ජ'පුරේ මොකද වුණේ!

මෙය දිගුකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්‌
ජ'පුර සරසවියේ අවසන් වසර හිමිනමක්‌

(මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ නිසා තමන්ගේත් පංති තහනමට ලක්‌වේ යෑයි පවසමින් නම හෙළි නොකරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටියා)

පසුගිය 24 වැනිදා සිදුවූයේ කුමක්‌ද?

රාත්‍රි 8.00 විතර විශ්වවිද්‍යාලයීය ආරක්‌ෂක නිලධාරීන් කිහිපදෙනෙක්‌, විනයාධිකාරී, නේවාසිකාගාර පාලක, උපකුපතිවරයා ඇතුළු පිරිසක්‌ එක්‌වරම අපගේ නේවාසිකාගාරයට කඩා වැදුණා. ඒ මොහොතේ සංඝාරාමය ඇතුලේ සිවුර නැතිව භික්‌ෂුන් වහන්සේලා දෙනමක්‌ සිටියා. ඒ වෙලාවේ උපකුලපතිවරයා "කෝ තමුසෙග සිවුර. තමුසෙලා චණ්‌ඩිද? එතනට ආපු භික්‌ෂුන් වහන්සේ නමකට සිවුරෙන් අල්ලා පහර දුන්නා. ඒ මොහොතේ තමයි සංඝාරාමයේ හිටපු 70 ක්‌ පමණ භික්‌ෂුන් වහන්සේලා පහලට ඇවිත් උපකුලපතිවරයාගේ ක්‍රියාවට විරෝධතාව දැක්‌වූවේ. උපකුලපතිවරයාගේ මේ ක්‍රියාව දිගුකාලීන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌.

කුමක්‌ද ඒ ක්‍රියාදාමය.....?

උපකුලපතිවරයා දිගින් දිගටම භික්‌ෂුන් වහන්සේලාට හිරිහැර කරනවා. විශ්වවිද්‍යාල භූමියේදී අප දකින හැම මොහොතකම ඔහු පරුෂ වචනයෙන් අපට බැණ වදිනවා. "උඹලා, තොපි" කියන වචන භාවිත කරමින් තමයි බැණවදින්නේ. ශිෂ්‍යයන්, ගුරුවරුන් ඉදිරිපිට මහපාරේ හැම තැනකදීම මේ වගේ වදන්වලින් තමයි ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ. ඒ වගේම ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාට ආගමික වතාවක්‌ කරන්න කිසිදු අවස්‌ථාවක්‌ ලබාදී නැහැ. අපගේ කිසිදු ගැටලුවක්‌ කිසිදු විශ්වවිද්‍යාල බලධාරියෙක්‌ සමග කතාකරන්න බැහැ. ඒ නිසා ඉතා පීඩාවකින් තමයි අප විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය කටයුතු කරගෙන යන්නේ. නමුත් මොහු කියන්නේ මෙම බෞද්ධයෙක්‌, මම මස්‌ මාංශ කන්නේ නෑ, පන්සිල් රකිනවා කියලා. එහෙම කියන ගමන් භික්‌ෂුන් වහන්සේලාට මෙවැනි හිරිහැර කරනවා.

ඔබවහන්සේලා නේවාසිකාගාරය තුළ අසංවර ලෙස හැසිරෙන බව උපකුලපතිවරයා චෝදනා කරනවා?

ඒක සම්පූර්ණයෙන් අසත්‍යයි. මෙම සිදුවීම දඩමීමා කරගෙන උපකුලපතිවරයා වැරැදි අභූත චෝදනා ඉදිරිපත් කරනවා. ඒත් ඒ චෝදනාවල කිසිදු පදනමක්‌ නැහැ. මොනම අවස්‌ථාවකවත් අපි මත්පැන් පානය කර, සිංදු කියමින් නේවාසිකාගාරය තුළ හැසිරෙන්නේ නැහැ. ඒක අපි අවධාරණයෙන්ම කියන්න ඕන. අප මේ චෝදනාව පිළිබඳ මිරිහාන පොලිසියට පැමිණිල්ලක්‌ කළා. ඒ සිදුවීම වූ දින රාත්‍රි 10.00 විතර. අප එහිදී පැවැසුවා ඒ මොහොතේ සිටි සියලුම භික්‌ෂූන් වහන්සේලා මිරිහාන පොලිසියට එනවා. අප මත්පැන් පානය කර තිබෙනවා නම් පරික්‌ෂා කරන්න කියලා.

නමුත් මිරිහාන පොලිසිය පවසන්නේ එවැනි පැමිණිල්ලක්‌ කළේ නැති බවයි?

ඔව්. අප පැමිණිල්ලක්‌ කළේ නැති බව මිරිහාන පොලිසිය පසුගිය දිනක මාධ්‍යයකට පවසා තිබුණා. අපි ගාව පැමිණිලි අංකයත් තිබෙනවා. ඒත් අපේ පැමිණිල්ල පිළිබඳ කිසිදු පරීක්‌ෂණයක්‌ නැහැ.

මේ සියලුම ක්‍රියාදාමයන් පසුපස අන්තරේ භික්‌ෂුන් වහන්සේලා ක්‍රියාකාරීව සිටිනවා යෑයි උපකුලපතිවරයා චෝදනා කරනවා?

එය සම්පූර්ණ අසත්‍යයක්‌. දේශපාලනය ගාවගෙන භික්‌ෂුන් වහන්සේලාට චෝදනා කිරීම තමයි උපකුලපතිවරයගේ උපක්‍රමය. අපගේ සංඝාවාසයේ ඉන්න බහුතර භික්‌ෂුන් වහන්සේලා කිසිදු පාර්ශ්වයකට සම්බන්ධ නැති ස්‌වාධීන පිරිසක්‌.

මොකක්‌ද දැන් අලුත්ම තත්ත්වය?

අපේ භික්‌ෂුන් වහන්සේලා 17 නමකගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙන බව මේ වනවිට විවිධ විද්යුත් මාධ්‍ය ඔස්‌සේ ප්‍රචාරය වුණු අයුරු අපි දැක්‌කා. ඒත් අපට ඒ පිළිබඳ ලිතව දැනුම්දීලා නැහැ. කොහොම වුණත් පංති තහනම් කළ එක්‌ භික්‌ෂුන් වහන්සේ නමක්‌ උපකුලපතිවරයාගෙන් පහරකෑමට ලක්‌වූ අයෙක්‌. තව භික්‌ෂුන් වහන්සේ නමක්‌ භික්‌ෂු සංගමයේ සභාපති හිමියන්. උන්වහන්සේ සිදුවීම වූ දින සංඝාරාමයේ සිටියේ නැහැ. උන්වහන්සේගේ පන්සලේ වැඩ හිටියේ. ඒත් උන්වහන්සේගෙත් පංති තහනම් කරලා.

මම බෞද්ධ විරෝධියෙක්‌ නොවෙයි
උපකුලපති ආචාර්ය කේ.එන්.එල්. කරුණාරත්න

ඔබ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන හදාරන ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා අපහසුතාවට පත්කිරීමේ අරමුණින් 24 වැනිදා සිදුවූ සිදුවීම භාවිත කරනවා යෑයි එම භික්‌ෂුන් වහන්සේලා චෝදනා කරනවා?

මේ කිසිදු චෝදනාවක්‌ සත්‍ය නැහැ. මම කියන්නේ බොරු නම් අහල පහල ගෙවල්වලින් විමසලා බලන්න. කිසිම දවසක අපට අනෙකුත් නේවාසිකාගාර අවටින් මේ වගේ චෝදනා ඇවිත් නැහැ. මේ සංඝාවාසය අවට ජනතාවගෙන් අපට මාසයට පැමිණිලි දෙකක්‌ තුනක්‌ එනවා.

විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු බෞද්ධාගමික කටයුත්තකට භික්‌ෂුන් වහන්සේලාට ඉඩ නොදෙන බවටත් චෝදනා නැගෙනවා?

මේ විශ්වවිද්‍යාලය පටන්ගත්තේ 1958 වසරේයි. ඒ කාලේ සෝරත නායක හාමුදුරුවො තමයි හිටියේ. ඒ වගේම පසුකාලීනවත් භික්‌ෂුන් වහන්සේලා මෙම විශ්වවිදල්‍යායේ හිටියා. ඒත් කිසිදු අවස්‌ථාවක වස්‌ පිංකමක්‌ සිදුකර නැහැ. මම පළමු වතාවට මේ අවුරුද්දේ විශ්වවිද්‍යාල භූමියේ වස්‌ පිහිටුවන්න කටයුතු කළා. අපගේ ආචාර්ය මණ්‌ඩලයේ භික්‌ෂුණීන් වහන්සේ නමක්‌ ඉන්නවා. ඒ භික්‌ෂුණින් වහන්සේට විශ්වවිද්‍යාලයෙන් නිවාසයක්‌ බාරදීලා වස්‌ පිහිටුවලා ලබන මාසේ 11 වැනිදා කඨින පිංකම කිරීමට බලාපොරොත්තු වෙනවා. විශ්වවිද්‍යාලයේ ළමයින්ගේ භාවනා වැඩසටහන්, සීල ව්‍යාපාර ආදිය සඳහා සහයෝගය ලබාදෙනවා. ඒ වගේම උපකුලපති අරමුදලෙන් ඒ සඳහා මුදල් පවා ලබාදී තිබෙනවා. අවාසනාවකට මෙම සීල ව්‍යාපාර කඩාකප්පල් කළේ අන්තරේ භික්‌ෂුන් වහන්සේලායි.

නමුත් ඔබ චෝදනා කරන්නේ සියලුම ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාට....

බහුතර ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා ඉතාම විශිෂ්ඨයි.

අන්තරේ ඉන්න භික්‌ෂුන් වහන්සේලා තමයි මේ කඩාකප්පල්කාරී කටයුතු සිදුකරන්නේ. ඉදිරියේදී මට පුළුවන්වෙයි මේ කඩාකප්පල්කාරී භික්‌ෂුන් වහන්සේලාගේ කණ්‌ඩායමේ නම් පවා ලබාදෙන්න. එම භික්‌ෂුන්ට එක්‌තරා දේශපාලන පක්‌ෂයකින් වැටුප් පවා ලැබෙනවා. එළඹෙන 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකරගෙන චෛත්‍යයක්‌ සඳහා මේ වනවිට මුල් ගල තබා තිබෙනවා. ලබන වෙසක්‌ පොහොය වනවිට එය විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා.

රාත්‍රි කාලයේ ඔබතුමා ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරවලට ඇතුළුවනවා යෑයි පැවැසීම සත්‍යයක්‌ද?

ඔය කිසිම චෝදනාවකට පදනමක්‌ නැහැ. මම පන්සිල් සුරකින බුදුන් දෙසූ ධර්මය අනුව ජීවත්වන පුද්ගලයෙක්‌. ඔය වගේ මුසාවාද පතුරවන පිරිසක්‌ මේ විශ්වවිද්‍යාලයේ ඉන්නවා.

+++     +++    +++     +++    +++     +++    +++     +++   

පසුගිය සති කිහිපය තුළ මෙරට සෑම විශ්වවිද්‍යාලයකම උද්ඝෝෂණ, විරෝධතා අඩුවක්‌ නොවිණි. ඇතැම් උද්ඝෝෂණ, විරෝධතා නිමාවූයේ පහරදීමකිනි. නැතිනම් පහරකෑමකිනි. මේ සෑම සිදුවීමක්‌ම මාධ්‍යවලට නම් හොඳ රස මසවුලු විය. ඇතැම් මාධ්‍ය ඒවා තළු මරමින් රස විඳින අයුරුද පෙනේ. යුද්ධයෙන් පසු මාධ්‍යයට පුවත් මවන තෝතැන්නක්‌ බවට මෙරට විශ්වවිද්‍යාල පත්ව හමාරය. එයට අනුබලයක්‌ සැපයූ තවත් සිදුවීමක්‌ පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ඇසිණි.

පසුගිය 24 වැනි ඉරිදා රාත්‍රි 8.00 ට පමණ ජ"පුර සරසවියේ උපකුලපතිවරයා වන ආචාර්ය කරුණාරත්න මහතා, විනය පාලකවරයා සහ විශ්වවිද්‍යාල ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනකු සමග ජ"පුර සරසවියේ ශිෂ්‍ය භික්‌ෂු සංඝාරාමයට පැමිණියේ එය තුළ භික්‌ෂුන් වහන්සේලා නොමනා ලෙස හැසිරේ යෑයි ඔහුට ලැබුණු දුරකථන ඇමතුමක්‌ පිළිබඳ සොයා බැලීමටය. එහිදී බහින් බස්‌වීමක්‌ සිදුවී ඇති අතර, උපකුලපතිවරයා පවසන පරිදි ඔහුට භික්‌ෂුන් වහන්සේ පහරදී ඇත. එහෙත් ඒ මොහොතේ එහි සිටි භික්‌ෂූහු පවසනුයේ තමන්ට උපකුලපතිවරයා පහරදුන් බවයි.

මෙම සිදුවීමත් සමග ඊට පසුදින විශ්වවිද්‍යාල භූමියේදී උපකුලපතිවරයාට එරෙහිව සියලුම භික්‌ෂුන් වහන්සේලා එක්‌ව විරෝධතාවක්‌ දැක්‌වූහ. ජ"පුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයා වන්නේ ආචාර්ය එන්.එල්.ඒ. කරුණාරත්නයි. ඔහු මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්‌සේ ශිෂ්‍ය විවිධ චෝදනා එල්ල කරමින් ජ"පුර සරසවියේ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා දෝෂාරෝපණයට ලක්‌කළේය. ඔහු ඇතැම් විද්යුත් මාධ්‍යයන්ට දැක්‌වූ අදහස්‌ සමස්‌ථ භික්‌ෂු සමාජයම කළඹන ආකාරයේ චෝදනාවන් විය. කෙසේ වුවද අප කළ කරුණු සොයා බැලීමේදී පැහැදිලි වූයේ මෙම උපකුලපතිවරයාගේ කල්කිරියාව පිළිබඳ විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ කිසිදු පැහැදීමක්‌ නැති බවකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය යනු බෞද්ධ පසුබිමක බිහිවූ විශ්වවිද්‍යාලයකි. මෙරට වැඩවාසය කළ කීර්තිමත් පඬිවරයාණන් වහන්සේ නමක්‌ වන හික්‌කඩුවේ සුමංගල නාහිමියන් ආරම්භ කළ විෙද්‍යාaදය පිsරිවෙන පසුකාලීනව විශ්වවිද්‍යාලයක්‌ බවට පත්වනුයේද වැලිවිටියේ ශ්‍රී සෝරත හිමියන්ගේ කැපවීමෙන්ය. එවන් බෞද්ධ පසුබිමක්‌ ඇති විශ්වවිද්‍යාල භූමියක කිසිදු බෞද්ධ ආගමික කටයුත්තක්‌ කිරීම සඳහා ශිෂ්‍ය භික්‌ෂුන්වහන්සේලාට අද වනවිට අවසරයක්‌ නැත. වත්මන් උපකුලපතිවරයා එම තහනම පනවා ඇත. ඒ අනුව විශ්වවිද්‍යාල භූමිය තුළ බෝධිපූජා, පිරිත්, ධර්ම දේශනා ආදී ආගමික වතාවත් පැවැත්වීම ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේට අකැපය. එවැන්නකට යම් ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේ මැදිහත්වුවහොත් එය ශිෂ්‍යභාවය අහෝසිවීමේ වරදකි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සම්ප්‍රදාය තුළ බොහෝ අවස්‌ථාවල එවැනි බෝධිපූජා, පිරිත් පිංකම්, ධර්ම දේශනා පැවැත්වීම සාමාන්‍ය දෙයකි. එහෙත් එවැනි කිසිදු කටයුත්තකට අද ඉඩ නැති බව අපට අනාවරණය විය.

එමෙන්ම ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා විශ්වවිද්‍යාල භූමියේ දුටුතැන පරුෂ වචනයෙන් බැණ වදිනවා යන්න උපකුලපතිවරයාට එල්ල වී ඇති තවත් චෝදනාවකි. තමන් බෞද්ධයකු බවත්, නිති පන්සිල් සුරකින බවත් පවසමින් චීවරයට නිගාදෙන අයුරින් විශ්වවිද්‍යාල භූමියේ මෙලෙස හැසිරෙන උපකුලපතිවරයා නිසා ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා දැඩි අපහසුතාවට පත්වන අතර එය උන්වහන්සේලාගේ අධ්‍යයන කටයුතු සඳහාද බාධාවක්‌ වී ඇති බව අප හා අදහස්‌ දැක්‌වූ භික්‌ෂුන් වහන්සේ කිහිපනමක්‌ පැවැසූහ. ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලාගේ අධ්‍යයන ගැටලු සාකච්ඡා කිරීමට උපකුලපතිවරයා හමුවීමට යන සෑම අවස්‌ථාවකදීම උන්වහන්සේලාට බැණ වදින අතර, එම ගැටලු සාකච්ඡා කිරීමට ගිය භික්‌ෂුන් වහන්සේලාගේ පංති තහනම් කිරීමටද ක්‍රියා කර ඇත.

තමන්වහන්සේලාගේ ගැටලු පිළිබඳ ගුරුවරුන් දැනුවත් කළද එයට දඬුවම වන්නේ පංති තහනමට ලක්‌කිරීමයි. එලෙස නොනැවතී ඒ මොහොතේම සිවුරෙන් අල්ලා එළියට දමන ලෙස බලධාරීන්ට නියෝග කිරීමටද උපකුලපතිවරයා ක්‍රියාකරන බව විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා අප හා පැවැසූහ.

ජ"පුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයාට එල්ලවී ඇති චෝදනා එතැනින් නිම් නැත. රාත්‍රි කාලයට විශ්වවිද්‍යාලය අභ්‍යන්තරයේ ඇති ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර තුළට මෙම උපකුලපතිවරයා ඇතුළුවන බව අපට විශ්වවිද්‍යාල අභ්‍යන්තර ආරංචි මාර්ග තුළින් අනාවරණය විය. එලෙස කාන්තා නේවාසිකාගාර තුළට එක වරම කඩා වැදී එම ශිෂ්‍යාවන්ට පැය දෙක තුන එක දිගට දේශන පැවැත්වීමේ අසාමාන්‍ය ආශාවකින් මේ උපකුලපතිවරයා පෙළෙන බව අප හා අදහස්‌ දැක්‌වූ ඇතැම්හු පැවැසූහ. ඇතැම් ශිෂ්‍යාවන්ට තම රාත්‍රි ඇඳුම පිටින්ම එම දේශන අසා සිටීමට සිදුවන අතර, ශිෂ්‍යාවන් කරකියාගත දෙයක්‌ නොමැති බැවින් එසේ සිටින බවද අනාවරණය විය. එමෙන්ම සවස දේශන අවසන්වී විශ්විද්‍යාල භූමියෙන් පිටත බෝඩිම්වලට යන ශිෂ්‍යාවන් තම වෑන් රථයේ පටවාගෙන අදාළ බෝඩිම් අසලින් ඇරලවීමට මෙම උපකුලපතිවරයා ක්‍රියාකරන වගද හෙළිවිය. ඉතා මෑත සිදුවීමකදී විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්‌ෂා කිරීමට ශිෂ්‍යාවන් පිරිසක්‌ කළුබෝවිල මහ රෝහලට යවා ඇතත්, රෝහල් බලධාරීන් එය ප්‍රතික්‌ෂේප කර ඇත. උපකුලපතිවරයාගේ හදවත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් වෙනුවෙන් පමණක්‌ උණුවන බවද ශිෂ්‍යයන් සමග දැඩි වෛරයකින් පසුවන බව අප අදහස්‌ දැක්‌වූවෝ පැවැසූහ.

මේ වනවිට විශ්වවිද්‍යාලයේ සිසුන් 66 දෙනකුගේ පංති තහනමකට ලක්‌ව ඇත. පසුගිය සමයේ උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පොදු සමාවක්‌ යටතේ පංති තහනම ඉවත් කළ සිසුන් 50 දෙනාගේම නැවත පංති තහනමට ලක්‌ කර ඇති බවත්, "උඹලා එස්‌.බී. ට කියලා අයින් කරගත්තනේ. දැන් පුළුවන්නම් අයින් කරගනිල්ලා. මාව පත් කළේ ජනාධිපතිතුමා. ජනාධිපතිට ඉහළින් කෙනෙක්‌ නැහැ. එනිසා මම බය නැහැ " යෑයිද පවසමින් ඔහු තම හිතුමතයට කටයුතු කරන බව විශ්වවිද්‍යාලයේ භික්‌ෂුන් වහන්සේ නමක්‌ අප සමඟ පැවැසූහ. මේ සියලු කරුණු අපට අනාවරණය වූයේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයෙන් බව අප සටහන් කරන්නෙමු. ඒ කිසිවකුත්ගේත් නම් හෙළි නොකරන ලෙසද අපෙන් ඉල්ලීමක්‌ කරන ලදී.උපකුලපතිවරයා තමන් කිසිදු චෝදනාවකට වරදකරුවකු නොවන බවත් සියල්ල මුසාවන් බවත් පවසයි. එහෙත් ඔහුට විරුද්ධව චෝදනා එල්ල කරන්නන් පවසන්නේ උපකුලපතිවරයාට මානසික රෝගයක්‌ ඇති බවකි. එමෙන්ම උපකුලපතිවරයාට සිසුන් සහ භික්‌ෂුන් වහන්සේලා "ඇලජික්‌" බවකි. ජ"පුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපතිවරයා පිළිබඳ විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් ඇසෙන කතා නම් සුබදායී නොවන බව පැහැදිලිය. කිසිදු පාර්ශ්වයන් වැරැදි හෝ නිවැරැදි යෑයි පැවැසීමට අප ඉක්‌මන් නොවන්නෙමු. එනමුත් කොතැනක හෝ වැරැද්දක්‌ නම් සිදුව ඇත. එම වැරැද්ද කෙසේ නිවැරැදි කළ යුතු දැයි මෙරට අධ්‍යාපනය බාරව සිටින බලධාරීන් විසින් තීරණය කළ යුතුය. බලධාරීන් එය තවත් කැකිල්ලේ රඡ්ජුරුවන්ගේ නඩුතීන්දුවක්‌ වීමට නම් ඉඩ නොතැබිය යුතුය.

උපකුපලතිත් අන්තරේද....
අන්තර් විශ්වවිද්‍යාලයීය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු
උදුල් ප්‍රේමරත්න


පසුගිය සතියේ ජ"පුර සරසවියේ සිදුවීමට උපකුලපතිවරයා ඇඟිල්ල දිගු කරන්නේ අන්තරේට?

මුලින්ම කියන්න ඕන එතුමා දැන් මේ සිදුවීමත් සමග බොහොම කලබලයට පත්වෙලයි ඉන්නේ. ඒ නිසා විවිධ ප්‍රකාශ කරනවා. අවුරුදු 20 ක්‌ 30 ක්‌ තිස්‌සේ මේ නේවාසිකාගාරය තිබෙනවා. මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලකවරයාගේ නිවස පිහිටා තිබෙන්නෙත් මේ නේවාසිකාගාරය ආසන්නයේමයි. එහෙත් මෙම භික්‌ෂු නේවාසිකාගාරය පිළිබඳ කිසිම දවසක මේ වගේ පැමිණිලි ලැබී නැහැ.

මීට දින කිහිපයකට පෙර ශිෂ්‍යාවන් දෙදෙනකු සමග භික්‌ෂුන් වහන්සේලා අත් පත්‍රිකා බෙදීම තමයි මේ කලබලේ ඇතිවන්න ප්‍රධාන හේතුව. 24 වැනිදා සිද්ධිය වූ මොහොතේ හාමුදුරුවරු කිහිප නමක්‌ අඳනකඩය පිටින් සංඝාරාමය ඇතුළේ ඉඳලා තිබෙනවා. විශ්වවිද්‍යාලවල තිබෙන නේවාසිකාගාරවල විදුලි පංකා තිබෙනවා. එහෙත් මේ භික්‌ෂූ නේවාසිකාගාරයේ විදුලිපංකා නැහැ. ඒ නිසා රස්‌නය නිසා භික්‌ෂුන්වහන්සේලා එහෙම ඉන්න ඇති. පසුව භික්‌ෂුන් වහන්සේලා දෙදෙනකුට උපකුලපතිවරයා පහරදී තිබෙනවා.

මෙවැනි කලබල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතිවුණු පළමු අවස්‌ථාව මෙය නොවේ. මීට පෙර විශ්වවිද්‍යාල භූමියේ සිටි පෙම්කරමින් සිටි ශිෂ්‍යාවන්ගේ කන්‍යාභාවය පරීක්‌ෂා කිරීමට අවශ්‍ය බව මෙම උපකුලපතිවරයා පවසා සිටියා. ඒත් රෝහල් බලධාරීන්ට මොහුට වගේ පිස්‌සු නැති නිසා එය ප්‍රතික්‌ෂේප කළා.

නමුත් උපකුපතිවරයා චෝදනා කරන්නේ මේ භික්‌ෂුන් වහන්සේලා මෙහෙයවන්නේ අන්තරෙන් බවයි. මේ සෑම දේකට මුල අන්තරේ බවයි?

අන්තරේ එය මෙහෙයුවා නම් උපකුලපතිවරයාත් අන්තරේ සාමාජිකයෙක්‌ වෙන්න ඕන. මේ කලබලය ඇති කළේ උපකුලපතිවරයායි. අන්තරේ නෙමෙයි. අපි කන්‍යාභාවය පිළිබඳ ප්‍රශ්නයේදී උපකුලපතිවරයාට මානසික රෝගයක්‌ තිබෙන මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාම ඔහු, තමාට අපහාස කළා යෑයි අපට චෝදනා කළා. අපි එහිදී එතුමාට අභියෝග කළා උසාවියට ගිහින් අපට විරුද්ධව නඩු දාන්න කියලා. ඒත් මාසයක්‌ විතර වෙනවා එහෙම වුණේ නැහැ.


ලක්‌මාල් බෝගහවත්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.