4800ක්‌ පෙනී සිටියත් සෞන්දර්ය
ගුරු තරග විභාගයෙන් සමත්වී ඇත්තේ 700 යි


නිලන්ත මදුරාවල

සෞන්දර්ය උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පැවැති තරග විභාගයට පෙනී සිටි හාරදහස්‌ අටසියයකට අධික අයදුම්කරුවන් අතරින් ලකුණු 40 ට වැඩියෙන් ලබාගෙන ඇත්තේ අයදුම්කරුවන් හත්සියයක්‌ තරම් අඩු පිරිසකි.

සෞන්දර්ය ගුරු පුරප්පාඩු 3174 ක්‌ පවතී. ඒ සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාශය තරග විභාගයක්‌ පවත්වනු ලැබුවේ පුරප්පාඩු සංඛ්‍යාවට වඩා වැඩි ඉල්ලුම්පත් ප්‍රමාණයක්‌ ඒ සඳහා ලැබී ඇතැයි පවසමිනි. පළාත් පාසල්වල චිත්‍ර විෂයය සඳහා පුරප්පාඩු සියයකට අධික ප්‍රමාණයක්‌ ඇතත් තරග විභාගයෙන් ඒ සඳහා සමත්ව සිටින්නේ ඉතාම අඩු පිරිසක්‌ යෑයිද අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ලකුණු 40 ට වැඩියෙන් ලබාගෙන සිටින අයදුම්කරුවන්ගේ නාමලේඛනය විභාග දෙපාර්තමේන්තුව මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදී තිබේ. තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවූ ගැසට්‌ නිවේදනයට අනුව පත්වීම් ලබාදීමට පෙර සම්මුඛ පරීක්‍ෂණයක්‌ හා ප්‍රායෝගික පරීක්‍ෂණයක්‌ද පැවැත්විය යුතුය. කැබිනට්‌ මණ්‌ඩලයද ඊට අනුමැතිය ලබාදී ඇත.

තත්ත්වය එසේ වුවද තරග විභාගයෙන් සමත් වූවන් පමණක්‌ නොව තරග විභාගයට පෙනී සිටි සියලුම අයදුම්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයට කැඳවන බව අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා සෞන්දර්ය උපාධිධාරීන්ට පොරොන්දුවී ඇත. එමෙන්ම ප්‍රායෝගික පරීක්‍ෂණයක්‌ නොපැවැත්වීමට ද නියෝජ්‍ය ඇමැතිවරයා එකඟ වූ බව සෞන්දර්ය උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු එම්. මුතුකුමාරණ මහතා "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.