බිහිරන්ට ඇසීමට විශාල ශබ්දයක්‌ අවශ්‍යය

"මචං, පරස්‌තාවටත් රස්‌සාව හරස්‌වෙලා" මේ මෑතකදී
මා හමුවූ මිත්‍රයකු කී කතාවකි. ඔහුට ස්‌ථිර රැකියාවක්‌ නොමැතිකම ඔහුගේ විවාහයට විශාලතම බාධාව වී තිබේ. අප රටේ පරස්‌තාවක්‌ කරගැනීමට (විවාහයක්‌) බලාපොරොත්තු වන අය අතුරින් එක්‌ කොටසක්‌ තමාට සුදුසු (?) කෙනෙක්‌ සොයා ගැනීමට පුවත්පත්වල මුදල් ගෙවා මංගල යෝජනා පළ කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම මංගල යෝජනා සියල්ලම බොහෝදුරට පොදු ආකාරයක්‌ ගනී. එනම් "බොදු ගොවි, වයස 26, උගත්, කඩවසම් පුතුට සුදුසු සහකාරියක්‌ සොයයි" යන අයුරිනි. එසේ වුවද විවාහයට බලපාන සාධක අතරින් රැකියාව වත්මන් තරුණ පරපුර මුහුණ දෙන ප්‍රධානම සාධකය හා බාධකය වී තිබේ. එම නිසා වත්මන් තරුණ පරපුරට සිදුවී ඇත්තේ පරස්‌තාවක්‌ සඳහා දැන්වීම පළ කිරීමට කලින් "බොදු ගොවි, වයස 26, උගත් කඩවසම් දුවට, පුතුට රැකියාවක්‌ සොයයි" යනුවෙන් රස්‌සාවක්‌ සඳහා දැන්වීම පළ කිරීමටය.

අප රටේ තරුණ ප්‍රජාවට විරැකියාව උපතින්ම ලැබෙන ජානයක්‌ මෙන් අර්ධ නිදහසින් පසු ගත වුණු දශක 6 තුළම පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙමින් තිබේ. තරුණ විරැකියාව නිසා ඇති වී තිබෙන ගැටලු, තරුණ තරුණියන් මුහුණ දෙන ෙ€දවාචකයන් අසීමිත වුවත් එය ඉවසා වදාරා සිටීමේ ජානගත රෝගයට ශ්‍රී ලාංකීය සමාජය හා තරුණ ප්‍රජාවම ගොදුරු වී තිබේ. ලංකාවේ ආණ්‌ඩුවේ සංඛ්‍යාලේඛනවලට අනුව අප රටේ විරැකියාව 2009 වසරේදී 5.9% කි. එම වාර්තාව අනුවම ලංකාවේ තරුණ ප්‍රජාව අතර විරැකියාව වයස 15-29 ත් අතර කාණ්‌ඩයේ විරැකියාව 15.8% කි. එනම් සෑම තරුණ තරුණියන් 6 කින් එක්‌කෙනකුට අවම මට්‌ටමේ හෝ රැකියාවක්‌ නැති බව ආණ්‌ඩුවේම ලේඛන සනාථ කරයි. නමුත් රටේ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව හා පදනම පිළිබඳ කරුණු කිහිපයක්‌ කෙටියෙන් සඳහන් කළ යුතුය. ලංකාවේ රැකියාවක්‌ කරන කෙනෙක්‌ ලෙස මහබැංකුව සලකන්නේ "සතියක්‌ තුළ ආදායමක්‌ ඉපයීම සඳහා දින දෙකක්‌ හෝ වැඩ කරන කෙනෙකි". සරලව කිවහොත් අප රටේ දින 7 ක කාලයක්‌ තුළදී ජීවත්වීමට පැය දෙකක්‌ වැඩ කරන කෙනෙකුට "රැකියාවක්‌ තිබේ". එය ලංකා ආණ්‌ඩුවේ නිගමනයයි. සතියකට දින දෙකක්‌ වැඩ කර ඉතිරි දින පහ ජීවත්වීම සඳහා ප්‍රමාණවත් ආදායමක්‌ උපයාගත හැකි රැකියාව කුමක්‌දැයි මේ රටේ මුදල් ඇමැතිවරයාට කිව හැකි නම් රස්‌සාව නිසා පරස්‌තාව අවුල් වී තිබෙන තරුණ ප්‍රජාවට මහත් සහනයක්‌ වනු ඇත. මෙවර අයවැයෙන්වත් ඒ අපූරු රැකියාව නැති ලංකාවේ තරුණයන්ට හඳුන්වා දෙන මෙන් මුදල් ඇමැතිගෙන් ඉල්ලා සිටිමු. මේ නිර්නායකම සකසා ඇත්තේ ප්‍රශ්නය යට ගැසීම ආණ්‌ඩුවෙන් පෙන්වීම සඳහා බව පැහැදිලි වන්නකි. එමෙන්ම මේ දත්ත තුළ උතුර පළාතේ හා නැගෙනහිර පළාත් සම්පූර්ණ දත්ත නැති අතරම යුද්ධය අවසන් වී වසර 1 1/2 කට අධික කාලයක්‌ ගතවී තිබියදීත්, උතුර පළාතේ සියලුම ජනතාවගේ නම, ලිපිනය, පවුලේ තොරතුරු පමණක්‌ නොව ලේ වර්ගය, ඇඟිලි සලකුණු හා (සමහරවිට DNA විස්‌තර පවා) ආරක්‍ෂක අංශ විසින් කිහිප වතාවක්‌ම යුද්ධයට පෙරත්, පසුත් කිහිප අවස්‌ථාවකදීම ලබාගෙන ඇතත්, උතුරට වසන්තය ගෙනයා හැක්‌කේ සටන් වැදි උතුරේ තරුණයාට හොඳ අවස්‌ථාවක්‌, රැකියාවක්‌ සහතික කිරීමෙන් පමණක්‌ බව තේරුම්ගත යුතු වුවත් තවමත් උතුරේ විරැකියාව පිළිබඳ මූලික දත්ත හෝ ආණ්‌ඩුව විසින් ලබාගෙන නැත.

රටේ වැඩිම විරැකියාව තිබිය යුත්තේ උතුරේ වන බැවින් මෙම තරුණ විරැකියාව 15.8% ක්‌ නොව එම දත්ත ආණ්‌ඩුවේම ක්‍රමයට එක්‌ කළත් 18% ත් 20% ක්‌ වනු ඇති බව අවිවාදිතය. ආණ්‌ඩුවේ ව්‍යාජ නිර්නායකයන් වෙනුවට සත්‍ය නිර්නායකයන් උතුරේ දත්තයන් එක්‌ක ගණනය කළහොත් අප රටේ තරුණ විරැකියාව 35% ත් 50% ත් අතර වනු ඇත.

අප රටේ තරුණ විරැකියාවේ පැතිකඩ කිහිපයක්‌ දැකිය හැකිය. එනම් 1. රැකියා විරහිත වයස 15 - 29 අතර තරුණ පිරිසය. (පොදු), 2. රැකියා විරහිත උපාධිධාරීන් (ඉගෙනගෙනත් රැකියා නැති අය මේ වන විට 35000 ක්‌ පමණය), 3. රැකියා අහිමි වූ අය - පුද්ගලික අංශයේ කර්මාන්ත වැසී යැම නිසා රැකියා අහිමි වූ ලක්‍ෂ 3 ක්‌ පමණ සිටී.

මෑතකදී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව රැකියා 296000 ක්‌ 2010 අප්‍රේල් වන විට නැති වී තිබූ අතර සේවක අර්ථසාධක අරමුදලේ සාමාන්‍ය ගිණුම් ප්‍රමාණය වන ලක්‍ෂ 23 මේ වන විට ලක්‍ෂ 20 ක්‌ දක්‌වා අඩුවී ඇති බව වාර්තා කර තිබිණි.

මෙහිදී රටේ විරැකියාව වැඩිම දිස්‌ත්‍රික්‌කය හම්බන්තොටයි. එහි අගය 10.6 කි. මහබැංකු වාර්තා අනුව ලංකාවේ අඩුම රැකියා ගැටලුව ඇත්තේ (එනම් අඩුම විරැකියාව ඇත්තේ) උතුරුමැද පළාතේය. මේ දත්තවලින් කරුණු 2 ක්‌ සනාථ වේ. එකක්‌ නම් කෘෂිකර්මාන්තය හා කර්මාන්ත ගොඩනැංවීම හා ඒවාට සෘජුව අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කරන පොදු ජනයාගේ ජීවන මාර්ග පෝෂණය හා සංවර්ධනය කර හා ඔවුන්ගේ ආදායම් සෘජුව වැඩි කරන සංවර්ධන ව්‍යාපෘති වෙනුවට පාලකයන්ට කොමිස්‌ ගෙනෙන ඇස්‌ බැන්දුම් සංවර්ධනයෙන් ස්‌ථිරසාර සංවර්ධනයක්‌වත්, තරුණ විරැකියාවට පිළිතුරක්‌වත් නොලැබෙන බවය. පසුගිය වසර තුළ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය තුළ රජය කළ ආයෝජන ප්‍රමාණය ඩොලර් බිලියන ගණන් වුවත් රටේ වැඩිම විරැකියාවේ ඔටුන්න මිස වෙන කිරුළක්‌ හම්බන්තොට ජනයාට හා තරුණයාට ලැබී නැත. අනෙක්‌ කරුණ නම් උතුරු මැද පළාත විරැකියාව අඩුම පළාත වන්නේ කෙසේද යන්නයි. ලෝක ආහාර වැඩසටහන මගින් සකස්‌ කර ඇති ලංකාවේ දුප්පත්කම අධිකම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය පිළිබඳ ශ්‍රී ලංකා රජය ද පිළිගත් සිතියම හා වාර්තාව අනුව උතුරුමැද පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස අන්ත දිළිඳු ගණයට අයත් වේ. (ජීවත්වීම සඳහා ආහාර පවා ලබාගත නොහැකි තරම් දිළිඳු ජනයා ජීවත්වන) එසේම දිළිඳු ජනයා ජීවත්වන පළාතක රැකියා විරහිත භාවය අඩුම යෑයි මහ බැංකුව කියන විට බොරු කියන්නේ කවුද? එසේනම් මහබැංකු වාර්තා සාවද්‍ය, නැතිනම් එම පළාතේ සිටින්නේ රැකියා කරන (මහබැංකුවට අනුව සතියකට දින දෙකේ ජොබ් කරන) දුප්පතුන් බවය.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා විරහිත තරුණ ප්‍රජාවේ එක්‌ කණ්‌ඩායමක්‌ වන අතර දැනට 35000 ක්‌ පමණ රැකියා විරහිතව සිටින අතර තවත් විශාල ප්‍රමාණයක්‌ උපාධියට සරිලන්නේ නැති (ඌන සේවා නියුක්‌තිය) රැකියාවල නිරතවේ. රැකියා විරහිත උපාධිධාරීන් පසුගිය මැතිවරණ සමයේදී ආණ්‌ඩුව විසින් අවස්‌ථා 2 කදී රවටනු ලැබූ අතර උපාධිධාරීන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ද එම ප්‍රොaඩාවට හවුල් විය. එකක්‌ නම් ජන සභා ලේකම්වරු නමින් 17174 ක්‌ උපාධිධාරීන් බඳවා ගන්නවා කියා ගැසූ ගැසට්‌ නිවේදනය වන අතර මැතිවරණයෙන් පසු ජන සභා ලේකම්වරු බඳවා ගැනීම පිළිබඳ ගැසට්‌ නිවේදනය අවලංගු කෙරිණි. අනෙක්‌ කණ්‌ඩායම සෞන්දර්ය උපාධිධාරීන්ය. මැතිවරණ සමයේදීම උපවාස අත්හැරීමට අරලියගහ මන්දිරයේ වතුර බීමට පුරුදු වී සිටින තම රැකියාව රැක ගැනීම සඳහා ඕනෑම දෙයක්‌ කරන පුද්ගලයන් කිහිප දෙනෙක්‌ සෞන්දර්ය උපාධිධාරීන් කිහිප පොළකට අරලියගහ මන්දිරයේ වතුර පොවා උපවාසය අතහරින ලදී. එදායින් වසරකට පසුද සෞන්දර්ය උපාධිධාරි කණ්‌ඩායම රැකියා කොට කැඳ ද නැතිව අතරමංව සිටී. මෙහිදී පාලකයන්ගේ මර්දනය හා ප්‍රොaඩාව වැරැදි බව මෙන්ම එයට යටත් වන පුද්ගලයාගේ නිවට භාවය ද යන දෙකම වැරැදි බව ප්‍රකාශ කළ මාර්ටිං ලූතර් කිංගේ කියමන සිහිපත් කරගත යුතුය. එසේ වුවද ලංකාවේ තරුණ විරැකියාව අතර සමාජ අවධානය, පාලකයාගේ අවස්‌ථාව තරමක්‌ හෝ දිනාගෙන සිටින්නේ රැකියා විරහිත උපාධිධාරීන් බව පැහැදිලි කරුණකි. එය එසේ වී ඇත්තේ ඇයි? "සඳුන් දර මිටක්‌ නොගෙන ඉපදී මේ බිමේ, මහෞෂධ පුතුනි තැන තැන සිටින පෝලිමේ" යනුවෙන් නන්දා මාලිනී කියූ පරිදි පෝලිමේ සිටිම නිසා ලබාගත් අවස්‌ථාව සටනකට යොමු කළ නිසා, තම අයිතීන් වෙනුවෙන් අරගලයකට පැමිණි නිසා පමණක්‌ රැකියා විරහිත උපාධිධාරීන් ගැටලුවට සමාජ අවධානයට යොමු වී ඇත. එසේනම් පාලකයන්ට දුක හිතීම නිසා හෝ අනුකම්පා හිතා රැකියා විරහිත උපාධිධාරීන්ට එකදු රැකියාවක්‌ පසුගිය පස්‌ වසර තුළ (අප දන්නා) ලබාදී නොමැති අතර පොදු ජනතාව තුළ ද එම උපාධිධාරී විරැකියාව පිළිබඳ සානුකම්පිත ආකල්පයක්‌ ගොඩනැඟී ඇත්තේ අඛණ්‌ඩව සිදු කෙරෙන ඔවුන්ගේ අරගල නිසා බව කිව යුතුය.

රැකියා විරහිත තරුණ පිරිසේ අනෙක්‌ කණ්‌ඩායම මෑතකදී කර්මාන්ත ශාලා වැසී යැම නිසා රැකියා අහිමි වූ ලක්‍ෂ 4 කට ආසන්න පිරිසයි. (සෘජු හා වක්‍ර) මේ පිරිස පසුගිය වසර 1 1/2 තුළ රැකියා අහිමිවූවන් වන අතර ඔවුන් සේවය කළ කර්මාන්තවලට කෝටි 1600 ක්‌ ලබාදීමට භාණ්‌ඩාගාර මුදල් වෙන් කළ රජය මෙම තරුණ පිරිසට එක රුපියලක්‌ හෝ "සතියකට පැයේ ජොබ් එකක්‌" හෝ ලබාදීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොකළේය.

ලංකාවේ තරුණ විරැකියාවේ ගැටලුව එතරම් ප්‍රබල වුවත් වත්මන් රජය ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග "කැලණි ගඟෙන් පොල්ලෙල්ලක්‌ ගියා" වැනි ඒවා වී තිබේ.

කොරියන් රැකියා පියස, තරුණයාට හෙටක්‌, හම්බන්තොට වරාය, නැගෙනහිර නවෝදය වැනි වැඩසටහන් මේ සඳහා ගෙන හැර පෑ "මනස්‌කාන්ත" ඇස්‌ නිලංකාර කරන ව්‍යාපෘති වූ නමුත් අද ඒවා ගැන කීම රජය විසින් අත්හැර දමා ඇත. උදාහරණ ලෙස කොරියන් රැකියා ව්‍යාප්තිය මගඩියක්‌ හා අල්ලස්‌ ව්‍යාපෘතියක්‌ වීමට අමතරව 2008 වසරේ කොරියන් ආණ්‌ඩුවෙන් ලංකාවට ලබාදුන් රැකියා 9500 ක්‌ කාර්යක්‍ෂම ආණ්‌ඩුව ප්‍රයෝජනයට ගෙන නොතිබුණේ විගණකාධිපති වාර්තාව මිස අප නොවේ. තමන්ට පෝස්‌ටර් ගැසූ කැන්වසින් ගිය තරුණ පිරිසට අල්ලස්‌ පවා ලබාගෙනත් කොරියන් රැකියා 9500 න් 4150 ක්‌ම යොදා ගැනීමටත් වත්මන් ආණ්‌ඩුව අපොහොසත් වී ඇත. ආණ්‌ඩුවේ අනෙකුත් ව්‍යාපෘති ද පුස්‌සක්‌ බවට උදාහරණ ඕන තරම් කිව හැකිය. සැබෑ තත්ත්වය නම් තරුණ තරුණියන්ට නව රැකියා ලබාදීම කෙසේ වෙතත් තිබෙන රැකියා අවස්‌ථාවන් අහිමි වන වටපිටාවක්‌ වර්තමානයේ ඇතිවී තිබෙන බවය. එමෙන්ම තිබෙන රැකියා ලබාදීමේදී ද ආණ්‌ඩුව තරග විභාග ක්‍රමය අහෝසි කර බඳවා ගැනීම් ක්‍රමවේදයම දේශපාලනය කර ඇත්තේ තරග විභාග ක්‍රමය 1991 තරුණ අසහන කොමිසමේ නිර්ණායකයන්ය යන්න ද නොසලකා හරිමිනි. මෑතකදී පැවැත්වූ ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය මෙයට හොඳම සාක්‍ෂි සපයයි.

තරුණ විරැකියාව දැනට 18-20% මට්‌ටමේ හෝ (උතුරු පළාත ද එක්‌කළ විට ආණ්‌ඩුවේ ලේඛන අනුව) පවතින්නේ ප්‍රධාන වශයෙන්ම තරුණ ප්‍රජාව රැකියා ක්‍ෂේත්‍ර 3 කට බොහෝදුරට වෙන යමක්‌ නොහැකි නිසා එළැඹීම නිසා මිස රටේ වැඩපිළිවෙළකට, අරමුණකට අනුව නොවේ. අද තරුණ තරුණියන්ගේ රැකියා අවස්‌ථා සම්පූර්ණ කරන්නේ ප්‍රධාන වශයෙන් ආරක්‍ෂක අංශ, ඇඟලුම් ක්‍ෂේත්‍රය හා විදෙස්‌ රැකියා (තරුණ කාන්තාවන්) මගිනි. තත්ත්වය එසේ වුවත් ආණ්‌ඩුව රැකියා විරහිතභාවයට හේතු ලෙස ඉදිරිපත් කරන්නේ මාරාන්තික විහිළුය. ඉංගී්‍රසි භාෂාව නොදැනීම, විෂයේ වෘත්තීය පුහුණුව නැතිකම හා තරුණ තරුණියන්ගේ ආකල්ප නිසා රැකියා විරහිතභාවය ඇති වී තිබෙන බවය.

ඉංගී්‍රසි භාෂාව රැකියා සඳහා නොව පොත් කටයුතු සඳහා ද දැනගත යුතු එකක්‌ බව අවිවාදිත වුවත් රැකියා නැත්තේ ඉංගී්‍රසි දන්නේ නැති නිසා යෑයි කීම මුග්ධ තර්කයකි. මහා බ්‍රිතාන්‍යයේ මේ වසරේ විරැකියාව 13% කි. ඇමරිකාව 14% කි. ඒත් ඉංගී්‍රසි නොදන්නා නිසාද? අනෙක්‌ අතට ඉංගී්‍රසි ඉගැන්වීමට කළ හැකි පහසු ප්‍රතිඵලදායක යෝජනා රාශියක්‌ තිබේ. ඒවා ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව හා ආයතන උනන්දුවේද? උදාහරණ ලෙස සාමාන්‍ය පෙළ විභාගයෙන් හා උසස්‌ පෙළ විභාගයෙන් පසු ප්‍රතිඵල එනතෙක්‌ දරුවන් මාස 3 ක්‌ 4 ක්‌ නිවසේ ගත කිරීම සාමාන්‍ය ස්‌වභාවයයි. එම මාස 3, 4 න් කෙටි පාසල් පද්ධතිය විශ්වවිද්‍යාල හා පුද්ගලික ආයතනවලින් ලබාගත හැකි ඉංගී්‍රසි ගුරුවරුන් හා විශ්‍රාමික ඉංගී්‍රසි ගුරුවරුන් යොදාගෙන එම මාස 3 තුළ පාසල් තුළම සතියකට දින 5 ක්‌ හෝ කීපයක්‌ ඉංගී්‍රසි ඉගැන්වීමට ව්‍යාපෘතියක්‌ මේ තිබෙන යටිතල පහසුකම් යොදාගෙන කළ හැකි වුවත් ඒවා ගැන කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගෙන ඉංගී්‍රසි නොහැකි බව පමණක්‌ කියා තරුණ ප්‍රජාව කොන් කිරීම වැරැදිය. (වෘත්තීය පුහුණුව ද නිතර කියවෙන කරුණකි.) වෘත්තීය පුහුණුවක්‌ නොමැති නිසා රැකියා නොමැති බව කියවේ. එසේ නම් ලංකාවේ ආයතනවල සේවය කරන්නේ වෘත්තීය පුහුණුව ඇති විදේශිකයන්ද? මේවා ජනතාව ඇන්දවීමට කරන ප්‍රලාප පමණි. අප දැන් විදේශිකයන් ලංකාවේ සේවය කරනවා දකින්නේ විශේෂඥයන් උපදේශකයන් ලෙස නොව පාරවල් කම්කරුවන්, ට්‍රැක්‌ටර් රියෑදුරන් ලෙසය. අනෙක්‌ අතට වෘත්තීය පුහුණුව අත්‍යවශ්‍ය කරුණක්‌ බැවින් කුසලතා ඇති ආයතනවලට රජයේ ඇති අවධානය කුමක්‌ද යන්න සොයා බැලිය යුතුය. රටේ කාර්මික විද්‍යාල 36 න් HNDE, NDT වැනි පාඨමාලාවක්‌ රජයේ බොහෝ වෘත්තීය පුහුණු ආයතනත් සම්පත් හා පරිපාලන ගැටලු නිසා මරණාසන්න තත්ත්වයේ පසුවන මට්‌ටමක පහත වැටී තිබේ. HNDE, NDT වැනි පාඨමාලාවල ඇති දශක ගණනක්‌ දිග්ගැසුණු අර්බුද එලෙසම පවතින්නේ වෘත්තීය පුහුණු නැතිව රැකියා ලබාදෙන්නේ කෙසේදැයි තරුණයන්ට ඔලොක්‌කු කරන ආණ්‌ඩුවමය. එමෙන්ම මෑතකදී බාහිර උපාධි පාඨමාලා කප්පාදු කිරීම, නීති විද්‍යාල ප්‍රවේශයට අදාළව අලුතෙන් ඇති කළ බාධක පුද්ගලික වෘත්තීය පුහුණු ආයතනවල දුර්වල ප්‍රමිතිය හා තරුණයන්ගේ මුදල් ගසා කෑම (උදා. - පෙර පාසල් පාඨමාලා, පරිගණක පාඨමාලා) ද සිදුවුණු අතර මේ සියල්ලම තරුණ විරැකියාව උග්‍ර වන ඒවා මිස විසඳන ඒවා නොවන බව පැහැදිලි කරුණකි.

ලංකාවේ පසුගිය වසර 20 ක්‌ තුළ මේ වසර 5 තුළත් අයවැය ලේඛන එකින් එක ඉදිරිපත් කර ඇත්තේ තරුණ විරැකියාවේ තුවාලය ඔඩුදුවද්දීය. මුදල් ඇමැතිවරු එති යති, අයවැය ද ඉදිරිපත් කරති. එහෙත් තරුණ විරැකියාව ද වර්ධනය වේ. තරුණ ප්‍රජාවට රජයේ හා පුද්ගලික අංශයේ රැකියා ලබාදීම පිළිබඳ එකදු සෘජු හා අර්ථවත් යෝජනාවක්‌ ඉදිරිපත් නොකළ අයවැය කතාව ගරු ගාම්භීර ලෙස ඉදිරිපත් කිරීම පසුගිය කාලයේ මෝස්‌තරයක්‌ වී තිබේ. (පුළුල් විසඳුමක්‌ මෙම ප්‍රශ්නය විසඳීම සමාජවාදී ආර්ථිකයට කළ හැකි වුවත් සාපේක්‍ෂ ඵලදායී පියවර ඉදිරිපත් කළ නොහැකිද නොවේ. උදාහරණයක්‌ ලෙස ජාතික රැකියා උත්පාදන අරමුදලක්‌ පිහිටුවීම (National job creation fund) නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී රැකියාවෙන් 50% ක්‌ තරුණයන්ට ලබාදෙන ව්‍යාපාරවලට විවිධ දිරිගැන්වීම් කිරීම රටේ ක්‍රියාත්මක සියලුම විදේශීය සමාගම්වලින් දේශීය තරුණයන්ට පුහුණුව ලබාදීම අනිවාර්ය කිරීමට අවශ්‍ය එකඟතා ඇති කරගැනීම රැකියා ක්‍ෂේත්‍ර 100 ක්‌ වත් ඉලක්‌ක කරගත් උපාධි පාඨමාලා ආරම්භ කිරීම මේ යටතේ කළ හැකි දැනට කරන නාස්‌තිකාර රැකියා ව්‍යාපෘතිවලට සාපේක්‍ෂ ඵලදායිතා පියවරයක්‌ නොවන්නේද?) එයට හේතුවී ඇත්තේ පාලකයන්ගේ බැරිකම වුවත් අවම අවධානය හෝ යොමු නොකරන්නේ පාලකයන් ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපිට බිහිරන්ව සිටිද්දී ජනතාව තම ප්‍රශ්න හමුවේ ගොළුවන්, අන්ධයන්, කොරුන් ලෙස සිටීම නිසාවෙනි. හඬ නැඟීමෙන්, සටන් කිරීමෙන් තොරව අපට හිමි, අපට අයිති කිසිවක්‌, අප රටෙන්, ලෝකයෙන් ජනතාව දිනාගෙන නැති බව ලෝක සත්‍යයකි. ඒ නිසා ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව ශ්‍රී ලාංකිකයන් ලෙස අපට හිමි අපට අයිති දේ වෙනුවෙන් හඬ නැඟිය යුතුය. සටන් කළ යුතුය. මන්ද යත් බිහිරන්ට ඇසීමටත්, සහෘදයන් කැඳවීමටත් විශාල ශබ්දයක්‌ අවශ්‍යව ඇති බැවිනි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.