මහාවංශය නිවැරදි කරමු

අප මෙයට වසර දහයකට පමණ පෙර එවකට මහරගම පිහිටා තිබූ ජාතික අධ්‍යාපන ආයතනය වෙත ලිතව ලියා ඉල්ලා සිටියේ පාසල් සිසුන්ට ඉතිහාසය උගන්වන ලෙසය.

එකී බලධාරීන් මගේ ලිපියට පිළිතුරු එවමින් දන්වා සිටියේ පාසල් සිසුන්ට ඉතිහාසය උගන්වන බවත් එය සමාජ අධ්‍යයනය විෂයයට ඇතු=ළත් කර ඇති බවත්ය. සමාජ අධ්‍යයනය එකකි. ඉතිහාසය තව එකකි. ඒ එදා අධ්‍යාපන බලධාරීන් ක්‍රියා කළ අයුරුයි.

මීට කලකට පෙර අධ්‍යාපන අසුනෙහි වාඩි වූ ගරු අමාත්‍යතුමෙක්‌ (හරියටම මතක නැත) ඉතිහාසය විෂයන් වෙනම පාසල් අධ්‍යාපන පාඩම් මාලාවට (වෙන වචනයක්‌ මෙයට ඇත) ඇතුළත් කරන ලෙස නියෝග පැනවීය. දෙවියන්ට ස්‌තුති වේවා අද "ඉතිහාසය" වෙනම විෂයයක්‌ ලෙස පාසල්හි උගන්වනු ලැබේ. නමුත් එතෙක්‌ ඇසුවේ ඉතිහාසය කන්න දැයි කියාය.

වසර දෙදහස්‌ පන්සියයකටත් වඩා ඈත අතීත ඉතිහාසයක්‌ සහිත පුංචි රටක්‌ වන අපට ලිත ඉතිහාසයක්‌ අඩංගුවන සම්මානනීය ග්‍රන්ථයක්‌ද තිබේ. ඒ මහනාම හිමියන් විසින් රචිතයෑයි පිළිගනු ලබන මහා වංශයයි. මහා වංශය ජනශ්‍රැති ආශ්‍රයෙන් ලියෑවිනැයි එහි කර්තෘන් වහන්සේම පවසා ඇති හෙයින් එහි අඩංගු ඇතැම් සිදුවීම් දෙස සැකසංකා සහිතව බැලීමට අපට සිදු වී තිබේ.

උග්‍ර ජාතිවාදී සටනක්‌ ගෙනගිය පිරභාරන් හෙවත් ප්‍රභාකරන් මිහිදන්වී වසරකට වැඩ සුළු කාලයක්‌ ගත වී තිබෙද්දී මහා වංශයෙහි දැක්‌වෙන දුටු ගැමුණු එළාර සටන ඒ පරිද්දෙන්ම සිදු වුයේද යනු විමර්ශනාත්මකව බැලීමට අපට දැන් සිදු වී තිබේ. ප්‍රභාකරන් මියගිය හැටි අප දනිමු. ඒ අප ජීවතුන් අතර සිටින නිසාය. ඇසින් දුටු සාක්‍ෂිද සහිතව අද ප්‍රභාකරන් මියගිය ආකාරය ඉතිහාසයෙහි ලියෑවී තිබේ. නමුත් මහානාම හිමියන් ජනශ්‍රැති ආශ්‍රයෙන් ලියන ලදැයි පැවසෙන මහාවංශයෙහි දුටු ගැමුණු එළාර සටන එපරිද්දෙන්ම සිදු වුයේ ද? දුටු ගැමුණු රජතුමා කඩොලැතා පිට සිට එළාර රජුට හෙල්ල පහරක්‌ එල්ල කරනු දැක්‌වෙන සිතුවම් ඉතිහාස පොත්වල දැක්‌වෙයි. ප්‍රභාකරන්ගේ ලය හෝ හිස පසාරු කර ගෙන ගිය වෙඩි උණ්‌ඩය කාගේ ඔ - 56 න් නිකුත් වුයේ දැයි නොදන්නේ නන්දිකඩාල් කලපුවෙහි දැවැන්ත සටනක්‌ එදින දෙපාර්ශවය අතර සිදු වු බැවිනි. එය දන්නේද උඩ ඉන්නා දෙවියෝ පමණි. නමුත් මෙම සිදු වීම ඉතිහාසයට එක්‌වන්නේ වීරෝදාර සිංහල හමුදා විසින් ත්‍රස්‌තවාදී නායක ප්‍රභාකරන් වෙඩිතබා ඝාතනය කළ බවටයි.

දුටුගැමුණු - එළාර සටන හා ප්‍රභා කරන් සිංහල හමුදා අතර සටන කිසිලෙසකින් එකිනෙකට සැසැදිය නොහැකි වූවද (ද්විස්‌වභා කාලීන වතාවරණ හේතු කොට) මෙම සටන් දෙක සුළු වශයෙන් හෝ සමාන ස්‌වරූපයක්‌ ගනී. නමුත් පරමාර්ථ (යුද්ධ) වෙනස්‌ය. දුටුගැමුණු රජතුමා සටන් කළේ බුද්ධශාසනය බේරාගැනීම උදෙසාය. වීරෝදාර සිංහල හමුදා සටන් කළේ ජාතිය බේරා ගැනිම උදෙසාය. ප්‍රභාකරන්ද තම වර්ගයා බේරා ගැනීම උදෙසා සටන් කළ බවද සත්‍යයකි. නමුත් එය රාජ්‍ය විරෝධී, ත්‍රස්‌තවාදී සටනක්‌ වූ අතර ප්‍රභාකරන් මෙන් එළාර රජතුමා සිංහල ජනතාව ඝාතනය නොකළේය. සටනෙහි යෙදුනා මිස ප්‍රභාකරන් මෙන් රටේ හැමතැන බෝම්බ අටවා අහිංසක ජනතාව ඝාතනය නොකළේය.

මැති ඇමැතිවරුන් ඝාතනය කළේ ප්‍රභාකරන්ය. දුටු ගැමුණු රජතුමාගේ හේවායෝ දකුණේ අහිංසක දමිළ වැසියන් ඝාතනය කළ බවට ඉතිහාසයෙහි සඳහන් නොවෙයි. මාඝ නමැති කෲර ආක්‍රමණකයා බොදු වෙහෙර විහාර විනාශ කළාට ප්‍රභාකරන් අරන්තලාව භික්‍ෂු ඝාතනය හැරෙන්නට උතුරේ වෙහෙර විහාර විනාශ කළේ නැත. එසේ කළේ නම් අද මහ ලොකුවට යාපනයේ යනවා යයි කියමින් දහස්‌ ගණනින් දකුණේ ජනතාව නාගදීපය නාග විහාරය කන්දරෝඩෙයි වැනි බොදු විහාරාරාම වන්දනය පිණිස යන්නේ කෙසේද? ඉතිහාසඥයා යථාර්ථවාදී විය යුතුය. ජාතිවාදී නොවිය යුතුය. ආගම්වාදී නොවිය යුතුය. අතිශයෝත්තියෙන් කිසිම සිදු වීමක්‌ සටහන් කොට නොතැබිය යුතුය. එසේ කළ හොත් ඉතිහාසය විකෘතිවෙයි. මහා වංශ කර්තෘන්වහන්සේ මහා විහාර පාර්ශ්වයෙහි හිමිනමකි. එසේ නම් අභයගිරිවාසීන් ගැන හිමියන් සර්ව සාධාරණාව, සත්‍යගරුකව, විහාර තොරතුරු ලේඛනගත කොට තබයිද?

දුටුගැමුණු රජතුමා එළාර සටන සිදුවන කාලයේ තරුණයෙකි. එළාර රජතුමා ලක්‌දිව වසර 40 ක්‌ රජකම් කරමින් සිටි මහල් ලෙකි. මහලු මිනිසෙකුත් තරුණ ජවය සහිත රජ කුමරෙකුත්a අතර සිදු වී යෑයි කියන ද්වන්ධ සටන නියම රජ සටනක්‌ නොවන්නට ඇත. ඒ වග දන්නේ කඩොලැතා පමණි. දකුණේ මඟුල් මහා විහාරයෙහි තැන්පත් කොට ඇතැයි පැවසෙන කඩොලැතුගේ ඇත්දළ දෙක සාක්‍ෂි කියයි නම් මෙම දුටුගැමුණු එළාර සටන මනාව පැහැදිලි කරනු ඇත.

පැරණි ලක්‌දිව සිංහල දෙමළ සබඳතා නමින් පොතක්‌ ලියන ලයනල් සරත් වියතාණන් (රාවය කර්තෘ) මෙම දුටුගැමුණු එළාර සටන මහා වංශයෙහි ලියෑවී ඇති ආකාරය ගැන මනා පින්තූරයක්‌ අපට ගෙනහැර දක්‌වයි.

ස්‌ටැන්ලි සේනාධීර

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.