නීල් අදිකාරම්ගේ ගුණ සුවඳ බිඳක්‌

ශ්‍රී ලාංකික සමාජ, ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී ගමත්, ග්‍රාමීය කෘෂි ආර්ථිකයක්‌ කිසිසේත් බැහැර කළ නොහැකි බව පිළිගත් සමාජ ආර්ථික විද්‍යාඥයෝ ස්‌වල්ප දෙනෙක්‌ ද වූහ. ඔවුහු කිසිවිටෙක බටහිර දළදඬු ආර්ථික න්‍යායන්හි සිරකරුවෝ නොවූහ. පාරම්පරික කෘෂි කර්මාන්තය නවීකරණය කළ හැකි මාර්ග සියුම්ව විමසා බලමින් නව ආර්ථික දැක්‌මක්‌ සකසා ගැනීම සඳහා ඔවුහු කැප වූහ. මේ ආර්ථික ක්‍රියාදාමය සඳහා සිය ජීවිතයම කැප කරමින් විවිධ දුෂ්කර ක්‍රියා කළ අයෙක්‌ ලෙස දැන් දැයෙන් සමුගෙන යන නීල් අදිකාරම්ගේ මහතා හැඳින්වීම නිවැරැදිය.

අදිකාරම් මහතා ඉතා නිහඬව ඒ සමාජ ආර්ථික ක්‍රියාවලියෙහි අඛණ්‌ඩව යෙදී සිටියේය. ගැමි දිවිය පිළිබඳ ඔහුගේ ඇගැයීම් පාසල් වියේදී සිටම ඔහු ලත් අගනා අභ්‍යාසයක්‌ බව නිසැකය. කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයෙන් පසුව කොළඹ ආනන්ද මහ විදුහලෙන් නීල් අදිකාරම් තරුණයා අලුතින්ම නිර්මාණය කළ බව නිසැකය. එකල, එනම් 1956 දී ඇරැඹුණු සංස්‌කෘතික ප්‍රබෝධය මෙන්ම ඊ. ඩබ්ලිව්. අදිකාරම් මෙත්තානන්ද වැනි විශිෂ්ට ගුරුවරුන්ගේ ආදර්ශය ද ඔහුට ලැබිණි.

සිය ජාතික සංස්‌කෘතික සිතිවිලි පසු කලක වඩාත් මුවහත් වූයේ ඔහු තෝරාගත් වෘත්තීය මාර්ග ද විය හැකිය. වරප්‍රසාද සහිත පන්තියකට සීමා වූ බැංකු ක්‍රමය සමතික්‍රමණය කරමින් බිහි වූ මහජන බැංකුව සමග ග්‍රාමීය බැංකු ක්‍රමයට එක්‌වූ තරුණ අදිකාරම්ගේ මහතා සුබසිංහ මහතා සමග එදා කළ කාර්යභාරය දන්නා අය අදත් සිටිති.

අනතුරුව ඔහු සම්බන්ධ වූයේ සමුපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛ සංවිධානය වන ජාතික සමුපකාර මණ්‌ඩලයටය. සමුපකාරය මේ රටේ ජන මනස තුළ මුල් බැස ගත් සංකල්පයක්‌ බව දැන සිටි ඔහු ඒ සඳහා ඉතා සාධනීය සැලසුම් ද සැකසීය. 1977 විවෘත ආර්ථිකයත් සමග ගැටෙමින් සමුපකාරය ඉදිරියට ගෙන යැමට ද ඔහු දායක විය. අදිකාරම්ගේ මහතා මේ රටේ බිහිවූ කෘෂි සංවර්ධන අධිකාරියේ ද පළමු කාර්ය මණ්‌ඩලයට අයත් විය. එහි අධ්‍යක්‍ෂවරයකු ලෙස ග්‍රාමීය කෘෂිකර්මාන්තය නංවාලීමට ඔහු මහත් සේ කැප විය. ඉනික්‌බිතිව ඔහු කෘෂි සංවර්ධන අධිකාරියෙන් ද ඉවත්ව ස්‌වාධීන ආයතනයක මාර්ගයෙන් ග්‍රාමීය කෘෂි යෝජනා ක්‍රියාත්මක කළේය.

අනුරාධපුරය, මොණරාගල හා අම්පාර දිස්‌ත්‍රික්‌කවල ගොවියන්ගේම සංවිධාන හා ආයතන ද බිහිකරලීමට ඔහුට හැකි විය. ඔහුගේ එම යෝජනා ග්‍රාමීය ගොවි ජනතාව යටත් කරගෙන සිටි අධිපතීන්ට හා ඔවුන්ට සෙවණ දුන් බහුජාතික සමාගම්වලට ද මහත් හිසදරයක්‌ විය. එහෙත් ඔහු නැවතීමට නොහැකි විය.

අදිකාරම්ගේ මහතා ඉතා කලාතුරකින් පුවත්පත්වලට තම අත්දැකීම් ද ලීවේය. ඔහු පළ කළ අදහස වූයේ ගොවියාත් ග්‍රාමීය සංවර්ධනයත් පාලකයන්ගේ වැඩි අවධානයකට නතු විය යුතු බවය. ඔවුන්ට දිරි දීම් කළ යුතු බවය. කලකිරීම් හෝ පසු බැසීම් වෙනුවට අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ යුතුය යන්න ඔහුගේ දර්ශනය වී තිබිණි.

නීල් අදිකාරම්ගේ මහතා නිල බල සොයා ගිය අයෙක්‌ ද නොවීය. සමාජයට රටට යමක්‌ කිරීම පුද්ගලයාගේ සතුටට හේතු වන බව ඔහු නිතරම කීවේය. නිරහංකාර හා අපිස්‌ ජීවිතයකට හුරුව සිටි ඔහු ස්‌වභාවයෙන්ම උතුම් මිනිස්‌ ගුණයෙන් පිරි අයෙක්‌ ද විය. ඉතා චාම් ජීවිතයකට හුරුව සිටි ඔහු යස ඉසුරු තාන්න මාන්න සොයා හඹා යන සමාජය තුළ නිහඬව නිසසලව සිටි ප්‍රතාපවත් චරිතයකි. උතුරා යන මානව දයාවෙන් ද අවිහිංසාවෙන් ද යුතු ඔහුගේ මනස අතිශයින්ම නිරෝගී විය. දානය ඔහුගේ සසර පුරුද්දකි. ප්‍රිය වචනය මුවඟ නිතරම ළෙල දුනි. උපේක්‍ෂාවෙන් ජීවිතය දෙස බලන්නට ඔහුට හැකි විය. බොල් පිළිම පුදන සමාජයක ඔහු වැනි අගනා මිනිසුන් සමුගැනීම සංවේගයකි. එහෙත් තමන් ජීවත් වූ යුගය ජාතික සංස්‌කෘතික හරයන් සමග බැඳුණු සාඩම්බර මතකයක්‌ ඉතිරි කර ඔහු සමුගෙන යයි. නීල් අදිකාරම්ගේ මහතාට නිවන් සුව ලැබේවා!

ගාමිණී සුමනසේකර
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.