මං දිව්රුම් නොදුන්නොත් මොකද වෙන්නේ
කියලා ව්‍යවස්‌ථාවේ නෑ!

කොළඹ දිස්‌ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුනආරච්චි

පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරයා විසින් මැතිවරණ මහ කොමසාරිස්‌වරයා වෙත සරත් ෙµdන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩුවී ඇති බවට දැනුම්දීමත් සමග දේශපාලනය පිළිබඳව උනන්දුව දක්‌වන සියළු දෙනාගේ අවධානය ඒ පිළිබඳව යොමුවි ඇත. පුරප්පාඩුවී ඇති මන්ත්‍රී මන්ත්‍රී ධුරය සඳහා මීළඟට හිමිකරුවා වී තිබෙන්නේ කොළඹ දිස්‌ත්‍රික්‌ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතායි. නමුත් මේ මොහොත දක්‌වා ඔහු මන්ත්‍රී ධුරය සඳහා දිවුරුම් දීමට ඉදිරිපත්වී නොහැති අතර මේ ඒ පිලිබඳව ලක්‍ෂ්මන් නිපුණආරච්චි මහතාගෙන් අප කළ විමසුමට ඒ මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය (- යුද අධිකරණය මගින් ලබාදුන් තීන්දුවත් සමග හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවූ බව මේ වන විට දැනුම්දී තිබෙනවා. ඊළඟට ලැයිස්‌තුවේ ඔබගේ නම සඳහන්වී තිබෙනවා. නමුත් මේ දක්‌වා ඔබ මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීමට කටයුතු කර නැහැ. මේ සඳහා බලපෑ හේතු මොනවාදැයි ප්‍රකාශ කළොත්?

පිළිතුර (- ජනතා විමුක්‌ති පෙරමුණ ලෙස අපි එක ස්‌ථාවරයක සිටිනවා. ඒ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධව ආණ්‌ඩුව ගත් ක්‍රියාමාර්ග පිළිගන්නේ නැහැ කියන ස්‌ථාවරයයි. අපි විශ්වාස කරන්නේ ෆොන්සේකා මහතා සමග තියෙන පළිගැනීමේ ෙච්තනාවකින් ආණ්‌ඩුව මුල සිටම ඒ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා කියලයි. ඒ නිසා යුද අධිකරණයකින් ලබාදුන් ඒ තීන්දුව අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ. ඒ වගේම ඒ තීන්දුව හරහා සරත් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමත් අපි පිළිගන්නේ නැහැ. එතකොට මේ ෆොන්සේකා මහතා සම්බන්ධව ගත් තීන්දු තීරණ සම්බන්ධව කටයුතු කළ ඒ සමස්‌තයටම අපි විරුද්ධයි. එවැනි විරුද්ධත්වයක්‌ යටතේ තමයි අපි ප්‍රතිපත්තිම ය තීරණයකට යන්නේ. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාප ගත් සරත් ෆොන්සේකා මහතාටයි මන්ත්‍රීධුරය හිමි. ඒ නිසා ඔහුගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීම නිත්‍යානුකූල නැහැ. ඒ නිසා ආණ්‌ඩුව විසින් පොළඹවා ගත් මේ තීන්දුවලට අපි එකඟතාවක්‌ නැති නිසා මේ මන්ත්‍රී ධුරයේ ඊළඟට හිමිකාරත්වය හිමි මගේ දිවුරුම්දීම මම කරන්නේ නැහැ.

ප්‍රශ්නය (- මෙම මන්ත්‍රීධුරය අහෝසි කිරීමෙන් සුළු කාලයකට පසුව තමයි ජනතා විමුක්‌ති පෙරමුණ කිව්වේ මේ මන්ත්‍රීධුරය භාරගන්නේ නැහැ කියලා. මේ අනුව ජනතා විමුක්‌ති පෙරමුණ විසින් ෆොන්සේකා මහතාගේ මන්ත්‍රීධුරය ලබා ගැනීමට සූදානම්වී සිටිය බවත් පසුව ඇතිවූ විරෝධය නිසා මෙය ලබා නොගන්නා බවත් කෙනෙකුට කියන්න පුළුවන් නේද?

පිළිතුර (- මමත් මගේ පක්‍ෂයත් මේ සම්බන්ධව දිගින් දිගටම මාධ්‍ය හරහා කරුණු විමසීම් කරන විට අපි කිව්වේ පක්‍ෂයක්‌ ලෙස තාම මේ සම්බන්ධව තීන්දුවක්‌ අරගෙන නැහැ කියලයි. දැනට මේ ආකාරයට මගේ නම ගැසට්‌ කරන්න යවා තිබෙනවා, ඊට පස්‌සේ ඒ සම්බන්ධව මගෙන් මාධ්‍ය ප්‍රශ්න කළා, මම කිව්වේ අපි මේ මන්ත්‍රී ධුරය ගන්නවද නැද්ද කියන එක තාම තීරණය කර නැහැ කියලා. ඊට පස්‌සේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් මට ලියුමක්‌ එව්වා පසුගිය 19, 20, 21 දවස්‌ තුන ඇතුළත මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීම සඳහා දිනයක්‌ දන්වන්න කියලා. ඉන් පසුවයි පක්‍ෂය ලෙස අපි සාකච්ඡා කළේ මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග ගැන. ඊට පසුවයි පක්‍ෂය තීන්දු කළේ මේ මන්ත්‍රී ධුරය අපි පිළිගන්නේ නැහැ, එහි දිවුරුම්දීම කරන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය (- ඔබ සඳහන් කළා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ඔබ වෙත ලිපියක්‌ යොමු කරන තුරු ඒ පිළිබඳව තීරණයක්‌ ගෙන නොතිබූ බව. ඒකෙන් අදහස්‌ වෙනවා නේද මේ මන්ත්‍රී ධුරය ලබා ගන්න යම්කිසි කැමැත්තකින් සිටි බවත් පසුව ජනතා විමුක්‌ති පෙරමුණට එල්ලවූ චෝදනා නිසා එය ලබා නොගත්ත බවත්?

පිළිතුර (- අපිට කාගෙන්වත් චෝදනාවක්‌ ආවේ නැහැ.

ප්‍රශ්නය (- ඔබ එසේ සඳහන් කළත් සරත් ෆොන්සේකා මහතාට හිමි මන්ත්‍රී ධුරය ජ.වි.පෙ. විසින් ලබා ගැනීමේ සූදානමක්‌ පවතින බවට චෝදනා එල්ල වූවා?

පිළිතුර (- විවිධ තාලේ සාකච්ඡා ගියා. මට මතකයි එක රූපවාහිනි නාළිකාව වැඩසටහනක මේ පිළිබඳව සාකච්ඡාවක්‌ පැවැත්වුණා. නමුත් මේ සම්බන්ධයෙන් මගෙන් විමසීමක්‌ කළේ නැහැ. නමුත් ඒ වැඩසටහන ඇතුළේ විවිධ අයගේ අදහස්‌ විමසීමක්‌ කළා. එතකොට අපි ස්‌ථාවරයකට ගිහින් සිටියේ නැහැ. එතකොට අපි හිටියේ ෆොන්සේකා මහතා බේරා ගැනීමේ අරගලයේ. අදටත් එහෙමයි ඉන්නේ. ඒ අරගලයේ නියෑළෙමින් සිටින අතරතුර තමයි ඔය ක්‍රියාවලිය සිදුවුණේ. ඒ නිසා අපි කාගෙවත් බලපෑමකට නොවෙයි මේ තීන්දුවට යන්නේ.

ප්‍රශ්නය (- ඔබට මෙම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමට නිශ්චිත කාලයක්‌ තිබෙනවාද? ඒ කාලය තුළ ඔබ දිවුරුම් නොදුන්නොත් ඔබෙන් පසුව වැඩිම මනාප ගත් පුද්ගලයාට මන්ත්‍රී ධුරය හිමිවීමට අවස්‌ථාවක්‌ තියෙනවද? කොපමණ කාලයක්‌ මේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් නොදී ඉන්න පුළුවන්ද?

පිළිතුර (- ව්‍යවස්‌ථාවට අනුව මෙවැනි තත්ත්වයක්‌ ඇතිවීමකින් පසුව ගන්න තීරණය සම්බන්ධයෙන් ව්‍යවස්‌ථාවේ සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ මේක අලුත් තත්ත්වයක්‌. ලංකා ඉතිහාසයේ මීට පෙර මෙවැනි තත්ත්වයක්‌ ඇතිවෙලා නැහැ. ඒ නිසා ව්‍යවස්‌ථාව දිහා බැලීමෙන් පසුව පේනවා මින්පසු ගන්නා ක්‍රියාමාර්ගවලට යැමට නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ශේ්‍රෂ්ඨාධිකරණයෙන් විමසීමක්‌ කළ යුතු වෙනවා ඉදිරියට කළ යුතු දේ පිළිබඳව. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණය මේ සම්බන්ධයෙන් මොන වගේ අර්ථකථනයක්‌ දෙයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්න ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයටත් කියන්න වෙනවා මෙවැනි අවස්‌ථාවක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයකට යන්න කියලා. එහෙම නැත්නම් මේ පුටුව හිස්‌ව තියේවි. අපි කියන්නෙත් ඒකයි. දේශපාලන පළිගැනීමක්‌ කර ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය ආණ්‌ඩුව අහිමි කර තිබෙනවා. ඒ නිසා ජනතාවට කරන හොඳම සාධාරණය තමයි මේ මන්ත්‍රී ධුරය හිස්‌ව තියන එක. ඒ නිසා අපි ගත් මේ ක්‍රියාමාර්ගය හරියට හරි කියලයි අපි හිතන්නේ.

ප්‍රශ්නය (- ඔබෙන් පසුව වැඩිම මනාප තිබෙන කෙනාට දිවුරුම් දෙන්න කියලා ඉල්ලීම් කළොත්?

පිළිතුර (- මෙහෙමයි ව්‍යවස්‌ථාවට අනුව තව කෙනෙකුට දිවුරුම් දෙන්න කියන්න බැහැ. අපි හිතමු කොහොම හරි ශ්‍රේෂ්ඨාධිකරණ එවැනි තීරණයකට එනවා කියලා. එතකොට ඊළඟට සිටින වැඩිම මනාප ගත් පුද්ගලයාට දිවුරුම් දෙන්න කිව්වත් අපේ ස්‌ථාවරය වෙනස්‌ වෙන්නේ නැහැ. අපි විශ්වාස කරනවා කවුරු හරි කෙනෙක්‌ ඒ මන්ත්‍රී ධුරය ගන්නවා නම් ලඡ්ජාවිය යුතුයි. කිසිම කෙනෙකුට ඔය මන්ත්‍රී ධුරයට යන්න බැහැ. ගිහින් ඒක බාරගන්නත් බෑ. භාරගත්තොත් ඔහුට සිදු වෙනවා ෆොන්සේකා මහතා සම්බන්ධව ආණ්‌ඩුව ගත් මේ ක්‍රියාමාර්ග සියල්ලටම එකඟ වෙන්න. මොකද අපි මේ මන්ත්‍රී ධුරය ප්‍රතික්‍ෂේප කරන්නේ ආණ්‌ඩුව කළ දෙය වැරදියි කියල නම් එතකොට ඊළඟට යන කෙනා ඒ ස්‌ථාවරයේ නැතුව තමයි මන්ත්‍රී ධුරය ගන්න වෙන්නේ. වෙනත් කෙනෙක්‌ ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධව අපිට කියන්න බැහැ. අපේ ස්‌ථාවරයයි මම කිව්වේ.

ප්‍රශ්නය (- අනෝමා ෆොන්සේකා මහත්මිය මේ මන්ත්‍රී ධුරයට පත්කරන බවට සාකච්ඡා පැවැත්වූ බවත් වාර්තා වුණා නේද?

පිළිතුර (- එහෙම සාකච්ඡාවක්‌ තිබුණද නැද්ද කියල මම දන්නේ නැහැ. ඒ වගේම පවතින යථාර්ථය තුළ එහෙම දෙයක්‌ වෙන්නෙත් නැහැ. අනෝමා ෆොන්සේකා මහත්මිය පත්වෙනවා නම් මේ ලයිස්‌තුවේ සිටින සියලුම දෙනා ඉල්ලා අස්‌විය යුතුයි. ඉල්ලා අස්‌වෙන්න නම් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දිය යුතුයි. මගෙ තැනින්ම පටන් ගමු. මම මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීල නැහැ. එතකොට ඉල්ලා අස්‌වීමක්‌ සිදු වෙන්නේ නැහැ.







මං දිව්රුම් නොදුන්නොත්







අපි හිතමු කොහොමින් හරි ඊළඟ කෙනා කොහොම හරි පත්කරගෙන ඒ හරහා ඉල්ලා අස්‌ නොවුණොත් ඔය කියන දෙය සිදුවන්නේ නැහැ. අපිට අපි විශ්වාසයි. නමුත් මේ මන්ත්‍රීධුර සඳහා තියෙන පෙරේතකම් දිහා බැලුවහම, මන්ත්‍රීකම් සඳහා කෙරෙන පාවාදීම් බැලුවහම එහෙම දෙයක්‌ වෙයි කියල හිතන්න බැහැ. සාමාන්‍යයෙන් ජීවිතයේ අපි දැක තිබෙන උදාහරණත් සමග එහෙම දෙයක්‌ වෙයි කියල විශ්වාස කරන්න බැහැ.

ප්‍රශ්නය (- "94 වර්ෂයේදී ගලප්පත්ති මහතා පත් කරන්න සියලු දෙනාම ඉල්ලා අස්‌ වුණා. ඒ වගේ ක්‍රියාමාර්ගයකට යන්න මෙම ලැයිස්‌තුවේ සිටින අය විශ්වාස නැහැ කියලයි ඔබ කියන්නේ?

පිළිතුර (- ඔව්. ජනතා විමුක්‌ති පෙරමුණ නොවෙයිනේ ඡන්දය ඉල්ලුවේ. එතකොට මේ සියලු දෙනා ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ. විශ්වාස නැහැ කියන්නේ දැනටමත් අපිට උදාහරණ තියෙනවා මේ සම්බන්ධයෙන්. මේ ලැයිස්‌තුවේ සිටින එක්‌ අයෙක්‌ මේ.මොහොතේ ආණ්‌ඩුවත් සමගයි සිටින්නේ. එයා කිසිසේත් මන්ත්‍රී ධුරයේ දිවුරුම්දී ෆොන්සේකා මහත්මියට පාර්ලිමේන්තුවට එන්න ඉල්ලා අස්‌වෙයිද? ඒක යථාර්ථයක්‌ නෙවෙයිනේ. ඒකයි මම කියන්නේ. එහෙම දෙයක්‌ කරන්න ඉඩක්‌ නැහැ.

ප්‍රශ්නය (- ඒ කියන්නේ යම් කිසි ආකාරයකින් මේ සියලු දෙනා ඉල්ලා අස්‌වුවහොත් අනෝමා ෆොන්සේකා මහත්මියට පාර්ලිමේන්තුවට එන්න අවස්‌ථාව දෙන්න ඔබ සූදානම්ද?

පිළිතුර (- අපේ තීන්දුව අපි අරගෙන තියෙන්නේ මන්ත්‍රී ධුරය ගන්නේ නැහැ කියලයි. එතන සිට තමයි අපි කටයුතු කරන්නේ. ඉදිරියේදී නීතිය ඉදිරියේ මේ පිළිබඳව යම්කිසි දෙයක්‌ අර්ථ නිරූපණය වෙලා ඉන් පසු ක්‍රියාමාර්ගයකට යන්න වෙනව නම් එතැනදී නැවතත් අපිට තීන්දුවක්‌ ගන්න වෙනවනේ. මේ තියෙන යථාර්ථය තුළ තමයි අපි මේ තීන්දුවේ ඉන්නේ. එතකොට ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් හෝ මේ තත්ත්වය වෙනස්‌ වුණොත් අන්න එතැනදී පක්‍ෂය හැටියට අපි නැවත කල්පනා කර තීන්දුවක්‌ ගන්නවා අවශ්‍ය ක්‍රියාමාර්ගවලට යනවා. මේ මොහොතේ ඒක මට කියන්න බැහැ.

ප්‍රශ්නය (- මේ මොහොත වන විට ෆොන්සේකා මහතා නිදහස්‌ කර ගන්නත් මන්ත්‍රී ධුරය ඔහුටම හිමිකර දෙන්නත් සිදුවෙමින් තිබෙන ක්‍රියාදාමය කුමක්‌දැයි පැහැදිලි කළොත්?

පිළිතුර (- මේ වන විට අපි අභියාචනාධිකරණයේ නඩු පවරා තිබෙනවා මේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම නිත්‍යානුකූල නැහැ කියලා. මේ වන විට ඒ සම්බන්ධ පෙත්සම විභාග වෙමින් පවතිනවා. එතැනදී නැවත වරක්‌ සරත් ෆොන්සේකා මහතාට මේ මන්ත්‍රී ධුරය ලබාදීම සඳහා අවශ්‍ය ඉඩකඩක්‌ විවෘත කර තිබෙනවා අපි ගත් මේ තීන්දුවත් එක්‌ක. බැරිවෙලාවත් මම දිවුරුම් දුන්න නම් අභියාචනාධිකරණයෙන් සරත් ෆොන්සේකා මහතාට මේ මන්ත්‍රී ධුරය ලබාදිය යුතු යෑයි තීන්දුවක්‌ ආවොත් ප්‍රශ්නයක්‌ මතුවෙනවා. එතකොට කොහොමද ඒ මන්ත්‍රී ධුරය ලබාදෙන්නේ කියන ප්‍රශ්නය මතුවෙනවා. නමුත් අපි ගත් ක්‍රියාමාර්ගය නිසා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්නේ නැති නිසා අභියාචනාධිකරණය තීන්දු කළොත් ෆොන්සේකා මහතාට මේ මන්ත්‍රී ධුරය හිමියි කියල ඔහුට දිවුරුම් දෙන්න අවස්‌ථාව තියෙනවා. ඒ නිසා අපි ගත් තීන්දුව විවෘත එකක්‌. අභියාචනාධිකරණයෙන් එන තීන්දුවකට අනුව පාර්ලිමේන්තුවේ ෆොන්සේකා මහතාට නැවත වරක්‌ දිවුරුම් දෙන්න අවශ්‍ය ඉඩකඩ සැලසිලා තියෙන්නේ අපි ගත් මේ තීන්දුව නිසයි.

ප්‍රශ්නය (- පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට එරෙහිව මේ මොහොත වන විට ජ.වි.පෙ. සහ ඊට අනුබද්ධ සංවිධාන විශාල විරෝධතා ව්‍යාපාරයක්‌ ආරම්භ කර තිබෙනවා. නමුත් මේ මොහොත වන විට සිදුවෙමින් පවතින විශ්වවිද්‍යාලවල අධ්‍යාපන මාධ්‍ය ඉංග්‍රීසියට හැරවීම පිළිබඳව ඔබගේ පක්‍ෂය කිසිදු විරෝධයක්‌ දක්‌වන්නේ නැහැ. සිංහල භාෂාවට තිබූ තැන ආහෝසි කර එම තැන ඉංග්‍රීසියට ලබාදීම පිළිබඳව ජ.වි.පෙ. කිසිදු විරෝධයක්‌ නොදක්‌වන්නේ ඔබගේ පජෂය එම ප්‍රතිපත්තියට එකඟ නිසාද?

පිළිතුර :- නෑ. අපි ඔය සම්බන්ධව මීට පෙර පාර්ලිමේන්තුවේදීත් විශ්වවිද්‍යාල තුළත්, පාසල් අධ්‍යාපනය තුළත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කටයුතු කරන්න ආරම්භ කිරීම සම්බන්ධව අපි අපේ හඬ අරගෙන ගිහින් තියෙනවා. ඒවගේම තමයි අදත් අපි ඒ සම්බන්ධව කටයුතු කරනවා. පක්‍ෂයේ මේ මාතෘකාව ඔස්‌සේ මේක කතා කරන්න පුළුවන් මාධ්‍යයන් හරහා අපි මේ සම්බන්ධව කතා කරනවා.

ප්‍රශ්නය :- ඔබ එලෙස සඳහන් කළත් වෙනත් කරුණු සඳහා ජ.වි.පෙ. පෝස්‌ටර් ගැසීම, උද්ඝෝෂණ පැවැත්වීම වැනි කටයුතු සිදුකරන අයුරු අප දකිනවා. නමුත් සිංහල භාෂාවට හිමි තැන ආරක්‍ෂා කර ගැනීම සඳහා එබඳු කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගන්නා අයුරු අප දැක නැහැ.

පිළිතුර :- මේ මොහොත වන විට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව තිබෙන ගැටලු ඇතුළු රටේ ආර්ථිකයට සම්බන්ධ ප්‍රශ්න සියල්ලම නියෝජනය කරමිනුයි අපි දේශපාලනය කරන්නේ. එතකොට මේ එකක්‌වත් වෙන් වෙන්ව ගන්න බැහැ. මේ රටේ සමස්‌ත ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට වර්තමාන පාලනය අසමත් වෙලා තිබෙනවා. එතකොට ඒ ප්‍රතිඵල මත තමයි මේ විවිධ දේවල් මතු වෙන්නේ. ඒ නිසා සමස්‌තයක්‌ ලෙස කල්පනා කරලයි අපි දේශපාලනය කරන්නේ. රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් තියෙන ගැටලු සම්බන්ධව අපි ක්‍රියාකාරී වෙනවා.

නමුත් ඔබට එහෙම අදහසක්‌ මතුවී තිබෙන බව පෙනෙනවා නම් යම් අඩුවක්‌ තිබෙනවා නම් ඒ පිළිබඳව පක්‍ෂයට දැනුම් දෙන්න අපට පුළුවන්. නමුත් මේ එකක්‌වත් අපි අත්හැරල නැහැ.

සාකච්ඡා කළේ එරික්‌ ගාමිණී ජිනප්‍රිය
ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.