සමාජ සමීක්‍ෂණ
පියාඹන්න ආස අයත් කියවලාම බලන්න


රටකින් එහා ඉගිලී තනිවෙන්න බෑ කියා කියන අය අද නැත. ඒ බව අපට පෙනෙන්නේ ඉතා සතුටු සිතෙන් සිනා සිසී දිනකට ගුවන් තොටෙන් එහා මෙහා යන අය අපේ අය දෙස බලද්දීය. පිටරටවල් ගැන සහ රට යන අය ගැන මෙයට පෙරත් අපි මෙම ලිපිය තුළින් කතා කර ඇත්තෙමු. නමුත් දිනෙන් දින අපට ලැබෙන ලිපි වලින් සහ දුරකථන ඇමතුම් වලින් බොහෝ අය ඉල්ලා සිටින්නේ අනේ අපිත් ආසයි රට යන්න ඒත් කොහොමද හරි විදියට රටකට යන්නේ, අපි දන්නෙ නැහැනේ වීසා ගන්න විදිය ආදී දහසකුත් ප්‍රශ්න සහ අපිවත් රට යවන්න කියන ඉල්ලීමය. නගරයේ වෙසෙන මද ප්‍රමාණයට හෝ අධ්‍යාපනයක්‌ ලද අයෙකු නම් මේ රට යැම එතරම් අරුමය ගෙන දෙන්නක්‌ නොවන බව කවුරුත් දනී. එසේම අද වන විට ඈත වන්නියේ අයත් දකුණු කෙලවරේ ගංතුලාවල අයත් විවිධ රැකියා සඳහා රට යති. අලුත් ක්‍රමයට අනුව ආදිවාසීන් යෑයි කියන අපේ වැදි සනුහරේ අයත් හිටි හැටියේම විදෙස්‌ ගතවනු අප දැක ඇත අසා ඇත. නමුත් ඇත්තටම අප රටේ ජනගහනයෙන් පිටරටකට යන්නේ සුළුතරයකි. හද්දා පිටිසර වෙසෙන බහුතරයක්‌ අහිංසක ජනතාව මෙන්ම නගරයට ආසන්නයේ වෙසෙන බොහෝ අයත් මේ රට යන අන්දම ගැන දන්නේ අල්පයකි. පාස්‌පෝට්‌ යනු කුමක්‌ද වීසා ගන්නේ මොනවාටද ආදී දේ ගැන ඔවුන් සිතන්නේ මහමෙර කරට ගන්නවාටත් වැඩිය අසීරු දෙයක්‌ හැටියටය.

සාමාන්‍යයෙන් අපේ රටේ පුරවැසියෙකුට තවත් රටකට යැමට වීසා බලපත්‍රයක්‌ අවශ්‍ය වෙයි. අපට මෙන්ම ආසියාවේ වෙසෙන තවත් බොහෝ දියුණු වෙමින් පවතින තුන්වැනි ලෝකයේ යෑයි කියන රට වල අයට මෙම ප්‍රශ්නය පැන නැඟේ. නමුත් සිංගප්පූරුව මාලදිවයින සහ තවත් මැද පෙරදිග රටවල් කිහිපයකටම ඇතුළුවීමට අපට වීසා බලපත් අවශ්‍ය නැත. ගුවන් ගමන් පතක්‌ මිලදී ගෙන අහස්‌ යාත්‍රාවක නැඟී එම තොටුපළින් බැස්‌ස විට එහි ඉන්නා නිලධාරීන්ගේ අනුමැතිය මත එම රට තුළට ඇතුළුවීමට අවස්‌ථාව බොහෝ විට උදාවෙයි. සමහර අවස්‌ථාවලදී තමන් අත ඇති මුදල් ප්‍රමාණය පෙන්විය යුතුය. මේවාට කියන්නේ ෂෝ මනී කියාය. ඔබ කොතරම් ගාණක්‌ එම රටේදී වැය කරනවාද ඉන්නේ කුමන හෝටලයේද ආදී ප්‍රශ්න වැලක්‌ ඔවුන් අසන අවස්‌ථා ඇත. කෙසේ වෙතත් හොඳට ඇඳ පැළඳගෙන මහරාජා වගේ කාවත් ගණන් නොගෙන "ඩෝන්ට්‌ කෙයාර්" එකෙන් ගුවන් තොටුපළෙන් පිටවුණොත් සමහරු ඒ කෙනා දෙස බලන්නේවත් නැත. අපිළිවෙළට ඉන්නා අතින් කටින් බෑග් මලු එල්ලා ගත් අයෙක්‌ නම් දෙතුන් වතාවක්‌ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වෙයි. මාලේදී සහ සිංගප්පූරුවේදී මෙම අවස්‌ථා දෙකටම මා මැදිවී ඇති නිසා මෙය බොරුවක්‌ යෑයි කීමට කාටවත් නොහැක. කෙසේ වෙතත් යුරෝපය, ඇමෙරිකාව, ඔස්‌ටේ්‍රලියාව හා කැනඩාව වැනි ධනවත් රටවල අයට බොහෝ රටවලට යැමේදී වීසා ගැනීම අවශ්‍ය නැත. ඔවුන් කරන්නේ ටිකට්‌ එක ගත්තා ගියා.

වීසා අවශ්‍ය රටවලට වීසා නැතිව ඇතුළුවන අයත් අද බොහෝ සිටී. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් ක්‍රමවේදයන් කීපයක්‌ උපයෝගී කර ගනී. ඉන් පළමුවැන්න ව්‍යාජ වීසා සකසා ගැනීමයි. ඒ සඳහා ඒවා හදා දීමට සැදී පැහැදී සිටින විශේෂ වංචාරකයන් අද ඕනෑම රටකදී දැක ගත හැක. මෙය ඉතා සූක්‍ෂම වැඩකි. එකල මෙන් නොව මෙකල බොහෝ ගුවන් තොටුපළ පරිගණකගත කර ඇති බැවින් ව්‍යාජ වීසා හඳුනාගැනීමේ ක්‍රමවේදයන් ඇත. නමුත් නිලධාරීන්ගේ සිත් සහ මනස්‌ පරිගණක නොව හොඳට කන බොන ගෙන්දගම් පොලවේ පය ගහන පෘථග්ජන නිසා ව්‍යාජ වීසා කාරයෝ ඔවුන් අල්ලාගෙන ලස්‌සනට වැඩේ කර ගනිති. මේ මට හමුවූ හොර වීසා ඔස්‌තාද්වරයෙකි.

අපි ඕනෑම රටකට අරන් යනවා. හැබැයි ගාන ටිකක්‌ සැරයි. පොඩ්ඩක්‌ කට්‌ට කන්නත් ඕනි. අපි කරන්නේ පාස්‌පෝට්‌ එකකට වැදුනු ඇත්ත වීසා එකකට හරියන විදිහට රට යවන එකාගේ මුහුණ මාරු කරන එකයි."

මෙයට එකල කීවේ හෙල්මට්‌ ක්‍රමය කියායි. එහිදී ගුවන් ගමන් බලපත්‍රයේ ඇති පුද්ගලයාගේ මුහුණ ඉතා සියුම් ලෙස අරන් දමා වෙනත් මුහුණක්‌ ඇලවීම කරනු ලබයි. කොටහේනේ ඇන්ටනී එකල මේ සඳහා විශේෂඥයෙක්‌ව සිටියේය. කිසි ගානක්‌ නැතිව ඔහු ඉතා තියුණු උල් බ්ලේඩ් එකකින් ගමන් බලපත්‍රයේ ඇති නියම ඡායාරූපය ඉවත් කර වෙනත් එකක්‌ අලවනු මා දැක ඇත්තෙමි. දැන් මේවා කිරීම ඉතාම අපහසුයි. කෙලින්ම කීවොත් නොහැක. ඒ නිසා හොර වීසා කාරයෝ කරන්නේ ගමන් බලපත්‍රය වෙනස්‌ නොකොට ගමන් බලපත්‍රයේ ඇති රූපයට සමාන ලෙස පුද්ගලයාගේ ජීවමාන මුහුණ වෙනස්‌ කිරීමයි.

එසේ ව්‍යාජ ලෙස පිටරට යන්න ගොස්‌ ඉස්‌තරම් පොල්ලක්‌ නෑ නිහාල් මෙසේ කියයි "මාස තුනෙන් කැනඩාවේ යවනව කියලා උන් මගෙන් ලක්‍ෂ විස්‌සක්‌ ඉල්ලුවා. කොහොමහරි කන් කෙඳිරි ගාලා පහළොවකට බස්‌ස ගත්තා. පාස්‌පෝට්‌ හදන්න මෙඩිකල් වලට එහෙම කියලා ඉස්‌සෙල්ලම ලක්‍ෂ පහක්‌ දුන්නා. පස්‌සේ වීසා වලට කියලා දෙපාරකට තව දහයක්‌ දුන්නා දැන් මාස නවයක්‌ වෙනව කැනඩාවේ යන්නත් නැහැ පාස්‌පෝට්‌ එකක්‌ නැහැ වීසත් නැහැ සල්ලිත් නැහැ."

මෙවන් කතන්දර අද අපට බොහෝ අසන්නට ලැබෙයි. පත්තරවල රූපවාහිනියේ නිතර නිතර ප්‍රචාරය වෙයි. එහෙත් මේවා දැක දැකම තාමත් බොහෝ අය බොරුකාරයන්ට අහුවෙන්නේ රට යැමේ ඇති අධික ආසාව රට යැමේ ක්‍රමවේදය නොදන්නාකම සහ මෝඩ තකතීරුකම නිසාත්ය. කැනඩාව, ඇමෙරිකාව ඔස්‌ටේ්‍රලියාව, ඉතාලිය, ජර්මනිය ප්‍රංශය ආදී ධනවත් රටවලට යවනවා කියා සුරලොව මිහිර ඇස්‌ පනා පිට පෙන්වා මෝඩයන්ගේ සල්ලිවලට විදින සංවිධානාත්මක කල්ලි කිහිපයක්‌ අද අප රටේ මෙන්ම බොහෝ ආසියාතික රටවල දකින්නට ලැබේ. උන්ගේ අලුත්ම ක්‍රමවේදය නම් අන්තර්ජාලය හරහා ඊමේල් යවමින් මෝඩ මිනිසුන් මුළා කරවා රට යැමේ සිහිනය මනසට කැවීමයි. අහවල් රටේ පවත්වන වැඩමුළුවට හෝ සම්මේලනයට ඔබව තෝරාගෙන ඇති බවත් එහි යැමට කැමති නම් මෙම සුළු මුදල ක්‍රෙඩිට්‌ කාඩ් එකක්‌ හරහා අපේ ගිණුමට බැර කරන ලෙසත් ඔවුන් කියයි. රට ගිය විට නවතින්නට දෙන තරු පහේ හෝටලය ගැනත් එහි පැමිණෙන දේශකයන් ගැනත් කතා කිරීමට යෝජිත මාතෘකා ආදී සියල්ලම ඔවුන් ඡායාරූප සහිතව අන්තර්ජාලයේ සඳහන් කරයි. දැක්‌ක පමණින් ඇම ගිලින මෝඩයා එම වංචාකාරයන්ට අහුවෙයි.

අන්තර්ජාලයේ සැරිසරන්නෝ ඉතා අඩු නිසා මෙම ක්‍රමයට අහුවන්නේ සුළු පිරිසකි. නමුත් වෙන වෙන අකාරයෙන් රට යැමේ ඇල්ම සාමාන්‍ය මහජනතාව වෙත ප්‍රචලිත කිරීමද දකින්නට ඇත. වරක්‌ මා මීගමු වෙරලේ ඇවිදගෙන යද්දී එක්‌ තරුණයෙක්‌ "ආඃ ඉතාලි ඉතාලි ඉතාලි ඉතාලි" කියවා ප්‍රයිවෙට්‌ බස්‌ ලෝඩ් කරන කොන්දොස්‌තර ගැටයෙක්‌ මෙන් අවට ඉන්නා අයට පමණක්‌ ඇසෙන්නට මුමුණනු ඇසී ඒ ගැන විපරම් කළෙමි. වැල්ලේ සිටි අයෙක්‌ කීවේ ඔහුට සිහිමද ගතියක්‌ ඇති බවයි. එයට හේතුව බහුදින යාත්‍රාවකින් ඉතාලි යනු පිනිස වංචාකාරයකුට ඉතා විශාල මුදලක්‌ ගෙවා එයට පොල්ල වැටුණු පසු මෙම තත්ත්වය ඇතිවුණු බවත් කීවේය. තවත් අයෙක්‌ කීවේ මේ තරුණයා හොරාට ඉතාලි යවන කල්ලියක තැරැව්කාරයෙක්‌ බවත් හවසට වැල්ලට පැමිණ මෙසේ මුමුණමින් බහුදින යාත්‍රාවට සෙනඟ සොයා ගන්නා බවත්ය. බහුදින යාත්‍රාවලින් ඉතාලි ගිය අයට වෙන දේ ගැන නිතර අසන්නට ඇසේ. එය වෙනමම කතා කළ යුතු හද සසල කරවන ඇඟ හිරිවට්‌ටන මාතෘකාවකි. ඒ පිළිබඳ කරුණු රැසක්‌ අප ළඟ ඇති අතර ඉදිරි ලිපියකින් ඒවා ඉදිරිපත් කරන්නෙමු. තමන් දැලිපිහියෙන් කිරි කනවාටත් වඩා භයානක අතිශය අන්තරාදායක මේ බහුදින යාත්‍රා චාරිකාව ගැන මිනිසුන් නොසිතන්නේ නම් හොඳය. "මාව අහුවුණේ අන්තිම කටුන්ටරේදී. ප්ලේන් එක පෙනි පෙනී තියෙද්දීයි. තව තත්ත්පර දහයක්‌ ඉස්‌සර වුණානම් මං අද යුරෝපයේ."

එසේ කීවේ ව්‍යාජ වීසා මත රට යැමට ගොස්‌ අසුවී රිමාන්ඩ් භාරයේ පසුවන කමල් නමැත්තායි. ඔහු කියන පරිදි අනුන්ගේ පාස්‌ පෝට්‌ එකකට අනුව තමාව වෙනස්‌ කර එක්‌තරා පුද්ගලයෙක්‌ ඔහුව ගුවන් තොටුපල ඇතුළට දමා ඇත. ඊට පෙර නිලධාරීන් ඉදිරියේ කතා කරන අන්දම හැසිරෙන ආකාරය හෙළන බැල්ම ඉරියව් වෙනස්‌ කරන ආකාරය ආදී සියල්ල ගැන පෙරහුරුවක්‌ද ඔහුට ඒජන්සි කාරයන් විසින් ලබාදී ඇත.

"ෂික්‌ ෘ මට හිතා ගන්න බැහැ කොහොම අහුවුනාද කියලා මං නියමෙට ඒ අය උගන්නපු විදිහට රඟපාගෙන ආවා. අන්තිම මොහොතෙ ආපු ටික්‌ එකක්‌ කියලයි බොසා නං කියන්නේ. කමක්‌ නැහැ එක හීනෙන් එලි වෙන්නේ නැහැනේ එළියට ආවම ආයිත් ට්‍රයි එකක්‌ දෙනවා."

මේ කමල් වැනි මෝඩ සහ වංචාවටම සිත ඇති අයට කොතරම් කීවත් පිළිගන්නේ නැත. ඔහු කියන පරිදි හොරෙන් රට යන අයට ගුවන් තොටේ කවුන්ටරය ඉදිරියේදී නලලට හීන් දාඩිය දමයි. එසේ නොවන ලෙස සහ ගමන් බලපත්‍රය ඉල්ලුවිට කිසි බයක්‌ සැකයක්‌ නැතිව එය නිලධාරියාගේ කවුන්ටරය මතට පළපුරුදු කාරයෙකු සේ වීසි කරන අන්දමද කලින් උගන්වා ඇත.

අද පිටරට යැමට අවශ්‍ය වීසා ලබා ගන්නා තවත් ක්‍රමයක්‌ වන්නේ විවිධ සම්මේලන සම්මන්ත්‍රණ වැඩමුළුවලට සහභාගිවීමෙනි. මෙසේ සම්මේලන වැඩමුළු මුවාවෙන් හොඳ හොඳ රටවලට යන අය එහිදී "ගල්" වෙති "කැමා" වෙනවා කියා කියන්නේද මෙම ගල් වීමටයි. ඉන් අදහස්‌ කරන්නේ නැවත තම මව්බිමට නොපැමිණ එම රටේම නැවතීමයි. දිනපතා මේවා සිදුවෙයි. අද පිටරට සිටින අය ගෙන් වැඩි දෙනෙක්‌ මෙසේ ගල් වුණු අය බව අකමැත්තෙන් වුවද කිව යුතුය. "මුලදී ටිකක්‌ කට්‌ට තමයි ඒත් දුක ඉවසාගෙන කැපවීමෙන් වැඩ කළොත් නීත්‍යනුකූලව මෙහෙ ජීවත්වෙන්න හදා ගන්න පුළුවන් වැඩි දෙනෙක්‌ හොර පාරෙන් මෙහෙ එන්නෙ ආසාවටම නෙමේ මල්ලි ෘ ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන්න බැරි නිසයි. තමන්ගෙ දරු පවුල එක්‌ක අනාගතේ සතුටින් ඉන්න ක්‍රමයක්‌ හදා ගන්න අවශ්‍ය නිසයි."

ඒ ඉතාලියේ සිට පැමිණ සේනපාල මහතාගේ අදහසයි.

රට යැම හොඳය. ඉතා හොඳය. නමුත් වංචාකාරයන්ට අහුවීම අති භයානකය හොරුන්ට මුදල් දීමට නම් ඉඩකඩම් ගෙවල් දොරවල් උකස්‌ කළ අයත් අද අප රටේ එමට සිටී. කෙසේ හෝ හොඳ රටකට පැන ගැනීමට අපේ අය කැමතිය. ඒ සඳහා ඔවුන් ඕනෑම දෙයක්‌ පූජා කිරීමට සූදානම්ය. මෙසේ රට යනු පිණිස කෝටි ගණන් මුදල් ඉඩකඩම් පමණක්‌ නොව තම කන්‍යාභාවය පවා පූජා කළ තරුණියන් අපට හමුවී ඇත.

විවාහ කරගත් පසු ඇමෙරිකාවේ හෝ යුරෝපයට රැගෙන යමි යන පොරොන්දුවට අහුවන කාන්තාවන් අද අප රටේ සුලබය. මෙවැනි යෝජනා ගැන දෙවරක්‌ නොව දහවතාවක්‌වත් සිතිය යුතු බව සිහි කරන්නට කැමැත්තෙමි. මා දන්නා හැට හය වියෑති ගුරු මාතාවක්‌ දකුණේ ගමක වෙසේ ඇය ඇමෙරිකාවේ යනු පිණිස එක්‌තරා වංචාකාරයෙකුට රුපියල් ලක්‍ෂ දෙකක්‌ පමණ පූජා කොට දැන් බොහෝ සේ මානසිකව පීඩාවට පත්වී සිටී. මුදල් ගත් වංචාකාරයාගේ බිරිඳ යෑයි කියා ගන්නා එක්‌තරා කට සැර කාන්තාවක්‌ දැන් දැන් මේ ගුරු මාතාවගෙන් කප්පම් ඉල්ලන්නේ රට යනව මුවාවෙන් තෝ මගේ මිනිහත් එක්‌ක ජවුසං නැටුව නේද උඹගේ දරුවන්ට කියන්න ඉස්‌සරින් මට ලක්‍ෂයක්‌ දීපං" කියමිනි. මේ පිළිබඳ අපි අදාළ පොලීසිය දැනුවත් කර ඇත. මෙවැනි පිටරට වංචා කතාන්දර සිය ගණන් අපි දන්නෙමු. ලැඡ්ජාව සහ සමීප අයගෙන් වසන් කළ යුතු නිසා බොහෝ අය ඒවා සඟවාගෙන සිටී.

කෙටි සංචාර සඳහා රට යැමට පෙර ඒ සඳහා වීසා ලබා දෙන තානාපති කාර්යාල වලට තමන්ගේ වත්කම් බැංකු ගිණුම් රැකියා ස්‌ථානයෙන් දෙන ලිපි ආදිය පෙන්විය යුතුය. එසේම පිටරටින් ලද පිළිගත හැකි නිල ආරාධනාව, තමා එහි ගිය කල බලා ගන්නේ කවුද, ඔහුගේ වත්කම් පුරවැසිභාවය, තමා අතේ මුදල් තිබේද කොච්චර වැය කරනවාද සෞඛ්‍ය තත්ත්වය රක්‍ෂණ සහතිකය පවුලේ සාමාජිකයන් ගණන ආදී කරුණු රාශියක්‌ ඔවුන් සොයා බලයි. විශේෂයෙන්ම යුරෝපා රටවල් අමෙරිකාව කැනඩාව ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල් වලට යැමට වීසා ඉල්ලුම් කිරීමේදී මෙය ඉතා තදින් බලපායි. ඔවුන් හිතන්නේ ආසියාවෙන් එහි එන සියලු දෙනා යළි මව්රට නොගොස්‌ ගල් වනු ඇතැයි සිතාය. එහෙයින් බහුතරයක්‌ ආසියාතිකයන් දෙස ධනවත් එම්බසිකාරයන් බලන්නේ වපර ඇසිනි. අවිවාහක තනිකඩයෙක්‌ වීම, දරුවන් නැති අයෙක්‌ වීම, ස්‌ථීර රැකියාවක්‌ නැතිකම වැනි දේද වීසා ප්‍රතික්‍ෂේප වීමට කරුණු කාරණාය. තානාපති කාර්යාලවල ඉන්නා වීසා නිකුත් කරන නිලධාරීන් සිතන්නේ මෙවැනි අයට මෙරටේ වගකීමක්‌ නැති නිසා පිටරට ගිය කල එහිම නවතිනු ඇතැයි කියාය. ලොකු බැංකු ගිණුමක්‌ හෝ අති විශාල මාසික ආදායමක්‌ නැති එසේම තම නමට වතු පිටි ගෙවල් දොරවල් ඔප්පු තිරප්පු කිසිවක්‌ සහ යැමට නියමිත රටේ කිසි සබඳතාවක්‌ නැති සහ එහි ගොස්‌ වැය කරනු පිණිස එක්‌ යුරෝවක්‌ වත් අතේ නැති අයටත් වීසා ලැබෙන අවස්‌ථා ඉඳහිට ඇත. මා එවැන්නෙකි. පසුගිය සතියේ මට එසේ ෂෙනගන් වීසා ලැබුණි. මෙම ෂෙනගන් වීසාවෙන් යුරෝපයේ රටවල් දහ අටකට යැමට මට නිල අවසරය ලැබෙයි. ඒ රටවල් වලට ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, නෝර්වේ, ස්‌වීඩනය, ස්‌විස්‌ටර්ලන්තය පින්ලන්තය ආදී ධනවත් යුරෝපා රටවල් රැසක්‌ අයිති වෙයි. මේ ලද අවස්‌ථාව ගැන සමහරු කියන්නේ පරණ පිනක්‌ හිස මත කඩා වැටී ඇති බවයි. සමහරු කියන්නේ මෙය දේව වරමක්‌ කියාය. මමද එසේ සිතමි. එමෙන්ම බොහෝ අය කියන්නේ "පලයං ඉතාලි ගිහිං ගල් වෙයං" කියාය එසේ යුරෝපයට ගොස්‌ ගල් වූවොත් අනාගතය සරු කරගන්නට පුළුවන. මඳ කලකින් කොලේ හදා ගෙන යළි මව් රට යැමට ඒමට හැකි ලෙස නීත්‍යනුකූල තත්ත්වයටද පත්විය හැක. මසකට ලක්‍ෂ කෝටි ගනන් ඉපයිය හැකිය. සමහරවිට ලබන සතියේ මා මෙම ලිපිය ලියන්නේ යුරෝපයේ අඳුරු පාතාලයක සිට හෝ උමං මාර්ගයක්‌ මැදින් යන අධිවේගී දුම්රිය මැදිරියක සිට සීතලෙන් ගැහෙමින් විය යුතුය. යුරෝපයේ අඳුරු තැන් ගැන නොදන්නා අපේ පාඨකයාට බොහෝ කරුණු රැසක්‌ හෙළි කිරීමට මෙම සංචාරය තුළින් මට හැකිවෙනු ඇතැයි සිතමි. රට යන්නට කවුරුත් කැමතිය. නමුත් ඒ සඳහා අසාර්ථක වංචාකාරී ක්‍රම භාවිත කිරීම හොඳ තැන. ඔබ තුළ අවශ්‍ය සුදුසුකම් ඇත්නම් අදාළ තානාපති කාර්යාලය විසින් අනිවාර්යයෙන්ම ඔබට වීසා නිකුත් කරනු ඇත.

මිත්‍ර ශ්‍රී කරුණානායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.