහෙත් එදා වේල සොයාගත නොහැකි වූ මේ අසරණ පියා හදිසියේ රුපියල් ලක්‍ෂ 75 ක්‌ කෙසේ නම් සොයා ගන්නද? එහෙත් මේ සිද්ධිය පසුපස නොයෙකුත් මානව හිමිකම් සංවිධාන, ශ්‍රී ලංකා රජය ලුහුබැන්ඳේ රිසානාගේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්‌ නොව මෙවැනි දෑ යළිත් සිදු නොවන්නට ද පෙරමඟ සැකසීම සඳහා ය. පළමු නඩු විභාගය ඉතාම අසාධාරණ අයුරින් සිදුවූ බවට මාධ්‍ය වාර්තා හෙළිදරව් කරද්දී ශ්‍රී ලංකා රජය ඇතුළු සංවිධාන එකී නඩු විභාගය නැවත පවත්වන ලෙස සවුදි රජයට බලපෑම් කෙරිණි. මේ අතර 2008 ඔක්‌තෝබර් මාසයේදී මාධ්‍ය වාර්තා කළේ සවුදි අරාබියේ මියගිය බිළි¹ගේ පියා රිසානාට සමාව ලබාදීමට එකඟ වී ඇති බවයි. නයිෆ් ජිසියාන් කලාෆ් අල් ඔතයිඩ් මීට එකඟතාව පළකර ඇත්තේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපති ටර්කි අල් සුදාරි මහතා සහ ශ්‍රී ලංකා තානාපති අබ්දුල් අජීඩ් මොහොමඩ් මාලීන් මහතා සමඟ රියාද්හි මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. එවැනි සාකච්ඡාවක්‌ පැවැත්වීමට හේතු වූයේ ශ්‍රී ලාංකික ජනතාව රිසානා වෙනුවෙන් ගොනු කළ අභියාචනාවක්‌ සැලකිල්ලට ගැනීමෙන් පසු සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය රිසානාගේ නඩුව යළි විභාගයට ගැනීමයි. එහෙත් පසුගිය 21 වැනිදා එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිසානාගේ මරණ දඬුවම තහවුරු කරන ලදී.

මේ ආරංචියත් සමඟ සමස්‌ත ශ්‍රී ලංකාවම යළි දැඩි සේ කම්පා වූ බව නිසැකය. ඔවුහු ඉමහත් ශෝකයෙන් ඇළලී ගියහ. ඒ දුක කීමට ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පමණි. එතුමා සවුදි රජු වෙත ලිපියකින් දන්වා ඇත්තේ ශ්‍රී ලාංකික දරුවා නිදහස්‌ කරන ලෙසයි. මේ සම්බන්ධයෙන් සවුදි රජුගේ සාධාරණ පිළිතුරක්‌ අපේක්‍ෂා කරන බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. වරද කොතැනක වුවත් මේ අපරාධයට රිසානා වගකිව යුතු නැති බව කිව යුතුය. මේ අත්වැරැද්දක්‌ මිස සාවද්‍ය මිනිස්‌ ඝාතනයක්‌ නොවේ. හොර සහතික නිකුත් කර වහල් සේවයට යෑවූ ඒජන්සිකාරයන් වගේම රිසානාගේ දෙමවුපියෝ ද වගකිව යුතු වෙති. දරුවන් වැදුවා නම් ඒ දරුවන් හදා වඩා ගැනීම ද දෙමවුපියන් සතු වගකීමකි. එසේ නොහැකි නම් දරුවන් හැදීම සීමා කළ යුතු නොවේද? දරිද්‍රතාව හේතු කොට ගෙන අහිංසක දැරියක්‌ වහල් සේවයේ යොදවා මුදල් ඉපැයීම දෙමවුපියන්ගේ යුතුකමක්‌ නොවේ.

එපමණක්‌ නොව රිසානා සවුදියේ රියාද් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් දා පටන් එරට තානාපති කාර්යාලය හොඳින් ක්‍රියාත්මක වූවාදැයි සොයා බැලිය යුතුව ඇත. ඊට පෙර ද ඔවුන් ක්‍රියාත්මක වූවා නම් රිසානා වැනි දැරියක්‌ වහල් සේවයට ඇතුළත් නොවනු ඇත. ඒජන්සිකාරයන් හොර උප්පැන්න හැදුවත් එහි වරද නිවරද සොයා බැලීමට තානාපති කාර්යාලයට හැකියාවක්‌ තිබිය යුතුය. විදේශගත වන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සියලු දත්ත මෙන්ම විදේශ රැකියා නියෝජිතයන් පිළිබඳ තොරතුරු ද තානාපති කාර්යාලවල පරිගණකගත ජාලයක්‌ ලෙස පවත්වා ගෙන යන්නේ නම් මෙවැනි වංචනික ක්‍රියාවලට ඇති ඉඩකඩ ඇහිරෙනු ඇත. එසේම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එම රටවලදී රාජකාරි සඳහා යොමු කරවන ස්‌ථානවල තොරතුරු ද තානාපති කාර්යාලය සතුව තිබිය යුතුය. මෙහෙකාර සේවයට කාන්තාවක්‌ යොමු කරන්නේ නම් ඒ කාන්තාවට පැවරෙන වැඩ රාජකාරි මෙන්ම සාධාරණ වැටුපක්‌ ගෙවන්නේ ද? ඊට එකඟතා සහතිකයක්‌ තිබෙන්නේද යන්න පිළිබඳවත් සොයා බලා තහවුරු කර ගන්නේ නම් මෙවැනි අපරාධ සීමා කරවිය හැකිය.

රිසානාට පමණක්‌ නොව දරුවන් බලා ගත හැකි මවකට වුවද එකවර දරුවන් දහදෙනකුට රැකවරණය හා පෝෂණය කිරීම කිසිසේත් ම කළ හැක්‌කක්‌ නොවේ. රැකියාවේ ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳ තානාපති කාර්යාලය මීට වැඩිය සොයා බැලිය යුතු බව සවුදි අරාබියේ අපි ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන ශ්‍රී ලංකා රජයට දැනටමත් දැනුම් දී තිබේ. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය මගින් ද දැනට පනවා ඇති නීති රීතිවලට අමතරව විදේශගත වන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සොයා බැලීම අනිවාර්ය යෑයි අපි සිතමු.

දැනටමත් බොහෝ දේ සිදුවී හමාරය. ඉතිරිව ඇත්තේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට සවුදි රජතුමා එකඟ වීම පමණි. මෙතෙක්‌ කලක්‌ රිසානා දෙසවත්, ඇගේ දෙමාපියන් ගැනවත් සානුකම්පිත නොවූ අල්ලා දෙවියන් තවදුරටත් ඔවුන් ගැන සංවේදී වේ යෑයි අපට විශ්වාස කළ නොහැක. එසේ නම් ශ්‍රී ලාංකික දියණිsයක්‌ ලෙස දැයේ දරුවන්ගේ පියා විසින් උත්තරීතර පිය සෙනෙහසේ නාමයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා රිසානාට සමාව ලැබේවා යි අපි අපේක්‍ෂා කරමු.

තුෂාරී කළුබෝවිල

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.