ව්‍යාජ ලේඛන පෙන්වා යුද හමුදාවේ මුදල් වංචා කළ වරදට
හයිකෝප් සමාගමේ කළමනාකරුට
වසර විසිහතරක සිර දඬුවමක්‌


ඒ. ඡේ. ඒ. අබේනායක

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට යුද හමුදාවට යුද උපකරණ සපයා මුදල් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දෙවන විත්තිකරු වන හයිකෝප් පුද්ගලික සමාගමේ කළමනාකරු ලෙස සේවය කළ වෙලින්ටන් ට්‍රෙන්ටන් ඩේ හොට්‌ නමැති අයට බරපතල වැඩසහිතව වසර 24 ක සිර දඬුවමක්‌ නියම විය.

ඔහුට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා 20 න් 12 කට වරද පිළිගැනීමෙන් පසු මෙම දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතා පෙරේදා (29 වැනිදා) සවස නියෝග කළේය.

2006 නොවැම්බර් 1 වැනිදා සහ 2009 මැයි 31 වැනිදා අතරතුර කාලයේදී 2007/2008 වසර සඳහා ආරක්‌ෂක අමාත්‍යංශයේ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි බ්‍රිටිෂ් බෝර්නියෝ ඩිෆෙන්ස්‌ නමැති ඔස්‌ටේ්‍රලියානු සමාගමේ අවසරයකින් තොරව ඒ සමාගම වෙනුවෙන් ක්‍රියා කිරීමට බලය ඇති බවට යුද හමුදාවේ නිලධාරින් රවටා කූට ලේඛන ඉදිරිපත් කර යුද හමුදාවට අයත් මුදලක්‌ විදේශීය ගිණුමකට බැර කිරීම සඳහා පෙළඹවීමට කුමන්ත්‍රණය කළේ යෑයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඔහුගේ බෑණනුවන් වන දනුන තිලකරත්න හා වෙලින්ටන් ඩේහොට්‌ නමැති තිදෙනාට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබූ නඩුව පෙරේදා (29 වැනිදා) කොළඹ මහාධිකරණය හමුවේදී කැඳවිණි.

එම නඩුවේ පළමුවන විත්තිකරු වන දනුන තිලකරත්න නමැත්තා අධිකරණය මගහැර සිටීම නිසා ඔහු නොමැතිව නඩුවේ සාක්‌ෂි විභාගය ආරම්භ කිරීමට මහාධිකරණය තීන්දු කොට තිබූ අතර ඒ අනුව මේ වනවිට රක්‌ෂිත භාරයට පත්කර සිටින දෙවන හා තෙවන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය පියවර ගෙන තිබිණි.

මහාධිකරණ භාෂණ පරිවර්තක එස්‌. ඒ. එම්. නෆ්ලි මහතා චූදිතයන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළ අතර තම සේවාදායකයාට එරෙහිව ගොනුකර ඇති අධි චෝදනා 20 න් 12 කට ඔහු වරද පිළිගන්නා බව දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් දිසානායක මහතා එහිදී අධිකරණයට දැන්විය.

ඒ අනුව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට යුද හමුදාවට අයත් මුදල් වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිතව පස්‌ වසරක සිර දඬුවමක්‌ හා සෙසු චෝදනා 11 ට වෙන් වෙන්ව වසර 19 ක සිරදඬුවමක්‌ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිරදඬුවම් එකවර ගෙවී යන ලෙස ලබාදීමටද එහිදී වැඩිදුරටත් නියෝග කළේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.