විද්වත් හමුව
නව මැතිවරණ සංශෝධන තුළින් ගමෙන්
ජාතික නායකයන් බිහිවේවි

මහාචාර්ය සුදන්ත ලියනගේ

වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම මූලික කොටගත් පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම්වලට අදාළ නව සංශෝධිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

එම නව සංශෝධන පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර
විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය
සුදන්ත ලියනගේ සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ
සාකච්ඡාවකි මේ.

පසුගිය වසර ගණනාවක්‌ තුළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ප්‍රධාන සම්පත් දායකයකු ලෙස කටයුතු කළ මහාචාර්ය සුදන්ත ලියනගේ මැතිවරණ ක්‍රම පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.

පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම් සඳහා වන නව සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

අපේ රටේ ඡන්ද ක්‍රමය වෙනස්‌විය යුතුය කියල පොදු මතයක්‌ තිබුණ. එය කෙසේ විය යුතුද යන්න සෙවීම සඳහා 2003 වසරදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්‌ පත්කළා. පාර්ලිමේන්තුව තුළ වගේම අපේ රටේ විවිධ ආයතන තුළත් මේ ඡන්ද ක්‍රමය කෙසේ වෙනස්‌ විය යුතුද යන්න පිළිබඳ කතිකාවක්‌ ගොඩනැගුණ. මේ කතිකාව හරහා ගොඩනැඟුණ එකඟතාවන් මත 2007 දී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. කවුරුත් එය සැලකුවේ ඉතාමත් හොඳ වාර්තාවක්‌ විදිහටයි. වර්තමාන ඡන්ද ක්‍රමය නිසා උද්ගතවී තිබෙන බොහොමයක්‌ ප්‍රශ්නවලට එයින් විසඳුම් ලබාදී තිබෙනවා.

එහි අතුරු වාර්තාවෙන් සාකච්ඡා කර තිබෙන්නේ මැතිවරණ ක්‍රමයේ සිදුවිය යුතු ප්‍රධාන වෙනස්‌කම් සම්බන්ධවයි. එහි දී පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණ සහ පළාත් පාලන මැතිවරණ ගැන වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කරනවා.

මේ අතුරු වාර්තාවෙන් සරල බහුතර ඡන්ද කොට්‌ඨාස ක්‍රමය සහ සමානුපාත නියෝජන ක්‍රමයේ මිශ්‍රණයක්‌ ලෙස නව ඡන්ද ක්‍රමයක්‌ යෝජනාකර තිබෙනවා. මෙය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?

මෙය පැහැදිලිව ශ්‍රී ලාංකේය මොඩලයක්‌. කිසිම රටක මෙවැනි ක්‍රමයක්‌ ක්‍රියාත්මක වන්නේ නැහැ. ජයග්‍රාහකයාට පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ යම් ප්‍රතිශතයක මන්ත්‍රීවරු පිරිසක්‌ සිටිනව. ඉතිරි කොටස තිබෙන්නේ තරගයට ඉදිරිපත් වෙලා තේරී පත්නොවුණු අපේක්‍ෂකයන් සඳහායි. මේ ක්‍රමයේ සුවිශේෂත්වය එයයි. එනම් ජයග්‍රාහක කොටසට යම් මන්ත්‍රී ප්‍රතිශතයක්‌ වගේම පරාජිත කොටසටත් යම් මන්ත්‍රී ප්‍රතිශතයක්‌ හිමිවෙනවා.

මනාප ක්‍රමය නිසා අද මතුවී තිබෙන අර්බුදය කොහොමද මේ ක්‍රමයෙන් අවමකර ගන්නෙ?

මිශ්‍ර ක්‍රමයක අවශ්‍යතාව තිබෙන්නේ මේ කාරණය සම්බන්ධයෙනුයි. මේ නව ඡන්ද ක්‍රමයේදී ඡන්ද දායකයන් විශාල ප්‍රමාණයක්‌ සිටින කොට්‌ඨාසවලට යෝජනා කරන්නේ කේවල මැතිවරණ ක්‍රමයයි. එතනදී මැතිවරණයට අපේක්‌ෂකයන් කීප දෙනෙක්‌ ඉදිරිපත්වෙලා වැඩිම ඡන්ද ප්‍රතිශතයක්‌ ලබා ගන්නා අපේක්‍ෂකයා ජයග්‍රහණය කරනවා. පළාත් පාලන ආයතනයක කොට්‌ඨාස කීපයක්‌ තිබෙනවා. ඒ හැම කොට්‌ඨාසයක්‌ම භූගෝලීය වශයෙන් වෙන්වෙලා තියෙන්නෙ. ඒ හැම භූගෝලීය කොට්‌ඨාසයකටම අනිවාර්යයෙන් ජනතාව විසින් තෝරා පත්කරගත් වැඩි ඡන්දයෙන් දිනපු පුද්ගලයෙක්‌ මන්ත්‍රීවරයා විදිහට තේරී පත්වෙනව. එම නිසා මේ ක්‍රමයේදී මන්ත්‍රීවරයාට වැඩි වටිනාකමක්‌ ලැබෙනවා. ඔහු අනිවාර්යයෙන්ම ඒ කොට්‌ඨාසය තුළම ජීවත්වන පුද්ගලයෙක්‌. කොට්‌ඨාසය තුළ සිටින පුද්ගලයෙක්‌ ඒ කොට්‌ඨාසයේ මන්ත්‍රීවරයා වීම එම ප්‍රදේශයේ දියුණුවට විශාල රුකුලක්‌.

මනාප ක්‍රමය කියන්නෙත් ලෝකයේ පිළිගත්ත ඡන්ද ක්‍රමයක්‌. ඒකෙදීත් ඡන්දදායකයා විසිනුයි මන්ත්‍රීවරයා පත්කරන්නේ. අපේ රටේ තිබෙන්නෙ එය භාවිත වන ක්‍රමයේ වැරැද්දක්‌. කෙසේ වෙතත් මේ නව ක්‍රමය නිසා මනාප පොරය ඉවත් වෙනවා.

මේ ක්‍රමයේ දී සියයට පනහක්‌ ඡන්ද ගන්න ඕන නැහැ. අපේක්‍ෂකයන් රාශියක්‌ සිටිනවිට සියයට දහයට පහලොවටත් මන්ත්‍රීවරුන් තේරෙන්න පුළුවන්. එවිට වැඩිදෙනා අකැමැති අයත් තේරී සිටිනවා යෑයි යමෙකුට කියන්නත් පුළුවන්. නමුත් වැඩි ඡන්දයකින් ඉහළට ප්‍රතිශතය ගන්න පුද්ගලයන් තේරෙනවා.

මෙම කොට්‌ඨාස ක්‍රමය නැවත ස්‌ථාපිත කිරීමේ ක්‍රියාවලිය ජනතාවට හිතවාදී ක්‍රමයක්‌ විය හැකියි. මේ ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණයක දී දිනන කණ්‌ඩායමට සියයට 70 ක මන්ත්‍රී පිරිස කොට්‌ඨාස ක්‍රමය යටතේත් ඉතිරි සියයට තිහක මන්ත්‍රී පිරිස පරාජිත කණ්‌ඩායම් වලිනුත් පත්කර ගැනීමට කටයුතු කර තිබෙනවා. පරාජයට පත්වෙන කණ්‌ඩායම් ගණනය කරල ඒ අයටත් යම් මන්ත්‍රී පිරිසක්‌ ලබාදීම ලෝකයේ මුල්වරට සිදුවන්නෙ අපේ රටේ. එය සිදු කරන්නෙ සමානුපාතික ඡන්ද ක්‍රමයටයි. අදාළව එක්‌ එක්‌ පක්‍ෂ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත මත ඒ සමානුපාතික නියෝජනය බෙදිල යනවා.

පසුගිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත සහ මේ නව සංශෝධන පනත අතර යම් වෙනසක්‌ ඇති වී තිබෙනවා නේද?

එහිදී යෝජනා කර තිබෙන්නේ කොට්‌ඨාස මන්ත්‍රීවරු ප්‍රමාණයට අතිරේකව සමානුපාතික නියෝජන ක්‍රමයෙන් තේරීපත්වන මන්ත්‍රී ප්‍රමාණයට සමාන තවත් වෙනත් නාමලේඛනයක්‌ ඉදිරිපත් කරන්නට. එහි හොඳ නරක තවම සාකච්ඡා වෙමිනුයි තිබෙන්නේ. ඒ අනුව කිසියම් සංශෝධනයක්‌ කළ යුතු නම් එය කළ යුත්තේ කෙසේද යන්න ඉදිරියේ දී තීරණයක්‌ ගත යුතුයි. පරාජයට පත්වූ ඡන්ද ප්‍රමාණ ගණනය කර ඔවුනටත් මන්ත්‍රී ධුර දීමට තීරණය කළත් ජනතාව ඡන්දයෙන් ප්‍රතික්‍ෂේප කළ අයෙකුට මන්ත්‍රී ධුරයක්‌ දීම යෝග්‍ය ක්‍රියාවක්‌ නොවන බවට ඇතමුන් තුළ අදහසක්‌ තිබෙනව. එය මගහරවා ගැනීමටයි මේ ලැයිස්‌තු ක්‍රමයක්‌ හඳුන්වා දී තිබෙන්නේ. ඒ අය ඡන්දයට ඉදිරිපත් වන්නේ නැහැ. පක්‍ෂයේ හෝ ස්‌වාධීන කණ්‌ඩායමේ නායකයාගේ කැමැත්ත මත මන්ත්‍රීවරයකු ලෙස ඒ අයට පත්වෙන්න පුළුවන්.

මේ නව ක්‍රමය යටතේ කිසියම් ආසනයක අපේක්‍ෂකයෙක්‌ පුරප්පාඩු වුවහොත් ඒ සඳහා අතුරු මැතිවරණයක්‌ නොතබා එම පුරප්පාඩු පිරවීමේ බලය දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන්ට හා ස්‌වාධීන පක්‍ෂවල නායකයන්ට ලබා දී තිබෙනවා, එය උචිතද?

පහුගිය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදීත් අතුරු මැතිවරණ තිබිය යුතුය යන යෝජනාව අප ගෙනාවා. ඒ යෝජනාව දීර්ඝ වශයෙන් සාකච්ඡා වුණා. අතුරු මැතිවරණ තිබීම ප්‍රජාතන්ත්‍රවාදීව ඉතාමත් යෝග්‍ය ක්‍රමයක්‌. නමුත් මෙතන පොඩි ගැටලුවක්‌ තිබෙනව. මෙතන මන්ත්‍රීවරු දෙකොටසක්‌ ඉන්නවා. කොට්‌ඨාසයෙන් තේරී පත්වෙලා ඉන්න මන්ත්‍රීවරු සහ සමානුපාතික ක්‍රමයට තේරෙන මන්ත්‍රීවරු. මේ දෙගොල්ලො අතර වෙනසක්‌ තියෙනව. අතුරු මැතිවරණයක්‌ පවත්වන්න පුළුවන් වෙන්නෙ කොට්‌ඨාසයක ඡන්දයෙන් තේරී පත්වුණු මන්ත්‍රී පුරප්පාඩුවක්‌ ඇතිවුණොත් විතරයි. සමානුපාතික ක්‍රමයෙන් ආපු මන්ත්‍රී පුරප්පාඩුවකට අතුරු මැතිවරණයක්‌ තියන්න වෙන්නෙ නැහැ. එවිට සියයට 70 කට අතුරු මැතිවරණ පැවැත්විය යුතු වන අතර සියයට 30 කට අතුරු මැතිවරණ නොපැවැත්විය යුතුයි.

ඒ වගේම තවත් ප්‍රශ්නයක්‌ තියෙනව. එනම් ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රී පුරප්පාඩුවක්‌ ඇති වූ විට ඒ වෙනුවෙන් අතුරු මැතිවරණයක්‌ පැවැත් වූ පසු හිටපු මන්ත්‍රීවරයාගේ පක්‍ෂයෙන් නොව වෙනත් පක්‍ෂයකින් මන්ත්‍රීවරයකු තේරුණහොත් අර සියයට 70 සංයුතිය වෙනස්‌ වෙනව. එහෙම වෙනස්‌ වුණාට සියයට 30 සංයුතිය වෙනස්‌ කරන්න පුළුවන් කමක්‌ නෑ. ඒ අය නම්කර පත්කර අවසාන නිසා. එවිට සියයට 70 සහ 30 සංයුතියේ ගැටලුවත් මතුවෙනවා. එම නිසා විශේෂයෙන් පළාත් පාලන ආයතනවලදී අතුරු මැතිවරණවලට නොගොස්‌ එම පුරප්පාඩු මන්ත්‍රීවරු පත්කිරීමේ බලය අදාළ පක්‍ෂයේ ලේකම්වරයාට හෝ ස්‌වාධීන කණ්‌ඩායමේ නායකයකුට පැවරීමට තීරණය කර තිබෙනවා. මා දකින්නේ එය මේ ක්‍රමයේ අඩුපාඩුවක්‌ ලෙස නෙමෙයි. මේ ක්‍රමය නිසා ඇතිවන ප්‍රශ්නයකට යහපත් පිළිතුරක්‌ ලෙසයි.

කොහොමත් මෙය තවම පනත් කෙටුම්පතක්‌ විතරයි. පාර්ලිමේන්තු කමිටු අවස්‌ථාවේදී මෙයට තව සංශෝධන එකතු වෙන්න පුළුවන්.

මැතිවරණයකදී අපේක්‍ෂකයකු ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 5 ක්‌ විය යුතු බව මේ පනත් කෙටුම්පතින් යෝජනා වී තිබෙනවා. එම සීමාව පැනවීම තුළින් කුඩා පක්‌ෂවලට කෙබඳු බලපෑමක්‌ ඇතිවිය හැකිද?

ඡන්දයකට වටිනාකම් ලැබෙන්නේ ඒ ඒ කොට්‌ඨාස වලින් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය මතයි, 1977 ට කලින් පැවැති සාමාන්‍ය කොට්‌ඨාස ක්‍රමයෙදී එය සියයට 12.5ක ලෙස පැවතුණා. ඡේ. ආර්. මහතා සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙනවිටත් එය වෙනස්‌ වුණේ නැහැ. 1989 දී ප්‍රේමදාස මහතා එය සියයට 5 දක්‌වා අඩුකළා. ඒ නිසා ප්‍රධාන පක්‍ෂවලට යම් හානියක්‌ සිදුවෙන්න ඇති. නමුත් ඒ නිසා රට තුළ බහු පක්‍ෂ විශාල වශයෙන් ක්‍රියාකාරි වුණා. පසුව මේ සීමාවත් ඉවත් කළා. ඒ අනුව ප්‍රාදේශීය පක්‍ෂ වලට තව තවත් දේශපාලනය කිරීමට අවස්‌ථාව ලැබුණා.

නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් කොට්‌ඨාස ක්‍රමයට යනවිට මෙබඳු සීමාවක්‌ අවශ්‍යද නැද්ද යන්න සලකා බැලිය යුතු කරුණක්‌. සෑම කොට්‌ඨාසයක්‌ සඳහාම සියයට 5 ක සීමාවන් අවශ්‍ය බව දැනට යෝජනා වී තිබෙනවා, මේ පැනවීම තුළින් කුඩා පක්‌ෂවලට යම්කිසි බලපෑමක්‌ ඇතිවිය හැකියි.

මේ සංශෝධනය මුළුමනින්ම වාගේ ඉලක්‌ක කරල තියෙන්නෙ ඡන්ද ක්‍රමය වෙනස්‌ කිරීමටයි. පළාත් පාලන ආයතන වලින් ජනතාවට සේවයක්‌ වනවාට වඩා අද එයින් ජනතාවට ලැබෙන්නේ පීඩනයක්‌ යන මතයක්‌ තිබෙනවා. මේ සංශෝධන වලින් ඒ තත්ත්වය වෙනස්‌ වෙයි කියල ඔබ හිතනවද?

අපේ රටේ ජනතාවට විශාල බරක්‌ව තිබුණ මැතිවරණ ක්‍රමය මේ නිසා පහවී යාවි. සමානුපාතික ඡන්ද ක්‍රමය ලැදි කමක්‌ දැක්‌වූයේ ඡන්ද දායකයාට නොවෙයි පක්‍ෂයටයි. මේ ක්‍රමය ඡන්ද දායකයාට ලැදි ක්‍රමයක්‌. මේ ක්‍රමයෙන් ගම සහ මන්ත්‍රීවරයා අතර බැඳීම වැඩිවෙනවා. මේ ක්‍රමය තුළින් ගමෙන් ජාතික නායකයන් බිහිවෙනවා.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
ඡායාරූපය - නිශාන් එස්‌. ප්‍රියන්ත
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.