මැර දේශපාලන අතීතය ගැන ජනපති
මහින්දගෙන් ජෝන් අමරතුංගට පාඩමක්‌


දේශපාලන උණුසුමක්‌ නැති තවත් සතියක්‌ ගෙවී යද්දී රටේ දේශපාලනය තුළ කාගේත් අවධානය දිනාගෙන තිබුණේ සරසවිවල මේ දිනවල ඇවිලෙමින් තිබූ ශිෂ්‍ය ත්‍රස්‌තවාදය පිළිබඳවයි. විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සුළුතරයක්‌ වූත් කල්ලිවාදය තුළ අන්තවාදී වූත් ප්‍රචණ්‌ඩත්වය තුළ නරුමවාදය කිට්‌ටුවට ගියා වූත් එක්‌තරා කණ්‌ඩායමක පොලු මුගුරු ත්‍රස්‌තවාදයේ කළු දුමාරයෙන් මුළු විශ්වවිද්‍යාල පද්ධතියම වැසී යද්දී බහුතරයක්‌ වූ අසරණ සරසවි දරු දැරියෝ බලා සිටියහ....

ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පසුගිය සතියේ වැඩ කටයුතු ආරම්භ කළේ අතිශය බහුතරයක්‌ වූ මේ අහිංසක අසරණ සිසු දරු දැරියන් වෙනුවෙන් සරසවි ප්‍රජාව ත්‍රස්‌තවාදයෙන් ගලවා ගැනීමේ වැඩපිළිවෙළක්‌ අරඹන්නට කල්පනා කරමිනි. මේ සඳහා පසුගිය සති අන්තයේ තම ඇමැතිවරු හා නිලධාරීහු සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ උපකුලපතිවරු කොළඹට කැඳවා සාකච්ඡා කර තීරණයක්‌ ගන්නට තීන්දු කළේය. 25 වැනිදා හවසම ලංකාවේ සියලුම උපකුලපතිවරු අරලියගහ මන්දිරයට කැඳවන්නට ඒ අනුව තීරණය කෙරිණි.

ජනාධිපතිවරයා මේ ආකාරයට පසුගිය සති අන්තය කොළඹට වී කාලය ගත කළේ රටේ දැවෙන ප්‍රශ්න රැසකටම විසඳුම් සොයමින් සාකච්ඡා කරමිනි.

ඌව පළාතේ ප්‍රධාන පෙළේ දේශපාලන බල කණුවක්‌ වන ධර්මදාස බණ්‌ඩාගේ වියෝව ගැන ජනාධිපතිවරයාට ආරංචි වෙන්නේ ඔය අතරතුරය. ඒ ආරංචිය නිසා ඔහු බලවත් ලෙස කම්පනයට පත්ව නිලධාරීන් ගෙන්වා උපදෙස්‌ දුන්නේ ඊළඟට කළයුතු දේවල් මොනවාද කියා පවුලේ උදවිය හා සමඟ සාකච්ඡා කර සංවිධානය කරන ලෙසය.

ඉන් අනතුරුව ශෂී රාජපක්‍ෂට කතා කොට බිබිලේ ආදාහන කටයුතුවලදී විය යුතු දේ සොයා බලා ඉටුකරදෙන ලෙස උපදෙස්‌ දුන්නේය.

23 වැනිදා සෙනසුරාදා රාත්‍රිය වන විට බත්තරමුල්ලේ පාර්ලිමේන්තු පාරේ පිහිටි ධර්මදාස බණ්‌ඩාගේ නිවසට පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ හා දේශපාලනයට සම්බන්ධ ආධාරකරුවෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර ද ඒ අතර සිටියහ. රංජිත් මද්දුමබණ්‌ඩාර ද ඉතා කාර්යශීලීව මළගෙදර සංවිධාන කටයුතුවල නිරත වී සිටියේය. ජනාධිපතිවරයා ද නිතර නිතර රංජිත් මද්දුමබණ්‌ඩාරට හා අනෙකුත් මැති ඇමැතිවරුන්ට කතා කරමින් මළගෙදර කටයුතු හා අවශ්‍යතා සොයා බලන ලෙස උපදෙස්‌ දුන්නේය.

රනිල් රට

පසුගිය සතිය ආරම්භ වන විටත් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සිටියේ සිය යුරෝපා සංචාරයේය. ඔහු ඉකුත් 22 වැනිදා සිකුරාදා බ්‍රිතාන්‍යයේ විදේශ ඇමැතිවරයා වන විලියම් හේක්‌ හමුවී සාකච්ඡාවක්‌ කළේය. සිකුරාදා එය ඉවර වී රනිල් ස්‌විට්‌සර්ලන්තය බලා පිටත්ව ගියේ සංචාරයේ වැදගත්ම හමුව හා සාකච්ඡාව වන එරික්‌ සෝල්හයිම් හා යොදාගෙන තිබූ සාකච්ඡාවට සහභාගි වීමටය. එම සාකච්ඡාව සෙනසුරාදා සවස ඔස්‌ලෝ නුවර සෝල්හයිම්ගේ කාර්යාලයේදී පැවැත්විණි.

මේ අතරතුර සෙනසුරාදා දහවල් අපේ රටේ නායකයෝ පක්‍ෂ භේදයකින් තොරව සහභාගි වූ එක්‌තරා ගුණානුස්‌මරණ උත්සවයක්‌ කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි. මේ ගුණානුස්‌මරණය ගාමිණී දිසානායකයන් වෙනුවෙනි. කථානායක චමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයට කරු ජයසූරිය, අතාවුද සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, නවීන් දිසානායක ආදීහු සහභාගි වූහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 24 වැනිදා ඉරිදා දහවල් හිටි හැටියේම බත්තරමුල්ලේ පිහිටි ධර්මදාස බණ්‌ඩාගේ නිවසට ගොඩවැදුණේය. කලක්‌ තම විරුද්ධ පක්‍ෂයේ සිටි තවත් කලක්‌ තම දේශපාලන ප්‍රවාහය සමඟ එක්‌ වූ ධර්මදාස බණ්‌ඩා නම් ප්‍රවීණ දේශපාලනඥයාගේ දේහයට තම අවසන් ගෞරවය පුදකළ ජනාධිපතිවරයා ඊළඟට කළේ මළගෙදර එළිමහනේ වාඩිවී එතැන සිටි අනෙකුත් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් සමඟ ලොකු කතාබහක නිරත වී සිටීමය. එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මළගෙදරට සහභාගි වන්නට පැමිණියේ ඔය අතරතුරය.

ජනාධිපති මහින්ද ඉතා උනන්දුවෙන් තිස්‌ස අත්තනායකට කතා කොට අසලින් වාඩි කරගෙන ඔහු හා කතාව පටන් ගත්තේය.

තිස්‌ස තවමත් නළුව වගේනේ. කොහොමද තිස්‌ස තවමත් ඔය තරුණ පෙනුම රැකගෙන ඉන්නේ. අපටත් කියන්නකෝ ඒ රහස කියමින් ජනාධිපතිවරයා විහිළු කරන්නට පටන් ගත්තේය.

ඒ අතර අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න හා මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක ද එතැනට පැමිණියහ.

ඒක නොවෙයි තිස්‌ස මොකක්‌ද අර ඔයගොල්ලන්ගේ නායකයා බෝධි පූජාවක්‌ද සෙත් කවියක්‌ද මොකක්‌ද තියන්න ගිහිල්ලා කළේ අනිත් පැත්ත හරවලා පැන් වත්කරලා නාගත්තයි කියන කතාව. මටත් හරි පුදුමයි. ජනාධිපති කීවේය.

ඒක පට්‌ටපල් බොරුවක්‌ ජනාධිපතිතුමා. ඔය පින්තූරය ඩිජිටල් තාක්‍ෂණයෙන් කම්පියුටරයක්‌ යොදාගෙන හදාපු එකක්‌. නිකන් මඩ ගහන්න පාවිච්චි කරනවා..... තිස්‌ස කීවේය.

ඔව්... මමත් බැලුවා..... මේ මොකක්‌ද කියලා...

මේ ඊයේ පෙරේදා ඔයාලාගේ මන්ත්‍රීවරියක්‌ මට කතා කරල කිව්වා කාන්තා නියෝජනය ගැන කතා කරන්න හමුවෙන්න ඕන කියලා. මොනවද යෝජනා වගයක්‌ තියනවලු. මම කිව්වා ඒක ඔයාලයි පක්‍ෂය එක්‌ක පළමුව කතා කරල ඉන්න කියලා... ඒක නොවෙයි තිස්‌ස.... දැන් ඔයාලටත් පක්‍ෂයට කියල රූපවාහිනිa වැඩසටහනක්‌ එහෙම ඕන නේ. ඔය ජාතික රූපවාහිනියේ හරි අයි. ටී. එන්. එකේ හරි ඔයාලටත් ප්‍රොaග්‍රෑම්වලට ඉඩකඩ හදල දෙන්න කියල මම කියන්නම්.

එයාලට සර් වෙන වෙලාවක්‌ නැතුව ඇති නේ අපේ පක්‍ෂයට මඩ ගහන එක ඇරෙන්න. මඩ ගහනවා නෙවෙයි එයාලා මඩ පොම්ප කරනවා.. ඒකයි නරක....

මේ අයුරින් පැයකටත් වැඩි කාලයක්‌ ජනාධිපතිවරයා කළේ මළගෙදර පැමිණ සිටි විපක්‍ෂයේ මන්ත්‍රීවරු හා නායකයන් සමඟ විහිළු තහළුවෙන් යුතුව කතා බහ කරමින් සිටීමය.

ජනපති පාර්ලිමේන්තුවේ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සඳුදා උදේ පාර්ලිමේන්තුවට ගියේය. ඒ එදිනට යෙදී තිබුණ මුදල් අමාත්‍යංශයේ පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්‌වීමට සහභාගි වීම සඳහාය.

කාරක සභා රැස්‌වීමට ජනාධිපතිවරයා පැමිණ සිටීම පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන් කාටත් මහත් සතුටට කාරණාවක්‌ව තිබිණි. එබැවින්ම ඒ රැස්‌වීම ප්‍රශ්න ගැටලු හා ආරවුල්වලින් තොර සාර්ථක කතා බහක්‌ව අවසන් කෙරිණි.

ඉන් පසුව ජනාධිපති මහින්ද තම මැති ඇමැතිවරුන් පිරිවරාගෙන ගියේ තම නිල කාර්යාලය වෙතය. වෙනදා එම කාර්යාලයේ සිට පෙරමගට පැමිණ තමන්ව පිළිගන්නා තම පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්‌ටිගේ එදින එහි සිටියේ නැත. ඔහු සිටියේ එම දිනවල විදේශ සංචාරයකය. ජනාධිපති මහින්දට ඒ අඩුව නොඅඩුව දැනිනි.

ජනපති මහින්ද තමන් සමඟ තේ ටිකක්‌ බොන්නට එන්නැයි කාරක සබා රැස්‌වීමට පැමිණ සිටි විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කොට තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා සමඟ ජෝන් අමරතුංග ද පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියේය.

ඒ අනුව දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, ගීතාංජන ගුණවර්ධන, මර්වින් සිල්වා, දුමින්ද සිල්වා, තිලංග සුමතිපාල යන මැති ඇමැතිවරු ද පැමිණ සිටියහ. ජනාධිපතිවරයා කාර්යාලයේ තම මේසයේ වාඩිවී පැමිණ සිටි පිරිස සමඟ ඉතා සුහදව සතුටු සාමීචියේ යෙදී කතා බහ කරමින් සිටියේය.

ජනාධිපතිවරයා කතා කළේ ප්‍රචණ්‌ඩත්වය හා මැර දේශපාලනය ගැනය. වර්තමානයේ සරසවි සිසුන් ප්‍රචණ්‌ඩව හැසිරෙන අයුරු ගැන කතා කරමින් මැර දේශපාලනයේ අතීතයට ගිය ජනාධිපතිවරයා මතක්‌ කළේ එදා 1983 දී මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ සිදුවූ මැර පහරදීම් හා ප්‍රචණ්‌ඩ ක්‍රියා කිහිපයක්‌ ගැනය...

ඔය වෙලාවේ යු ඇන්. පී. ආණ්‌ඩුව හැදුවෙ මාව බොරු නඩුවකට පටලවල හිරේ යවන්න. මම එදා ඒ කුමන්ත්‍රණයෙන් බේරුනේ අනූ නමයෙන් පුංචි දරුවෙක්‌ දීපු සාක්‍ෂියක්‌ නිසා. මාව නඩුවට පටලවන්න බොරු සාක්‍ෂි කියපු අයටයි අන්තිමේ හිරේ යන්න වුණේ... ජෝන්ට මතකද ඒ සිදුවීම යෑයි කියමින් ජනාධිපතිවරයා අතීතය මතක්‌ කළේය....

ඇයි ඒ වෙලාවේ අපට පහර දෙන්න කොළඹින් යවල තිබුණනේ වෙනමම මැර කණ්‌ඩායමක්‌.... අපෙත් හිටියා ලොකු ආධාරකරුවන් පිරිසක්‌. ඒ අයට පහර දෙන්න තමයි කොළඹින් අරයලා මුල්කිරිගලට ගියේ....

හා..... ඇයි ජෝන්.... ඔයාට මතක නැද්ද.... ඔයානේ ඒ ඔයාලයි පැත්තේ ආධාරකරුවෝ කට්‌ටිය මෙහෙයෙව්වේ.... ජනාධිපතිවරයා ජෝන් අමරතුංගට අතීතය ගැන පාඩමක්‌ උගන්නන්නාසේ මතක්‌ කර දුන්නේය.....

නැහැ සර්... මම හිටියේ නැහැ.

මොකද නැත්තේ මට මතකයි ඔයා හිටියා උසට උසේ...

මේකනේ සර්.... ජෝන් කොතන හරි හිටගෙන හිටියත් ඉතින් උසට මහතට පේන මිනිහනේ.... සුසිල් කීවේය.

මම එතැන හිටියා තමයි. ඒත් ඔය කියන කචල් එක යන වෙලාවේ මම හිටියේ පිටිපස්‌සේ....

ජෝන්ගේ එම කතාවට කවුරුත් හිනා වෙන්නට පටන් ගත්හ...

මේ අතර මර්වින් සිල්වා ජනාධිපතිතුමන්ගේ කණට කර මොනවද කීවේය....

හා... ප්‍රශ්නයක්‌ නෑ... එයාට එන්න කියන්න...

මොනව වුනත් මේ ඉතින් මගේ ඥතියෝනේ සර්.... කියමින් මර්වින් සිල්වා එක්‌කගෙන ආවේ පාර්ලිමේන්තුවේ වන්ෂොට්‌වය. ඒ කිව්වේ රන්ජන් රාමනායකව ය.

හා.... එන්න රන්ජන්... අපි තේ ටිකක්‌ බිබීම කතා කරමු... කියමින් ජනාධිපතිතුමා රන්ජන්ව යාබද අසුනකට වාඩි කරවා ගත්තේය. මොනවද අලුත් ආරංචි අසමින් ඔහු දෙසට තේ එකක්‌ පිළිගැන්නුවේය...

නැහැ සර්... අවශ්‍ය නැහැ....

නැහැ... නැහැ... අපි තේ ටිකක්‌ බිබීම කතා කරමු...

මෙහිදී රන්ජන් ජනාධිපතිවරයා හා කතා කළේ සෞදි අරාබියේ සිරගතව මරණයට කැපවී සිටින ලංකාවේ තරුණිය රිෂානා ගැනය.

රිෂානා ගැන ජනාධිපතිවරයාද ඉතා උනන්දුවෙන් කටයුතු කළ බව මෙහිදී කතා බහට ලක්‌විණි.

ඩී. එන්. ඒ. අවුල

ඩී. එන්. ඒ. සංවිධානය හෙවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තුළ පසුගිය කාලය මුළුල්ලේ හටගෙන තිබූ අභ්‍යන්තර ගැටුම් මේ වනවිට දේශපාලන කරලිය වෙතද පැමිණෙමින් තිබේ. සරත් ෆොන්සේකා සිරගත වූවාට පසු මේ ගැටුම් පක්‌ෂයෙන් පිටතටද දෝරෙ ගලන්නට විය. විශේෂයෙන්ම සරත් ෆොන්සේකා බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කරද්දී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන ප්‍රවාහයේ පක්‌ෂ අතර තිබෙන විවිධ මත ගැටුම් කැපී පෙනිනි.

සරත් ෆොන්සේකා හිරෙන් නිදහස්‌ කර ගැනීමේ වැඩ පිළිවෙළේදී ඒ සඳහා පොදු එකඟතාවක්‌ ඇති පක්‌ෂ එකට එකතුවී එක පෙරමුණක්‌ ලෙස වැඩ කළ යුතුය යන මතය ජාතික සන්ධානයේ බොහෝ පක්‌ෂ තුළ තිබිණි. එහෙත් එක්‌සත් ජාතික පක්‌ෂය මේ පෙරමුණට එක්‌කරගෙන ඔවුන් සමග එක්‌වී සරත් ෆොන්සේකා නිදහස්‌ කරවා ගැනීමේ මෙහෙයුම ක්‍රියාවට නගන්නට ජනතා විමුක්‌ති පෙරමුණ අකමැති විය. ජනතා විමුක්‌ති පෙරමුණ කීවේ එජාපය සමග එකට එකතු වී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය කරන උද්ඝෝෂණවලදී ලංකාවේ ජනමාධ්‍ය උලුප්පා පෙන්වන්නේ රනිල්ව හා එජාපය බවයි. රනිල්ට හා එජාපයට වාසි වන ලෙස කරන මාධ්‍ය මෙහෙයුම්වලට රුකුලක්‌ වන ලෙස මේ උද්ඝෝෂණ පැවැත්විය යුතු නැති බව ජවිපෙ තරයේම කීවේය.

නමුත් ඩී. එන්. ඒ. සංවිධානයේ සරත් මනමේන්ද්‍ර ඇතුළු පිරිසක්‌ කියා සිටියේ සරත් ෆොන්සේකා බේරා ගැනීම තම සැබෑ අරමුණ නම් ඒ සඳහා කොන්දේසි විරහිතව සහාය වන මහසෝනා සමඟ වුව එක්‌ව කටයුතු කළ යුතු බවකි.

මේ මත ගැටුම පසුගිය කාලයේ දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මෙහෙයුම් තුළ දක්‌නට තිබිණි.

මෙම ගැටුමේ එක්‌ කෙළවරක්‌ කරලියට ආවේ පසුගිය දිනක සරත් ෆොන්සේකා මුදා ගැනීමට වැලිකඩ හිරගෙදර අභියස කරන ලද උද්ඝෝෂණයේදීය.

මෙම උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් අමතා කතා කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නියෝජ්‍ය නායක සරත් මනමේන්ද්‍රද ඉදිරිපත්ව සිටියේය. එහෙත් ඔහු කතා කරනවාට ජවිපෙ සංවිධායකයෝ විරුද්ධ වූහ. ඔවුන් කීවේ මේ උද්ඝෝෂණයට ඩී. එන්. ඒ. එකට දිය හැක්‌කේ එක්‌ කතාවක්‌ පමණක්‌ බවය. එහෙත් අනෝමා ෆොන්සේකා ටිල්වින් සිල්වා සෝමවංශ අමරසිංහ යන තිදෙනාම කතා කරනතුරු මනමේන්ද්‍ර බලා සිටියේය. අවසානයේ ඔහු අභ්‍යන්තරයේදී ප්‍රශ්න කරන්නට විය.

ඔහු ඇසුවේ ඩී. එන්. ඒ. එකට දෙන්නේ එක්‌ කතාවක්‌ පමණක්‌ නම් අර තිදෙනාම කතා කළේ කෙළෙසද කියාය.

මේ සිද්ධිය පසුව සමථයකට පත්වී යට ගියේය. එහෙත් සරත් මනමේන්ද්‍රට ජවිපෙ පන්න පන්නා පහර දෙන්නට පටන් ගත්තේය. වරක්‌ ලාල් කාන්ත ඒ සිද්ධිය මතු කරමින් ඔහුට පහර දුන්නේ කිසිදු ජන පදනමක්‌ නැති මිනිහෙක්‌ පිම්බෙන්න හදනවා යෑයි කියමිනි.

ඊට මනමේන්ද්‍රද පිළිතුරු දුන්නේ තමන් ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව මතක්‌ කරමිනි. ජනාධිපතිවරණයේදී තමාගේ ඡන්දෙත් ෆොන්සේකාටදී ෆොන්සේකා දිනවන්නට කටයුතු කළ තමන්ට ජනතාව ලොකු ඡන්ද ප්‍රමාණයක්‌ දී ඇති බව ඔහු කීවේය. ඊටත් හුඟක්‌ පහළින් සිටි සිරිතුංගලාට වික්‍රමබාහුලාට මේ උද්ඝෝෂණයේදී කතා දුන්නේ කුමන ජන පදනමක්‌ තිබී දැයි ඔහු ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය. ජවිපෙය මොන ආකාරයට සරත් මනමේන්ද්‍රට පහර දුන්නත් ඔහුගේ කට වහන්නටද කාටවත් බැරි විය. ඔහු ලාල් කාන්තටද පහර දුන්නේය.... මහ ලොකු වෘත්තීය සමිති නායකයෙකු වන ලාල් කාන්තට කවුරුවත් හරියට නොදන්නා අජිත් කුමාරලා පවා ගාල්ලෙන් දිනද්දී අනුරාධපුරයේ තම මන්ත්‍රී අසුනවත් දිනා ගන්නට නොහැකි වූ අයුරු කියමින් ඔහු ප්‍රහාර එල්ල කළේය.

මේ අතර තුර පසුගිය දිනෙක සරත් ෆොන්සේකා මුදා ගැනීමේ මෙහෙයුමේ එක්‌ උද්ඝෝෂණ රැලියක්‌ කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි. සරත් ෆොන්සේකා මුදාගැනීමේ මෙහෙයුමට අදාළ ජනතා පෙත්සම සඳහා හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ අත්සන ලබා ගැනීමට මේ උද්ඝෝෂණ රැලිය සංවිධානය කොට තිබිණි.

මෙම අවස්‌ථාවටද සරත් මනමේන්ද්‍ර සිය හිත මිතුරන් සමග සහභාගි වී සිටියේය.

මෙයාල එක පාරක්‌ සරත් ෆොන්සේකාව විනාශ කළා. ඊළඟ පාර මට පහර ගහන්න ගත්තා. දැන් ඔන්න තව සරත් කෙනෙක්‌ව මේ ප්‍රවාහයට ඇදල අරන් විනාශ කරන්නයි යන්නේ. මෙයාලාට දැන් සරත්ලාව පෙන්නන්න බැහැ.... කියමින් මනමේන්ද්‍ර එහිදී සෙනඟ අතර ප්‍රසිද්ධියේ අදහස්‌ දක්‌වා සිටියේය.

මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ඇතුලේ අධිපතිත්වයට හා නායකත්වයට ජවිපෙය ගන්නා උත්සාහය අනෙකුත් පක්‌ෂ තුළින් නිතර විවේචනය කෙරිණි. සැබෑ සටනක්‌ සරත් ෆොන්සේකා මුදා ගැනීමට දියත් කළ යුතු නම් ඒ සඳහා ජවිපෙය සමග හුදෙකලා වී නොව, එජාපය වැනි පුළුල් ජනතා ව්‍යාපාර සමග සමගිව එක්‌ව කටයුතු කළ යුතු යෑයි ඔවුහු හඬගා කීහ.

මේ අතරතුර සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධුරය පිළිබඳවද බලවත් සේ ප්‍රශ්න ඇති වී තිබිණි. සරත් ෆොන්සේකාගේ මන්ත්‍රී ධුරය ලැයිස්‌තුවේ ඊළඟයා වන ලක්‌ෂ්මන් නිපුනආරච්චිට ලබාදෙන්නට නිලධාරීහු නීත්‍යානුකූල ලියවිලි නිකුත් කොට තිබුණත් පක්‌ෂය තුළින් පැන නැගුණ තර්කය වූයේ ඒ මන්ත්‍රී ධුරය ජවිපෙ අයෙකුට නොව, සරත් ෆොන්ස්‌කාගේ ඊළඟ සමීපතමයා වන අනෝමා ෆොන්සේකාට මිස වෙන අයෙකුට නොසුදුසු බවය.

මේ ප්‍රශ්නය තවමත් ලොකු උභතෝකෝටිකයක්‌ ලෙස අපේ දේශපාලන කතිකාව මත තවමත් ඉතිරි වී තිබෙනු පෙනිනි.

ශ්‍රීලනිප කාරක සභා රැස්‌විම

අගහරුවාදා දිනයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්‌වීම ද පැවැත්විණි. මෙවර මධ්‍යම කාරක සභා

රැස්‌වීමේදී විශේෂ අවධානය යොමුකර තිබූ කාරණා දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලබන මස 19 වැනිදාට යෙදී තිබෙන ජනාධිපතිවරයාගේ දෙවන ධුර කාලයට පදවි ප්‍රාප්ත වන උත්සවයේ වැඩකටයුතු ගැන කතා බහ කර ගැනීමයි. අනෙක්‌ කාරණය නුදුරේදී එන පළාත් පාලන මැතිවරණවල ඡන්ද ක්‍රමය ගැන කතාබහ කිරීමයි.

ජනාධිපතිවරයා මුළින්ම මේ කරුණු දෙකට අදාළ කරුණු ගැන කතා කරමින් සිටියදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉදිරියට අනාගතයට ඔරොත්තු දෙන පරිදි ශක්‌තිමත් කිරීම ගැන ද කතා බහ කළේය. එක්‌ අතකින් උතුර නැගෙනහිර පළාත්වල ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දේශපාලනය ව්‍යාප්ත කිරීම ගැන කතා කෙරිණි. අනෙක්‌ අතින් ලංකාවේ වෘත්තීය සමිති ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී.ල.නි.ප. දේශපාලනය ව්‍යාප්ත කරන ආකාරය ගැන කතා කෙරිණි. ඊට අමතරව ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ශ්‍රී.ල.නි.ප. දේශපාලනය ව්‍යාප්ත කරන හැටි ගැන කතා කෙරිණි. මෙහිදී මතුවන ගැටළු ගැනද අවධානය යොමු කෙරිණි.

වෘත්තීය සමිතිවල සිටින නායකයන්ගේ වයෝවෘද්ධ බව හා ඔවුන් රජයේ විවිධ තනතුරු හා වරප්‍රසාද භුක්‌ති විඳීම නිසා වෘත්තීය සමිති කටයුතු බිඳවැටී ඇති බව සමහරු පෙන්වා දුන්හ.

වෘත්තීය සමිතිවල දිගු කාලයක්‌ කැපවීමෙන් වැඩ කළාම අපිට තනතුරු දෙන්නත් වෙනවා. ඒ වරප්‍රසාද අරන් වෘත්තීය සමිති ක්‍ෂේත්‍රයේත් තවදුරටත් රැඳිල ඉන්න එක ගැන එයාලම කල්පනා කරල බලන්න ඕන. අපිට අයින් වෙන්න කියල කියන්නත් බැහැ. ඒක ඒ අය තේරුම් ගන්න ඕන. කියමින් ජනාධිපතිතුමා කීවේ ඇතැම් ඇමැතිවරු ගැන ද ඉඟි කරමිනි.

ශිෂ්‍ය ව්‍යාපාරය ශක්‌තිමත් කිරීමට තරුණ ජවයෙන් පොහොසත් තරුණ ශිෂ්‍ය ව්‍යාපාරයක්‌ ශ්‍රී.ල.නි.ප. ය තුළින් බිහි කිරීමේ ඇති වැදගත්කම ගැන මෙහිදී කතාබහ කෙරිණි.

මේ අයුරින් පක්‍ෂයේ ඉදිරි ගමන පිළිබඳ වඩාත් වටිනා කරුණු කාරණා රැසක්‌ ගැන කතාබහ කිරීමෙන් පසු මධ්‍යම කාරක සභා රැස්‌වීම විසිර ගියේය.

එජාප ග්‍රාමචාරිකා

මේ අතරතුර සිරිකොත මන්දිරය තුළ එක්‌සත් ජාතික පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක්‌ද එදින පැවැත්විණි. මේ සඳහා කරු හා තිස්‌ස නායකත්වය සැපයූ අතර කළුතර දිස්‌ත්‍රික්‌කයේ සියළුම සංවිධායකයන් හා පක්‍ෂයේ ක්‍රියාකාරිකයන් පැමිණ සිටියහ.

පක්‍ෂය විසින් ගම්වල බිම් මට්‌ටම ගොඩනැඟීමට සංවිධානය කර ඇති "ග්‍රාම චාරිකා" වැඩසටහනෙහි මංගල වැඩසටහන කළුතර පවත්වන්නට පක්‍ෂය තීරණය කර ඇති බැවින් කරු හා තිස්‌ස මේ පිරිස සමග කතා බහ කළේ එය සංවිධානය කර ගන්නා ආකාරය ගැනය. මෙය ඉතා ප්‍රතිඵලදායක සාකච්ඡාවක්‌ ලෙස අවසන් කෙරිණි.

මේ රැස්‌වීම අවසන් වීමෙන් අනතුරුව එජාප නායකයෝ දෙදෙන මංගල සමරවීර හා සහභාගි වූයේ අතුරුදන් වූවන්ගේ 20 වැනි සංවත්සර උත්සවයටය. මේ අයට අමතරව සිරිතුංග හා වික්‍රමබාහු ද මෙම හමුවට පැමිණ සිටියහ.

පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ තවමත් ලංකාවට පැමිණ නොමැති බැවින් කරුලාට තිස්‌සලාට මෙබඳු බාහිර වැඩකටයුත්තකට සහභාගි වනවා හැර පක්‍ෂයේ අභ්‍යන්තර බාරදූර වැඩ කටයුතු කෙරෙහි යොමු වන්නට ඉඩකඩක්‌ නොලැබිණි.

ඊට පසුදා එනම් බදාදා උදේ මහලේකම් තිස්‌ස අත්තනායක හා සාගල රත්නායක වැලිගම බලා පිටත්ව ගියහ. ඒ මීට තෙමසකට පෙර පක්‍ෂය වෙනුවෙන් සියදිවි හානිකරගෙන මියගිය රියෙන්සි පෙරේරාගේ තුන්මාසේ දානමය කටයුතුවලට සහභාගි වීමටය. ඊට මාතර සිට මංගල සමරවීර හා බුද්ධික පතිරණ ද පැමිණ සිටීම විශේෂත්වයක්‌ ගත්තේය.

කැබිනට්‌

කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීම පසුගිය බදාදා රාත්‍රියේදී අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

රැස්‌විය. එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක්‌ පිළිබඳව ද සාකච්ඡාවට ගැනිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන විමධ්‍යගත අරමුදල්, සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක්‌ නිවාස අහිමි ජනතාවට නිවාස ලබා දීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදෙන ලෙස විමල් වීරවංශ මහතා සිය යෝජනාවෙන් ඉල්ලා තිබිණි. එහෙත් මුදල් අමාත්‍යංශයේ නිර්දේශය වී තිබුණේ එසේ මුදල් මුදාහැරිය නොහැකි බවයි.

"නිවාස සංවර්ධන අධිකාරියට මේ මුදල් ලබා දුන්නොත් ඒවා ඉතාමත් දිළිඳු ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට යොදාගත හැකියි. "ජන සෙවණ නිවාස දශලක්‍ෂය වැඩසටහන" යටතේ මේ මුදල් දීර්ඝකාලින ණය ලෙස නිවාස අහිමි පවුල්වලට ලබාදෙනවා. ඒ අනුව මේ මුදල් යොදවා රටේ නිවාස අහිමි පවුල් වෙනුවෙන් චක්‍රීය අරමුදලක්‌ ඇති කළ හැකියි." විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

"අපි තවදුරටත් සාකච්ඡා කරලා තීරණයක්‌ ගනිමු." ජනාධිපතිතුමන් එම සාකච්ඡාව නිමා කරමින් එහිදී පැවැසීය.

මේ අතර කැබිනට්‌ රැස්‌වීම අතරේදී ජනාධිපතිතුමන් එක්‌තරා උද්ඝෝෂණයක්‌ ගැන පැවැසීය.

"මට ආරංචි වුණා රැකියා අහිමි තරුණයන් පිරිසක්‌ පෙළපාලි එනවා කියලා. 3000 ක පමණ පිරිසක්‌ කොළඹට එනවයි කියලයි ආරංචි වුණේ. පොලිසිය කියන විදිහට 300 ක්‌ වත් නැහැ. රැකියා විරහිත තරුණයන් 300 ද ඉන්නේ? ජනාධිපතිතුමත් එසේ සඳහන් කළේ ජ.වි.පෙ. තරුණ සංවිධානයේ උද්ඝෝෂණය පිළිබඳවය.

"එතන හිටපු බිමල් රත්නායක, සුනිල් හඳුන්නෙත්ති, වසන්ත සමරසිංහ, දිමුතු අභයකෝන්, රාමලිංගම් චJද්‍රසේකරන් වගේ තරුණයන්ට නම් ඔබතුමාගෙන් රැකියා ඉල්ලලා පෙළපාලි ගියාට වැඩක්‌ වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ රස්‌සා නැති කළේ ආණ්‌ඩුවෙන් නොවෙයිනේ. ඒගොල්ලන්ගේ "මන්ත්‍රී රස්‌සාව" නැති කළේ මේ රටේ ජනතාව. ඒ හින්දා ඒගොල්ලො නැති වුණු රස්‌සා ඉල්ලා ගන්න ඕනෙ ජනතාවගෙන්" විමල් වීරවංශ මහතා කාගෙත් හිනා මැද්දේ එසේ කියන විට "ඒක හොඳ කතාව" යනුවෙන් ජනාධිපතිතුමන්ද එයට එකඟතාව පළ කළේ සිනහව අතරෙනි.

නාගසේන

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.