දුකට ලියන කවි


සරසවි සටන් ඇවිලී උණුසුමකි රටේ
තරමක දුකක්‌ ඒ ගැන හද තුළ ද ගැටේ
සරදම් සිනා - මසුරන් කියමන්ය කටේ
බොර මාලු බාමින් යති හතර වටේ

පාලනයක්‌ තිබිය යුතු සරසවි වලට
වේවැල පෙන්නලා විතරක්‌ බෑ එයට
සාධාරණය - යුක්‌තිය පිළිබඳ දුරට
ඒ ගැන සිතා යා යුතු විසඳුම් වලට

දෙස්‌ පාලනය සරසවියට වැරදි නැත
තිස්‌සෙම එඩිතරය අපගේ තරුණ සිත
ඇස්‌වල ඇනෙන කටු සේ නොබලන්න මිත
උස්‌ පුටුවලත් තව පොඩි පොඩි වැරදි ඇත

රට ගැන හිතන නව පරපුර හැඳින දැන
කටයුතු කරමු දී ඒ උදවියට තැන
පොට වරදවා ගත් අය වුව වෙනම ගෙන
බැට දෙනු එපා කලබල වී වියරු වෙන

ජාතියෙ ඉහළ මොළ සරසවිවල ඉන්නේ
ඒ අය අතර වුව ලෙඩ දුක්‌ බෝ වෙන්නේ
නෑ දොස්‌ නොමැති අය මේ මිහිපිට වන්නේ
ඒ ටික නොබැලුවොත් ලොකු විපතකි වන්නේ
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.