සරසවි ගින්නට දේශපාලන තෙල්!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු දැන් කලක සිටම වහා ගිනි ඇවිළෙන සුළු ආයතන බවට පත්ව තිබේ. මේ ගින්නට පිදුරු දමන අය විනා එගිනි නිවන මඟක්‌ මෙතෙක්‌ සොයා නොගැනීම අද අප මුහුණ දී සිටින ප්‍රබල ජාතික ගැටලුවක්‌ ලෙස වර්ධනය වෙමින් තිබෙන බවද රහසක්‌ නොවේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය තරමටම විශ්ව විද්‍යාල පද්ධතියද අවුල් ජාලයක්‌ බවට පත්වී තිබේ. එයට වගකිව යුත්තේද අධ්‍යාපන බලධාරීන් මිස වෙනත් පිරිසක්‌ද නොවෙති. එහෙත් අධ්‍යාපනය යනු සීග්‍රයෙන් වෙනස්‌ කළ හැකි හෝ වෙනස්‌ වන දෙයක්‌ නොවන දෙයකි. එය අපට මෙන්ම වෙනත් ඕනෑම රටකටද පොදු දෙයකි. දේශපාලනය, සමාජ ආර්ථිකය යනාදිය වෙනස්‌ වන වේගයෙන් කිසිම රටක අධ්‍යාපනයේ වෙනස්‌ කම් කළ නොහැකි බවද ඒ පිළිබඳ ප්‍රාමාණික විද්වත්හුම පෙන්වා දෙති. එනිසාම අධ්‍යාපනය යනු නිතරම ගැටලු නිර්මාණය කරන ආයතනයක්‌ හෝ ප්‍රපංචයක්‌ බවට පත්ව තිබේ.

          

ශ්‍රී ලංකාව ගත් කල එහි දේශපාලනය තුළ කිසි විටෙක ජාතික ගැටලුවකට විසඳුමක්‌ සොයා ගැනීම සඳහා එකඟතාවකට නොපැමිණි පිරිස්‌ බහුල වූ රටක්‌ බව කීම අසාධාරණ නැත. එයට නිදසුන් බොහෝය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් අවසන් කරන ලද එල්. ටී. ටී. ඊ. ය පරාජය කිරීමේ ජාතික සටනේදීත් මේ රට පාවා දීමට කී දෙනෙක්‌ ක්‍රියා කළෝද? මේ රටට විරුද්ධව ගතු කිය කියා ඇවිද්දෝද? එබඳු බල පොරයක හිරවී සිටින දේශපාලන සංස්‌කෘතියක්‌ තුළ සීඝ්‍රයෙන් අර්බුදයට යන එක්‌ වටිනාම දෙයක්‌ ලෙස අධ්‍යාපනය හැඳින්වීම වැරැදි නැත.

දැන් රට ඉදිරියේ ප්‍රදර්ශනය වන්නේ ඒ අධ්‍යාපන අර්බුදයේ විකට හා අමන ජවනිකාත් අතිශය ශෝකීය ජවනිකාත් බව ඇස්‌ කන් හැර ගෙන සිටින කාටත් දැක ගත හැකිය. පේරාදෙණි විශ්වවිද්‍යාලයට ගිය උසස්‌ අධ්‍යාපන ඇමැති ඇස්‌. බී. දිසානායකට තැබූ හූවත් සමග ඇරැඹුණු සරසවි ගින්න මේ වන විට උපකුලපතිවරුන්ට පහර දෙන මෙන්ම සරසවි සිසුන්ට පන්න පන්නා පහර දෙන තත්ත්වයක්‌ දක්‌වා වර්ධනය වී තිබේ. මේ සරසවි ගින්නට තෙල් දමන අය මෙන්ම එයින් සුරුට්‌ටු පත්තු කරන අයද සිටිති.

මේ සරසවි ගින්න පිළිබඳ ප්‍රධාන මත දෙකක්‌ තිබේ. රජයට අනුව එය ජනතා විමුක්‌ති පෙරමුණ මගින් මෙහෙයවනු ලබන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලය නමැති සංවිධානයේ ප්‍රචණ්‌ඩත්වයකි. එහෙත් ජ. වි. පෙ. කියා සිටින්නේ එය රජයේ නිදහස්‌ අධ්‍යාපන කප්පාදුවට මෙන්ම ප්‍රතිගාමී ක්‍රියාදාමයට එරෙහි ශිෂ්‍ය අරගලයක්‌ බවය. එසේම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු උඳුල් ප්‍රේමරත්න කියන්නේද මෙය රජයේ මර්දනයට එරෙහිව සිසු අයිතිය උදෙසා වීදි බැසීමක්‌ බවය.

සරසවි සිසුන්ට දේශපාලන අයිතියක්‌ නැතැයි කිසිවකුට කිව නොහැක. ලෝකයේ විවිධ රටවලින් එයට නිදසුන් පෙන්වා දිය හැකිය. ප්‍රංශ විප්ලවයේ දී ලුවී රජු සමග මෙන්ම රුසියානු විප්ලවයේදී සාර්ක්‌ රජ සමග ගැටුණාහු සරසවි සිසුවෝ ය. පිදෙල් කැස්‌ත්‍රෝට මෙන්ම චීනයේ මාඕ සේතුංටද සරසවි සිසුන්ගේ සහාය හා අනුග්‍රහයද ලැබිණි. අදත් ඒ විශිෂ්aට චරිත හා බැඳුණු සටන්පාඨ සරසවි සිසුන්ගේ මුවග ලෙළදෙන බවද පෙනේ. එනිසා සරසවි සිසුවා යනු දේශපාලන හා සමාජ ක්‍රියාකාරකම් අමතක කළ යුතු හුදෙක්‌ ඇල්මෙන් අකුරු පමණක්‌ම උගත යුතු අයද නොවෙති. අනෙක්‌ අතට ඇල්මෙන් අකුරු ඉගෙන ගන්නා සරසවි සිසුවාට වුවද මෙම අධ්‍යාපන ක්‍රමය තුළ පල් වෙමින් ගෙදර සිටීමට සිදුවී තිබේ. (එය වෙනම කතාවකි.)

අප අවධානය යොමු වන්නේ අද සරසවි තුළ උද්ගතව තිබෙන මේ ප්‍රචණ්‌ඩත්වය කෙරෙහි පමණි. මේ ප්‍රචණ්‌ඩත්වය ඕපපාතිකව පහළ වූවක්‌ නොවන බව අපි දු විවේචනාත්මකව පිළිගන්නෙමු. එහෙත් අද වන විට සරසවි තුළ නිර්මාණය වී තිබෙන තත්ත්වය පිළිබඳ නම් අපි දැඩි සේ සංවේගයට පත් වන්නෙමු. ආණ්‌ඩුව කියන ආකාරයට මේ ප්‍රචණ්‌ඩත්වය ජ. වි. පෙ. අතකොලුවක්‌ වන අන්තර් ශිෂ්‍ය බලමණ්‌ඩලයේ මෙහෙයවීමෙන් සිදුවන්නක්‌ද? රුහුණ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයාගේ හිසට පොලු පහරක්‌ දුන්නේත් ජයවර්ධනපුර උපකුලපතිවරයාට පහර දුන්නේත් බාහිරව පැමිණි අය නොවන බව නම් අපට කිව හැකිය. ඒවා කාගේ වැඩද? කාගේ වුවත් විශ්වවිද්‍යාලය වැනි බුද්ධිමය ආයතනයකට තරම් නොවන බවද කිව යුතුය.

දැන් කලක සිටම සරසවි සිසුන් හා සරසවි පාලකයන් අතරද නිතර ගැටුම් ඇති වෙයි. මෙයට එක්‌ හේතුවක්‌ ලෙස කෙනෙක්‌ දක්‌වන්නේ 1972 සම්මත කරන ලද පනතක්‌ මගින් විශ්ව විද්‍යාල කටයුතුවලට රජය මැදිහත් වීම බවය. විශ්ව විද්‍යාල පාලනය හුදු දේශපාලන කරණීය වීම මගින් ඒවායේ ස්‌වාධීනත්වය ක්‍ෂය වෙමින් අද තිබෙන නරකම තත්ත්වය උදාවූ බවය. එහෙත් කවර තත්ත්වයක්‌ යටතේ වුවද සරසවි තුළ ප්‍රචණ්‌ඩත්වයක්‌ හිස එසවීම අනුමත කළ නොහැක.

සරසවි ප්‍රචණ්‌ඩත්වය සම්බන්ධයෙන් නම් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයට හෙවත් අන්තරයට බොහෝ දෙනෙක්‌ චෝදනා නඟති. උසස්‌ අධ්‍යාපන ඇමැති ඇස්‌. බී. දිසානායක එය ඉතා සෘජුවම නඟන චෝදනාවකි. රජරට විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදීම උපකුලපතිවරුන්ට හා සරසවි ආචාර්යවරුන්ට පහර දීමද ඔවුන්ගේ වැඩක්‌ බව ඇස්‌. බී. ගේ චෝදනාය. එසේම සරසවි තුළ සිදුවන බරපතල ක්‍රියාකාරකම් රැසක්‌ පිළිබඳවද ඔහු දිගින් දිගටම ඔවුන්ට චෝදනා නඟයි.

සරසවි තුළ කිසිදු වෙනත් මතයකට ඉඩක්‌ නැති බවත් ප්‍රචණ්‌ඩත්වයෙන් සියලු මතවාද මඬින බවත් කියන ඇස්‌. බී. සරසවියේදී තමන්ට බාර දෙන ලද ලිපියක සඳහන්වූ බරපතල අනතුරුදායක ප්‍රතිචාර ගැනද ප්‍රකාශ කරයි. ඒවා ඇත්තද නැත්තද යන්න දන්නේ අන්තරය හා ඒවාට මුහුණ දුන්නා යෑයි පවසන සිසුහුම වෙති. එහෙත් මේ චෝදනා කලක සිට නැඟෙන ඒවාය. නවක වදය යනු අද බරපතල සමාජ ව්‍යසනයකි. නවක වදයෙන් මිය ගිය අය මෙන්ම වෙනත් ආබාධවලට ලක්‌ වූවෝද සිටිති. මේ නවක වදය දේනනෝ කවරහුද? එයට ලක්‌වන්නෝ කවරහුද?

ජාතිකත්වයක්‌ හා දේශීයත්වයක්‌ ගැන සටන්පාඨ කියන බොහෝ සරසවි සිසු නායකයෝ වෙති. එහෙත් මේ එක්‌ අයෙකුටවත් අධිරාජ්‍යවාදී විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් උරුම වූ නවක වද සම්ප්‍රදාය වීසි කිරීමට හැකි වී තිබේද? නැත. අයිවර් ජෙනිංස්‌ට කුණු බැණුම් බනින්නෝද නවක වදය කර පින්නාගෙන යති. විශ්වවිද්‍යාලයට අලුතින්ම එක්‌වන සිසුවියන්ට චීත්ත ගවුම් ඇඳීමට නියෝග කර තිබෙන බවත්, වෙනත් සම්බාධක පනවා තිබෙන බවත් චෝදනා ලෙස නිතරම ඇසෙයි. අඩුම තරමින් අන්තරයේ කැඳවුම්කරු වන උඳුල් ප්‍රේමරත්නට හෝ මේවා ගැන සොයා බැලීමට බැරිද? ඒවා සිසු නිදහස යෑයි කිව හැකිද?

ජයවර්ධනපුරයේ උපකුලපතිවරයා සිසුවියන්ගේ නේවාසිකාගාර වලට යන බවත් පෙම්වතුන් ඇල්ලීමේ මෙහෙයුම් කරන බවත් ජ. වි. පෙ. හිටපු නායකයෙක්‌ සරදම් ලීලාවෙන් කියනු ඇසිණි. එහි ඇත්ත නැත්ත කුමක්‌ද? සරසවි තුළ ප්‍රේමය තහනම් කිරීම විහිළුවකි. එහෙත් සරසවි තුළ භික්‍ෂූන්ගේ හැසිරීම් ගිහි සිසුන්ට වඩා ආදර්ශවත් විය යුතුය. ජ"පුර ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ අඳනකඩයකින් සැරසීම තම නිදහස ලෙස කියත් නම් එයට එකඟවීමට සංඝරත්නයේ දෙපා නමදින උපාසක උපාසිකාවන්ට හැකිද?

අද සරසවිවල ඉගෙනුම ලබන ඇතැම් භික්‌ෂූන් වහන්සේලාගේ හැසිරීම් කවුරුත් දනිති. පෙළපාලි වලදී මෙන්ම වෙනත් ක්‍රියාකාරකම් වලදී උන්වහන්සේලා හා මැරයන් අතර වෙනස හඳුනා ගැනීමට බැරි තරම්ය. මේ බොහෝ ශිෂ්‍ය භික්‌ෂුන් වහන්සේලා ගම්වල සිට දායකයන්ගේ පිහිටෙන් ඉගෙන ගන්නා අය වෙති. අඩුම තරමින් උන්වහන්සේලාගේ ක්‍රියාකාරකම් තුළ හෝ සංවරයක්‌ තිබිය යුතුය. සරසවි තුළ ඉගෙනුම ලබන හිමිවරු සසර කලකිරී මහණ දම් පුරන්නෝ නොවන බව සැබෑය. ඔව්හු හදාරන විෂය ධාරාවන්ද ලෞකික ඒවා බවද සැබෑය. එහෙත් භික්‌ෂූන්ගේ ගෞරවය කෙළෙසෙන කිසිවක්‌ කිරීමට ඔවුනට අයිතියක්‌ නැත.

අන්තරයට එල්ල කෙරෙන චෝදනා මෙන්ම රජයේ පාර්ශ්වයටද විවිධ චෝදනා දැනටමත් නැගී තිබේ. මේවා අතර වඩාත්ම ප්‍රබල චෝදනාව වන්නේ කැලණියේදී අන්තරයට විරුද්ධව පැවැත්වූ පෙළපාලිය සම්බන්ධයෙන් නැගෙන චෝදනාවන්ය. ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පුවත්පත් සාකච්ඡාවකදී ඒ පිළිබඳ කරුණු දක්‌වා තිබිණි. ඔහු සෘජුවම කියා ඇත්තේ කැලණියේ උද්ඝෝෂණය මැරයන්ගේ වැඩක්‌ බවය. ඒ පළාතේ කප්පම් එකතු කරන්නෙක්‌ එයට මුල් වූ බව කී අනුර කුමාර ඡායාරූප කීපයක්‌ද පෙන්වා තිබිණි. එසේම බීමතින් හැසිරුණු ස්‌ත්‍රීන් ගැනද ඔහු කියා තිබිණි.

සරසවි දූ පුතුන්ට කප්පම්කරුවන් හා බේබදු කාන්තාවන් ලවා පහර දී ඇති බවද ඔහුගේ අවධාරණය විය. මෙහිදී එකක්‌ කිව යුතුය. කැලණිය උද්ඝෝෂණයේදී සිසුවෙක්‌ පැහැර ගෙන පහර දුන් අයුරු ඔහු ලුහුබැඳ ගිය අයුරුත් රූපවාහිනි නාලිකා මගින් හා පුවත්පත් වලින්ද දැකගන්නට ලැබිණි. එසේම අන්තරයට එරෙහි වූ බව කියන ඒ උද්ඝෝෂණයේදී සරසවි වැටවල එල්ලා තිබූ දැවැන්ත පෝස්‌ටර් බිම පෙරලන අයුරුද දැකගත හැකි විය. ඇත්ත වශයෙන්ම ඒ රූපරාමු දුටු කවරකු තුළ වුවද ඇති වූයේ බලවත් සැකයක්‌ හා විමතියකි. මේ උද්ඝෝෂණය රජයට පක්‍ෂව කළ එකක්‌ වුවද එයින් රජයට සිදු වූයේ හානියක්‌ බවද කිව යුතුය.

එදා උද්ඝෝෂකයන්ගේ ප්‍රහාරයට ලක්‌වූ සරසවි සිසුවාද පුවත්පත් සාකච්ඡාවකට එක්‌ව සිය අත්දැකීම් විස්‌තර කළේය. ඔහු පැවැසූ පරිදි එම උද්ඝෝෂණය අසලින් ඔහු යැම අහිංසක දෙයකි. එහෙත් එය මෝඩකමකි. තමා අබියසට එන පිරිස පිළිබඳ හැඟීමක්‌ ඔහුට තිබිය යුතුය. කිතුල් ගහට ගොඩවූ මිනිසා මෙන් වැරදුණු විට යමක්‌ කීමට ඔහුට සිදු වූයේද? කුමක්‌ වුවත් ඒ ක්‍රියාවලිය ඊට වඩා වෙනස්‌ අයුරකින් අවසන් වූවා නම් අද වන විට තත්ත්වය කෙබඳු ද? මේ උද්ඝෝෂකයන් ගැනද කිව යුත්තේ රජතුමා බේරා ගත් මෝඩ වඳුරා කළ ක්‍රියාව හා සමාන තකතීරුකමක්‌ ඔවුන් විසින්ද කරන ලද බවය.

මේ රටේ දේශපාලනයේදී හොඳින් අලෙවි වූ අහිංසක මරණ කොතරම්ද? පේරාදෙණියේ වීරසූරිය සිසුවාගේ මිණිය එදා කර තබාගෙන ගිය හැටි අපට මතකය. එහෙත් අද ඔහු ගැන මතකයක්‌ හෝ තිබේද? ඒ හැර වෙනත් සරසවි වලද එබඳු අවාසනාවන්ත මරණ තිබේ. එහෙත් ඒවායින් ලද පාඩමක්‌ තිබේද? තවත් දෙයක්‌ කිව යුතුය. එනම් කැලණිය උද්ඝෝෂණයේදී සිසුවා අල්ලා ගත් විට පොලිසිය ක්‍රියා කළ

ලැඡ්ජාසහගත ආකාරයයි. ආණ්‌ඩුවට පක්‍ෂව කෙරෙන උද්ඝෝෂණ හෝ පෙළපාලි වලදී පොලිසිය අසරණ වන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් රජයක්‌ මෙබඳු අවස්‌ථාවලදී සුපරික්‍ෂාකාරීව ක්‍රියා කළ යුතුය.

අද මහින්ද රාජපක්‍ෂ රජයට එරෙහිව ලොවට කීම සඳහා තොරතුරු එකතු කරමින් සිටින බව කවුරුත් දනිති. විපක්‍ෂය ඒ සඳහා බොහෝ අවධානයෙන් බලා සිටින බවද සැබෑවකි. මෙයට පෙර සරසවි සිසුන්ට එල්ල වූ පොලිස්‌ ප්‍රහාරයකදී ජනාධිපතිවරයා නියෝගයක්‌ දෙමින් කියා සිටියේ සිසුන්ට එරෙහිව එබඳු මෙහෙයුම් නොකළ යුතු බවකි. එහෙත් පොලිසිය ඉදිරිපිට සිසුන් අල්ලාගෙන පහර දීම කෙබඳු බරපතල ක්‍රියාවක්‌ද? ඇත්තටම සරසවි තුළ තිබෙන තත්ත්වය යහපත් නැත. මේ වර්ගයේ ක්‍රියාකාරකම් රටේ බුද්ධිමය ආයතන තුළ සිදුවේ නම් ඒ පිළිබඳ කම්පාවීමෙන් පමණක්‌ සෑහිය යුතුද නොවේ.

සරසවි තුළ නිදහස්‌ සංවාදයක්‌ හා මතවාදයක්‌ ගොඩනැඟීම අද අවශ්‍ය බව කිව යුතුය. 1971 දී සිදුවූ තරුණ කැරැල්ලේදී විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වූ අයුරු කාටත් මතක තිබිය යුතුය. ඉන්පසු උදාවූ 88 භීෂණයේදී සරසවි තුළ සිදු වූයේ කුමක්‌ද? ඒවා බලවේග ලෙස සමාජගත වෙද්දී දේශපාලන ප්‍රතිලාභ ලැබීම හරිද වැරදි ද යන්න දැන් හෝ සිතා නොබැලුව හොත් යළිත් රට වැටෙන්නේ විපතකටය. අප යෝජනා කරන්නේ මර්දනය නම් නොවේ. මේ සරසවි තුළ සිටින්නෝ මේ රටේ ජනතාවගේ දරුවෝය. නිදහස්‌ අධ්‍යාපනයේ දරුවෝය. එනිසා ඒ දරුවන් නොමග යෑවීම මෙන්ම ඒ සඳහා දොරවල් හැර දීමද නොකළ යුත්තකි.

අප විශ්වවිද්‍යාලවල අද තතු නොදැන කතා කරන්නේ යෑයි කෙනෙකු කිමට බැරි නැත. මේ ඵලය වෙනම කතා කළ යුතු බව මුලදීම කීවේ අපේ බේරිල්ලට නොවේ. ඇත්තවශයෙන්ම මෙයට දසක කීපයකට පෙර නිමවූ විශ්වවිද්‍යාලවලට භෞතික සම්පත් මෙන්ම ක්‍රමයෙන් අඩුවී යන ආර්ථික සම්පත් ද මැද දුෂ්කර ක්‍රියාවක නිරත වීමට සිදුව තිබේ.

එනිසාම සරසවි ජීවිතය දුක්‌ කන්දක්‌ වී තිබෙන බවද අපට පෙනේ. ඇතැම් සරසවියක බත් පීරිසයක්‌ ලබාගෙන දුක හුවමාරු කරගන්නා සිසුහු වෙති. පුස්‌තකාලයේ පුටුවක්‌ ලබාගැනීමට පෝලිම්වල සිටින්නෝද වෙති. නේවාසිකාගාර පහසුකම් නැති උගතමනා ශිල්පයෙන් පලක්‌ නැති අපේක්‍ෂා භංගත්වයේ මරු කතරක්‌ බවට සරසවි පත්ව තිබේ. එනිසාම ඒවායේ සිදුවෙන එකම දෙය ද දේශපාලනය හා වීදිබැසීම පමණක්‌ වී තිබේ.

අද තිබෙන අධ්‍යාපන ක්‍රියාදාමයද යල්පිනූ එකකි. ජාතික අවශ්‍යතා සපුරාලන අධ්‍යාපන පිළිවෙතක්‌ අපට ගොඩනඟා ගත හැකිවී නැත. රට පාලනය කරන අයගේ අභිමතය පරිදි වරින් වර අධ්‍යාපන සංශෝධන සිදුවුවත් ඒවා රටට ගැලපෙන ලෙස සකස්‌ වූයේද නැත. එහෙත් ඒ වාතාවරණය තුළ වුවද ප්‍රචණ්‌ඩත්වයට හෝ මැර බලයට සරසවි යටත් කර ගැනීමට ඉඩ දිය යුතු නැත. දේශපාලන පක්‍ෂවල අරමුණු සඳහා සරසවි සිසුන් යොදා ගැනීම පසෙක තබා ඔවුන්ගේ ජීවිත අරමුණු යම් පමණකට හෝ සාර්ථක වන ජාතික අධ්‍යාපන පිළිවෙතක්‌ රටට ඉදිරිපත් කිරීමද අත්‍යවශ්‍යය.

දේශපාලන දෘෂ්ටි කෝණයෙන්ම බලමින් පවතින රජය සමග ගැටුමකට යැමද බුද්ධිමත් ප්‍රතිචාරයක්‌ ලෙස කිව නොහැක. එහි තේරුම පාලකයන් කියන සෑම දෙයම හිස මුදුනින් අනුමත කළ යුතු බව නොවේ. සරසවි තුළ අද තිබෙන තත්ත්වය පළමුවෙන් වෙනස්‌ විය යුතුය. ප්‍රභාකරන්ටද ත්‍රස්‌තවාදය මගින් ඉල්ලා සිටි දෙය දිනාගැනීමට නොහැකි විය. ඔහු සාමකාමී මගහැර ප්‍රචණ්‌ඩත්වයෙන් රජය බියගැන්වීමට ක්‍රියා කළේය. එහෙත් මේ රටේ බුද්ධිමත් සිසුහු එසේ ක්‍රියා කළ යුතු නොවෙති. ත්‍රස්‌තවාදය විසින් සමාජගත කරන ලද බොහෝ දේවල් ඉවත්කර යහපත් නිදහස්‌ සමාජයක්‌ ගොඩනඟා ගැනීම අද රටට අවශ්‍යව තිබේ. ඒ අවශ්‍යතාව සරසවි සිසුන්ටද හොඳින් දැනෙන්නකි. එහෙත් සිසුන්ගේ අරගල දේශපාලන අරමුණු වලින් යුත් ආණ්‌ඩු අසීරු කරවන සටනක්‌ වීමේදී කිසිම රජයක්‌ ඊට යටත් වනු ඇතැයි සිතිය නොහැකිය. එසේම සරසවි සිසුවා රජයේ සතුරකු නොවන බව රජයද තේරුම්ගත යුතුය.

ශිෂ්‍ය ව්‍යාපාර දේශපාලන ව්‍යාපාරවල දිගුවක්‌ ලෙස වැඩෙන්නේ නම් එයට මුල් වන හේතු සාධක සොයා බලා විසඳුම් දිය යුතුය. සරසවිවල සිටින සියල්ලෝම සාහසිකයන් හෝ ප්‍රචණ්‌ඩත්වය තුළින් ජයග්‍රහණය පතන්නන් නොවන බව රජය දනී. මේ රටේ කවදත් සරසවි සිසු සටන් තිබිණි. එහෙත් අද තරම් ඒවා පහත් අඩියකට වැටුණේ නැත. එයට හේතුව එදා සරසවි තුළ තිබූ සමාජ, සංස්‌කෘතික හරයන් හා ගැඹුරු දැක්‌මද විය හැකිය. එහෙත් අද අප ඉදිරිපිට තිබෙන්නේ මුළින් කී පරිදිම බිහිසුණු සමාජයක නිෂ්පාදනයන්ය. එහි බොහෝ තැන් බියජනක මෙන්ම ජුගුප්සාජනකද වේ. විනය, සංවරය බිඳ ගලා යන ගංවතුරක්‌ සේ සමාජයම වල්මත් වී පැමිණි ගමනක නිමාව දුටුවා පමණි. යළිත් ගමන ඇරැඹිය යුතුය. ඒ ගමන ඇරැඹෙන බව සරසවි සිසුවාට තේරුම් ගිය විට ඔහු කිසිවකුගේ ඉත්තකු නොවන බව නිසැකය.

මේඝ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.