පළමුව උපකුලපති හිසට දෙවනුව දෙමව්පිය හිසට!

ලෝකයේ බොහෝ රටවල විශ්වවිද්‍යාලයන් හි උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් පත්‍ර කැඳවීමේදී අදාළ වර්ෂයේ කිසියම් උපාධි පාඨමාලාවක්‌ ආරම්භ කරන දිනය මෙන්ම වසර 03 ක්‌ හෝ 04 කට පසු එම පාඨමාලාව අවසන් කොට උපාධි ප්‍රදානෝත්සවය පවත්වන දිනය පවා දැනුම් දෙනු ලැබේ. එය හුදු දැනුම් දීමක්‌ පමණක්‌ නොවන්නේ සියලු කටයුතු එම සඳහන් කළ දිනවකවානු අනුවම සිදුවන බැවිනි. එවන් ලෝකයක ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි එලෙස දින වකවානු සඳහන් කරනු තබා අඩුම වශයෙන් තුන් වසරක හෝ සිව් වසරක පාඨමාලාව අවසාන කිරීමට වසර කීයක්‌ ගතවෙනු ඇති ද යන්නවත් නිශ්චිතව කීමට නොහැකිය. එවැනි අවිනිශ්චිතතාවකට ප්‍රධානතම හේතුව අන් කිසිවක්‌ නොව සිසු ගැටුම් නිසා නිරන්තරයෙන් අධ්‍යයන පාඨමාලාවන්ට බාධා පැමිණීමය. එබැවින් මෙතරම් බලපෑමක්‌ කරන්නාවූ සිසු ගැටුම්වලට හේතු සොයා බැලීම සැමගේ යුතුකමක්‌ හා වගකීමක්‌ වේ.

සිසු ගැටුම්වලට හේතුවන්නේ ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි පවත්නා සිසු සුබසාධන හා අධ්‍යයන ගැටලුය යන්න සිසුන්ගේ පාර්ශ්වයෙන් බොහෝ විට කියෑවෙන හේතුවයි. එහෙත් එය පිළිගත නොහැක. මක්‌නිසාදයත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය අරගලයන් කලින් කලට උච්චාවචනය වන අතර ඊට සමගාමීව විශ්වවිද්‍යාලවල පහසුකම් අඩු වැඩි වීමක්‌ සිදු නොවේ. ඒ හැරුණු විට එක්‌ එක්‌ විශ්වවිද්‍යාලවල ඇති වන සිසු ගැටුම්වල තීව්‍රතාවය සහ ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි පවත්නා පහසුකම් අතර සහ සම්බන්ධතාවක්‌ නැත. වඩාත්ම බරපතළ සිසු ගැටුම් නිරන්තරයෙන් ඇති වන්නේ ශ්‍රී ලංකාවේ වඩාත්ම පැරැණි විශ්වවිද්‍යාල කිහිපය තුළ මිස මෑතකදී ආරම්භ කොට අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන විශ්වවිද්‍යාලවල නොවන බැවිනි. එයින් අදහස්‌ කරන්නේ සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් මෙරට විශ්වවිද්‍යාලවලින් සැපයෙන බව නොවේ. නිසැකවම සිසු ගැටුම් සඳහා පාදක වන වෙනත් හේතු හා බලවේග ඇති බවය. පසුගිය මාස කිහිපය තුළ විශ්වවිද්‍යාලයන්හි ගැටුම් උත්සන්න වූයේත් එහි උපරිමයක්‌ ලෙස රුහුණ සරසවි උපකුලපතිතුමන්ට හා ආචාර්යවරුන් කිහිපදෙනකුට පහර දෙනු ලැබුවේත් එම බලවේග හා හේතුකාරක මගිනි.

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ ශිෂ්‍ය කණ්‌ඩායම් විසින් උපකුලපතිවරුන් වටකොට ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගත් අවස්‌ථා බහුලය. එහෙත් ඒ කිසිදු අවස්‌ථාවක ශාරීරික වද හිංසා කොට තුවාල සිදුකිරීමක්‌ වාර්තා නොවේ. කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිතුමා තම නිල අසුන මතම මරා දැමූ නමුදු එය සිදුවූයේ එවන් ඝාතන දසදහස්‌ ගණනින් සිදුවූ අවිචාරවත් භීෂණ සමයකය. ඒ අනුව රටේ සාමාන්‍ය වාතාවරණයක්‌ පවතින අවස්‌ථාවක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විසින් තමන්ගේම උපකුලපතිවරයාට පොලු පහර දී තුවාල කිරීම සිදුවී ඇත්තේ මුල් වතාවටය. එබැවින් එය විශ්වවිද්‍යාල ශිෂ්‍ය විනයෙහිත් එනිසාම විශ්වවිද්‍යාලවල සාමකාමී පැවැත්මෙහිත් තීරණාත්මක කඩඉමක්‌ වනු ඇත. මේ පිළිබඳ ගැඹුරින් විමසා බැලීම අවශ්‍ය වන්නේ එබැවිනි.

උපකුලපති වැන්නකු සිසු ගැටුම් පවතින ස්‌ථානවලට නොයා යුතුය යන්න ඇතැමකුගේ මතය විය හැකිය. රුහුණ සරසවි උප කුලපතිවරයා සිසු ගැටුමක්‌ පවතින ස්‌ථානයකට ගිය මුල්ම අවස්‌ථාව මෙය නොවේ. මීට පෙරද එසේ ගොස්‌ ඇති අතර ඒ අවස්‌ථාවලදී ගැටුම සමනය වීමට එතුමන්ගේ සම්ප්‍රාප්තිය හේතු විය. අනෙක්‌ අතට එතුමන් ගියේ ගැටුමක්‌ පවතින තැනකට නොවේ. උදෑසන තමන්ගේ කාර්යාලයට යන අතරමඟ තැනෙක ගැටුමකට සූදානම් වී සිටි පිරිසක්‌ මැදටය. එසේ ගියේ ඔවුන් විසුරුවාහැර ගැටුම වළක්‌වාලීම සඳහාය. එහෙත් අවසානයේ ඔවුන් පහර දුන්නේ තමන් බලාපොරොත්තුවෙන් සිටි විරුද්ධවාදීන්ට නොගැටුම් සමනය කරන්නට පැමිණ සොහොයුරෙකු මෙන් උරහිසට අත තබා පන්තිවලට යන්න යෑයි කී උපකුලපතිතුමන් හටය. සිසුන් පහර දුන්නේ උපකුලපතිවරයාට පමණක්‌ නොවේ. පසුගිය තුන් වසරක කාලයක්‌ තුළ විද්‍යාපීඨ පීඨාධිපති පදවිය දැරූ ආචාර්ය පී. ඒ. ජයන්ත මහතාට ද, විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ආචාර්ය සමන් චන්දන මහතාට ද ඔවුහු පහරදුන්හ. තවත් ආචාර්යවරුන්ට අසභ්‍ය වචනයෙන් බැණ වැදුනහ. එසේනම් ඔවුන් ද සිසු ගැටුම් පවතින තැන්වලට නොයා යුතුයෑයි තර්කයක්‌ ගොඩනැඟිය හැකිය. එසේ වූ කල ගැටුම් පවතින ස්‌ථානවලට යැමට ඉතිරිවන්නේ ආරක්‌ෂක නිලධාරීන් පමණි. ඔවුන්ට පමණක්‌ ගැටුම් වැළැක්‌විය හැකිනම් විශ්වවිද්‍යාල තුළ කිසිදු ගැටුමක්‌ ඇති වීමට ඉඩක්‌ නැත.

එක්‌ සිසුවකු උපකුලපතිට පහර දුන්නේත් තවෙකෙකු පහර දෙන්නට වෑයම් කළේත් මේ අපගේ උපකුලපති යෑයි හඳුනා ගන්නට බැරිව නොවේ. එබැවින් මෙම පහරදීම අත්වැරදීමක්‌ හෝ අහම්බයක්‌ නොවේ. වෙනත් ආකාරයකට කිවහොත් මේ පහරදීමෙන් පෙනී යන්නේ උපකුලපතිතුමන් හා අනෙකුත් ආචාර්යවරුන් මෙම සිසුන්ගේ ඉලක්‌කයක්‌ව සිටි බවය. එසේ නොවිණි නම් වැරැදීමකින්වත් උප කුලපති දෙසට පොල්ලක්‌ විසිවීමට හෝ ඉඩක්‌ නොමැත. මේ ලිපියේ ප්‍රධාන අරමුණක්‌ වන්නේ එලෙස උපකුලපතිතුමන් ඇතුළු වත්මන් පරිපාලනය සිසුන්ගේ ඉලක්‌කයක්‌ වූයේ ඇයිද යන්නට හේතු විය හැකි කරුණු සොයා බැලීමයි. ගවේෂණය කිරීමයි. මෙවැනි දෑ තවදුරටත් සිදු නොවී විශ්වවිද්‍යාල සාමකාමීව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී එම තොරතුරු වැදගත් වනු ඇත.

එම හේතු සොයා බැලීමට පෙර රුහුණ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධාන පිළිබඳ යම් හැඳින්වීමක්‌ සිදුකළ යුතුව ඇත. පීඨ 07 කින් සමන්විත රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ 06 ක ම ශිෂ්‍ය සංගම් යම් ප්‍රමාණයකට සහයෝගීව කටයුතු කරන අතර ඔවුනගේ එකමුතුව "මහා ශිෂ්‍ය සංගමය" නමින් ඔවුන් විසින් නම් කරගෙන ඇත. (විශ්වවිද්‍යාල පනතට අනුව මෙය නීත්‍යනුකූල නමක්‌ නොවේ. පීඨ ශිෂ්‍ය සංගම්වල එකතුව විය යුත්තේ රුහුණ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය යන්නයි.) කෙසේ වුවද මෙම සංවිධානය තුළ මානව ශාස්‌ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේත්, කළමනාකරණ හා මූල්‍ය පීඨයේත්, කෘෂිකර්ම පීඨයේත් ශිෂ්‍ය සංගම්වල ක්‍රියාකාරීත්වය වඩාත් ඉස්‌මතු වන අතර ඔවුන් මේ රටේ ප්‍රධාන වාමාංශික දේශපාලන ප්‍රවාහයකට සහයෝගය දක්‌වන්නේය යන්න පොදු පිළිගැනීමයි. එහෙත් විශ්වවිද්‍යාලයේ පීඨ හතෙන් එකක පමණක්‌ ශිෂ්‍ය සංගමය, එනම් විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය, පෙරකී මහා ශිෂ්‍ය සංගමයට පක්‌ෂපාතීත්වයකින් තොරව එසේත් නැතිනම් ප්‍රතිවිරුද්ධව ක්‍රියාකරන සංවිධානයකි. දැනට දශකයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඔවුන් විද්‍යා පීඨ සිසුන් අතර සිය බලය ඉතා හොඳින් තහවුරු කරගෙන සිටී. එලෙස තම පීඨයේ සිසුන් අතර ඔවුන් ජනප්‍රිය වී ඇත්තේ මහා ශිෂ්‍ය සංගමයට පක්‌ෂපාතී සිසුන් කරන ඇතැම් අයහපත් දෑ ඔවුන් විසින් සිදු නොකර සිටීම මගින් මිස ඔවුන්ට සුවිශේෂවූ යහපත් වැඩපිළිවෙළ අමුතුවෙන් සිදු කිරීම මගින් නොවේ. නවක වදයෙන් තොරව පීඨය පවත්වාගෙන යැම, දේශපාලන පක්‌ෂවල අනුග්‍රහය ලබන පිකටින් ඇතුළු විරෝධතා ව්‍යාපාරවලට සිසුන් සහභාගි නොකිරීම, කැට ව්‍යාපාර ඔස්‌සේ මුදල් එකතු කිරීමෙන් වැලකීම ආදිය ඔවුන් එලෙස ජනප්‍රිය වීමට හේතු වූ කරුණුය. එහෙත් විද්‍යා පීඨ සිසුහුද අවිහිංසාවාදී නොවෙති. තම ස්‌ථාවරය හා ස්‌ථාවරත්වය රැක ගැනීම සඳහ ඔවුහු අරගලවලට දායකවෙති. එවැනි අරගල වඩාත් තීව්‍රවන්නේ නවක සිසුන් බඳවා ගන්නා කාලවලදීය. උපකුලපතිතුමාට පහර වැදුනේද එලෙස නවක සිසුන් බඳවා ගැනීමෙන් පසුව ඇති වූ ගැටුමක්‌ සමනය කරන්නට ගිය අවස්‌ථාවකදීය.

රුහුණ සරසවියේ උපකුලපතිතුමන් මේ ගත කරන්නේ තමන්ගේ දෙවැනි ධුර කාලයේ පළමු වසරයි. පසුගිය සිව්වසරකට ආසන්න එතුමන්ගේ පරිපාලනය තුළ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම්වලට විශේෂයෙන්ම "මහශිෂ්‍ය සංගමයට" බොහෝ "පාඩු" සිදුවිය. ඉතිහාසයේ පළමුවරට සිසුන්ගේ පහරදීමකට ඔවුන්ගේම උපකුලපතිවරයා ඉලක්‌ක වූයේ ඒ නිසා දැයි විමසා බලනු වටී. එය එසේ වී ඇත්නම් සිසුන් මේ පහරදී ඇත්තේ උපකුලපතිවරයාගේ හිසට නොව තමන්ගේම අම්මාගේ තාත්තාගේ හිසට බව එකී පාඩු දෙස විමර්ෂණාත්මකව බලන්නකුට පැහැදිලිව පෙනී යනු ඇත.

සෑම වසරකම විශ්වවිද්‍යාලයට නවක සිසුන් ඇතුළුවන කාල සීමාවේදී මහා ශිෂ්‍ය සංගමය මෙන්ම පීඨ ශිෂ්‍ය සංගම් ද ඉතා ක්‍රියාශීලීය. නවකයන් පිළිගන්නට අලංකාර තොරණ හා සැරසිලි ඉදිකිරීම ශිෂ්‍ය සුබසාධන හා අනෙකුත් ගැටලු විසඳන ලෙස බලකරන පෝස්‌ටර් තාප්ප බිත්ති පුරා ඇලවීම, ජ්‍යෙෂ්ඨ සිසුන් එකිනෙකා නවක සිසුන් හමුවී ඔවුන්ට ආවේණික ක්‍රමවලින් (නවක වදයේ කොටසකි) හඳුනාගැනීම ආදිය මේ කාලයේ දී සිදුවේ. විශ්වවිද්‍යාලයේ සියලු ප්‍රශ්න විසඳෙන්නේ තමන්ගේ බල කිරීම නිසා බව නවකයන්ට කියා දීමද ඒ අතරතුර සිදුවේ. නවකයන්ගේ මොළ ශෝධනය කොට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් මෙන් නායකත්වයට ඉතා හීලෑ රැළක්‌ බවට පත් කිරීමට මෙවැනි බේගල් බහුලව යොදා ගනී. මේ සියලු කටයුතු සති කිහිපයක්‌ තිස්‌සේ සිදුවීමෙන් අනතුරුව ඔවුනගේ පළමු මංගල්‍යය හෙවත් නවකයන් පිළිගැනීමේ උත්සවය පැවැත්වේ. නවකයන්ට දෙන මානසික අල්ලසක්‌ වශයෙන් මෙය අති උත්කර්ශවත් ලෙස පවත්වනු ලබයි. (උපාධිලාභීන් වී සරසවියෙන් පිටව යන සිසුනට දෙනු ලබන සමුගැනීමේ සාදය කුඩම්මාගේ සාදයකි. ඔවුන් පිටව ගිය පසු තම ව්‍යාපාරයට අවශ්‍ය සේවය ලබා ගැනීම සඳහා හීලෑ පිරිසක්‌ ලෙස පවත්වා ගැනීම අපහසුවීම මෙයට හේතුව විය හැකිය.)

මෙම නවක සාදයට විශාල මුදලක්‌ වැය කෙරෙන අතරතුර ඒ සඳහා සෑම වසරකම විශාල මුදලක්‌ වංචා සහගත ලෙස විශ්වවිද්‍යාලයෙන් ලබා ගැනීම අතීතයේදී සිදුවිය. එහෙත් එවන් අනිසි හා වංචාකාරී වියදම් බොහොමයකටම වත්මන් උප කුලපතිතුමන්ගේ පාලනය තුළ වැට බැඳිණි. උදාහරණයක්‌ ලෙස නවකයන් පිළි ගැනීමේ උත්සවය දින රාත්‍රියේ මල් වෙඩි සංදර්ශනයක්‌ පැවැත්වේ. ඒ සඳහා ඔවුන් මීගමුවේ සිට මාතර දක්‌වා මල් වෙඩි හෙවත් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදා ගනු ලැබුවේ වංචාසහගත ලෙස විශ්වවිද්‍යාලයෙන් ලබාගත් වාහනයකි. ඒ සඳහා වාහනයක්‌ කුලියට ගත හොත් රුපියල් 8,000 - 10,000 ක්‌ අතර මුදලක්‌ වැයවේ. එකී වාසියට අමතරව විශ්වවිද්‍යාලයේ නම සහිත වාහනය අතරමගදී දැඩි පරීක්‌ෂාවකට ලක්‌ නොවන බැවින් අනවසරයෙන් පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කර ගැනීමේ හැකියාවද ඉන් ලැබිණි. එහෙත් වත්මන් උපකුලපතිවරයා යටතේ එම අනිසි වරප්‍රසාදය අත්හිටුවනු ලැබිණි. ඒ මගින් මේ රටේ දුප්පත් දෙමව්පියන්ගේ බදු කාසි වලින් සුළු කොටසක්‌ හෝ නාස්‌ති වීම වැළකුණු අතරම පුපුරණ ද්‍රව්‍ය සහිත වාහනය අනතුරකට ලක්‌ව පිපිරීමක්‌ සිදුවූවහොත් එහි ගමන් කළ සිසුන්ගේ ජීවිත විනාශ වීමේ හා විශ්වවිද්‍යාල පරිපාලනය ඊට වගකිව යුතු වීමේ අවදානමටද තිත තැබිණි.

තවද සිසුන් මෙම නවක සාදය සඳහා යොදාගන්නේ විශ්වවිද්‍යාලයේ එළිමහන් සංදර්ශන භූමියයි. ඊට අවශ්‍ය ශබ්ද විකාශන පද්ධතියද වේදිකාවද කුලී ගෙවා පිටතින් ලබාගෙන ඊට වැයවන මුදල විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා පුරුද්දක්‌ තිබිණි. අවසන් වරට ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් මුදල රු. 75,000 කට ආසන්නය. එහෙත් වත්මන් උපකුලපතිතුමන්ගේ පරිපාලනය විසින් මේ ගැන සොයා බැලීමේදී ඒ සඳහා සැබවින්ම වැයවන මුදල ඉන් අඩක්‌ පමණ වන බව දැනගත හැකි විය. විශ්වවිද්‍යාල පරිපාලනය විසින් එම මුදල ලබාදීම ද එතැන් සිට නවත්වන ලදී.

තවද ශිෂ්‍ය සංගම් විසින් සංවිධානය කරන පිළිගැනීමේ සාද හා සමුගැන්මේ සාද බඳු උත්සව රාත්‍රි කාලයේදී අවසන් වන වේලාවක්‌ නොතිබිණි. (මෙවැනි අවස්‌ථාවල ආචාර්යවරුන් රෑ එළිවනතුරු එහි රැඳී සිටීමක්‌ද සිදු නොවේ.) වත්මන් පරිපාලනය මෙය ද සීමා කරමින් රාත්‍රි 10 න් පසු සියලු උත්සව නවත්වා තම තමන්ගේ නේවාසිකාගාර වෙත යා යුතුයෑයි නීතියක්‌ පනවනු ලැබිණි. ආරක්‌ෂක අංශයේ දායකත්වයෙන් එය ක්‍රියාත්මක කිරීමට ද වග බලා ගැනුණිs. එසේම ශිෂ්‍ය සංගම් කාර්යාල ලෙස භාවිත කිරීමට විශ්වවිද්‍යාල ගොඩනැඟිලිවලින් ලබා දුන් කාමරයේ ශිෂ්‍ය සංගමයේ නිලතල දරන සිසුන් හා සිසුවියන් රැයක්‌ දවාලක්‌ නොතකා රැඳී සිටීමද සිදුවෙමින් පැවති අතර එයද වළක්‌වාලමින් රාත්‍රියට එහි රැඳී සිටීම සිසුනට තහනම් කරන ලදී.

වත්මන් උපකුලපතිතුමා පත්වීමෙන් පසුව නේවාසිකාගාර පරිපාලනය විධිමත් කිරීම හේතු කොටගෙන ද සිසුන්ට "පාඩු" සිදුවිය. ඊට පෙර කාලවලදී නේවාසිකාගාරවල අනවසර සිසුහු බහුල වූහ. උපකරණ හා බඩු භාණ්‌ඩ කඩා බිඳ දැමීම ඉතා සරල කරුණක්‌ සේ සැලකිණි. වත්මන් පරිපාලනය විසින් අනවසර පදිංචිකරුවන්ගෙන් දඩ මුදල් අයකර ගැනීමද නොසැලකිලිමත් ලෙස විනාශ කරන භාණ්‌ඩ සඳහා අලාභ අයකිරීමද තහවුරු කෙරී ඇත. උදාහරණයක්‌ ලෙස නේවාසිකාගාර ගොඩනැඟිලිවල සවිකර තිබූ ගිනි නිවන උපකරණ විනෝදයට ක්‍රියාත්මක කළ විද්‍යා පීඨ සිසුන්ගෙන් එහි වටිනාකම මෙන් දෙගුණයක්‌ අයකර ගැනිණි. එනිසාම එවැනි විෂමාචාරයන් අවම වී ඇත. තවද නේවාසිකාගාරවලට මත්පැන් ගෙන ඒම තහනම් කරමින් මෙතෙක්‌ පැවති නීතියට තවත් වගන්තියක්‌ එක්‌ කරමින් සංශෝධනය කරමින් නේවාසිකාගාරවල බීමත්ව රැඳිසිටීම ද දඬුවම් ලැබිය හැකි වරදක්‌ බවට පත්කර ඇත. එලෙස හැසිරුණ සිසුන්හට මේවන විටත් දඬුවම් පමුණුවා ඇත.

පිළිගැනීමේ හා සමුගැනීමේ සාද හැරුණුවිට "මහා ශිෂ්‍ය සංගමයේ" අනුග්‍රහයෙන් හා සංවිධායකත්වයේ තවත් උත්කර්ෂවත් උත්සවයක්‌ ද්විවාර්ෂිකව විශ්වවිද්‍යාලයේ පැවැත්වේ. එනම් කලා උළෙලයි. ඒ සඳහා එක්‌ වරකට වැයකෙරෙන මුදල රුපියල් මිලියනයකට අධිකය. එයින් වැඩි කොටසක්‌ ඔවුන් ලබා ගන්නේ විශ්වවිද්‍යාලයෙනි. ඉතිරිය ඔවුහු කැට ව්‍යාපාර මගින් හා වෙනත් ආයතනවලින් එකතුකර ගනිති. විශ්වවිද්‍යාලයීය කලා උළෙලක්‌ පැවැත්විය යුතු වන්නේ මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසු සිසුවියන්ගේ කලා කුසලතාවන් ඔප්නැංවීම හා ඒවා අගැයීම සඳහාය. එහෙත් "මහා ශිෂ්‍ය සංගමයේ" මූලිකත්වයෙන් සංවිධානය කරන මෙම උත්සවයට ඔවුන් ප්‍රදේශයේ පාසල් පද්ධතියද සම්බන්ධ කර ගනී. ඒ සඳහා ඒ ඒ පාසල් කරා යන සරසවි සිසුන්ම විනිශ්චයකරුවන් ලෙස ක්‍රියාකර පාසල් නිර්මාණ අතුරින් ඇතැම් ඒවා සුදුසුයෑයි තෝරා ගනී. කලා උළෙලේදී වේදිකාගත කෙරෙන්නේ එලෙස තෝරා ගනු ලබන නිර්මාණයන්ය. කලා උළෙල තුළදී එහි සංවිධායක සිසුන් පවත්වන දේශනවලට සවන්දීමේදී හැඟීයන්නේ සමස්‌ත ක්‍රියාවලිය තුළම සැබෑ කලා උළෙලකට වඩා කිසියම් දේශපාලන ක්‍රියාවලියක ස්‌වරූපයක්‌ ඇති බවයි. තවද කලා උළෙලට ඉදිරිපත් වන නිර්මාණ අතර ප්‍රමුඛත්වයක්‌ ගන්නේ පාසල් දරුවන්ගේ නිර්මාණ මිස සරසවි සිසුන්ගේ නිර්මාණ නොවේ. මේ අනුව මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම කලා උළෙල මගින් සිදුකරන්නේ තම දේශපාලන මතවාදය පාසල් සිසුන් අතරට ද රිංගවා ඔවුන් අතුරින් විශ්වවිද්‍යාලයට තේරෙන දරුවන් වේලාසනම තම මතයට අනුගත කරවාගැනීම විය හැකිය යන සාධාරණ සැකය නිතැතින්ම ඇති වේ. මීට තවත් සාක්‌ෂියක්‌ නම් තම විශ්වවිද්‍යාලයේම විරුද්ධ මතවාද දරන

පළමුව උපකුලපති

විද්‍යා පීඨ සිසුන් මේ සඳහා සහභාගිකර නොගැනීමයි. මේ සඳහා විශ්වවිද්‍යාලයෙන් විශාල මුදලක්‌ ලබා ගැනෙන අතර වෙනත් විවිධ ආයතන හා කැට ව්‍යාපාරවලින්ද මුදල් උපයා ගනී. එහෙත් ඒවායේ වියදම් විස්‌තර විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කිරීම සිදුනොවේ. මේ සියල්ල නිරීක්‌ෂණය කළ වත්මන් උපකුලපතිතුමාගේ පරිපාලන එහි මූල්‍ය කටයුතු විනිවිදභාවයකින් යුක්‌තව පවත්වා ගැනීම උදෙසාත් උසස්‌ නිර්මාන සාධාරණ ලෙස ඇගයීම අදාළ ක්‍ෂේත්‍රයන්හි අදාළ ප්‍රාමාණිකයන් ලවා සිදු කිරීම සඳහාත් විශ්වවිද්‍යාලයේ කලා උළෙලට සියලු පීඨවල දායකත්වය ලබා ගැනීම සඳහාත් ආචාර්යවරුන්ගෙන් සමන්විත කලා උපදේශක මණ්‌ඩලයක්‌ පිහිටුවා කලා උළෙලේ සියලු කටයුතු අධීක්‌ෂණය කිරීම එයට පවරන ලදී. එයද මහා ශිෂ්‍ය සංගමයේ සතුටට හේතු වූවක්‌ නම් නොවීය.

විශ්වවිද්‍යාලයට නවක සිසුන් ඇතුළු කර ගැනීමෙන් පසු උපාධි පාඨමාලාවට අදාළ දේශන ආරම්භ කිරීමට පෙර ඔවුන්ට ඉංගී්‍රසි දැනුම ලබා දීමටත් ශිෂ්‍ය විනය හා විෂය පරිබාහිර විවිධ ක්‍ෂේත්‍ර පිළිබඳ දැනුවත් කිරීමටත් මාසයක දෙකක පමණ කාලයක්‌ වෙන් කරණු ලැබේ. මෙය හැඳින්වෙන්නේ නමිනීකරණ වැඩ සටහන වශයෙනි. මානව ශාස්‌ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේත් කළමනාකරණ හා මූල්‍ය පීඨයේත් මෙම වැඩසටහන් තුළ ඉංගී්‍රසි ඉගැන්වීම හැරුණු කොට අනෙකුත් කටයුතුවල මූලිකත්වය ගෙන තිබුණේ එහි ශිෂ්‍ය සංගමයයි. මෙය බරපතල වරදක්‌ ලෙස නිරීක්‌ෂණය කළ වත්මන් උපකුලපතිතුමන්ගේ පරිපාලනය එහි සියලු කටයුතු ආචාර්ය මණ්‌ඩලය යටතට ගැනීමට තීරණය කරන ලදී. ඒ අනුව දැන් එය මනා සංවිධානයකින් හා ප්‍රමිතියකින් යුක්‌තව පැවැත්වෙන අතර ශිෂ්‍ය සංගම්වලට ඔවුන්ගේ මතවාද නවකයන් තුළට රිංග වීමේ ඉඩකඩ ඇහිරී ඇත.

දැනට විශ්වවිද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර පවතින්නේ විශ්වවිද්‍යාලයට කිලෝ මීටරයක්‌ පමණ දුරිනි. සවස හය පමණ වන තෙක්‌ දේශන පැවැත්වෙන බැවින්ද එයින් අනතුරුව ඈතින් පිහිටි නේවාසිකාගාර වෙත යැමට සිදුවීම ශිෂ්‍යාවන්ට උචිත නොවිය හැකි බැවින්ද විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ පිහිටි අභ්‍යන්තර නෝවාසිකාගාර ශිෂ්‍යාවන්ට ලබාදී ඇත. එහෙත් මෙම කාන්තා හා පිරිමි නේවාසිකාගාර මාරු කර ගැනීමට මහා ශිෂ්‍ය සංගමයට දැඩි වුවමනාවක්‌ ඇත. ඒ බාහිර දීට වඩා ආරක්‌ෂිතව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළදී දේශපාලන කටයුතු ඇතුළු ඔවුන්ගේ ශිෂ්‍ය ක්‍රියාකාරකම් වඩාත් ආරක්‌ෂිතව කළ හැකි බැවිනි. එනිසා මෙම මාරුව සිදුකර ගැනීමට ඔවුහු විවිධ උපක්‍රම යෙදූහ. වරෙක සරසවියෙන් පිටතදී ගම් වැසියන් පහර දුන්නේ යෑයි කියමින් විශ්වවිද්‍යාල ගොඩනැඟිලි තුළට පැමිණ පදිංචි වූහ. (ඔවුන්ගේම පැමිණිල්ලට අනුව ගම් වැසියන් පහර දුන්නේ යෑයි සඳහන් කෙරුණු වේලාවත් එසේ පහර කෑමෙන් අනතුරුව කුලියට බස්‌ රථයක්‌ ලබාගෙන ඇඳුම් බෑග් හා පොත් පත් ද සමග සිසුන් එහි පටවාගෙන විශ්වවිද්‍යාලය තුළට ඒමට ගතවූ වේලාවත් අතර කාල පරතරය විනාඩි 15 ක්‌ පමණ සුළු කාලයක්‌ විය.) එහෙත් විශ්වවිද්‍යාලය විසින් පොලිසියේද සහාය ඇතිව ඔවුන් නැවතත් පෙර නේවාසිකාගාරවලම ස්‌ථානගත කරනු ලැබිණි. එයින් පසුව කිසිදු ගම්වැසියකු ඔවුන්ට පහර දුන්නේ නැත.

මේ සියල්ල ශිෂ්‍ය සංගම්වල සතුටට හේතු වූ පෙරැළි නොවේ. ශිෂ්‍ය සංගම් මේවා දකින්නේ පරිපාලනයෙන් සිසුන් වෙත එල්ල කෙරෙන මර්දනයන් වශයෙනි. එහෙත් මෙකී වෙනස්‌කම් හරහා විශ්වවිද්‍යාල පරිපාලනය බලාපොරොත්තුවූ අරමුණු කිහිපයක්‌ ඇත්තේය. එයින් පළමු වැන්න මේ රටේ දුප්පත් දෙමාපියන් සීනි කිලෝවක්‌ පාන් රාත්තලක්‌ ගන්නා විට ඒ සමග රජයට ගෙවන බදු කාසි වලින් විශ්වවිද්‍යාලය පවත්වාගෙන යැමට ලැබෙන කොටස තුළ එක්‌ ශතයක්‌ හෝ අනිසි හා අසාධාරණ ලෙස වැයවීම වළක්‌වාලීමට උත්සහ ගැනීමයි. දෙවැන්න සරසවියට පැමිණ සිටින එකී දෙමවුපියන්ගේම දූ පුතුන්ගේ ආරක්‌ෂාව තහවුරු කිරීමයි. තෙවැන්න ඒ දරුවන් රටට හා කාලයට ගැලපෙන අංග සම්පූර්ණ උපාධිධාරීන් බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි. එබැවින් සිසුනගේ පොලු පහරට උපකුලපතිතුමන් ඉලක්‌ක වූයේ මෙකී වෙනස්‌ කම් කළ නිසාවෙන් නම් ඔවුන් ඒ පොලු පහර එල්ලකර ඇත්තේ උපකුලපතිතුමන්ගේ හිසට නොව තමන්ගේම අම්මා තාත්තාගේ හිසට බව පැහැදිලි වනු ඇත. මක්‌නිසාද යත් ඉහත කී අරමුණු සිසුනගේ කෙසේ වෙතත් ඔවුන්ගේ දෙමවුපියන්ගේ ඒකායන අරමුණ වන බැවිනි.

අවසාන වශයෙන් තවත් කරුණක්‌ සඳහන් කළ යුතුව ඇත. මේ තත්ත්වය සිසුන් තවමත් තේරුම් ගෙන නැතිනම් ඔවුන් යළිත් වරක්‌ තම අම්මලා තාත්තලාගේ හිසට පහර දෙනු ඇත. එහෙත් ඒ ඊළඟ පහර වැදීමට බොහෝවිට ඉඩ ඇත්තේ වත්මන් නියෝජ්‍ය උපකුලපතිතුමාටය. මක්‌ නිසාද යත් උපකුලපති, නියෝජ්‍ය උපකුලපති දෙපළ විසින් මනා සුසංයෝගයකින් යුක්‌තව මේ සියලු ශිෂ්‍ය පරිපාලන කටයුතු කරන බැවිනි.

මීගහතැන්නේ ජයතිස්‌ස
උද්භිද විද්‍යා මහාචාර්ය
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.