දියවඩන නිලමේතුමනි දළදා මාළිගාවේ සිදුවන
මේ අකටයුත්ත සොයා බලන්න

මහනුවර අවට පදිංචිකරුවකු වන මම සෑම මාසයකම දෙවරක්‌ පමණ පවුලේ අයත් සමඟ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගන්නට පැමිණෙමි. එවිට මේ ශුද්ධ භූමියේදී සිදුවන සිත් කම්පාකරවන දෙයක්‌ මම දකිමි. එනම් බැතිමතුන් පාවහන් තැබීමට සාදා ඇති කුටියේ ඒවා නොතබා ඉතා අශෝභන ලෙස තැනින් තැන බිම තබා යන ආකාරයයි. මෙසේ වන්නේ බැතිමතුන්ගේ නොසැලකිලිමත්කම නිසා නොවේ. ඔවුන් පාවහන් කුටියේ තම පාවහන් තැබීමට බිය වීම නිසාය. ජනතාව පාවහන් කුටියට යැමට බිය වන්නේ එහි සිටින ඉතා අවිනීත සේවකයන් නිසාය.

තමා තබා ඇති පාවහන් ආපසු ගැනීමට යන සියලුම බැතිමතුන්ගෙන් මේ අවිනීත සේවකයෝ මුදල් ඉල්ලති. එසේ මුදල් නොදෙන අයට මේ අය ඇනුම්පද කියති. ඔවුන් බලාපොරොත්තු වන අවම මුදල රුපියල් 10 කි. ඊට අඩුව දෙන අයටද ඔවුහු ඇනුම්පද කියති. බැණ වදිති.

මේ පාවහන් කුටිවල සේවය කිරීම යනු ඔවුන්ට ධන උල්පතකි. දිනකට බැතිමතුන් 500 ක්‌ පැමිණෙතැයි දළ වශයෙන් ගණන් ගත්තද ඔවුන් කොපමණ මුදලක්‌ උපයන්නේ ද මාළිගාවේ සේවය කරන සියලුම අයට හොඳ වැටුප් හා දීමනා ලබාදී ඇති බව මම හො¹කාරව දනිමි. එසේ තිබියදීත් තම රාජකාරිය හරිහැටි නොකර මහජනයාට කරදර කිරීම සහ බැණ වැදීම මෙවැනි පූජනීය තැනක සිට කිරීම කෙතරම් අවිනීතද?

මාළිගාවට එන විදේශිකයන්ගෙන් මේ සේවකයන් කුමන දේ ඉල්ලන්නේ දැයි මා දන්නේ නැත. මේ අකටයුත්ත ගැන සොයා අදාළ අවිනීත සේවකයන්ට දඬුවම් දී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩවන් ශ්‍රී දළදා මාළිඟාවේ ගරුත්වය ආරක්‍ෂා කරන මෙන් දියවඩන නිලමෙතුමන්ගෙන් කරුණාවෙන් ඉල්ලමි.

ආර්. එම්. රත්නායක - මාතලේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.