ගෑස්‌ කථා මැද හෝස්‌ ගාන කිරිපිටි

කිරි පිටි මිල ඉහල දැමීම සම්බන්ධයෙන්
යළිත් වතාවක්‌ කතා බස්‌ ආරම්භ වී තිබේ.

පාරිභෝගිකයා රැක ගන්න අතරම කිරි පිටි සමාගම්ද කඩා නොවැටී රැක ගැනීම තම අරමුණ බව වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කරන ලදී.

කෙසේ වෙතත් කිරි පිටි මේ අවස්‌ථාවේ ඉහල දැමීම ජනතාවට දැඩි අපහසුතා මතු කරන තත්ත්වයකි. එබැවින් කිරි පිටි බදු ඉවත් කිරීම හෝ වෙනත් සහන සැපයීම මගින් හෝ කිරි පිටි මිල වත්මන් තත්ත්වයේම පවත්වා ගැනීමට රජයට හැකියාව තිබේ.

කිරි පිටි මිල වැඩි කරන හැම අවස්‌ථාවකදීම දියර කිරි වැඩපිළිවෙල ගැන රජය යම් යම් ප්‍රකාශ නිකුත් කරයි. එහෙත් ප්‍රායෝගිකව කිසිවිටෙක එය ක්‍රියාවට නැගුනේ නැත. දියර කිරි ප්‍රචලිත කිරීම ඉතාම හොඳ තීරණයකි. එහෙත් යථාර්ථය නම් අපේ රටේ ඇත්තේ රටේ අවශ්‍යතාවයෙන් සියයට විස්‌සකි. ඒ නිසා ඉතිරි සියයට අසූව පිටරටින් ගෙන ඒමට සිදුවේ.

අනිත් අතට අද දියරකිරි ගැන තීරණයක්‌ ගත්තද එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැගෙන්නට වසර තුනක්‌වත් ගතවේ. ඒ හරක්‌ පැටව් මෙරටට ගෙන්වා ඔවුන් අභිජනනය කර පැටවුන් ලබාගෙන කිරි නිෂ්පාදනය සිදු වන්නට වසර තුනක්‌වත් කල් ගත වන බැවිනි.

එහෙත් මේ සත්‍ය තත්ත්වය කිසි දිනක දේශපාලකයන් පවසන්නේ නැත. ජනතාවද තේරුම් ගත්තේ නැත. මොනතරම් කටමැත දෙඩෙව්වද ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කරන්නට පහසු නැත. කෙසේ වෙතත් රටක්‌ ලෙස දැන්වත් ඒ සඳහා වැඩ පිළිවෙළක්‌ ඇරඹිය යුතුය. මහා පරිමාණ බහු ජාතික සමාගම් ලෙස නොව ග්‍රාමීය වශයෙන් මෙය ක්‍රියාත්මක කළහොත් එයින් වඩාත් රටේ ආර්ථිකයට දායකත්වයක්‌ සපයා ගත හැක.

ඒ තුලින් ඇති කරන සමූපකාර ක්‍රමයක්‌ මගින් මෙරට කිරි ගොවීන් නගා සිටු වන අතරම රටේ ආර්ථිකය ශක්‌තිමත් කළ හැක. ලොව කිරි නිෂ්පාදනය දියුණු රටවල සිදු කර ඇත්තේ මෙයයි. කිරි ගොවීන් මේ වැඩ පිළිවෙලට වඩාත් සක්‍රීය ලෙස දායක කර ගැනීම හරහා මෙය සිදු කළ හැක. කිරිගොවි සමූපකාර ඇති කර තීරු බදු රහිතව ඔවුන්ට අවශ්‍ය උපකරණ ගෙන්වීමට රජය ඉඩ දිය යුතුය. අද සිදු වන්නේ කිරි ගොවීන්ට සුළු මුදලක්‌ දී ලබා ගන්නා කිරි ඊට වඩා දෙතුන් ගුණයකට විකිණීමය. එයින් ලාභ ලබාගන්aනේ අතරමැදියන්ය. කිරි ගොවීන්ගේ ආර්ථිකය සවිමත් කරන තුරු වැඩි පිරිසක්‌ මෙම කර්මාන්තයට එක්‌වන්නේ නැත.

මේවා ක්‍රියාත්මක නොකර කිරි පිටි ත්‍රස්‌තවාදය ගැන කෑමොර දෙන්නේ දේශපාලන අවස්‌ථාවාදීන්ය.

තිරිඟුපිටි එනම් පාන්පිටි මිල යලිත් වැඩි කරන්නට යන බවට රාවයක්‌ පවතී. පසුගිය අවස්‌ථා තුනකදීම තිරිඟු පිටි මිල වැඩි කිරීම මගින් මෙරට බේකරි කර්මාන්තය වළ පල්ලට යාම දැන් ආරම්භවී තිබේ. ජනතාව පාන් හෝ බේකරි නිෂ්පාදන මිලදී ගැනීම අඩු කර ඇත්තේ අත මිට මුදල් හිඟකම නිසාය.

අද වන විට පාන් අලෙවි කරන්නේ හිතූ හිතූ මිලටය. ක්‍ෂනික ආහාර සියල්ලේම මිල රුපියල් 3, 4, 5 ආදී ලෙස වැඩි කර තිබේ. මේ මිල ගණන්වලට ජනතාවට මේවා කන්නට බැරිය. එහෙත් නාගරික ජනතාවට විකල්පයක්‌ නැත. දේශපාලකයන් මොනවා පැවසූවත් තිරිඟු පිටි සහ පාන් අද ජනතාවට අත්‍යවශ්‍ය ආහාරයකි.

සෘජු හා වක්‍ර ලෙස බැලුවද තිරිඟු පිටි හා එය යොදා ගෙන නිපදවන ආහාර හා ඒවාට සේවා සපයන ආයතනද ඒවායේ සේවකයින් හා ඔවුන්ගේ පවුල් ගත් කල මෙම ක්‍ෂේත්‍රයට වක්‍ර ලෙස බැඳුනු රැකියා, ලක්‍ෂ ගණනකි.

සංචාරක හෝටල් කර්මාන්තය පවා සෘජු ලෙසම තිරිඟු පිටි හා බද්ධව පවතී. ගමේ ගොඩේ තේ කඩයක පවා වැඩි පුරම නිෂ්පාදන ඇත්තේ තිරිඟු පිටි යොදා ගෙන කරනදේය. රොටී, කොත්තු ආදී සියල්ලටම යොදා ගන්නේ පිටිය. බිස්‌කට්‌, කේක්‌ වර්ග සියල්ලම නිපද වන්නේ තිරිඟු පිටි යොදාය. මේ සියල්ලන්ටම අමුද්‍රව්‍ය හා සේවා සපයන ආයතන දහස්‌ ගණනකි. අනිත් අතට ජනතාව වෙනත් දේ යොදා ගෙන කරන නිෂ්පාදන ප්‍රිය කරන්නේද නැතිතරම්ය. මේ අනුව බලන කල මෙරට රැකියා වැඩිම සංඛ්‍යාවකට සෘජු හෝ වක්‍ර ලෙස තිරිඟු පිටි මූලික වී තිබේ. එහෙත් රජය මේ ගැන සෘජු තීරණයක්‌ ගත යුතුය. පාන් පිටි හොඳ නැත්නම් රජය කළ යුත්තේ පාන් පිටි තහනම් කිරීමයි.

මතට තිත වැඩපිළිවෙල අනුව යන්නේ නම් කළ යුත්තේ මත්පැන් තහනම් කිරීමයි. අවශ්‍ය නම් විදේශිකයන්ට පමණක්‌ මත් පැන් ලබා ගැනීමට ඉඩදීමයි. එහෙත් මේ කිසිවකට සෘජු වැඩපිළිවෙළක්‌ නොපෙනේ. මතට තිත යෑයි පවසන රජය තවත් වරෙක පවසන්නේ පාසල් හා ආගමික ස්‌ථාන අසල මත්පැන් විකිණීමට ඇති සීමා ලිහිල් කරන බවය. මෙය හතර බීරි කතාවකි.

රජයක්‌ ලෙස පැහැදිලි සෘජු තීරණ ගන්නේ නම් එතැන් සිට අදාල ක්‍ෂේත්‍රයේ සංවර්ධනයට තීරණ ගත හැක. අවස්‌ථාවාදීව තීරණ ගැනීම නො කළ යුතුය. මතට තිත වැඩපිළිවෙල ක්‍රියාත්මක වූවද රජයේ බදු ආදායමෙන් සියයට දොලහකට වැඩි ආදායමක්‌ ලබා දී තිබුණේ මත්පැන් වලින් ලැබුණු බදු මගිනි. මේ බදු නොමැතිව රජයක්‌ පවත්වා ගෙන යැම අසීරුය. අනිත් අතට සංචාරක ව්‍යාපාරය සඳහා මත්පැන් අත්‍යවශ්‍යය. එහෙත් අප මේ යථාර්ථය ගැන ඇත්ත කතා කළ යුතුය. රජයද සෘජු තීරණ ගෙන ජනතාවට ඇත්ත කිව යුතුය.

පාන් පිsටි ත්‍රස්‌තවාදය ඇතමුන්ට හදිසියේ මතක්‌ වූයේ පාන්පිටි මිල ඉහල යද්දීය. කාලෙන් කාලෙට දේශපාලන සටන්පාඨ ඇති කර ගැනීම හැර අන්දෙයක්‌ අපට මෙහිදී පෙනෙන්නේ නැත.

වෙළෙඳ පොළේ ඇති බොහෝ සහල් වර්ග පරිභෝජනයට නුසුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබිණි. ඒ අතර රජයේ පාර්ශවම පවසන්නේ තිරිඟුපිටි ප්‍රතික්‌ෂේප කරන ලෙසය. මල්වතු මහා නාහිමිපාණන් පසුගියදා පවසා තිබුණේ එසේ නම් ජනතාවට මොනවා කන්නදැයි තමන් රජයේ පාර්ශ්වයෙන් අසන බවයි. මේ යථාර්ථය රජය තේරුම් ගත යුතුය. රජය පසුගියදා සහල් සඳහා තිබූ මිල පාලනය ඉවත් කළේය. මෙය කිසිසේත් නොකළ යුතු දෙයකි. ඕනෑනම් කරන්නට තිබුණේ පාලන මිල තවදුරටත් පහළට ගැනීමය. එසේත් නැතිනම් සියලුම සම්බා වර්ගවලට එය අදාළ කිරීමය. දැන් යළිත් වරක්‌ සහල් මිල ඉහළ යාම ඇරඹී තිබේ. මෙවර සහල් කොතනින් නතර වේ දැයි ගැටලුවකි. හොඳ සම්බා කිලෝවක දැන් මිල රුපියල් 85 ත් 95 ත් අතරය. රුපියල් 140-150 ආදී මිලටද සම්බා වර්ග ඇත. මිල පාලනය ඉවත් කළේ කාගේ උවමනාවකටදැයි අපට නම් ගැටලුවකි. උපරිම මිලක්‌ පැවතීම නිසා පාරිභෝගිකයා යම් තාක්‌ දුරට ආරක්‌ෂාවිණි. අවම මිලක්‌ නොපැවති බැවින් එය අඩු මිලට සහල් විකුණන්නට බාධාවක්‌ නොවීය.

මේ තීරණ පසුපස මහා පරිමාණ සහල් මෝල් හිමියන් සිටීදැයි අපට සැකයක්‌ පවතී.

රජය විසින් ෂෙල් ගෑස්‌ සමාගමට හිමි කොටස්‌ යළිත් මිලදී ගැනීමට තීරණය වී තිබේ.

එසේ මිලදී ගන්නා ෂෙල් සමාගමේ කළමනාකාරණය තවත් ගෑස්‌ සමාගමකට පැවරීමේ උත්සාහයක්‌ පවතින බව සඳහන්ය. මෙය ඉතාම බරපතලය. මෙරට කිසිදු ව්‍යාපාරයකට ඒකාධිකාරය ලබාදිය යුතු නැත. ඒකාධිකාරය තුළින් ජනතාව සූරාකෑමට ලයිසන් ලැබේ.

ගෑස්‌ තුළින් අදාල සමාගම අධික ලාභ ලැබූ සැටි අප දැක තිබේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාවෙන් රුපියල් තුන් හාර සියයට ගන්නා ගෑස්‌ රුපියල් එක්‌ දහස්‌ පන්සියයට එක්‌ දහස්‌ හයසියයට විකුණා අධික ලාභ ලැබූ අයුරු අපට මතකය. ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව නඩු දමා දිගින් දිගටම අදාල වාසිය ලබා ගන්නට කටයුතු කළ අයුරු අපට මතකය.

එහෙව් සමාගමකට මෙරට සම්පූර්ණ ගෑස්‌ ඒකාධිකාරය ලබාදුන හොත් කුමක්‌ සිදුවේදැයි සිතා ගන්නටත් අසීරුය.

එවිට සිත්සේ වෙළෙඳපොළ පාලනය කරමින් ඉහල මිලක්‌ පවත්වාගෙන යමින් පාරිභෝගික ජනතාව ගසා කන්නට අවස්‌ථාව ලැබෙයි.

අනිත් අතට මෙය රටක සදාචාරමය වශයෙන්ද නොකළ යුත්තකි.

තරගකාරී සමාගම් දෙකකින් එකක්‌ රජය මගින් මිලදීගෙන අනෙක වෙත කළමනාකරණය පවරාදීම කවරමය ව්‍යාපාරික සදාචාරයක්‌ද?

දේශීය ව්‍යාපාරවලට. වුවද ඒකාධිකාරය ලබාදීම සුදුසු නැත. අද වන විට දේශීය යෑයි කියා ගන්නා ඇතැම් ව්‍යාපාරිකයෝ ආයෝජන මණ්‌ඩල ව්‍යාපෘතිවලට මුවාවී මහාපරිමාණ බදු වංචා කරති. මොවුන් විවිධ අමුද්‍රව්‍ය මෙරටට ගෙන එන්නේ ආයෝජන මණ්‌ඩලවල අනුමත ව්‍යාපෘති සඳහා ලැබෙන බදු සහන යටතේය. එයින් රජයට අහිමිවන බදු ආදායම රුපියල් බිලියන ගණනකි. එහෙත් තීරු බදු රහිතව මෙසේ ගෙන විත් නිෂ්පාදනය කරන බොහෝ දේ විකුණන්නේ මෙරටටමය. ඇතැම්විට මේ තීරුබදු රහිතව ගෙනවිත් මෙරට කරන නිෂ්පාදන විශාල වශයෙන් බදු ගෙවා පිටරටින් මෙරටට ගෙන එන භාණ්‌ඩවල මිලට සමානය. නැතහොත් ඊටත් වැඩිය. මේවා ගැන හරි හැටි සොයා බැලීම තුළින් රජයට අහිමිවන බදු ආදායම යළි ලබා ගත හැක. ඇතැම් දේශීය නිෂ්පාදකයන්ගේ බලපෑම් මත ඇතැම් ක්‌ෂේත්‍ර සඳහා විශාල වශයෙන් විදේශ නිෂ්පාදනවලට බදු පැනවී තිබේ. එම නිසා විදේශවලින් ගෙන එන භාණ්‌ඩ මිල ඉහලය. මෙම මිල ඉහළ යාම වාසියක්‌ කරගෙන ඇතැම් දේශීය ව්‍යාපාරිකයන්ද අධික ලාභ ලබමින් විදේශ භාණ්‌ඩ හා ආසන්න මිලකට භාණ්‌ඩ විකුණති. නිෂ්පාදන වියදම මෙන් කීප ගුණයක්‌ ලාභ ලබති. මේ තත්ත්වය පාලනය කරන්නට රජය වහාම නිසි වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කළ යුතුය. දේශීයත්වය ඉතාම හොඳ වුවත් ජනතාව ගසා කෑම හොඳ නැත. ජනතාව දේශීය භාණ්‌ඩවලින් ඈත්වීමට එක්‌ හේතුවක්‌ව ඇත්තේ අධික මිලය. මේ මිල පාලනය සඳහා ඒ ඒ ක්‌ෂේත්‍රවල ප්‍රවීනයන්ගෙන් යුත් කමිටු ඇති කළ යුතුය. අද වන විට මෙරට ඇතැම් ව්‍යාපාරිකයන් රටේ නීතිය තඹයකටවත් මායිම් නොකරති.

පසුගිය කාලයේ මෙරට බිස්‌කට්‌ වර්ග ග්‍රෑම් 100 පැකට්‌ටු බොහෝමයක බර ග්‍රෑම් 15 කින් 20 කින් රහසේම අඩු කර තිබේ. මේ සියල්ල හොර රහසේය. ඊට පසුව බිස්‌කට්‌ වර්ග බොහෝමයක මිල රුපියල් දෙක තුන ආදී වශයෙන් වරින්වර ඉහල නංවන ලදී. මේවා ගැන වගකිවයුත්තන් නිහඬය. ආනයනික අල හා ළුEනු සඳහා දේශීය ගොවින් රැක ගැනීමට විශාල බද්දක්‌ පනවන ලදී. එහෙත් මෙවර දේශීය අස්‌වැන්න හිතූ තරම් ලැබී නැත. ඒ නිසා අල හා ළුEනු මිල ඉහළ මට්‌ටමක පවතී. අතරමැදියන්ද ඉහළ මිලට වගකිව යුතුය. වෙළෙඳ පොළේ ඇති ලොකු ළුEනුද එතරම් හොඳ තත්ත්වයේ නොපවතී. සීනි මිල කිලෝව රුපියල් සියය පසුකර තිබේ. ලොකු සැමන් ටින් එකක්‌ දැන් රුපියල් 220-230 අතරය. එළවළු මිල දිනපතා ඉහළ පහළ යයි.

පොල් ගෙඩියක මිල රුපියල් 45 ත් 50 ත් අතරය. පොල් තෙල් බෝතලයක්‌ රුපියල් 170-180-190 ආදී වශයෙන් මිලය. මේවා පාලනයට යම් ක්‍රියාමාර්ග ගත යුතුය. එක්‌කෝ පිටරටින් පොල් ගෙන්විය යුතුය. නැතිනම් තෙල් සඳහා බදු ඉවත් කළ යුතුය.

මේ සියල්ලෙන්ම ජනතාව ජීවත්වීමේ දැඩි දුෂ්කරතාවයක යෙදී සිටිති. රටේ අපරාධ වැඩිවීමට ගණිකා වෘත්තිය වැනි සමහර ප්‍රශ්නවලට මේවා සෘජු ලෙස බලා තිබේ. දැඩි නීති දමා පාලනය කරන්නට අසීරු තත්aත්වයකට ජනතාව තුළ නොසන්සුන්තාවයක්‌ පැන නැගෙමින් පවතී. මේ සඳහා හේතුවන මූලික ගැටලුව ජීවන වියදමයි. මේ වනවිට අධිකරණ ක්‌ෂේත්‍රයේ වැටුප් වැඩිවී ඇත. ළඟදීම මැති ඇමැතිවරුන්ගේද වැටුප් වැඩි කිරීමේ සූදානමක්‌ පවතී. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හා වෛද්‍යවරුන්ටද ඉහළ වැටුප් ලබාදීමේ සූදානමක්‌ ඇත. පරිපාලන සේවා නිලධාරීන්ට ඉහළම වැටුප් මුල් කාලයේදීම රජය මගින් ලබාදෙන ලදී. එහෙත් සාමාන්‍ය රජයේ සේවක වැටුප් වැඩි කරන්නේ නැත. ඉහළ වැටුප් ලබන සියල්ලන්ටම නිල වාහන, විවිධ දීමනා ඇතුළු ලැබීම් ගොන්නක්‌ හිමිය. එහෙත් සාමාන්‍ය ජනතාවට මේ කිසිවක්‌ නැත. රජය මූලිකව කල්පනා කළ යුත්තේ ඔවුන් ගැනය. ඇති හැකි අය සවිමත් කරනවා වෙනුවට නැති බැරි අය සවිමත් කළ යුතුය. ජනතාවට අවම ජීවන මට්‌ටමක්‌වත් පවත්වාගෙන යාමට හැකි වටපිටාව ඇති කළ යුතුය. අද සම්බෝලයක්‌ සමග බත් කන්නට පවා යන මුදල කොතරම්ද? ජනතාවට අවශ්‍ය මූලික ආහාරපාන සඳහා බදු ඉවත් කළ යුතුය. දැඩි මිල පාලනයක්‌ අත්‍යවශ්‍ය ආහාර සඳහා පවත්වාගෙන යා යුතුය. වාහන සඳහා බදු අඩු කළද එයින් ජනතාවට වාසියක්‌ නැත. අඩුම තරමින් ප්‍රවාහන වියදම් අඩු වී නැත.

අඩු මිලට බත් පැකට්‌ටුවක්‌, ආහාරවේලක්‌ ලබාගත හැකි ව්‍යාපෘතියක්‌ රජය මැදිහත්වී ඇති කළ යුතුය. අඩුම තරමින් ස්‌වයං රැකියා ලෙස එවැන්නක්‌ ක්‍රියාත්මක කරන්නට ප්‍රධාන නගරවල ස්‌ථානයක්‌ වත් රජයේ වියදමින් ලබාදිය යුතුය. එම තැන්වල පාලන මිලට ආහාර ලබාදීම කළ හැක. ආහාරවල තත්ත්වය රජයේ මැදිහත්වීමෙන් පාලනය කළ හැක. එවිට සෙසු හෝටල් හා ආපන ශාලාද ආහාර සඳහා අධික මිලක්‌ අය කිරීම යම්තාක්‌ දුරට පාලනය කර ගන්නවා ඇත. අඩුම තරමින් අඩු ආදායම්ලාභීන්ට අඩු වියදමින් ආහාර වේලක්‌වත් ලබාගත හැක. අප මේ සිහින දකිනවා නොවේ. මෙය විවේචනයක්‌ද නොවේ. දියුණු රටවල පවා මේ ක්‍රම ක්‍රියාත්මක වේ. ඒ සාමාන්‍ය ජනතාවගේ යහපත සඳහාය. අපේ රටේ මහා පරිමාණ ඇමැති මණ්‌ඩලයක වැඩ නැති හෝ වැඩ අඩු ඇමැතිවරුන් දෙතුන් දෙනකුට මෙවැනි ව්‍යාපෘතියක්‌ භාරදිය හැක. නිසි සැලසුම් මිස මේවාට විශාල වශයෙන් මුදල් වැය වන්නේද නැත. ජනතාවගේ බඩගින්න හොඳින් දන්නා ජනතා දුක තේරෙන ජනාධිපතිවරයකු සිටින රටක මෙවැනි ක්‍රමවේදයක්‌ ඉක්‌මනින් ක්‍රියාත්මක වේ යෑයි අපි බලා සිටින්නෙමු.

ජනිත සෙනෙවිරත්න

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.