කුඩු රජවරුන්ගේ කතාව
කුඩු මෙහෙයුම් මුඩු වෙන හැටි

ඉකුත් මානුෂීය මෙහෙයුම් සමයේ එල්ටීටීඊ ත්‍රස්‌තවාදීන්ගේ කොඳු නාරටිය බිඳී යැමට ප්‍රබලම සාධකයක්‌ වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් එල්ටීටීයේ ආයුධ සැපයුම් ජාලයට එල්ල කළ මාරක ප්‍රහාර හේතුවෙන් කෙෙටින්ගේ නාවික ශක්‌තිය සුණු විසුණු වී යැම බව නොරහසකි.

රාජ්‍ය තාන්ත්‍රික බුද්ධි තොරතුරු අනුව නාවික හමුදාව එල්ල කළ එකී ප්‍රහාරවලදී එල්ටීටීඊයේ අවි සැපයුම් නෞකා දහයක්‌ම ඉන්දීය සාගරය පතුලේ සැඟව ගියේ ප්‍රභාකරන්ද නොසිතූ පරිද්දෙනි

එය එල්ටීටීයේ ආයුධ සැපයුම් ජාලය බිඳ වැටීමේ එකම සහ ප්‍රබලම සාධකයද වූ අතර කොටින්ගේ නියත මළගම පැහැදිලිව ඉඟි කෙරුණු ප්‍රථම වෙඩි මුරය වූයේ යෑයිද කිවහොත් අතිශයෝක්‌තියක්‌ නොවනු ඇත.

ගෙවුණු කෙටි අතීතයේ රට ඇතුළේ වූ ලෝකයම මවිත කළ කොටි ත්‍රස්‌තවාදය වැනසීමට අප කොටින්ගේ බාහිර සබඳතා බිඳ දමමින් කටයුතු කළේ එලෙසිනි. එය අතිශයින්ම සාර්ථක උපක්‍රමයක්‌ වූ බව අමුතු=වෙන් කිව යුත්තක්‌ද නොවෙති.

එහෙත් වර්තමානයේ එල්ටීටීඊයට නොදෙවෙනි විනාශයක්‌ මේ රටට සිදුකරමින් තිබෙන පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතාම කියන පරිදි මත්ද්‍රව්‍ය ත්‍රස්‌තවාදය මැඬලීම හමුවේ අද අප කරමින් සිටින්නේ කුමක්‌ද?

මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කෙරෙනතුරු අඛන්ඩ මෙහෙයුම් සිදු කළ යුතු බවට Rජු තීරණයක්‌ ගනිමින් පොලිස්‌පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා උසස්‌ම පොලිස්‌ ප්‍රධානින් පොලිස්‌ මූලස්‌ථානයට කැඳවා උපදෙස්‌ දෙනු ලැබුවේ මීට සති කිහිපයකට ඉහතදීය.

රට තුළ ක්‍රියාත්මක මත් ජාවාරමට එරෙහිව පළමු වෙඩිමුරය පත්තු කරමින් "දිවයින" ආරම්භ කළ අරගලයට අරුතක්‌ ලැබෙන බව හැඟී යැමෙන් එහිදී අපට ඇති වූ අවංක සතුටකි.

මේ රටටත් ජනතාවටත් ආදරය කරන බවට තර්කයක්‌ නැති ත්‍රස්‌තවාදය අවසන් කරමින් උපන් බිම කෙරෙහි තමන් තුළ වන අසීමිත බැඳීම ලොවටම ඔප්පු කර පෙන්වූ ජනාධිපති මහින්ද රාපක්‍ෂ මහතා වැනි නායකයකු රට තුළින් පාතාලයත් මත් ජාවාරමත් අතුගා දැමීමට ගත් තීරණය "දිවයින" එවන් අරගලයකට යැමට එක්‌ ප්‍රබල සාධකයක්‌ද විය.

මේ සියල්ල හමුවේ පොලිස්‌පතිවරයාගේ Rජු තීරණය කෙරෙහි පැහැදුණු අප පොලිසියේ සියලු ක්‍රියාමාර්ග සාර්ථක වේවායි ආශීර්වාද කරමින් පොලිස්‌පතිවරයාට සුභ පැතුවේ ජයවේවා පොලිස්‌පතිතුමනි යෑයි සටහන් කරමිනි.

එහෙත් අද මෙරට ක්‍රියාත්මක මත් ජාවාරම හමුවේ පොලිසිය සිටින්නේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක්‌ තුළද යන්න පිළිබඳ විමසා බැලීමේදී අපට ඇතිවන්නේ බරපතල ගැටලුවකි.

ඒ මත්කුඩු රට තුළින් තුරන් කිරීමට පොලිස්‌පතිවරයාගේ උපදෙස්‌ අනුව පොලිසිය ක්‍රියාත්මක වී සති කිහිපයක්‌ ගතව තිබියදීත් තවමත් මේ පිංබිමට ළඟා වෙමින් තිබෙන මත්කුඩු තොගවල අඩුවක්‌ හෝ රට තුළ මත්කුඩු අලෙවියේ අඩුවක්‌ හෝ දක්‌නට නොමැති බව පැහැදිලිව පෙනී යමින් තිබෙන බැවිනි.

රටතුළ මත්කුඩු අඩුවීමක්‌ සිදුව තිබෙන්නේ නම් එය පැහැදිලිව හඳුනාගත හැකි ක්‍රම දෙකක්‌ තිබේ. ඉන් පළමු වැන්න වන්නේ සීඝ්‍ර ගෙලස මත් කුඩුවල මිල ඉහළ යැමය.

දෙවැන්න වන්නේ මත් කුඩු නොමැති කමින් සික්‌ එක දරාගත නොහැකි වන මත් ලෝලීන් මඤ්ඤං වී පිස්‌සු කෙළීමය. එසේත් නැතහොත් මත්කුඩු ඉල්ලන සිරුර දෙන වද වේදනා උහුලා ගත නොහැකි කුඩුඩන් ගඟක මූදක පැන හෝ කෝච්චියකට බෙල්ල තබමින් සිය දිවි නසා ගැනීම බව අකමැත්තෙන් වුව සටහන් කළ යුතුව ඇත.

ඉකුත් කාලයේ මෙරට මහා පරිමාණ කුඩු මෙහෙයුම් සිදුවුණු අවස්‌ථාවන්හි මෙකී තත්ත්වය පැහැදිලිව පෙනෙන්නට තිබූවක්‌ බව සටහන් කරනුයේ උදාහරණයක්‌ ලෙසිනි.

එහෙත් මත් ජාවාරම මර්දනයෙහිලා පොලිසිය අද සිදු කරමින් සිටිනුයේ කුමක්‌ද? මත්ද්‍රව්‍ය මෙහෙයුම් යනු නිවැරදි බුද්ධි තොරතුරු මත සිදුවිය යුතු වැඩපිළිවෙළකි. එසේ කියනුයේ අප නොව ඒ පිළිබඳ අත්දැකීම් බහුල ඇතැම් ඉහළ බුද්ධි නිලධාරින්ම විසිනි.

තත්ත්වය එසේ නම් අද පොලිසිය සිදු කරනු ලබන ආකාරයට කණඩායම් වශයෙන් නිලධාරින් ගොස්‌ ගම්මානපිටින් වටලා මත් ද්‍රව්‍ය හෝ මත් ජාවාරම්කරුවන් අතඅඩංගුවට ගැනීම යනු කළ හැක්‌කක්‌ විය හැකිද?

"අපි ගෙවල් වටකරනව... වට කරල චෙක්‌ කරන්න පටන් ගන්නව... අපි ආපු බව දැනගත්තම කුඩු විකුණන එවුන් ගෙවල්වල තියෙන කුඩු ටොයිලට්‌වලට දාල වතුර ගහනව... අන්තිමට මුකුත් නැහැ. වටේ ඉන්න කුඩු බොන එවුන් ටික අපිට අහු වෙනව....එච්චරයි වෙන්නෙ...

මේ අද පොලිසියේ මෙහෙයුම් ගැන පොලිසියෙන්ම ඇහෙන කථාවකි. ඉතින් එකී මෙහෙයුම් මගින් මත් උවදුර මැඬලිය හැකි වේද? මින් රැවටෙන්නේ කවුද? ජනතාවද? නැතිනම් රජයද?

වර්තමානයේ දිනකට මේ බිම තුළට ළඟා වන මත්කුඩු ප්‍රමාණය කිලෝ ග්‍රෑම් සියයද ඉක්‌මවන බව කියති. එසේ කියන්නේද අප නොව මේ පිළිබඳ හසල අත්දැකීම් සහිත ආරක්‍ෂක අංශ නිලධාරින්මය.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ මුහුදු සිමා හරහා ලෝකය වෙත ගමන් කරන මත් කුඩු ප්‍රමාණය මීට වඩා සිය ගණනින් වැඩි බවද කියති.

මේ රට වනසන කුඩු රජුන් වර්තමානයේ මෙවන් වික්‍රමයක්‌ කරනුයේ කෙලෙසද? අද ලෝකයේ මත් කුඩු ජාවාරමේහි ලා රන් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන්නේ තායිලන්තය, මියන්මාරය සහ ලාඕසය යන රටවල් කේන්ද්‍ර කර ගත් බිම් කඩකි. එහිදී ජාත්‍යන්තර මත්කුඩු ජාවරමේ කේන්ද්‍රගත නගරය ලෙස හැඳින්වෙන්නේ තායිලන්තයේ චියෙන්රායි නගරයය. මීට අමතරව මත් කුඩු ලෝකයේ රන් චන්ද්‍රවංකය ලෙසින් හැඳින්වෙන බිම්කඩක්‌ද වේ. එය පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්‌ථානය, පාකිස්‌ථානය හා ඉරානය යන රටවල් කේන්ද්‍රකර ගනිමිනි.

සුපිරි හෙරොයින් නිපදවෙන පොපි වගාව මහා පරිමාණයෙන් සිදු වන්නේ මෙම බිම් අභ්‍යන්තරයේ බව වර්තමානයේ ජාත්‍යන්තර රහස්‌ ඔත්තු සේවා මැනවින් හඳුනාගෙන තිබෙන්නකි.

මේ පොපි වගාව යනු කුමක්‌ද? පොපි යනු දීර්ඝ කලක සිට ලෝකයේ ප්‍රබල වේදනා නාශකයක්‌ ලෙස ප්‍රකට මොෆීන් නමැති වේදනා නාශකය නිපදවීමට ගැනෙන එකම ශාකයද වේ.

එහෙත් අද හෙරොයින් නැමැති ලොවම වනසන මත් කුඩු නිපදවෙන්නේද මෙම පොපි ශාකයේ මල්වලින් එන කිරි රසායනික ප්‍රතික්‍රියාවකට ලක්‌ කිරීමෙන් බව සොයා ගෙන තිබේ.

මෙම හේතුව නිසාම පොපි යනු ඖෂධ නිෂ්පාදනයක මූලද්‍රව්‍යයක්‌ වුවද එය වගා කිරීම නීතිය හමුවේ තහමනට ලක්‌ව තිබෙන්නකි.

පෙර කී ලෝක මත් කුඩු ජාවාරමේ රන් ත්‍රිකොණය හා රන් චන්ද්‍රවංකය යන බිම්හි පොපි වගාව මහා පරිමාණයෙන් සිදු වන්නේ මෙසේ එය තහනමට ලක්‌ව තිබියදීය.

කෙසේ වෙතත් අද ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් හෙරොයින් හෙවත් මත්කුඩු ළඟා වන්නේ මෙම ප්‍රබල මර්මස්‌ථානවල සිට නොවන බව අපේ පොලිසිය හා ආරක්‍ෂක අංශ හඳුනාගෙන තිබෙන්නකි.

එම ප්‍රදේශවල සිට මෙරටට කුඩු ළඟා වන්නේ ගුවන් මගින් හා සංචාරකයන් මාර්ගයෙන් ඉතා සුළු වශයෙන් බවද කියති.

එසේ නම් ලංකාවට මේ ගිනිගෙඩිය අද මහා පරිමාණයෙන් ළඟා වන්නේ කෙලෙසද? ඖෂධයක්‌ හේතුවෙන් අපේ අසල්වැසි ඉන්දියාවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පොපි වගාව සඳහා සීමිත අවසරයක්‌ ලැබුණේ මීට දිගු කලකට ඉහතය.

කලක සිට ඉන්දියාවේ රාජස්‌ථාන් ප්‍රාන්තය පොපි වගාවේ බිම්කඩක්‌ බවට පත්වූයේ එහි ප්‍රතිඵළයක්‌ වශයෙනි. එහෙත් මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දුන් සීමිත සීමාවේ එය රඳවා ගන්නට ඉන්දීය රජයට හැකි නොවුණි.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉන්දීය රාජස්‌ථාන් ප්‍රන්තයද හෙරොයින් නිෂ්පාදනයේ ප්‍රබල බිමක්‌ ලෙස මත් කුඩු ජාවාරමුන්ගේ ග්‍රහණයට ගොදුරු වීමය.

අද ඉන්දීය රාජස්‌ථාන් ප්‍රන්තයේ මෙම ජාවාරම සියතට ගෙන සිටින්නෙ ඩාවුඩ් ගෲප් නමැත් පාතාල සිංව්ධානය වේ.

1960 අවසාන සහ 70 මුල් දශකයේ ශ්‍රී ලංකාවේ ජාවාරමක්‌ ලෙස ක්‍රියාත්මක වූ එක්‌තරා නීති විරෝධී ව්‍යාපාරයක්‌ විය. ඒ බෝට්‌ටු මගින් ඉන්දියාවේ සිට බීඩි කොළ මෙරරට රැගෙන ඒම සහ රත්තරන් මෙරටින් ඉන්දියාවට රැගෙන යැමය.

එකල හැඳළ ප්‍රදේශයේ නමක්‌ දිනූ වැඩකාරයකු වූ ජුකී බායි යනු මෙම ජාවාරමේ සිටි කප්පිත්තෙකි. මේ අතරේ ඒ සමයේ මුහුදේ ඇති නැව්වල සිට බෝට්‌ටු මගින් කෙරුණු හොරබඩු ව්‍යාපාරයද මෙකී ජාවාරමේ තවත් එක්‌ කොටසකි.

එහෙත් කාලයාගේ අවෑමෙන් මෙම ජාවාරම ඉන්දියාවේ සිට මෙරටට මත්කුඩු පොම්ප කෙරෙන ප්‍රධාන මාර්ගය වූයේ බීඩි කොළ රත්තරන් මෙන් නොව මත් කුඩු යනු මුදල් ඉපයීමේ ඉල්ලමක්‌ බවට එකී ජාවාරම්කරුවන්ට අවබෝධ වීමත් සමගය. ඉන්දියාවේ රාජස්‌ථාන් ප්‍රාන්තයේ නිපදවෙන සුපිරිසිදු හෙරොයින් චෙන්නායිවලටත් , තූත්තුකුඩියටත් පැමිණ එතැන් සිට පෝක්‌ සමුද්‍ර සංධිය හරහා අද මහා පරිමාණයෙන් මෙරටට ළඟා වන්නේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

මේ පිටුපස සිටින මහා පරිමාණ ජාවාරම්කරුවන් දස දෙනකු පමණ අද පොලිසිය පැහැදිලිව හඳුනාගෙන සිටිති.

ඒ අතර සිංහල ජාතිකයන් මෙන්ම මුස්‌ලිම් ජාතිකයන් කිහිපදෙනකුද වේ. මොවුන් හා සමීපව මෙරට දේශපාලන චරිත කිහිපයක නම්ද හෙරොයින් තරමටම සුපිරි විදිහට ගෑවී තිබෙන බව අපට කීවේ මේ පිළිබඳ දීර්ග කාලයක සිට අවධනය යොමු කර සිටින එහෙත් අද පාරෙන් ඉවත් කර ඇති එක්‌තරා උසස්‌ පොලිස්‌ නිලධාරියෙකි.

මෙසේ ශ්‍රී ලංකාවට මත්කුඩු ළඟාවීමේදී දීර්ග කාලයක සිට මන්නාරමේ එරක්‌කලම්පිඩ්ඩි දූපත ප්‍රබල මර්මස්‌ථානයක්‌ව තිබිණි.

පුසුගිය කාලයේ එල්ටීටීඊ ත්‍රස්‌තයන් මෙරට පාතාල කුඩු රජවරුන්ද සමග එක්‌ව මේ බිමට මත්කුඩු පොම්ප කිරීමේදී වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගනු ලැබුවේ එකී දූපත් ප්‍රදේශය බවද පැවැසේ.

එහෙත් අද එම ක්‍රියාදාමය වයඹ වෙරළ තීරයේ සිට දකුණ දක්‌වාම එය පැතිර තිබෙන බව අපි මීට පෙර මෙම ලිපි මාලාවේදී සටහන් කළෙමු.

මේ වන විට දිනකට මෙරටට මත්කුඩු කිලෝ සියයක්‌ පමණ ළඟා වන්නේ ඒ අයුරිනි. බහුදින ධීවර යාත්‍රා යොදා ගනිමින් ජාවාරමුන් ඉතා සූක්‍ෂම අයුරින් මෙකී ජාවාරම කරගෙන යන බවද අපට සඳහන් කළේ පෙර කී පාරෙන් ඉවත් කර සිටින උසස්‌ පොලිස්‌ නිලධාරියාම විසිනි.

එහෙත් තත්ත්වය මෙසේ තිබියදීත් මෙරට මුහුදු තීරයෙන් ඔබ්බට ගොස්‌ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් පිළිබඳ මෙතෙක්‌ පොලිසියේ අවධානය යොමු වූයේද?

ඔවුන් මෙරට මුහුදු සීමාවන් පසුකර යනුයේ සැබැවින්ම ධීවර කර්මාන්තය සඳහාද නැතහොත් ඒ පිටුපස වෙනත් යමක්‌ වේද යන්න සොයා බැලීම අදාළ අංශවල දැඩි අවධානය යොමු විය යුතු කරුණකි.

අප මත්කුඩු අලෙවි කරන පාතාලයන් පිළිබඳ මීට පෙර දිගින් දිගටම කථා කළෙමු. මේ සටහන් වූයේ මෙරටට මහා පරිමාණයෙන් මත්කුඩු ළඟාවන ප්‍රධාන ක්‍රමවේදයේ කරුණුය.

සිදුවන්නේ මෙය නම් පොලිසිය සිදු කළ යුත්තේ ගම්මානපිටින් වටලා කුඩු සෙවීමද? පාරෙන් ඉවත් කර සිටින දක්‍ෂ නිලධාරින්ගේ මෙන්ම පොලිසියේම විවිධ අංශවල සිටින අත්දැකීම් බහුල නිලධාරින්ද යොදාගෙන විධිමත් සැළසුමක්‌ මත් ජාවාරමට එරෙහි ක්‍රියාත්මක කිරිම නොවේද?

මෙරට ලොකුම කුඩු මෙහෙයුම ලබන සතියේ

සමන් ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.