කොටි හිතවාදීන්ගෙන් පක්‍ෂය ආරක්‍ෂා කළ යුතුයි!
එජාප හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස


එජාප ප්‍රතිසංවිධාන අර්බුදය ඉතා දිගු කාලයක පටන්
ඇදී එන නමුදු මේ දක්‌වා අත්වූ ප්‍රගතියක්‌ නැත. විවිධ
පාර්ශ්වයන් විවිධ අදහස්‌ පළ කරන මොහොතක ඒ ගැන
අද කතාබහට එක්‌වන්නේ එජාප හම්බන්තොට දිස්‌ත්‍රික්‌
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාය.

ප්‍රශ්නය - එජාප ප්‍රතිසංවිධාන කටයුතුවලදී වැඩි වශයෙන් ඔබේ නමත් ඇහෙන නිසා, ප්‍රතිසංවිධාන කටයුතු මේ වෙනකොට කොතැනද නතරවෙලා තියෙන්නේ කියන ප්‍රශ්නයෙන්ම අපි කතාබහ ආරම්භ කළොත්...

පිළිතුර - ඔබ කතාව පටන්ගත්තේම වැරැදි තැනින්... "ප්‍රතිසංවිධාන" කටයුතු නතරවෙලා නැහැ. ඒ ක්‍රියාවලිය දිගටම සිදුවෙනවා. එජාපයේ බලය කේන්ද්‍රගතවෙලා තියෙන්නේ නායකයා වටේ. ඔහු තමයි සියලු තීන්දු තීරණ ගන්නේ. ප්‍රතිසංවිධාන කටයුතුවලදීත් ඒවා ක්‍රියාත්මක කරනවද? පැත්තක දමනවද? විසි කරනවාද යන හැම කාරණයක්‌මත් තීරණය කරන්නේ නායකයා වටේ ඉන්න අය. නමුත් මම විශ්වාස කරනවා ප්‍රතිසංවිධානය යන්න ඉතාමත් වැදගත් වැඩසටහනක්‌ බව. එය එජාපය පිළිගන්නවා. මේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත එජාප පාක්‍ෂිකයන් පිළිගන්නවා. හැමදාම විපක්‍ෂයේ ඉන්න ඕන නම් අපිට ප්‍රතිසංවිධාන නැතුව දිගටම මෙහෙම ඉන්න පුළුවන්.

ඉතාම පැහැදිලිව කියන්න ඕන ප්‍රතිසංවිධාන කටයුතු මගින් එජාප ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නට අකමැති අය ඉන්නවා. ඒ අය කරන්නේ ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවක්‌. ආණ්‌ඩුවට ඕන පසුගිය දශක එකහමාර වගේම අපි දිගින් දිගටම පැරදි පැරදි ඉන්නවා දකින්නයි. පාක්‍ෂිකයන් පවා දිගින් දිගටම විපක්‍ෂයේ ඉන්න කැමැත්තක්‌ දක්‌වන්නේ නැහැ. ආණ්‌ඩු බලය ලබාගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රතිසංවිධානය ලබාගත යුතුයි. ප්‍රතිසංවිධානය මගින් පක්‍ෂය නවීකරණය වනවා දකින්න අකමැති, ආණ්‌ඩු බලය ලබාගන්නවට අකමැති. ආගන්තුක කොටසක්‌ තමයි මේක නරකයි කියන්නේ.

ප්‍රශ්නය - නායකත්වය වෙනස්‌ කිරීමම ද "ප්‍රතිසංවිධානය" කියන්නේ...

පිළිතුර - නැහැ. ඊට වඩා පුළුල් ක්‍රියාවලියක්‌.

ප්‍රශ්නය - නමුත් ඔබ ප්‍රකාශ කර ඇත්තේ ඒවගේ අදහසක්‌.

පිළිතුර - නායකත්වය ගැන නෙවෙයිනේ මම කතා කළේ. මම කතා කළේ එක්‌සත් ජාතික පක්‍ෂය තුළ සිදු විය යුතු ප්‍රතිසංවිධානය ගැනයි. නමුත් පක්‍ෂයේ වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක්‌ තිබෙන්නට ඕන, එක්‌ එක්‌ අයට වුවමනා හැටියට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්‌ කරන්න බැහැ. "පැරිසියට හෝ බ්‍රසල්ස්‌" නගරයට ඕනෑ හැටියට පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස්‌ කරන්න බැහැ. මේ ප්‍රතිපත්ති සකස්‌ විය යුත්තේ මරදන්කඩවලට, කහටගස්‌දිගිලියට, උතුරු කොළඹට, බිබිලට මේ ආදී වශයෙන් සියල්ලටම සුදුසු විදියටයි. පක්‍ෂයේ ක්‍රියාදාමය වඩ වඩාත් බිම් මට්‌ටමට සමීප විය යුතුයි. බිම් මට්‌ටමේ ජනතාවගේ ජන විඥනය හඳුනාගත යුතුයි. එකපාරටම ටයි කෝට්‌ ගලවලා ජාතික ඇඳුම ඇඳගත්ත පලියට කිසිම දෙයක්‌ එකපාරට වෙනස්‌ වෙන්නේ නැහැ. ජනතා හද ගැස්‌ම හඳුනාගත යුතුයි.

ප්‍රශ්නය - නමුත් අපිට පේන්නේ හැම කෙනෙක්‌ම බිම් මට්‌ටම හෝ ජනතා හද ගැස්‌ම අමතක කරලා "නායක පොරයකට" වැටිලා ඉන්න බවයි.

පිළිතුර - මෙහෙමයි. පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක්‌ ක්‍රියාත්මක වෙනව නම් එක්‌කෙනෙකුට දෙන්නෙකුට ඕන දේ විතරක්‌ සිදුවන්න බැහැ. සමූහයා පිළිගන්න සමූහයා දිනවන වැඩසටහනක්‌ තිබිය යුතුයි. මෙන්න මේකට බයේ තමයි ප්‍රතිසංවිධානය ප්‍රතික්‍ෂේප කරන්නේ. ආණ්‌ඩුවේ කොන්ත්‍රාත් කරන්නේ. කාලයක්‌ මේ අය කොටින්ගේ කොන්ත්‍රාත්තුවක්‌ කළා, "අලිමංකඩ - පාමංකඩ" කිය කිය... හමුදා මානසිකත්වය බිඳ දැම්මා... එජාපය විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුවක්‌ මේක... මේ අයම තමයි, 1994 දී ගාමිණී දිසානායක මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකොට, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සමග එකතුවෙලා එතුමා පරද්දන්න "බත්තරමුල්ල" කුමන්ත්‍රණය කළේ.

ඒ අයම තමයි දැන් එජාපය වැනසීමේ කුමන්ත්‍රණය කරන්නේ. කොටි ගැත්තන්ගෙන් එජාපය ආරක්‍ෂා කිරීමේ කාලය එළැඹිලා තියෙනවා කියලා මම කියන්නේ ඒකයි.

ප්‍රශ්නය - ඔබ සඳහන් කරන "ආණ්‌ඩුවේ කොන්ත්‍රාත්තුවක්‌" කියන කතාව ඔබටත් එල්ලවන චෝදනාවක්‌. දෙපාර්ශ්වයක්‌ මේ චෝදනාව එල්ල කරගන්නවා..

පිළිතුර - ඉතිං ඕක විසඳගන්න හොඳම දේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමෝපායකට යන එකනේ. ඇයි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඡන්දය භාවිත කිරීමේ අයිතිය නොදෙන්නේ. ඇයි පක්‍ෂයේ ශාඛා මට්‌ටමින් අපේ නියෝජිතයන්ට ඡන්ද බලය දෙන්න කැමැති නැත්තේ. කාමර ඇතුළට වෙලා ඉන්න ප්‍රභූ පැලැන්තියේ කීපදෙනෙක්‌ තමයි එජාප පාක්‍ෂිකයන් පිළිබඳ තීන්දු ගන්නේ.

මම ඔබට අභියෝගයක්‌ කරනවා, බිම් මට්‌ටමට බැහැලා ඔබ අහලා බලන්න එතකොට ජනතාව කියන්නේ මොකක්‌ද කියලා ඔබට තේරෙයි. ඔබ දැන් මාධ්‍යවේදියෙක්‌ විදිහට කිව්වා පැති දෙකක්‌ තියෙන බව. ඔබ බිම් මට්‌ටමට බැහැලා ඇත්ත දැනගන්න එතකොට අති විශාල බහුතරයකගේ මතය තේරෙයි.

ප්‍රශ්නය - නමුත් මේ කාරණයේදී පාක්‍ෂිකයන් පවා දෙකඩ වී පක්‍ෂය තව තවත් අනාථ වේ යෑයි සිතන්නේ නැද්ද?

පිළිතුර - පාක්‍ෂිකයන් දෙකඩ වෙනවාය කියන්න, ඔබ සමීක්‍ෂණයක්‌ කරලා නෑනේ. ලැබෙන වැරැදි තොරතුරු මත පදනම් වෙලානේ ඔය කතා කරන්නේ. බිම් මට්‌ටමට බැහැලා ඇත්ත දැනගන්න.

මම මේ බය නැතිව කතාකරන්නේ ඇයි? පහුගිය මහ මැතිවරණයේදී එජාපය රැකගත්තේ මම විතරයි. රටේ හැම දිස්‌ත්‍රික්‌කයකමත්, ඔය ලොකු ලොකු නායකයෝ ඉන්නවාය කියන කොළඹත් ඇතුළුව එජාපය නාය ගියා. කොළඹ හිටපු එජාපයේ මන්ත්‍රී සංඛ්‍යාව වැටුණා. හම්බන්තොට හැර ලංකාවේ හැම තැනම වැටුණා. ජාත්‍යන්තර ගුවන් තොටුපළක්‌ හැදෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්‌ හැදෙන මහා විශාල ධනස්‌කන්ධයක්‌ වැය කර සංවර්ධනය කරන හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, 2004 දී අපිට ලැබුණු මන්ත්‍රී සංඛ්‍යාව මට රැකගන්න පුළුවන් වුණා. ජනාධිපති කෙනෙක්‌ හම්බන්තොට ඉන්නවා කියලා මම කවදාවත් ආසන මාරු කරන්න ගියේ නෑ. සමහර අය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ ආසනය මාරු කළේ හිටපු තැන වනසලා. එහෙම අය ද එජාපය හදන්න යන්නේ. මම පැහැදිලිව කියනවා ඔය කතාකරන්නේ එජාපයේ අය නොවෙයි, කාඩ්බෝඩ් වීරයෝ...

ප්‍රශ්නය - එජාප "ප්‍රතිසංවිධාන" කියන වචනය අපි අහන්නේ වසර ගණනාවක ඉඳලා. නමුත් පටන් ගත්ත තැන ඉඳලම පක්‍ෂයේම අය අවලාද කියනවා මිස එයින් පක්‍ෂයට සෙතක්‌ වූ බව අපි දැක්‌කේ නැහැ.

පිළිතුර - එය එසේ වන්නට හේතුව නිරන්තරයෙන්ම කඩාකප්පල්කාරීන්ගේ කුමන්ත්‍රණවලට හසුවීමයි.

ප්‍රශ්නය - නමුත් ඔබ කියන ආකාරයට එය සක්‍රීය ක්‍රියාවලියක්‌ නම් එවැනි බලපෑම් බිඳ දමන්න හැකියාවක්‌ නැහැ නේද?

පිළිතුර - ඔව්, නමුත් සියල්ල ක්‍රියාත්මක වෙන්නේ ඉහළ තැන්වලට ඔබින ආකාරයටනේ.

ප්‍රශ්නය - එහෙම නම් ඔය කියන "ඉහළ තැන්" බොහෝම ශක්‌තිමත්, පක්‍ෂයේ බහුතරයක්‌ ඒ අය සමග එකඟයි කියන කාරණයට ඔබ එකඟ නැද්ද?

පිළිතුර - නැහැ. ඒ කතාව වැරැදියි. කොහෙද පක්‍ෂයේ බහුතර මතය විමසන තැනක්‌ තියෙන්නේ.

ප්‍රශ්නය - කෘත්‍යාධිකාරී මණ්‌ඩලය විධායක කමිටු ඒවා තුළත් ඒ ගැන අදහස්‌ විමසන්න පුළුවන්.

පිළිතුර - කෘත්‍යාධිකාරී මණ්‌ඩලය ඉන්නෙ අනූවක්‌ පමණයි. පාක්‍ෂිකයෝ ඉන්නවා ලක්‍ෂ 60 කට අධික ප්‍රමාණයක්‌.

ඒ නිසයි මම කියන්නේ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, සමිති සමාගම්වල නිලධාරීන්ට ආසන සංවිධායකවරුන්ට පක්‍ෂයේ තීන්දු තීරණ ගැනීමේ ප්‍රවාහයට ප්‍රවේශ වෙන්න ඉඩ දෙන්න කියලා. ඇයි ඒක නවත්තන්නේ තහංචි දාන්නේ. ඇයි බය. ඒකනේ ගම් මට්‌ටම බිම් මට්‌ටම කියන වචනය හෑල්ලුවට ලක්‌කරන්න හදන්නේ. මේ අයට ගම් මට්‌ටම ගැන තේරෙන්නේ නැහැ. ඇඳුම් මාරු කර කර ඇස්‌ බැන්දුම් දේශපාලනය කරන්නේ. මූලධර්මවාදී න්‍යාය අනුගමනය කර කර අපේ පක්‍ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම විනාශ කරපු අය දැන් එනවා පක්‍ෂය හදන්න. නියම බඩුෘ

ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස මේ අර්බුදයේදී නම්‍යශීලී නොවන බවටත් චෝදනාවක්‌ තියෙනවා.

පිළිතුර - අතිමහත් බහුතරය නියෝජනය කරමින් අතිමහත් බහුතරයකගේ මතය මට පාවා දෙන්නට බැහැ. රට ජාතිය පාවා දෙන අය වෙනුවෙන් මට රටේ ජනතාව පාවා දෙන්න බැහැ. මම කොහොමද ඒක කරන්නේ. දශක එකහමාරක්‌, මැතිවරණ ගණනාවක්‌ පරාජය වූ අසාර්ථක ක්‍රියාවලියකට මම කොහොමද අත් උස්‌සන්නේ. හැබැයි එජාප පාක්‍ෂිකයන් කියනව නම් ප්‍රශ්න ඇතිකරගන්න එපා, ප්‍රතිසංවිධාන අවශ්‍ය නැහැ. හැමදාම විපක්‍ෂයේ ඉමු දිනන්න ඕන නෑ කියලා, මමත් කට වහගෙන ඉන්නම්. පාක්‍ෂිකයෝ එපා කියන දේ කියව කියවා ඉන්න මට මොලේ අමාරුවක්‌ නැහැෘ මන්ත්‍රීවරයෙක්‌ වශයෙන් අපිට ලැබෙන බොහෝ වරප්‍රසාද පාක්‍ෂිකයන්ට ලැබෙන්නේ නැහැනේ. ඒ අය ඉල්ලන්නේ යහපත් දේශයක්‌ කියන එක විතරයි. මම ඉන්නේ පාක්‍ෂිකයන්ගේ පැත්තේ...

ප්‍රශ්නය - "ග්‍රාම චාරිකා" කියන්නේ බිම් මට්‌ටම ශක්‌තිමත් කරන වැඩපිළිවෙළක්‌ නොවෙයිද? ඔබ "ග්‍රාම චාරිකා" වැඩසටහන ප්‍රතික්‍ෂේප කරනවා.

පිළිතුර - ග්‍රාම චාරිකා කියන වැඩසටහන ක්‍රියාත්මක කරන කමිටුවේ මම සාමාජිකයෙක්‌.

ප්‍රශ්නය - ඒත් ඔබ ඊට ක්‍රියාකාරීව දායක වන බවක්‌ පේන්න නෑ එය විවේචනය කරනවා.

පිළිතුර - නෑ. ඒ කතාව වැරැදියි. හිතාමතාම ඒ වැඩසටහනේ මාව කොන් කරනවා. නමුත් මම එහෙම ලේසියෙන් කොන් කරන්න පුළුවන් චරිතයක්‌ නෙවෙයි. මමත් ගම්වලට ගිහින් එජාපය ශක්‌තිමත් කරන වැඩපිළිවෙළක්‌ කරනවා.

ප්‍රශ්නය - නමුත් ඒක "එකට එක" කිරීමක්‌ වෙනවානම් එහි ප්‍රතිඵලය අර්ථයක්‌ නැති එකක්‌ වෙනවා.

පිළිතුර - නෑෘ නෑෘ ඒක එකට එක කිරීමක්‌ නෙවෙයි. වැරැදි අර්ථ සපයන්න එපාෘ ඒක "වෙනම චාරිකාවක්‌" නෙවෙයි, මම 1994 ඉඳලා කරන වැඩසටහනක්‌. මාධ්‍ය තොරතුරු මවාගෙන ඉන්නවා තවත් මොකක්‌දෝ චාරිකාවක්‌ ගැන. අනික්‌ අය එජාපයට ඇවිත් පොතපත හදාරලා 2010 වෙනකල් හිටියා චාරිකා යන්න. මම ආපහු කියනවා මම, ඒක පටන්ගත්තේ 1994 දී. මම දේශපාලනයට ප්‍රවේශ වුණු මොහොතේ සිට එය කරනවා. ඒ අත්දැකීම් වලිනුයි මම බිම් මට්‌ටම ගැන කතා කරන්නේ..

ප්‍රශ්නය - නමුත් ඔබ සංවිධායකවරු පවා පත්කරමින් ඒ ක්‍රියාවලියට එළැඹ ඇති බවයි වාර්තා වන්නේ

පිළිතුර - සම්පූර්ණ වැරැදි තොරතුරක්‌ කොහොමද මම සංවිධායකවරු පත් කරන්නේ...

ප්‍රශ්නය - එතකොට හොරණ පී. ඩී. අබේරත්න සංවිධායකවරයකු වශයෙන් පත් කළ කාරණය ගැන මොකද කියන්න තියෙන්නේ.

පිළිතුර - මගේ තාත්තා හදලා තියෙනවා උදාගම්මාන මේ රටේ හැම තැනකම. මම පසුගිය 28 වැනිදා හොරණ ආසනයේ උදාගම්මාන තුනකට යනවා එතුමත් එක්‌ක මොකක්‌ද ඒකේ තියෙන වරද? ඒ විතරක්‌ නෙවෙයි ඒ උදාගම්මාන දෙකකට ආසන්නව තිබෙන පන්සල් දෙකකට "සසුනට අරුණ" වැඩසටහන යටතේ උදව් කරනවා. ඒක වැරැද්දක්‌ද?

මොකක්‌ද මේ හොරණ තියෙන ප්‍රශ්නය, මම පසුගියදා කුරුණෑගලටත් ගියා, පන්සල් කිහිපයකට උදව් කරන්න... එදා උදේ වරුවේ මම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලා මුණගැහෙනවා කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ. ඒකේ වරද මොකක්‌ද?

මේ මෑතකදී මම ගියා ඉන්දියාවේ චාරිකාවකට. මම එහේ ගිහින් කිව්වේ ලංකාවට ආධාර කරන්න කියලා. මටත් උදව් කරන්න කිව්වා. මම පිටරට ගිහිල්ලා ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින් රටට ගරහලා, රටේ ජනතාවට ආධාර දෙන්න එපා ඒවා කපා දමන්න කියලා මේ රටේ පරිහානිය වෙනුවෙන් කතා කරලා නැහැ.

ප්‍රශ්නය - ඒත් ඔබ එජාපයේ සාමූහික ක්‍රියාවලිය මඟහැර සිටින බවක්‌ පේන්නේ. චෝදනාවක්‌ තියෙනවා රජයට එරෙහි විවේචන වලින් ඔබ මඟහැර සිටින බවට.

පිළිතුර - මම අහන්නේ ඔබ හෝ මේ රටේ අනෙකුත් මාධ්‍යවේදීන් තොරතුරු හොයන්නේ නැද්ද... පත්තර, රූපවාහිනි බලන්නේ නැද්ද?

මේ රටේ ඉන්නේ මෝඩ ජනතාවක්‌ නොවෙයි. ඒ ජනතාව දන්නවා විවේචනය කළ යුතු තැන මම විවේචනය කරනවා. හොඳ කියන්න ඕන තැන හොඳත් කියනවා. නිකං බොරුවට පැය විසිහතරම විවේචනය කරන සෝබන වැඩ මගේ ළඟ නැහැ.

ප්‍රශ්නය - මේ වන විට එජාප නායකත්වය ගැන එල්ලවෙන විවිධ චෝදනා බොහෝ විට දීර්ඝ කාලයක්‌ විපක්‍ෂයේ සිටින විට නායකත්වයට එල්ලවීම ස්‌වාභාවික කාරණයක්‌. සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියට පවා එවැනි චෝදනා එල්ල වුණා.

පිළිතුර - ඒ චෝදනා නිශේධ වෙනවා මැතිවරණ දිනනකොට.

ප්‍රශ්නය - මැතිවරණ දිනුවේ චJද්‍රිකා බණ්‌ඩාරනායක සටනට බැසීමත් එක්‌කයි.

පිළිතුර - ඒක තමයි මම කියන්නේ අලුත් පුද්ගලයෙක්‌නේ. නවතාවකින් පක්‍ෂය ඉදිරියට ගෙන යන්න ඇයට හැකියාව ලැබුණා. සිරිමාවෝ මැතිනිය ජනතාව අතර නොපිළිගැනෙන චරිතයක්‌ බවට පත් වුණා. ඇයගේ ජනප්‍රියත්වය අඩු වුණා. අලුත් කෙනෙක්‌ හැටියට චJද්‍රිකා පක්‍ෂය ඉදිරියට ගෙන ගියා.

ප්‍රශ්නය - නමුත් පක්‍ෂ නායකත්වය තිබුණේ සිරිමාවෝ මැතිනියට ඇය පක්‍ෂය මෙහෙයවුවා.

පිළිතුර - නාමිකව තිබ්බා. පස්‌සේ ඡන්දේ තිබ්බා. පස්‌සේ ඒක වෙනස්‌ වුණානේ.

ප්‍රශ්නය - එතකොට එජාපයේ මේ අර්බුදයට විසඳුම කොතනද?

පිළිතුර - මම අර්බුදයක්‌ හැටියට දකින්නේ නෑ. මම දකින්නේ පක්‍ෂයට සෞඛය සම්පන්න සංවාදයක්‌ හැටියටයි. මෙතන තියෙන්නේ කොටින්ට ගැති රටට හිතැති අය අතර ප්‍රශ්නයක්‌.

ප්‍රශ්නය - වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳ ඔබේ විග්‍රහය මොකක්‌ද?

පිළිතුර - විපක්‍ෂය දුර්වල කරමින්, විරුද්ධ මතධාරීන් මර්දනය කරමින්, පැහැදිලිව ආඥදායක යුගයකයි අපි ජීවත් වෙන්නේ. ඒකාධිපති යුගයකයි. ඒවාට මුහුණ දෙන්නට නම් විපක්‍ෂයක්‌ හැටියට ශක්‌තිමත් විය යුතුයි.

පාරවල කෑකෝ ගහලා මේක විසඳන්න බැහැ. තරුණ විරැකියා ප්‍රශ්නය විශාල අර්බුදයක්‌ බවට පත්වෙලා. සුදුසුකම් තියෙන අයට අද රැකියා නැහැ. තරමක්‌ දුරට අධ්‍යාපනය හදාරපු අය මොකද කරන්නේ. කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩාවැටිලා. ඇඟලුම් ක්‍ෂේත්‍රය සම්පූර්ණයෙන් විනාශ වී වඳ වී යන යුගයකට ඇවිල්ලා. බඩු මිල අහස උසට ගිහින්. ඊට සාපේක්‍ෂාව වැටුප් තල ඉහළට ගිහින් නැහැ. මිනිස්‌සු කොහොමද ජීවත් වෙන්නේ. ජාතික ආදායමෙන් වැඩි කොටසක්‌ වෙන් වෙන්නේ ඇති හැකි පංතියට. නැති බැරි ග්‍රාමීය නාගරික මධ්‍යම පාංතික ජනතාවට ලැබෙන්නෙ ඕන ආර්ථික සමාජයීය වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. අධ්‍යාපන ක්‍ෂේත්‍රය කඩා වැටිලා. තව දුරටත් අපි මේ සියල්ල බලා සිටිය යුතුද? ඒ නිසයි මම කියන්නේ බිම් මට්‌ටම ශක්‌තිමත් කරගෙන පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කර එජාපය ශක්‌තිමත් විපක්‍ෂයක්‌ ලෙස නැඟී සිටිය යුතුයි. හොරකම වංචාව දූෂණය තුරන් කළ යුතුයි කියලා.

සාකච්ඡා කළේ
උදේශ සංජීව ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.