ඉන්ට නැෂනල් රිපෝටර්

"වැඩියෙන් අමාරු ආණ්‌ඩුවේ පාලනේ යටතේ ලංකාවේ පුරවැසියෙක්‌ ලෙස ජීවත්වෙන එක ද අන්තරේ පාලනේ යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌ හැටියට ඉන්න එකද?"

බුෂ් ප්‍රශ්නයක්‌ ඇසුවේය. පිළිතුරක්‌ ලැබුණේ නැත.

"වැඩියෙන් අමාරු මහින්ද මහත්තයාගේ කැබිනට්‌ එකේ ඇමැති කෙනෙක්‌ හැටියට වැඩ කරන එක ද ඡේවීපී එකේ ටිල්වින්ගේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්‌ හැටියට කටයුතු කරන එකද?"

බුෂ් දෙවන වතාවටත් ප්‍රශ්නයක්‌ ඇසුවේය. පිළිතුරක්‌ ලැබුණේ නැත.

"වැඩියෙන් අමාරු තත්ත්වයකට මුහුණ දෙන්නේ මහින්ද මහත්තයාගේ කැබිනට්‌ මණ්‌ඩලේදී විමල් ද ටිල්වින්ගේ මධ්‍යම කාරක සභාවේදී ලාල් කාන්ත ද?"

බුෂ් තුන්වන වතාවටත් ප්‍රශ්නයක්‌ ඇසුවේය. එවිට පුටින් නැඟිට සිටියේය. නැඟිට වටපිට බලා හෙමිහිට මෙසේ කීවේය.

"ඔය ප්‍රශ්න එකකටවත් අවංක උත්තරයක්‌ දෙන්න අමාරුයි"

එවිට බුෂ් මෙසේ පිළිතුරු දුන්නේය.

"හැබැයි පුටින් ඔය දුන්නේ අවංක උත්තරයක්‌"

මේ අතර පෘතුගාල ජනාධිපති සිල්වා මහතා කල්පනා ළිඳකට බැස ගත්තේය. ළිං මැඩියන්ට කල්පනාව පහළ නොවේ යෑයි කීවත් හොඳම කල්පනාවන් පහළ වන්නේ සැබවින්ම ළිsං මැඩියන්ටමය. උදාහරණයක්‌ හැටියට ලෝකය ගැන හොඳටම දන්නේ ලොව වටා සැරිසරන හිපියා නොව කැලයේ තනිව වඳුරන් මැද බවුන් වඩන ඉසිවරයාය. ඒ නිසා පෘතුගාල ජනාධිපති සිල්වා මහතා මෙසේ කීවේය.

"ආණ්‌ඩුව රැකුණොත් තමන්

රැකෙන බව විමල් දන්නවා. ඒ වගේම පක්‌ෂේ රැකුණොත් තමන් රැකෙන බව ලාල් කාන්ත දන්නවා. ඒ නිසා ආණ්‌ඩුවේ වැඩ ගැන තමන්ගේ හිතේ මොනවා තිබුණත් විමල් ආණ්‌ඩුවේ වැඩ අනුමත කරනවා. පක්‌ෂේ වැඩ ගැන තමන්ගේ හිතේ මොනවා තිබුණත් ලාල් පක්‌ෂේ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ අනුව ආණ්‌ඩුවේ හිටියත් විමලුත් ඡේඊපී එකේ හිටියත් ලාලුත් ඉන්නේ එකම ප්‍රතිපත්තියක".

සිල්වා මහතා එසේ කීවිට බුෂ් මෙසේ ඇසුවේය.

"ඉතින් එතකොට එහෙනම් මොකටද ඔය තරම් රණ්‌ඩු වෙන්නේ"

"රණ්‌ඩු ඇති වන්නේ එකම විදිහේ මිනිසුන් නිසා" සිල්වා මහතා එසේ කියා කතන්දරයක්‌ කියන්නට වූවේය.

"ඔන්න එකෝමත් රටක හාවෙකුයි ඉබ්බෙකුයි හිටියා. මේ දෙන්නා හරි යාළුයි. ඒ නිසා කිsසිම සංවාදයක්‌ ඇති වුණේ නෑ. සම්මන්ත්‍රණයක්‌ තිබුණ්‌ නෑ. මත ගැටුමක්‌ ඇති වුණේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තිබුණේ නෑ. ළිඳේ ඉන්න මැඩියෝ වගේ මේ දෙන්නා ඔහේ ජීවත් වුණා. ඒ නිසා හාවාට මේ ජීවිතේ එපා වුණා. හාවා ඉබ්බාට කිව්වා මේ ජීවිතේ කිසි ගතියක්‌ නෑ අපි තරහ වෙමු කියලා. අපි සංවාදයක්‌ ඇති කරගනිමු, වාදයක්‌ ඇති කරගනිමු. අපි දෙන්නගෙ පොඩි පාර්ලිමේන්තුවක්‌ දා ගනිමු. අපි දෙන්න වෙනස්‌ විකල්ප විප්ලවීය උදාර අවංක අදහස්‌ හා අධ්‍යාශයන් ඇති පුද්ගලයන් දෙන්නෙක්‌ වෙමු. නිකම්ම නිකම් යාළුවෝ නොවී කිය කියා හාවා ඉබ්බාට කිව්වා. ඉබ්බාට මේ එකක්‌වත් තේරුණේ නෑ. ඒත් ඉතින් හාවාගේ බල කිරීමට කිව්වා ඉතින් ඕක කරන්නේ කොහොමද කියලා.

හාවා අභියෝගය භාර ගත්තා. හාවා දහ අතේ කල්පනා කළා. කල්පනා කර කර ඇවිදින කොට හාවා ගිහින් හැප්පුනා තඩි ගල් ගෙඩියක. හරියට නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුණා වගේ එවිට හාවාටත් අලුත් කල්පනාවක්‌ පහළ වුණා. හාවා ගල වටේ රවුමක්‌ දෙකක්‌ කැරකුණා. හාවාට තමන්ගේ අදහස තවත් හොඳට පැහැදිලි වුණා. කල්පනා වුණා. ඊට පස්‌සේ ඉබ්බා ගාවට ගියා. ගිහින් ඉබ්බා අර ගල ගාවට එක්‌ක ආවා. ඇවිල්ලා මෙහෙම කිව්වා. ඔන්න දැන් අපට නිකම්ම නිකම් යාළුවෝ නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් විදිහට සංවාදශීලීව උද්යෝගිමත්ව වගකීමක්‌ ඇතිව ජීවත් වෙන්න අවස්‌ථාවක්‌ උදාවෙලා තියෙනවා. මේ ගල ඒකට උදව් වෙනවා. මං කියන්නං මේ ගල මගේ කියලා. එතකොට උඹ කියපං එහෙම වෙන්නේ කොහාමද මේක මගේනේ කියලා.

ඉබ්බාත් ඉතිං හා කියන්නා වගේ බලා හිටියා. ඊට පස්‌සේ හාවා පස්‌සේ කකුල් දෙකෙන් හිටගෙන ඉස්‌සරහා අත් දෙක වනමින් කතාවක්‌ පටන් ගත්තා මෙන්න මෙහෙම.

කැලේ දේවතාවාගෙන් අවසරයි. වැල් නෝනාවරුනි, ගස්‌ මහත්වරුනි, පැළෑටි දරුවනි, මම මේ අවස්‌ථාවේදී ඉතාම අවංකව අධිෂ්ඨානශීලීව හා නිර්භයව ප්‍රකාශ කරනවා මේ ගල මගේ කියලා. ඒක හොඳට අහගෙන ඉඳලා ඉබ්බා කිසි කතාවක්‌ නැතිව කිව්වා උඹේ නං උඹ ගනිං කියලා. ඉතින් මේ කතාවත් එක්‌කම හාවාගේ ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහය ව්‍යර්ථ වුණා. ඉබ්බයි හාවයි යාළුවෝ වගේ හැමදාම හිටියා."

සිල්වා මහතා කතාව කියා ප්‍රජා සමිතිය දෙස බැලුවේය. සමිතිය සිල්වා මහතා දෙස බලා සිටියේය. සමිතිය නිශ්ශබ්දතාවයේ කිමිදී සිටියේය. නිශ්ශබ්දතාවයේ කිමිදී ඇවිත් බුෂ් කතා කළේය.

"දැන් ඉබ්බෝ එකෙක්‌වත් ඉතිරිවෙලා නෑ. ඔක්‌කොම හාවෝ"

එවිට පුටින් මෙසේ කීවේය.

"ඒ කියන්නේ දැන් තියෙන්නේ පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌"

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රභවය පිළිබඳ අලුත්ම මතයක්‌ ඉදිරිපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගැනීමට හා ඒ තුළ ජීවත්වීමට ඉගැන්වූ ජාත්‍යන්තර ප්‍රජා සමිතිය එසේ අවසාන විය. ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් නොගතහොත් සිදුවන්නේ එයට අප බිලිවීමය. කඩේ යනවා යෑයි කියන්නේ ද එයටය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.