විජිතපුර බලකොටුවෙන්
ප්‍රෙෘඪ ඉතිහාසයක ජීවමාන සංකේත මතුවෙයි

   

ලක්‌දිව එක්‌සේසත් කළ මහා නරපතියන් පිළිබඳ ලියෑවුණු රාජාවලියේ ඉදිරියෙන්ම සඳහන්වන නමකි දුටුගැමුණු මහරජතුමා. එළාර-දුටුගැමුණු යුද්ධය ඒ සමගම කියෑවෙන්නකි. ඓතිහාසික එළාර-දුටුගැමුණු යුද සටනේ සුවිශේෂී සන්ධිස්‌ථානයක්‌ ලෙස මහවැලි නිම්නයද ප්‍රකටය. රුහුණේ මාගම සිට පැමිණෙන දුටුගැමුණු මහ රජුගේ අභීත බලසේනා මහියංගණයේ පටන් සතුරන් නසමින් පැමිණ මහවැලි ගඟෙන් එගොඩවී කඳවුරු බැඳගත් බව වංශ කථාවල දැක්‌වේ.

කන්දවාරපිට්‌ඨි හෙවත් කඳවුරුවෙල නමින් එකල දුටුගැමුණුගේ සේනා කඳවුරු බැඳි බිම වර්තමානයේ කඳුරුවෙල ලෙසින් හඳුන්වයි.

පොළොන්නරුවේ ප්‍රධාන නගරයද වන කදුරුවෙලට ආසන්නයේ මෙලෙස එදා යුද කඳවුරු පිහිටුවන්නට දුටුගැමුණු මහ රජුට සිදුව ඇත්තේ මහවැලි ගඟෙන් එගොඩවූ ආසන්නයේ එළාර රජුගේ බලසම්පන්න යුද කඳවුරක්‌ වන විජිතපුර බලකොටුව පිහිටා තිබීම බවද කියති.

මහියංගණයේ පටන්ම දුටුගැමුණු මහ රජුගේ සේනා සතුරන් නසද්දී පණ බේරා ගෙන පැමිණි සතුරු සේනාද මෙම විජිත පුර බලකොටුව ආරක්‍ෂක කඳවුරක්‌ ලෙස භාවිත කළ බැව් ඉතිහාසය විමසන විට පෙනී යයි.

කෙසේ නමුදු දුටුගැමුණු රජුගේ වේළුසුමන, ගෝඨයිම්බර ඇතුළු දස මහා යෝධයන් ප්‍රමුඛ ඇත්, අස්‌, පාබල සේනා හාරමසක්‌ තරම් දිගු කාලයක්‌ ප්‍රබල ලෙස පහර එල්ල කොට මෙම විජිතපුර බලකොටුව සුණු විසුණු කොට නැසූ බවද ඉතිහාසයෙහි දැක්‌වේ.

මෙම කරුණු අනුව එළාර රජුගේ "විජිතපුර බලකොටුව" මහවැලි ගඟෙන් මෙතෙර පොළොන්නරුවට ඉතා නුදුරින්ම වන්නට ඇතැයි යන විද්වත් මතයක්‌ දැනට බොහෝ කලක සිටම පැන නැගී තිබුණි. පසු කලෙක මේ සම්බන්ධ වඩාත් විමසිලිමත්ව කරන ලද කරුණු සොයා බැලීම් වලදී එම "විජිතපුර බලකොටුව" දැනට කදුරුවෙළ බීජ ගොවිපළ පවත්වාගෙන යන භූමි භාගයෙහි පිහිටා තිබූ බවට ජීවමාන සාක්‍ෂි මතුවන්නට විය.

වනගතව වල් බිහිවී පැවැති මහවැලි නිම්නයේ බීජ ගොවිපළ අස්‌වැද්දෙන්නේ ගොවි ජනපද ආරම්භයත් සමගය. එනම් සියවස්‌ තුන් කාලකට පමණ මෙපිටය. එම ගොවිපළ අස්‌වැද්දීම හේතුවෙන් භූගෝලීය පිහිටීම් බොහෝ දුරට වෙනස්‌වුවද බලකොටුවක මූලික ලක්‍ෂණ එහි කොටසක තවමත් නොනැසී පවතී. ඒ අතුරින්ද ඉපැරණි දිය අගල් ආදිය විශේෂිතය. වල් බිහිව පවතින මෙම දිය අගල් අඩි 40 කට වඩා පළලින් යුත් බව මෙම ස්‌ථාන නිරීක්‍ෂණය කිරීමේදී මනාව පැහැදිලි වේ.

බලකොටුවේ කොටු පවුර පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි සීමාව දැනටද උස්‌ බිමක්‌ ලෙසින් දක්‌නට තිබේ.

එළාර - දුටුගැමුණු මහ සටනේ තීරණාත්මක සන්ධිස්‌ථානය "විජිතපුර බලකොටුව" සොබා දහමේ අපල උපද්‍රවයන් පමණක්‌ නොව මිනිස්‌ ක්‍රියාකාරකම්හි අපමණ ගැහැටද විඳ ගනිමින් මෙපමණකට හෝ නිරුපද්‍රිතව පැවැතීම සැනසිලිදායක කරුණකි.

කෙසේ නමුදු වංශ කතාවල පිටු අතරේ සහ අතීත උරුමයන් පිළිබඳ උනන්දුවක්‌ දක්‌වන පිරිස්‌ බල මතක පොත්හි නොනැසී පැවැති "විජිතපුර බලකොටුව" අදටද පවතිනුයේ විනාශයේ අබිමුඛයෙහිය. එදා දුටුගැමුණු රජුගේ මෙහෙයෑවීමෙන් දස මහා යෝධයන් ප්‍රමුඛ බල සේනා, කඩොලැතු වැනි හස්‌ති රාජයන්ද සමග නොකඩවා පහර එල්ල කොට පවුරු කඩා දැමූ මෙම මහා බලකොටුවේ ඉතිරිව ඇති අවසෙස්‌ මෑතක්‌ වනතෙක්‌ම ට්‍රැක්‌ටර්, ඩෝසර් වැනි යකඩ යකුන් විසින් හිත්පිත් නැතිව වැනසූ අමිහිරි දසුන්ද අප්‍රමාණව මතකයෙහි තිබේ.

"විජිතපුර බලකොටුව" පිළිබඳ එකී දොම්නසින් පිරි යටගියාව වෙනුවට දෑස්‌ කෙවෙනි තුළ සතුටු කඳුළු එක්‌කෙරෙන ආරංචියක්‌ අසන්නට මෙන්ම දෑහිත් දැක ගන්නටද පසුගියදා අවකාශ ලැබිණි. එනම් නිධන් හොරුන්ගේ අසම්මත කැණීම් වෙනුවට පුරා විදු දැනමුත්තන් පිරිසක්‌ අතින් කෙරුණු නීත්‍යානුකූල කැණීමක්‌ සහ එමගින් මතුකරගත් විසල් උරුමයෙකි. "විජිතපුර බලකොටුවේ" නටබුන් මතුවෙලා".

අහම්බෙන් ලද ආරංචිය පිළිබඳ ඉව අල්ලමින් ගිනි මද්දහනේ බලකොටු බිම තරණය කළෙමි. අක්‌කර දහස්‌ ගණනක්‌ පුරාවට විහිදුණු කඳුරුවෙල බීජ ගොවිපළේ "විජිතපුර බලකොටුව" ලෙසින් සැලකෙන ඉසව්ව ආගන්තුක නොවන පරිසරයෙකි. වැනසෙන බිමේ අතීත උරුමයන් මතු පරපුර උදෙසා රැක ගැන්මේ ඇති වැදගත්කම මතුකර දෙමින් මින් පෙර ලියෑවුණු බොහෝ සටහන් වෙනුවෙන් මෙහිද අප්‍රමාණව මගේ දෙපා ගැටී තිබේ. හුදෙකළා බිමේ පාළුව බිඳින්නට වෙනදා ඇසෙන රැහැයි හඬ වෙනුවට මෙදා මිනිස්‌ හඬින් අවදිව තිබීම සතුට දනවන කාරණයකි. එය දෙගුණ. තෙගුණ වන සුවිශේෂි හේතුව අත ගසා තිබෙන මහා කටයුත්තය. එනම් සියවස්‌

ගණනාවක්‌ තිස්‌සේ වැළලී තිබූ අතීත උරුමයක ජීවමාන සාක්‍ෂිකරුවකු බඳු වූ මතුකර ගත් ඉපැරැණි ගොඩනැඟිලි සංකීර්ණයක අවශේෂයන් එහි වීමය. ගඩොළු බැමි, පාදම් ඉතාමත්ම සියුම්ව, සූක්‍ෂමව, නිරුපද්‍රිත ලෙසින් මතුකර ගන්නට දරා ඇති ඉවසිලිවන්ත වෑයම ඉතාමත්ම ප්‍රසංශනීය බවද මෙහිලා සඳහන් කළ යුතුයි. සැබෑ ලෙසම එය පුරාවිද්‍යාවෙහි උතුම් නියමයන්ට අනුව යමින් නිසි ලෙස කළ කටයුත්තක්‌ බව ප්‍රත්‍යක්‍ෂ වන්නට වැඩි වේලාවක්‌ ගත වූයේ නැත. නිසි ගුරු හරුකමෙක හරි මඟ පෙන්වීමක නියත ඵලය එයම බැව් ලෙස හැඳින්වීම අතිශෝක්‌තියක්‌ නොවේ.

"විජිතපුර බලකොටුව" යෑයි සැලකෙන බිමේ බටහිර සහ දකුණු දිය අගල් ආසන්නයේ සිදු කෙරෙන මෙම කැණීම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සිදුවන්නකි.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පොළොන්නරු අලාහණ පරිවෙණ ව්‍යාපෘතිය එහි කැණීම් කටයුතු සිදු කරන බව දැනගන්නට ලැබිණි.

මෙම වසරේ මුල් භාගයෙහි ආරම්භ කෙරුණු පර්යේෂණ කටයුතුවලින් අනතුරුව විජිතපුර බලකොටුව තුළ කැණීම් කටයුතු ආරම්භ කර ඇත්තේ ඔක්‌තෝබර් මස මුල් සතියේ පමණය. මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ පොළොන්නරු අලාහණ පරිවෙණ ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය අනුර මනතුංගයන්ගේ මෙහෙයෑවීම සහ අධීක්‍ෂණය යටතේ මෙහි කැණීම් කටයුතු සිදු කෙරේ.

පොළොන්නරු, අලාහණ පරිවෙණ ව්‍යාපෘතියේ පර්යේෂණ නිලධාරීන් වන ප්‍රියන්ත සුසිල් කුමාර, විමලදාස ජානගේ යන මහත්වරුන් විජිතපුර බලකොටුවේ කැණීම් කටයුතු බාරව කටයුතු කරති.

විජිතපුර බලකොටුවේ මෙතෙක්‌ සිදු කරන ලද කැණීම් වලදී ඉපැරැණි ගොඩනැඟිලි සංකීර්ණයක අවශේෂ හමුවී ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය අනුර මනතුංග මහතා අප සමග පැවැසීය. මෙතෙක්‌ හමුවී ඇති සාධක අනුව එය බොහෝ විට මෙම ප්‍රදේශයේ විසූ රජ කෙනකු හෝ ඒ හා සමාන ප්‍රභූවරයකු විසින් පරිහරණය කරන ලද ලෞකික ගොඩනැඟිල්ලක්‌ වන්නට ඇතැයි විශ්වාස කරන බවද මහාචාර්යවරයා කීය.

මෑත කාලයේ පොළොන්නරුවේ සිදු කළ පුරාවිද්‍යා කැණීමකදී ආගමික ගොඩනැඟිල්ලක්‌ නොවන ලෞකික ගොඩනැඟිල්ලක අවශේෂ හමු වූ මුල්ම අවස්‌ථාව මෙය බවද සඳහන් කළේය. හමුවී තිබෙන අවශේෂයන්ට අනුව මෙය ඉතාමත්ම ඉහළ මට්‌ටමේ ගොඩනැඟිල්ලක්‌ වන්නට ඇති බවත් එහි නාන තටාක, නාන කාමර ආදියෙන් සමන්විතව පැවැති බවට සාධක මතුවී ඇතැයි ද මහාචාර්ය අනුර මනතුංග කීය. එමෙන්ම මෙහි ඇති විශාල ප්‍රමාණයේ ගඩොළු වලට අනුව මෙය පොළොන්නරු යුගයෙන් එහා අනුරාධපුර යුගයට අයත් ගොඩනැඟිල්ලක්‌ වන්නට ඇතැයි විශ්වාස කරන බවද පැවැසීය. නළ ජල පහසුකම් සහිතව පැවැති බවට තිබෙන සාධක අතර ජලය බැස යැම සඳහා තනවා තිබූ කාණු ආදිය මෙම කැණීම් වලදී නිරුපද්‍රිතව මතුකර ගන්නට හැකි වී ඇත.

ඉපැරැණි ගොඩනැඟිලි සංකීර්ණයේ ගඩොළු පාදම්වලට අමතරව උළු වර්ග, මැටි මුට්‌ටි, කාසි වර්ග, යකඩ ඇණ ආදිය ද මෙම කැණීමේදී හමුවී තිබේ.

මුදුන් උළු වර්ග දෙකක්‌ වර්ණ අනුව එකිනෙකට වෙනස්‌ පෙති උළු වර්ග 03 ක්‌ මේ වන විට හඳුනාගෙන ඇතැයි පොළොන්නරු අලාහණ පරිවෙණ ව්‍යාපෘතියේ පර්යේෂණ නිලධාරී ප්‍රියන්ත සුසිල් කුමාර මහතා අප සමග කීය. විජිතපුර බලකොටුව තුළ මෙතෙක්‌ සිදු කළ කැණීම් වලින් හමුවී ඇති සෙසු ඉපැරැණි දෑ අතර අඬු තුනක්‌ සහිත මැටි තැටිය විශේෂිත බවද ප්‍රියන්ත මහතා සඳහන් කළේය. මීට අමතරව කීරි සහිත අඟුරු වර්ගයක්‌, මැටි බඳුන් වසා තබන පියන් කිහිපයක්‌ද හමුවී ඇති බව කීය. විජිතපුර බලකොටුවේ නමෝවිත්තියෙන් සිදු කළ මුල්ම කැණීමේදී දැනෙන යමක්‌ මතුකර ගැන්මට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයකි.

බොහෝ ඈතට විහිද ගිය විසල් බිමෙක, කැණීමක්‌ සිදු කිරීම සඳහා නිශ්චිත බිමක්‌ හඳුනා ගැනීමත්, එතුළින් යමක්‌ මතුකර ගන්නට හැකිවීමත් අපේ පුරාවිදු දැනුමැතියන්ගේ සුවිශේෂී දස්‌කමක්‌ බවද සඳහන් කළ යුතුය. ඔවුනගේ එම හැකියාවන්, දැනුම් සම්භාරයන් ඉවහල් කර ගනිමින් එහි දිගු ගමනක්‌ යැමට නියමිතව තිබේ. මතුයෙහි රජය සිදු කෙරෙන පුරාවිදු පර්යේෂණයන්, සොයා ගැනීම් පිළිබඳවද සියලු තතු රටට, මහජනතාවට දැනගැනීමට, ස්‌ථාන නැරැඹීමට දැකබලා ගැනීමට සලස්‌වන බව මහාචාර්ය අනුර මනතුංගයන් ප්‍රකාශ කළේය.

පොළොන්නරු පුරා පරිසරයෙන් මතුවී දිගහැරෙන අලුත්ම යටගියාව ඓතිහාසික වශයෙන් වැදගත් වන්නා සේම සංචාරක කර්මාන්තය වැනි නවමු ඉසව් තුළින් රටේ ආර්ථික සංවර්ධනයක්‌ ඇති කිරීමට සැරසෙන මේ මොහොතේ ඒ සඳහා ද අවැසි වටපිටාවක්‌ මෙතුළින් නිර්මාණය වනු නොඅනුමානය.

කෙසේ නමුදු පුලතිසි බිමේ වැළලී යන්නට ගිය අගනා පුරාවිද්‍යාත්මක සාධක රැසක්‌ මතුකරගෙන පෙර පැවැති සශ්‍රීකත්වය, සමාජ දියුණුව පිළිබඳ දිගහැරෙන කථාන්තරය අපගේ ප්‍රෙෘඪත්වය, අභිමානය තවත් වඩවනු ඇත.

එය කාලීන වශයෙන් වඩාත් වැදගත් වන්නේ පොළොන්නරුවේ ඉපැරැණි නගර බැම්ම වැනි මහා උරුමයන් මහ දවල් අමු අමුවේ බැකෝ යන්ත්‍ර දමා වනසන, පොළොන්නරු "දීප උයන" වැනි විශිෂ්ට පුරාවිදු උරුමයන් මත නිර්ලඡ්ජිත ලෙස වැසිකිළි පද්ධති, රථගාල් වැනි තුට්‌ටු දෙකේ ඉදිකිරීම්වලට සැරසෙන අවධියක මෙවැන්නකට මුල පිරීමයි.

එහෙයින් තැනෙක වනසන විට තවත් තැනෙකින් අලුත් යමක්‌ මතුකර ගන්නට දරන මෙම වෑයමට අපිදු සුබපැතුම් පිරිනමන අතර නිරතුරුව දිරියද සපයමු.

කරුණාරත්න ගමගේ

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ ඡායාරූප ශිල්පී
තිස්‌ස සේනාරත්න මහතාට විශේෂ ස්‌තූතිය හිමිවේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.