සැණකෙළි මැද ගිලෙන තැපෑල

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්මේන්තුව සියවස්‌ ගණනක සිට අභිමානවත් ලෙස බැබලුනු රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. එහෙත් දැනට දශක කිහිපයක සිට එය පණ අදිමින් සිටින මහල්ලකු වැන්න. එයට ප්‍රධානතම හේතු කිහිපයක්‌ ඇති අතර, දැනට ඇති ප්‍රධානතම කරුණ වන්නේ නගා සිටුවිය යුතු අත්‍යාවශ්‍ය අංග තැපෑලේ තිබියදී පාලකයන්ගේ සැණකෙළි වැඩ සඳහා ලක්‍ෂ ගණනින් තැපෑලේ මුදල් වියදම් කිරීමය. දිනෙන් දින වෙනස්‌ වන ලෝකයේ තැපෑල තවමත් ගමන් කරන්නේ ඉබි ගමනින්ය. මෑතක සිට පරිගණක තාක්‍ෂණය හරහා යම් තාක්‍ෂණික දියුණුවක්‌ ලැබුවද එමගින් පමණක්‌ තැපෑල නගා සිටුවිය හැකි යෑයි සිහින දකින තැපෑලේ පාලකයින් තැපෑලේ අනෙකුත් අංශ අමතක කර දමා ඇත. අපගේ ප්‍රධාන තැපැල් කාර්යාලය, තැපැල් තෝරන මධ්‍යස්‌ථානවල වාඩිවීමට සුදුසු පුටුවක්‌ පවා නැත. තිබුණත් ඒවා පැද්දෙන තොටිලි මෙනි. තැපැල් භාණ්‌ඩ ප්‍රවාහනයට තැපැල් මලු නැත. ග්‍රාමීය තැපැල් කාර්යාල වෙත ප්‍රධාන කාර්යාලයේ සිට ලිපි ඇතුළු බොහෝ තැපැල් භාණ්‌ඩ යෑවෙන්නෙ තැපැල් මලු නොමැති නිසා නූල් වලින් ගැට ගසා කර පටියක්‌ දැමීමෙනි.

තැපැල් ප්‍රවාහනයට විධිමත් තැපැල් ප්‍රවාහන පද්ධතියක්‌ තවම තැපෑලට නැත. දුර බැහැර තැපැල් කාර්යාල වල සිට තැපැල් තෝරන මධ්‍යස්‌ථාන වෙත සමහර අවස්‌ථා වලදී තැපෑල එන්නේ දින දෙක තුනක ප්‍රමාද වීමෙනි. එයට ප්‍රධාන හේතුව තැපැල් ප්‍රවාහනය ලංකා ගමනාගමන මණ්‌ඩලයේ බස්‌රථ මගින් යෑවීමට සිදුවීමය. කාර්යාලයක ලිපි ලිවීමේ කොලයක, පෑනක සිට කාර්යාලීය අවශ්‍යතා ඉටු කරන සියලු භාණ්‌ඩ වල හිඟයක්‌ පවතී. යම් යන්ත්‍රයක්‌ කැඩුනහොත් එය අලුත්වැඩියාවට මාස ගණනක්‌ ගත වේ. ඒවා කඩිනමින් අලුත්වැඩියාවට අවශ්‍ය යාන්ත්‍රනයක්‌ තවම සකසා ගෙන නැත.

තවද නිලධාරී හිඟය ඉහටත් උඩින්ය. තැපෑලේ නව හඳුන්වාදීම් ඇතුළු සියලු කාර්යන් කිරීමට ඇත්තේ බොහෝ කාර්යාල වල එක නිලධාරියෙක්‌ පමණි. මෙතරම් නිලධාරි හිඟයක්‌ ඇති අප දෙපාර්තමේන්තුව පුදුමය දනවන සුළු කරුණ නම් තැපැල් සේවා නිලධාරීන් ලෙස උසස්‌ වීම් ලබා ඇති නිලධාරීන් පිරිසක්‌ නොයෙක්‌ නීති තර්ක දමමින් වර්ෂ දෙකකට අධික කාලයක්‌ තිස්‌සේ උප තැපැල් කාර්යාල වල නිකරුණේ රඳවා තබාගෙන සිටීමය. මෙම නිලධාරීන් ප්‍රධාන තැපැල් කාර්යාලවලට අනුයුක්‌ත නොකර සිටීමෙන් තැපෑලේ වැය වූ අතිකාල මුදල් ප්‍රමාණය කෝටි ගණනකි. තවද, පළමු ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරීන් ලෙස උසස්‌වීම් ලැබීමට විභාගය සමත් වූ දෙවන පෙළ තැපැල් සේවා නිලධාරීන් සිය ගණනක්‌ තවම අවුරුදු ගණනාවක සිට තැපැල් සේවා නිලධාරී පළමු පෙළ උසස්‌වීම ලැබෙන තෙක්‌ සුසුම් දමමින් බලා සිටි. තවද විමර්ශන පරීක්‍ෂක තනතුරෙහි පුරප්පාඩු රැසක්‌ දිවයින පුරා පැවැතියත් ඒවා පිරවීමට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ තවම ගෙන නැත.

එකී නොකී දහසක්‌ ගැටලු තිබියදී පාලකයන් තැපැලේ මුදල් ලක්‍ෂ ගණන් වියදම් කරමින් සැණකෙළි පවත්වමින් සිටී. තැපෑලේ කෞතුකාගාර හදමින්, රට හරහා රථ ප්‍රදර්ශන පවත්වමින්, නගරයක්‌ නගරයක්‌ පාසා ක්‍රීඩා සැණකෙළි පවත්වමින්, ලෝක තැපැල් දිනය දඩමීමා කරගෙන වියදම් කරන මුදල් ප්‍රමාණයෙන් තැපෑලට අවශ්‍ය තැපැල් මලු ප්‍රමාණයවත් අඩුමගානේ මිලදී ගන්නවානම් මෙම සැණකෙළි, ක්‍රීඩා තරග ආදියට වඩා තැපෑලට දහස්‌ වාරයක්‌ වටිනේය.

නමුත් රටේ ප්‍රධාන බලධාරීයාගෙන් ඉහළ ලකුණු ලබා ගැනීමට මේ කරන්නා වූ සැණකෙළි ආදී පුහු ප්‍රදර්ශනාත්මක වැඩ වලින් වන්නෙ තැපෑල තව තවත් අගාධයකට යැම පමණි. දුම්රිය, සෞඛ්‍ය ආදි රාජ්‍ය දෙපාර්තමේන්තුවල මෙන්ම සවිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක්‌ අතීතයේ තැපෑලේ තිබිණි. අතීත වෘත්තීය සමිති නියමුවන් තැපෑල රැකගැනීමට මෙවැනි දෑ හමුවේ අභීත ලෙස හඩ නැඟූහ. වර්තමාන තැපැල් වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියෙහි නායකයන් පුද්ගලික වාසි ප්‍රයෝජන තනතුරු තාන්න මාන්න කතා මුළු තැපැල් වෘත්තීය සමිති ව්‍යාපාරයම පාවා දෙමින් පවතී. තැපෑලට සැබෑ ලෙසින් ආදරය කරන තැපෑල සිය ආත්මය සේ සලකන මිනිසුනට කියන්නට සිදුවී ඇත්තේ දැන් වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියාය.

තැපෑලට ආදරය කරන
සේවකයන් පිරිසක්‌
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.