මම සමු නොගනිමි - I

පසුගිය සැප්තැම්බර් 30 වැනි දා මා විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමට තිබිණි. එහෙත් සැප්තැම්බර් 29 වැනි දින පැවති අමාත්‍ය මණ්‌ඩල රැස්‌වීමේ දී මහාචාර්යවරයකු ලෙස මගේ සේවා කාලය වසර තුනකින් දීර්ඝ කිරීමට තීරණයක්‌ ගෙන තිබුණේ ඒ තනතුරට හිමි සියලු වරප්‍රසාද ද උරුම කර දෙමිනි. ඇතැම් ජඩමාධ්‍යවල ඒ තීරණයට විරුද්ධව විවිධ අදහස්‌ පළ වී තිබිණි. ආණ්‌ඩුව විශ්වවිද්‍යාලයීය නීතිරීති උල්ලංඝනය කර ඇති බවට ද එවැනි සේවා කාලය දීර්ඝ කිරීමක්‌ වෙනත් කිසිම ආචාර්යවරයකුට මෙතෙක්‌ ලැබී නොමැති බව ද එය වැරැදි පූර්වාදර්ශයක්‌ විය හැකි බවට ද, එලෙස සේවා කාලය දීර්ඝ කිරීමට තරම් මගේ ඇති සුවිශේෂත්වය කුමක්‌ ද ආදී වශයෙන් මත හා ප්‍රශ්න එA ජඩමාධ්‍යයන්හි පළ වී තිබිණි.

එපමණක්‌ නොව කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පීඨාධිපති ලෙස කෙනකු පත්කරගැනීමට ඔක්‌තෝබර් 7 වැනිදා පැවැති විද්‍යා පීඨ මණ්‌ඩල රැස්‌වීමේ දී වෙනත් නාම යෝජනා ඉදිරිපත් කිරීමකට පවා ඉඩ නොතබා ආචාර්යවරුන්ගේ ඡන්ද බලය පවා අහෝසි වන අන්දමින් ක්‍රියා කර උපකුලපතිතුමා ඉදිරි අවුරුදු එකයි මාස තුනක කාලය සඳහා මා පත්කර ඇති බවට ද චෝදනාවක්‌ ඉදිරිපත් කර තිබිණි. අවුරුදු 66 ක්‌ ඉක්‌ම වූ අයකුට එලෙස විශ්වවිද්‍යාලයක නිලතල දැරීමට ඉඩදීම ප්‍රජාතන්ත්‍රවාදී නොවේ ය ආදී වශයෙන් ද එහි දී කරුණු කියා තිබිණි. මා එලෙස පත්කර ඇත්තේ ආණ්‌ඩුව වෙනුවෙන් කඩේ යැමට බව ද මගෙන් බලාපොරොත්තුවන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීම බව ද ජ.වි. පෙරමුණට හිතවත් පුවත්පතෙහි පළ කර තිබිණි.

ජ. වි. පෙරමුණ ද ඇතැම් එ. ජා. පාක්‍ෂිකයන් ද ඇතැම් ඊනියා ලිබරල්වාදීන් ද ඇතැම් වාමාංශිකයන් ද ඇතුළු පිරිසක්‌ මා විශ්වවිද්‍යාලයෙන් විශ්‍රාම යන තුරු ඇඟිලි ගනිමින් සිටියෝ ය. මා විශ්වවිද්‍යාලයෙන් සමු නොගැනීම හේතුවෙන් ඒ අයගේ බලාපොරොත්තු කඩ වී ගොස්‌ ඇත. ඔවුන් අතර විවිධ පුද්ගලයෝ වූහ. ඔවුහු නොයෙකුත් ආකාරයෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්‌වූහ. මට එරෙහිව අසභ්‍ය වාක්‍ය පමණක්‌ නොව වස්‌කවි ද විශ්වවිද්‍යාලයේ බිත්තිවල ලියෑවිණි. මගේ කාර්යාලය අසල දෙහි කපා බලියකින් පසු තටුව තබාගොස්‌ තිබිණි. ජ. වි. පෙ. දේශපාලන අදහස්‌ මෙන් ම විවිධ බලාපොරොත්තු තබාගෙන සිටි අයගේ අපේක්‍ෂා භංගත්වය ද ඒ ඒ අවස්‌ථාවල බලපෑවේ ය. අද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක්‌ වෙනුවෙන් පෙනී සිටින ජ. වි. පෙරමුණේ සාමාජිකයෝ ද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීහු ද, මානව හිතවාදීහු ද අදින් අවුරුදු දහඅටකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස්‌කර අවුරුදු දහයක්‌ ගෙදර ඉඳීමට සැලැස්‌වූ මොහොතෙහි ද ඉන්පසුව ද මුනිවත රැක්‌කෝ ය.

මට හැංගීමට කිසිවක්‌ නැත. මේ ජඩමාධ්‍යකරුවෝ තවමත් මගේ දරුවන් ප්‍රථම උපාධියට ඉගෙන ගත්තේ පිටරට යෑයි කියති. එහෙත් ඒ එසේ නොවන බව මා සියක්‌ වාරයක්‌ කියා ඇත. අවශ්‍ය නම් මට එය ලිත සාධක සහිතව පෙන්වා දිය හැකි ය. මගේ සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ද මේ ජඩමාධ්‍ය ද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් ද විශ්වවිද්‍යාලවල ගෞරවය ආරක්‍ෂා කරගැනීමට යෑයි කියමින් නොදන්නා පනත් හා ආයතන සංග්‍රහ ගැන ලියන්නන් ද මා මිය යැමෙන් පසුවත් මට නින්දා කිරීම සඳහා මා ආණ්‌ඩුවට කඩේ ගොස්‌ සේවා කාලය දීර්ඝ කරගත් බව කියනු ඇත. සිදුවූයේ කුමක්‌ ද යන්න පැහැදිලි කළ යුතු ය. එහෙත් එයට පෙර නිලතල දැරීමට හැකිවන අයුරින් සේවා කාලය අවුරුදු තුනකින් දීර්ඝ කිරීමට තරම් මගේ ඇති සුවිශේෂත්වය කුමක්‌ දැයි සඳහන් කළ යුතු ය. මගේ සුවිශේෂත්වය අන් කිසිවක්‌ නොව සම්මතයට අනුව කිවහැකි තරම් සුවිශේෂත්වයක්‌ මට නොමැති වීමයෘ

මට වඩා දක්‍ෂ උගත් ආචාර්ය මහාචාර්යවරු විශ්වවිද්‍යාල පද්ධතියේ සිටියහ. දැනුදු සිටිති. ඔවුන්ගෙන් ඇතැම්හු ප්‍රාමාණිකයෝ වූහ. මෙහි ඇතැම් දෙනාට තම තමන්ගේ කෘති සඳහා රාජ්‍ය සම්මාන හා වෙනත් පිළිගත් සම්මාන ලැබී ඇත. විවිධ විද්‍යා පීඨවල තම පර්යේෂණ පත්‍රිකා සඳහා ජනාධිපති සම්මාන ලැබුවෝ සිය ගණනක්‌ වෙති. එහෙත් මේ එක්‌ අයකු විසින් වුවත් නිර්මාණය කරන ලද ශාස්‌ත්‍රීය සංකල්පයක්‌ හෝ සාධාරණ (පොදු යන අරුතින්) ප්‍රවාදයක්‌ ගැන මම නො දනිමි. මා පොත් හා පර්යේෂණ පත්‍රිකා කිහිපයක්‌ පළකර ඇති නමුත් මට කිසිම රාජ්‍ය සම්මානයක්‌වත් ජනාධිපති සම්මානයක්‌වත් ලැබී නැත. අවුරුදු විසිපහකට පමණ පෙර "මගේ ලෝකය" පොත මුද්‍රණය කිරීම සඳහා ජාතික පුස්‌තකාල අරමුදලෙන් ආධාරයක්‌ ඉල්ලා සිටි අවස්‌ථාවේ එය ඇගයූ විද්වත් මහාචාර්යවරයාගේ තීරණය වූයේ ආධාර දීමට තරම් එය සුදුසු තත්ත්වයක නොවූ බව ය. මා ලියන ලිපිවල හා පොත්වල ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි සඳහන් වන්නේ කලාතුරකිනි. මා වැඩි වශයෙන් ලියන්නේ පුවත්පත්වලට ය. ඒවා පර්යේෂණ පත්‍රිකා මෙන් ප්‍රාමාණික හෝ නොවන හෝ විද්වතුන්ගේ ඇගයීම්වලට භාජන නො වේ. එමෙන් ම ඒවා ඊනියා ශාස්‌ත්‍රීය ලිපි ද නො වේ. ඒ ලිපි නිසා මට වෘත්තියෙහි උසස්‌වීම් ද ලැබී නොමැත.

මා පළකර ඇති කිසිම ලිපියක්‌ හෝ පොතක්‌ හෝ විද්වතුන්ගේ අවධානයට ලක්‌ නො වේ. ඒ කිසිවක්‌ ගැන විචාරයක්‌ පළ නො වේ. මා අහවල් මතය හෝ අදහස හෝ කියා ඇතැයි සඳහන් කරන බුද්ධිමත්තු නො වෙති. එයින් හැඟී යන්නේ මා පසුගිය වසර විසිපහේ ලිපි තුන්දහසක්‌ පමණ ලියා ඇති නමුත් ඒ කිසිවකවත් වැදගත් අදහසක්‌ ඉදිරිපත් වී නැති බව ය. ගුණදාස අමරසේකර මහතා පමණක්‌ කලාතුරකින් මා ලියා ඇති කරුණක්‌ පිළිබඳ සුළුවෙන් වුවත් සඳහන් කරන බව කිව යුතු ය. එසේ වුවත් ඇතැම්හු මගේ ලිපිවල ඇති අදහස්‌ තමන්ගේ අදහස්‌ ලෙස ප්‍රකාශ කරති. මා පළකරන නොවැදගත් අදහස්‌ එසේ තම නමින් පළ කරවා ගන්නේ ඇයි ද යන්න පිළිබඳ නම් මට ප්‍රශ්නයක්‌ ඇත. එහෙත් මම මගේ ලිවීමෙන් සමු නො ගනිමි. මට ආවේණික වූ ශෛලියක්‌ වේ. එය ඉතා සරල ය. මම හැකිතාක්‌ තර්කය උපයෝගී කරගනිමි. එහෙත් තර්කය හා න්‍යාය ගැන එතරම් විශ්වාසයක්‌ තැබිය නොහැකි බව ද දනිමි.

අනෙක්‌ අතට සියල්ල ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගැනීමට නොහැකි මා වැනි දුහුනන්ට හැකිතාක්‌ සංගත ව කරුණු ඉදිරිපත් කිරීම හැරෙන්නට වෙනත් ක්‍රමයක්‌ නොමැති බව මගේ හැඟීම ය. මම උපකල්පන හා නිරීක්‍ෂණ ද ඊනියා සාධක ද එක්‌ පද්ධතියක්‌ ලෙස සලකමින් ඒ සියල්ලෙහි සංගත බවක්‌ අපේක්‍ෂා කරමි. තර්කය හා න්‍යාය අවශ්‍ය වන්නේ එවිට ය. මා යොදා ගන්නේ චතුස්‌කෝටික න්‍යාය ය. ඇරිස්‌ටෝටලීය න්‍යාය ද එහි අඩංගු වන බව පමණක්‌ මෙහි දී සඳහන් කරමි. ආධ්‍යාත්මික ව දියුණුවක්‌ ලැබී පංෙච්න්ද්‍රයන්ගේ ආධාරයකින් තොරව සෘජුව ම මනෙන්ද්‍රියෙන් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි තත්ත්වයක්‌ උදාවුවහොත් මේ ශෛලියෙහි වෙනසක්‌ වීමට ඉඩ ඇත. දැනට මට මනෙන්ද්‍රිය සමග පංචෙන්ද්‍රිය ද ඊනියා චිත්ත පරීක්‍ෂණ ද යොදා ගැනීමට සිදු වී ඇත.

මම ඊනියා පර්යේෂණ නො කරමි. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට ද මහාචාර්යවරුන්ට ද පර්යේෂණ කිරීම අත්‍යවශ්‍ය වෙයි. ඔවුහු ඊනියා පර්යේෂණ විධි ක්‍රමය (රිසර්ච් මෙතඩොලොජි) ද හදාරති. මට ප්‍රශ්නයක්‌ වී ඇත්තේ පර්යේෂණ කිරීමට විධි ක්‍රමයක්‌ තිබිය හැකි ද යන්න ය. විධි ක්‍රමයක්‌ ඇතිව පර්යේෂණ කරන්න පොතක්‌ බලාගෙන සූප ශාස්‌ත්‍රයෙහි යෙදෙන්නකු වැනි යෑයි මට සිතෙයි. පර්යේෂණ විධික්‍රමය ගැන මට විශ්වාසයක්‌ නොමැති බැවින් සම්මත පර්යේෂණ මා අතින් නො කෙරෙයි. එබැවින් පර්යේෂණ පත්‍රිකා ද මගෙන් බිහි නො වෙයි. පර්යේෂණ පත්‍රිකා නොමැතිව සුවිශේෂිත පුද්ගලයකු තමා සාමාන්‍ය පුද්ගලයකු ද විය නො හැකි ය. එබැවින් ඇතැම් විද්වතුන් මගේ සුවිශේෂත්වය කුමක්‌ දැයි ඇසීමට මට තේරුම් ගත හැක්‌කේ ද මා සුවිශේෂිත පුද්ගලයකු නිසා විය හැකි ය.

දැනට අවුරුදු විසිපහකට පමණ පෙර මම බටහිර විද්‍යාව අත්හැරියෙමි. එය තවත් එක්‌ දැනුම් පද්ධතියක්‌ පමණක්‌ බවත් එය නිර්මාණය වී ඇත්තේ බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි බවත් එයට පදනම් ව ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය බවත් තේරුම් ගැනීමට මට හැකි විය. එදා සිට මා වෙහෙසුනේ අපේ චින්තනය (අවශ්‍ය නම් ජාතික චින්තනය) මත පදනම් ව අපේ සංස්‌කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය. සම්මත පිළිවෙළට අනුව මම සුවිශේෂිත තබා සාමාන්‍ය පුද්ගලයෙක්‌ ද නො වීමි, එබැවින් විද්වතුන් මා සුවිශේෂ පුද්ගලයකු වන්නේ කෙසේ දැයි ඇසීම අර්ථාන්විත ය. එහෙත් මගේ වාසනාවට හෝ අවාසනාවට හෝ "මගේ ලෝකය" කියවා ඇති විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් අඩු යෑයි සිතමි. එසේ නොවන්නට බටහිර විද්‍යාවේ සුවිශේෂත්වය නොපිළිගන්නා අයකු විද්‍යා පීඨයක අවුරුදු හැටහය පැන්න පීඨාධිපතිවරයකු නොව එවැනි පීඨයක මහාචාර්යවරයකු වීමට ඇති සුවිශේෂත්වය ප්‍රශ්න කිරීමට තිබිණි. ඒ කෙසේ වෙතත් අවුරුදු විස්‌සකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස්‌කරන විටත් මම සහාය මහාචාර්ය ධුරයක්‌ දැරීමි. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරය මට බන්දේසියක තබා පිළිගැනුණු දෙයක්‌ නොවීය. ඒ කතාව ඉතාමත් අශෝභන බැවින් පසුව කීමට අදහස්‌ කරමි. එහෙත් මා දන්නා කරුණක්‌ නම් විශ්වවිද්‍යාලයක මහාචාර්ය ධුරයක්‌ දැරීමට මා නුසුදුසු බව "මගේ ලෝකය" නොකියවා ම කොළඹ විශ්වවිද්‍යාලයේ එවකට සිටි උපකුලපතිතුමා ද ඇතුළු බොහෝ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් දැන සිටි බව ය. (මතු සම්බන්ධයි)

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.