ගිළුණු ටයිටැනික්‌ නැවෙන් ගොඩ ආ කේට්‌

ටයිටැනික්‌ චිත්‍රපටයේ රෝස්‌ගේ චරිතය රඟපෑමෙන් ලොව ප්‍රකට වූ ඇය 2008 වසරේදී තිරගත වූ "ද රීඩර්" චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළිය සඳහා ඇකඩමි සම්මානයද දිනාගත්තාය.

කේට්‌ එලිසබෙත් වින්ස්‌ලට්‌ නම් වූ ඇය මේ වන විට ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැගි ලොව ප්‍රකට නිළියකි. ජනප්‍රිය ගායිකාවකි.

එංගලන්තයේ බේක්‌ෂයර්හිදී 1975 ඔක්‌තෝබර් 5 වැනිදා උපන් කේට්‌ වින්සල්ට්‌ නාට්‍ය පිළිබඳව කුඩා කල සිටම ඉගෙන ගත්තාය. 1991 දී වෘත්තීය කලා දිවිය ඇය ඇරඹුවේ යන්තමින් වයස අවුරුදු 16 ක්‌ වෙද්දීය. 1994 දී හෙවන්ලි ක්‍රීචර්ස්‌ චිත්‍රපටයෙන් සිනමා ලොවට පිවිසි ඇය 1995 වසරේදී සෙන්ස්‌ ඇන්ඩ් සෙන්සිබිලිට්‌ චිත්‍රපටයේද සැලකිය යුතු චරිතයක්‌ රඟපෑවේය. ඇගේ සාර්ථකත්වයේ කඩඉම 1997 ටයිටැනික්‌ චිත්‍රපටයේ රඟපෑමයි.

ටයිටැනික්‌ චිත්‍රපටයේ රෝස්‌ගේ චරිතයත් සමග ඇය ඉහළම සිනමා තාරකාවක්‌ බවට පත්විය. ඇමරිකානු ඩොලර් බිලියන 1.843 ක ආදායමක්‌ ලබමින් ලොව පුරා රටවල් රැසක බොක්‌ස්‌ ඔෆීස්‌ වාර්තා පිහිටුවන්නට ටයිටැනික්‌ සමත්විය.

ඉන්පසු කේට්‌ වින්සල්ට්‌ හට චිත්‍රපට ගලාආවේ නිරායාසයෙනි. යෞවන යෞවනියන්ගේ සිහින රැජින බවට ඇය පත්කරන්නට ටයිටැනික්‌ සමත්ව තිබිණි.

ඇය රඟපෑ චිත්‍රපට දිගින් දිගටම සාර්ථක වෙද්දී විවිධ සම්මාන පිට සම්මාන ඇයට හිමි විය. චිත්‍රපට නළුවකු වූ ස්‌ටීවන් ටේ්‍රඩර්ස්‌ සමග ඇය වසර පහක්‌ සබඳතා පැවැත්වූවාය. එහෙත් ඒ කාලයේදීම ඔහු ඇට මිදුළු පිළිකාවකින් මිය ගියේය. ඉන් පසු ටික දිනකින් රාෆුස්‌ ස්‌වෙල් සමග ඇය සබඳතාවක්‌ ඇරඹුවාය.කෙසේ වෙතත් 1998 නොවැම්බර් 22 වැනිදා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වන ජිම් තෙරප්ලේටන් සමග ඇය විවාහ වූවාය.

2000 වසරේ ඔක්‌තෝබර් 12 වැනිදා ඇයට මියා නමැති දියණියක ලැබිණි. 2001 වසරේදී කේට්‌ සිය සැමියා ගෙන් දික්‌කසාද වූවාය. යළිත් සෑම් මෙන්ඩේස්‌ නමැත්තකු සමග සබඳතාවක්‌ ආරම්භ කළ ඇය 2003 මැයි 24 දා කැරිබියන් දූපත් හිදී විවාහ වූහ. ඔවුන් දෙදෙනාගේ පුත් රෝ අල්ෆ් වින්සල්ට්‌ මෙන්ඩේස්‌ 2003 දෙසැම්බර් 22 දා උපත ලැබීය. 2010 මාර්තු මස ඔවුන් දෙදෙනා දික්‌කසාද වූහ.

2008 වසරේ දී කේට්‌ රඟපෑ "ද රීඩර්" චිත්‍රපටය අතිශය සාර්ථක විය. ඇගේ රඟපෑම ලොව පුරා ගෞරවයට පාත්‍රවිය. හොඳම නිළිය ලෙස ඇකඩමි සම්මානය හොඳම නිළිය ලෙස යුරෝපා සිනමා සම්මානය ඇතුළු සම්මාන ගණනාවක්‌ ඒ වෙනුවෙන් ඇයට හිමිවිණි. 2008 වසරේම ඇය රඟපෑ රෙවොලුෂනරි රෝස්‌ චිත්‍රපටයටද සම්මාන රැසක්‌ ඇයට හිමිකර දුනි.

ඇය මේ වන විට ලොව බිහිවූ දක්‍ෂතම නිළියක්‌ බවට ඔප්පුකර හමාරය. දැනට තිස්‌පස්‌ හැවිරිදි වියේ පසුවන ඇය සිනමා දිවියේ තවත් දිගු ගමනක්‌ යන බවට සැක නැත. චරිතය සඳහා ඕනෑම කැපකිරීමකට සූදානම් ඇය පසුගිය කාලයේ වරක්‌ පැවසුවේ නිරුවත වුව පෙන්වීමට තමන් පසුබට නොවන බවයි.

"ද රීඩර්" චිත්‍රපටයේ ඇගේ නිරුවත ප්‍රදර්ශනය කළ ද ඇය කෙතරම් අති දක්‍ෂ නිළියක්‌දැයි යන්න ලොවටම පෙන්වා දුන්නේ එම චිත්‍රපටයයි.

ජනිත සෙනෙවිරත්න

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.