බුද්ධ බාර්!

ඔබට අවශ්‍ය නම් බුද්ධ ලකුණ දරන දන්තා ලේපයකින් දත් මැද, බුද්ධ ලකුණ දරන ක්‍රීම් ගා රැවුල කපා, බුද්ධ ලකුණ දරන සුවඳ විලවුන් ගල්වා, බුද්ධ ලකුණ කමිසයක්‌ද හැඳ, බුද්ධ ලකුණ ටයි පටයක්‌ බැඳ උදේ වැඩට යා හැකිය. කිසිවකු ඒ ගැන හිස ඔසවා වචනයක්‌ වත් කියන්නේද නැත.

දහවල කෑම පැය පැමිණි විට ළඟ ඇති බුද්ධ බාර් එකට ගොඩ වී බුද්ධ ලකුණ බියර් වීදුරුවක්‌ පානය කර, බුද්ධ රෙස්‌ටුරන්ට්‌ එකට ගොස්‌ මස්‌, මාළු සහ ඌරු මස්‌ සමග බඩ පැලෙන තෙක්‌ ආහාර වළ¹ එන්නට පුළුවන. විවේකය ඇත්නම් කාර්යාලයේදී බුද්ධ ලකුණ කාඩ් පැක්‌ එකක්‌ ගෙන වෙනත් ආගමක මිතුරන් සමග වාඩි වී ඕමි අතක්‌ ගැසීමටද පුළුවන. කිසිවෙක්‌ කිසි දෙයක්‌ කියන්නේ නැත.

සවස්‌ යාමයේ විනෝදය අවශ්‍ය නම් බුද්ධ නයිට්‌ ක්‌ලබ් එකට ගොඩවී හිතේ හැටියට නච්ච, ගීත, වාදිත, විසූක දස්‌සන, මාලා, ගන්ධ විලේපන විඳ ගැනීමද කළ හැකිය. කාගේවත් විරුද්ධත්වයක්‌ නැත. සති අන්තයේ ගෙදර සිටීමට කම්මැලි නම් විනෝද චාරිකාවක්‌ සඳහා රජරටට පිටත්ව ගොස්‌ අනුරාධපුර, පොළොන්නරු ශුද්ධ භූමියට ඇතුල් වී ඩෝල ගසමින් බයිලා කියමින් සැතපෙන පිළිමය මත නැඟී කරවටා අතක්‌ දමාගෙන විසිසෝ කිරීමටද අමාරු නැත. ඒ හැම නාඩගමක්‌ම කොපි ගසා ලොව පුරා යෑවීමද කළ හැක. කිසිවෙක්‌ විරෝධය නොදක්‌වති.

ජෝර් V රෙකෝඩ්ස්‌ නමින් ගීත තැටි නිපදවූ Claude Challe ගේ සංකල්පයක්‌ වූ බුද්ධ බාර් පළමුවෙන් ගීත සඳහාද දෙවනුව විවේක මෙන්ම ප්‍රතිකාර ගන්නා නිකේතන ලෙසද පැතිර ගියේය.

ලොකු අපලයක්‌ නැත්නම් බුද්ධ බාර්හි ප්‍රතිකාර ලෙස කැනබීස්‌ හෙවත් ගංජා මිලි ග්‍රෑම් පහක්‌ ලබාදෙනු ලැබේ. මෙම කැනබීස්‌ හඳුන්වන්නේ Medcial Marijuana නමිනි. බුද්ධ බාර් හෝ බුද්ධ බාර් ඕශන් නමින් හැඳින්වෙන මේ වර්ගයට සම්බන්ධ තව බාර් වර්ගයක්‌ ඇත. ජිනීවා නුවර, ඇම්ස්‌ටර්ඩෑම්හි සහ ලාස්‌වේගාස්‌හි ලිට්‌ල් බුද්ධ කැෆේ වර්ගයද, ප්‍රාග් නුවර සිද්ධාර්ථ කැෆේ ද, ඩුබායි නුවර කර්ම කැෆේද මේ දම්වැලේම තවත් පුරුක්‌ය. එංගලන්තයේ බුද්ධ බාර් වලට ළමුන් පවා රැගෙන යා හැකිය. බුද්ධ බාර් පැරිස්‌, බේරූට්‌, කයිරෝ, ඩුබායි, ජාකර්තා, ශැංහයි සහ වොෂින්ටන් වැනි නගර වල බුද්ධ බාර් ජයට කෙරීගෙන යයි. එහෙත් අද වන තුරු මා "මොහොමඩ් බාර්" හෝ "ජීසස්‌ බාර්" යනුවෙන් බාර් වර්ග නම් දැක හෝ අසා නැත්තෙමි. කුදුරුස්‌ වන්නම බොන මගේ මිත්‍රයකු වන මොහොමඩ්ටද ඔහුගේ නමින් එවැන්නක්‌ ඇරැඹීමට හැකිවුවත් පවත්වාගෙන යන්නට නම් ඉඩක්‌ නැත. එහෙම කළ දවසට නිසැකවම මොහොමඩ්ගේ බෙල්ල කරකවා අතට දීමට අන්තවාදී ඉස්‌ලාම් භක්‌තිකයෝ සූදානමින් ආයුධ සන්නද්ධව සිටිති.

බුදුරදුන්ගේ ඇඟේ ලේ සෙලවූ දෙව්දත් තෙරුන්ගේ ගල්ගෙඩි ව්‍යාපාරයේ පටන් අද දක්‌වා විවිධ කතා වලින්ද විවිධ වෙසින්ද විවිධ ආකාරයට බුදුරජාණන් වහන්සේටත් බුද්ධ ධර්මයටත් අතෝරක්‌ නැතිව ගල් පහර වැදෙන බව නම් කිව යුතුමය. කොතෙක්‌ ගල් ගැසුවත් එම ගල් ගසන්නන්ට අපගෙන්ද කිසි හානියක්‌ නැත. ගල් ගසන වෙනත් ආගම් ප්‍රචාරය කිරීමට උත්සාහ දරන කිසිම පිංවතෙකුට අපෙන් කරදරයක්‌ද නැත. ඒ අපේ ආගම අපට ලබා දුන් ත්‍යාගය නිසාය. සුනිල් ආරියරත්නයන්ගේ වචන වලින් නම් "චණ්‌ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්" නිසා ද විය හැකිය.

තවද ලෝකයේ ඕනෑම තැනක ඇති අවුරුදු දහස්‌ ගණනක්‌ පැරැණි බුදු පිළිම වෙඩිදමා විනාශ කිරීමට වුවද කිසි බාධාවක්‌ නැත. අවශ්‍ය නම් බුද්ධාගම විකුණාගෙන වුවද කෑ හැකිය. "කොතැනක හිඳ පිදුවත් මුණිඳුන් උදෙසා..." යෑයි කියමින් ඕනෑම තැනක හිඳ පන්සිල් ගැනීමට පුළුවන. අවශ්‍ය නම් පන්සලට යා හැකිය. අනවශ්‍ය නම් නොයා සිටිය හැකිය. වෙසක්‌ පෝයට වුවද සිල් සමාදන් නොවී සිටියත් කවුරුත් කිසිවක්‌ කියන්නේ නැත.

සියයට අසූවකටත් වඩා බෞද්ධයන් සිටින ශ්‍රී ලංකාවේ ඕනෑම දේශපාලන උත්තමයකුට ජනතාවගේ මුදලින් හෝ තමන්ගේ මුදලින් ලොව වටා සැරිසරනා අතරතුර කිසිම විලිලැ-ජාවක්‌ හිරිකිතයක්‌, අප්පිරියාවක්‌ නැතිව බුද්ධ බාරයකට ගොඩවී දෙකක්‌ දමාගෙන ආ හැකිය. ඒත් ප්‍රශ්නයක්‌ නැත.

එදා දෙව්දතුන් බුදුන් වහන්සේට වෛර බැඳ ලේ සෙලවූ දා වුවද දෙව්දත් තෙරුන්ට ඇඟිල්ලක්‌ ඔසවා තර්ජනය කරන්නට කිසිවෙක්‌ ඉදිරිපත් වූයේ නැත. දහසකුත් බොරු ගොතාගෙන බඩේ දරමිටියකුත් බැඳගෙන බුදුන්ට අපහාස කරන්නට දුවගෙන ආ චිංචිමානවිකාවටද කිසිවෙකු පාඩමක්‌ ඉගැන්වූවේ නැත. ඒ දහම නමැති ත්‍යාගය ඒ වනවිටත් පරිවාර ජනයා ලබා තිබූ නිසාය.

"බුදු දහම දිවිහිමියෙන් රකිමි" යෑයි කියන කිසිවෙක්‌ සියදිවි හානි කරගන්නට යන්නේ නැත. බඩේ බෝම්බ බැඳගෙන අහිංසක ජීවිත හානි කරන්නේද නැත. සියලු ලෝක සත්වයාහට එකසේ මෛත්‍රිය, කරුණාව, උපේක්‍ෂාව දැක්‌විය යුතු යෑයි ඉගැන්වෙන බුදු දහම, එය විනාශ කරන්නන් කෙරෙහිද වෙනසක්‌ නැතිව ඉවසා දරා සිටිනු පෙනේ. එසේ වුවද සංචාරකයකු ලෙස මෙන්ම බෞද්ධයකු ලෙසත් සියලු ආගම්වලට ගරු කරන්නකු ලෙසත් මා තුළ කිසියම් සංවේගයක්‌ උපදින බව නම් කිව යුතුමය. එහෙත් බුදුන්ට කෙරෙන අපහාස උපහාස දිය පිට ඇඳි ඉරක්‌ මෙන් ක්‍ෂණයකින් නැතිවන බවද මගේ සිත මටම කියයි.

ආගම් පිස්‌සුවක්‌ නැති සිංහල බෞද්ධයන් කුලප්පු කරන අයද සිටිති. මේ "බුද්ධ බාර්" කාරයෝ අවීචිමහා නිරයට වැටෙත්වා යි මේ සටහන කියවන උපාසක අම්මලාට සිතෙන්ටද බැරි නැත. බුදුන් වහන්සේගේ කරුණාබර දෑස සිහිපත් කර ඒ බාර් මඩකාරයන්ව නොතකා සිටියත් ආගම්වලට ගරු කිරීමේ සීලාචාර පිළිවෙතක්‌ තිබෙන බවද මතක්‌ කිරීම වටී.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.