බණ අහමින් ඉන්න ගමන් ඇස්‌ පියවුණු අම්මා

අවුරුදු 106ක්‌ ආයු වළඳා ඉසබෙලා මාතාවගේ කතාව

ඉසබෙලා මහත්මිය ධර්මය
ශ්‍රවණය කරමින්- අසල සිටින්නේ දියණියයි

"සියල්ලන්ටම දැනගත හැකි වූයේ ධර්ම දේශනාව අතරතුර ඇය මෙලොවින් සමුගෙන ඇති බවයි. මෙහි ඇති විශේෂත්වය නම් ධර්ම දේශනාව අතරතුර දී වූ මෙම සිද්ධිය දියණිය දැන ගෙන සිටියත් එය හෙළිනොකර දුක ඉවසාගෙන අන් අයට බාධා නොකර ඉවසාගෙන සිටීමයි"

"මරණය" අප කාටත් පොදු වූ ලෝක ධර්මතාවක්‌. එය කවදා, කොහේ, කොහොම, කෙසේ සිදුවේදැයි කිසිවෙකුට කල් තියා කිව නොහැකියි. මරණාසන්න අයකුට තමන් අදහන ආගම සිහිකරදීම අප සමාජයේ මුල් බැසගත් සිරිතකි. බලාපොරොත්තු නොවූ අවස්‌ථාවක, පිරිසක්‌ මැද, විහාරස්‌ථානයක, ධර්මදේශනාවක්‌ පැවැත්වෙමින් තිබියදී යම් කෙනෙකුගේ ප්‍රාණය නිරුද්ධ වූවා කීවොත් එය දුර්ලභ ගණයේ සිද්ධියක්‌ වශයෙන් හැඳින්වීම වරදක්‌ නොවේ. අවුරුදු 106 ක්‌ ආයු වළ¹ දරුවන් හත්දෙනකුගේ මාතාවක්‌ එවැනි දුර්ලභ ගණයේ සිද්ධියකට පසුගියදා මුහුණ පෑවාය. ඇය ගලේවෙල, කළහකැලේ බතලකොටුව පදිංචි කේ. ඒ. ඉසබෙලාහාමි නම් උපාසිකා මාතාවයි. පසුගිය 13 වැනි දා ගලේවෙල පුවක්‌පිටියේ ශ්‍රී බෝධිරාම විහාරස්‌ථානයේදී වැඩිහිටි දිනය නිමිත්තෙන් උපහාර උළෙලක්‌ පැවැත්විණි. විහාරාධිපති සාමවිනිසුරු දේශප්‍රේමී විජිතනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්‌ථානයේ තරුණ බෞද්ධ සංගමය විසින් මෙය සංවිධානය කර තිබුණි. එම විහාරස්‌ථාන ධර්ම ශාලාවේ පැවැති මෙම උත්සවයට ප්‍රදේශයේ වැඩිහිටි ගැහැනු පිරිමි විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. ඔවුන් අතර ඉසබෙලාහාමි මාතාවද කැඳවාගෙන පැමිණ සිටියේ ඇයගේ දරුවන් විසිනි. ඇය වයෝවෘද්ධ තත්ත්වයේ පසු වූ බැවින් දරුවන් විසින් ඔසවාගෙන පැමිණ ධර්මශාලාවේ කොනක තබා තිබූ මෙට්‌ටයක හාන්සිකර තබන ලදී. මේ අතරතුරදී පැමිණ සිටි වැඩිහිටියන්ට තේ පැන් හා ආහාර පාන ආදියෙන් ද සංග්‍රහ කිරීමට සංවිධායක මණ්‌ඩලය කටයුතු කළහ. තරුණ තරුණියෝ විශාල පිරිසක්‌ ඒ සඳහා සැදී පැහැදී සිටි අතර එම උවටැන් සිදු වූ ආකාරය, වත් පිළිවෙත් ආදිය පැමිණ සිටි කුඩා දරු දැරියන්ට නැවුම් අත්දැකීමක්‌ මෙන්ම මහඟු ආදර්ශයක්‌ වන්නට ඇත.

ඉන් පසුව විශේෂ ධර්මදේශනයක්‌ පැවැත්වීම ආරම්භ විය. ඒ සඳහා ශාස්‌ත්‍රපති පණ්‌ඩිත ගලගෙදර අමරරතන හිමියෝ වැඩම කර සිටියහ. සියලු දෙනාම නිශ්ශබ්දව ධර්ම ශ්‍රවණය කරන්නට වූහ. වයෝවෘද්ධ මාතාවද සිය දියණියන්ගේ රැකවරණය මැද ධර්මශ්‍රවණය කරමින් සිටියාය.

ධර්මදේශනාව අවසානයේදී සියල්ලන්ටම දැනගත හැකිවූයේ ඒ අතරතුර කාලයේදී මේ මාතාව මෙලොවින් සමුගෙන ඇති බවයි. මෙහි ඇති විශේෂත්වය නම් ධර්ම දේශනාව පැවැත්වෙද්දී සිදු වූ මේ සිද්ධිය දියණිය දැනගෙන සිටියත් එය හෙළි නොකර, දුක ඉවසාගෙන අන් අයට බාධා නොකර නිහඬව සිටීමයි.

යමෙකු මියයන මොහොතේ ක්‍රියාත්මක වන සිත හඳුන්වන්නේ "චුති සිත" නමිනි. චුති සිතට ඔහු හෝ ඇය කළ කුසළ හෝ අකුසල කර්මයන් අරමුණු වේ. එහි ඵලයක්‌ ලෙස යහපත් හෝ අයහපත් භවයක ඊළඟ පිළිසිඳ ගැනීම සිදුවේ. බුදු වදනේ එසේ සඳහන්ව ඇත. ඒ අනුව මෙම මාතාවගේ මරණය සිදු වූ ආකාරය ගැන විහාරාධිපති හිමියන් පැවසුවේ විහාරස්‌ථානය තුළ ධර්මදේශනාවට සවන්දෙමින් සිටින අතරතුරදී කෙනකුගේ ප්‍රාණ වායුව ශරීරයෙන් බැහැරවී යැම දුර්ලභ ගණයේ සිද්ධියක්‌ බවයි. ඒ නිසා එම මාතාව යහපත් භවයක ඉපිද නිවන් ලැබිය හැකි වාසනාව උදාවිය හැකි බව ද උන්වහන්සේ ප්‍රකාශ කළහ. උපහාර උළෙල අවසානයේදී වැඩිහිටියන්ට බේත් හේත් හා ත්‍යාග ප්‍රදානයක්‌ද සිදුවිය.

ගලේවෙල විශේෂ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.