"ලෙන්චිනා ඇති වැඩ කළා දැන් ගෙදර යමු කරුවල වෙලා"

කිසිවෙක්‌ තම සම්පූර්ණ නම හඬ නගා කියන විට එම නම හිමි තැනැත්තා තුළ ඇතිවන්නේ ප්‍රීතිමත් හැඟීමක්‌ යෑයි අපි සිතා සිටින්නෙමු. එහෙත් එය සෑම පුද්ගලයකුටම පොදු ද යන්න අප දෙවතාවක්‌ සිතා බැලිය යුතු කාරණයකි.

එසේ වන්නේ ඇයි?

වාසගම සහිතව නම කියන විට ඒ මගින් එම තැනැත්තා නියෝජනය කරන කුලය කියවෙන අවස්‌ථා ඇති බැවිනි. එසේ කියවෙන කුලය සමාජයේ පහත් යෑයි සම්මත කුලයක්‌ නම් ඔහු හෝ ඇය ඒ මගින් දැඩි අපහසුතාවකට ලක්‌වන අවස්‌ථා සමාජයේ දුලබ නොවේ.

එවන් අවස්‌ථාවක්‌ ප්‍රායෝගිකව අත්විඳි ප්‍රතිභාපූර්ණ ගීත රචකයෙක්‌ එම අත්දැකීම ඇසුරින් පසු කලෙක අපූර්ව ගීතයක්‌ සිංහල ගී කෙතට දායාද කළේය. මේ එම ගීතයයි.

ලෙන්චිනා මගෙ නංගියේ ඇයි

ගංතෙරට වී ගොම්මනේ ...



පෙත්තරේ ළඟ පැන්තොටේ

ගම්මානයේ පව් සෝදනා

රත්තරන් වී කළු වළාකුළු

චන්ද්‍රයා සේ පායනා

ලෙන්චිනා ඇති වැඩකළා දැන්

ගෙදර යං කළුවර වුණා ...



පිංවතුන් කැළ ඇන්ද සළු පිළි

සේදුවා නුඹ සේදුවා

තාම නෑ කිළි කුණු ගිහින් ඒ

කිම්ද නොදැනේ කාරණා

සේදිලා පරිශුද්ධ වීමෙන්

යුග දෑත් නුඹෙ බබලනා ....

රත්න ශ්‍රී විඡේසිංහයන් විසින් පබැඳී, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට සුනිල් එදිරිසිංහයන් විසින් ගායනා කරන ලද මෙම ගීතය පිළිබඳ විමසා බැලීමට පෙර අප විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කුල ක්‍රමය පිළිබඳ යම් අවබෝධයක්‌ ලබාගැනීම වැදගත්ය.

දකුණු ආසියාතික රටවලට පමණක්‌ සීමාවුණු ප්‍රබල සමාජ ස්‌ථරායන ක්‍රමයකි කුල ක්‍රමය. ඒ සම්බන්ධව අවධාරණය කළ ප්‍රකට සමාජ විද්‍යාඥයන් වන ඊ. ආර්. ලීච්, සේනාථ, ශ්‍රී නිවාස්‌, නූර්යාල්මාන් වැන්නෝ මෙය උපතින්ම හිමිවන සමාජ ස්‌ථරායනයක්‌ සේම යම් පුද්ගලයකුගේ රැකියාව, විවාහය, හැසිරීම, ඇඳුම් පැළඳුම් ආදී වශයෙන් සමස්‌ත දිවි පැවැත්ම තරණය කරන ප්‍රබල සාධකයක්‌ බව පෙන්වා දුන්නේ වසර ගණනාවකට පෙරය. රොබට්‌ නොක්‌ස්‌ගේ "එදා හෙළදිව" කෘතියේ සඳහන් කරුණු අනුව ශ්‍රී ලංකාව තුළද ඈත අතීතයේ පටන්ම කුල ක්‍රමය ඉතා ප්‍රබල ලෙස ක්‍රියාත්මකව තිබූ බව පැහැදිලි වේ. 1832 දී කෝල්බෲක්‌ ප්‍රතිසංස්‌කරණ යටතේ ඇති වූ ආර්ථික ව්‍යqහයේ වෙනස්‌වීම හේතුවෙන් එතෙක්‌ මෙරට ක්‍රියාත්මකව පැවැති කුල ක්‍රමයද යම් බිඳවැටීමකට ලක්‌ වූ බව සැබෑවකි. එහෙත් අද පවා අදෘෂ්‍යමාන බලවේගයක්‌ සේ එය මෙරට ක්‍රියාත්මක වන බව අපි දනිමු. පුවත් පතක මංගල යෝජනා පිටුවකට නෙත් යොමු කළහොත් ඒ බැව් ක්‍ෂණිකව අපට පසක්‌ කරගත හැක.

කරන ක්‍රියාවක්‌ මිස උපතින් කෙනකු බමුණකු හෝ වසලයකු නොවේය. (භාරතීය කුල ක්‍රමයේ සීමාන්ත දෙක බමුණා සහ වසලයාය.) යන සංකල්ප අන්තර්ගත වූ නිර්මල ථෙරවාදී බුදුදහම පවා අද කුල ක්‍රමයම මූලික වී නිකාය සහ අනු නිකාය වශයෙන් බෙදී ගොස්‌ ඇත. එසේ වුවත් "කුලය" පිළිබඳ ප්‍රසිද්ධියේ කතා නොකිරීම තම ශිෂ්ට බව හා හැදියාව සංකේතවත් කරන්නක්‌ යෑයි සිතීමට අපි පුරුදුව සිටිමු. දැනට යම් පමණකට හෝ අප රටේ කුලය පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරනුයේ සමාජ විද්‍යාව නම් විෂය ක්‍ෂේත්‍රයේදී පමණි.

කෙසේ වුවත් මනුෂ්‍යත්වය ලබා උපන්නවුන් හට උරුම විය යුතු පොදු හැඟීම්, මූලික අයිතිවාසිකම් විඳගැනීමේදී මෙම කුලය නමැති සාධකය සෘජුව හෝ වක්‍රව බලපෑම් කළහොත් සංවේදී කලාකරුවකුට නම් නිහඬව සිටිය හැකි නොවේ. තමාට අයත් වපසරිය තුළින් උපරිමයකට ගමන් කර ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ඔවුහු පසුබට නොවෙත්. එහෙත් සැබෑ කලාකරුවා එහිදී ක්‍රියා කරනුයේ ආගමික නායකයකු, සමාජ ශෝධකයකු හෝ සමාජ විද්‍යාඥයකු ලෙස නොවන බවද අප විසින් වටහාගත යුතුය.

අප විසින් සඳහන් කරන ලද ගීතය නිර්මාණය කිරීම සඳහා රත්න ශ්‍රී කවියාට අත්දැකීම ලබාදී තිබෙන්නේ කුල ක්‍රමයේ ප්‍රතිඵල ප්‍රදර්ශනය වූ එක්‌තරා අවස්‌ථාවකි. ඡන්දපොළ ස්‌ථානාධිපතිවරයකු ලෙස රාජකාරි කිරීමට ගිය ඔහුට නිලධාරීන් හිඟවීම නිසා ඡන්ද දායකයන්ගේ නම් කියා කැඳවීම් කාර්යයද ඉටුකිරීමට සිදුවිය. එවන් අවස්‌ථාවල නම කියවනුයේ වාසගම ද සහිතව හඬ නැගෙන සේය. මෙසේ නම අමතන විට එක්‌තරා මැදිවියේ කාන්තාවක්‌ දැඩි අපහසුතාවකට පත්ව විලියෙන් ඇඹරෙණුq රත්න ශ්‍රී කවියාගේ තෙවන ඇසට ග්‍රහණය විය. (ප්‍රතිභාපූර්ණ කලාකරුවකුට තෙවන ඇසක්‌ තිබෙන බව රහසක්‌ නොවේ.)

1931 ඩොනමෝර් ප්‍රතිසංස්‌කරණ යටතේ මෙරට අවු. 18 න් ඉහළ සෑම පුරවැසියකුටම ඡන්ද බලය හිමිවිය. එවන් උත්තරීතර අයිතිවාසිකමක්‌ ප්‍රකාශ කිරීමට පැමිණි අවස්‌ථාවකදීAත් තමා නියෝජනය කරන කුලය තමාට පීඩාවක්‌ ගෙන දෙන්නේ නම් එය කෙතරම් ෙ€දජනකදැයි රත්න ශ්‍රී කවියාට සිතෙන්නට ඇත. ලෙන්චිනා ගීතය ඔහු අතින් ලියවෙන්නේ එම අත්දැකීම තුළිනි.

ලෙන්චිනා යන පදය ඇසෙත්ම අප සිහියට නැගෙන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ "ජසයා" සහ ලෙන්චිනා, නාඩගමේ එන චරිතයකි. ඇය අයත් වූයේ කුලවතුන් යෑයි සම්මත අයට වියන් - පාවඩ අතුරන, ඔවුන්ගේ කිළිටි සෝදන "රජක" නම් කුලයටයි. (එම කුලය සතු සමාජ තත්ත්වය හා කාර්ය කොටස්‌ පිළිබඳව ඉතා පුළුල් ලෙස නිරූපණය වූ කෘතියක්‌ ලෙස ඇරැව්වල නන්දිමිත්‍ර සූරීන්ගේ "මම නුඹ සිඹිමි" නම් නව කතාව හඳුන්වාදිය හැකිය.) කාලාන්තරයක්‌ තිස්‌සේ ලෙන්චිනා තමාට උරුම වූ එම කුල රැකියාව කරන්නීය. කුල ක්‍රමයේ ප්‍රධාන සංකල්පය පවිත්‍රත්වය හා කිල්ලයි. පහත් යෑයි සම්මත කුලවල උපදින්නේ පෙර කළ පව් නිසා බවත්, තම කුල රැකියා නිසි පරිදි ඉටුකිරීම තුළින් මතුවට ඉන් මිදිය හැකි බවත් සමාජ සම්මතයකි. එහෙත් ලෙන්චිනාට තවමත් එම අවස්‌ථාව උදාවී නැත. ඇගේ ලොවට සැමදාම ගොම්මන මිස අලුයමක්‌ උදා නොවේ.

"පිංවතුන් කැළ ඇන්ද සළු පිළි

සේදුවා නුඹ සේදුවා

තාම නෑ කිළි කුණු ගිහින් ඒ

කිම්ද නොදැනේ කාරණා ......"

මෙහි ලෙන්චිනා වෙත කරන දයාර්ද්‍ර ඇමැතුම ඉක්‌මවා ඉස්‌මතු වන උත්ප්‍රාසය කෙතරම් තියුණුද? ඔහු මෙම පැනය යොමන්නේ කුලවාදයට නතු වූ සමස්‌ත සමාජයටම නොවේද?

මෙම ගීතය සමාජගත වූ පසු ලෙන්චිනාගේ ආත්ම කථනයක්‌ ලෙසින් තවත් අපූර්ව ගීතයක්‌ රත්න ශ්‍රී අතින් ලියෑවුණි. ඔස්‌ටින් මුණසිංහයන්ගේ සංගීතයට එය ගැයුවේ ඉන්දීවරී අබේරත්නයි.

"තන තම් දෙනා - තන තානෙනා

සළු සෝදනා මම ලෙන්චිනා

ඔච්චම් කරන්නට නම් එපා මට

සළු වඩනා මැණිකේ කියා ........

ගංගොඩේ සිල් රෙදි පුරා

මගෙ අත්වලින් සුද ගෑවුනා

පිං පිරී පුංසඳ මගේ

පායයි කියා උන්නා බලා

කෝ ඉතින් ...................

මෙම ගීතයෙන්ද ලෙන්චිනා නියෝජනය කරන කුලය පිළිබඳ පුළුල් සමාජ විවරණයක්‌ වනිත කෙරේ. උඩරට උසස්‌ කුල කාන්තාවන් හැඳින්වීම සඳහා මැණිකේ යන නාමය යොදන බැව් අපි දනිමු. "සළුවඩන මැණිකේ" යනු උපහාසාත්මක යෙදුමකි. නිසි වයස සම්පූර්ණ වූ පසුව ගැලපෙන සහකරුවකු සමග දීගයැම තරුණියන්ගේ ප්‍රාර්ථනාවයි. එය ලෙන්චිනාට ද පොදුය. එහෙත් අන් අයට නැති බාධකයක්‌ ලෙන්චිනාට ඇත. ඒ බැව් ගීතයෙන් නිරූපණය වන්නේ සංවේදී සහෘද හදවත්හි සානුකම්පිත හැඟීම් ජනිත කරවමිනි.

"කෝ ඉතින් ...............

ලී කොලොම්බුව දොර පිලේ මිටි වී ගියා"

"මලවියා පිට මග ගියා මගෙ - පයට පාවඩ නෑ කියා"

මෙම තේමාව ඔස්‌සේ රත්න ශ්‍රී ලියූ ගීත අතර "නිර්මලා" ගීතය ද අපට අමතක කළ නොහැක. එය සමාජගත වූයේ 1999 වසරේ විශාරද ගුණදාස කපුගේ සමග එක්‌ව එළිදැක්‌වූ "ඉරබටු තරුව" කැසට්‌ පටයෙනි. යුග ගීතයක්‌ වූ එය ගායනයේදී කපුගේට සහාය වූයේ නිරංජලා සරෝජනීය.

"ක - නිර්මලා ලොන්ඩරිය හිමි සළුවඩන මැණිකේ නිර්මලා

මල්හිනා නුඹෙ තැවරිලා කිරි ඉද්දමල්වැට පීදිලා

නි - කුල ගෙවල් සැරසිලි කළත් අපි සළු වඩා පාවඩ එලා

නිර්මලා නිර්මල නැතැයි මා ඔබ ලොවින් පිටමන් කළා

මෙම ගීතයෙන් කුල හීන යයි සම්මත යුවතියක හා කුලීන යයි සම්මත තරුණයකු අතර වූ ප්‍රේමයක වියෝවක්‌ පිළිබඳ පැවසේ. ප්‍රේමය යනු විශිෂ්ටතම මනෝභාවයකි. ප්‍රේමයේ වියෝව විශේෂයෙන්ම ගීත රචකයන්ට ඉතා සමීප තේමාවකි. එවන් විරහ ගී අප කොතෙක්‌ අසා තිබුණද මෙය එම ගීතවලට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත්තකි. මෙම ගීතයේ එන තරුණිය හා තරුණයා ගොඩනගාගත් සුන්දර ලෝකය කඩා බිඳ දමන ලද්දේ කුලවාදී සමාජයේ කුළුගෙඩි පහරිනි.

ගීතයෙන් කියවෙන නිර්මලා නම් තරුණිය ලෙන්චිනාගේම කුලයට අයත් බැව් ගීතයේ වනිත වන්නේ "ලොන්ඩරිය" යන වදනෙනි. එහෙත් මෙහි "සළු වඩන මැණිකේ" යන යෙදුම දක්‌වා ඇත්තේ වෙනත් අරුතකිනි. එසේම පවිත්‍ර යන අරුත දෙන නිර්මලා යන නම කුල හීන යෑයි සම්මත තරුණියට යෙදීමද උත්ප්‍රාසය මතුකරන්නෙකි. ඉන් සමස්‌ත ගීතයේම අභිලාසය මුදුන්පත් කර ගැනීමට දැඩි රුකුලක්‌ ලැබේ. නිර්මලා නිර්මල නොවුණේ ඇයි? සැබවින්ම එම පැනය ද යොමුවන්නේ ඇගේ කුලීන පෙම්වතාට පමණක්‌ නොවේ.

මෙම වියෝවෙන් වඩාත් අසරණව සිටින්නේ නිර්මලාම බව හැඟවීමටද රචකයා යත්න දරා තිබේ. සිය කුල චාරිත්‍රවලට අකැමැත්තෙන් හෝ හිස නැමූ තරුණයාට පසු කලෙක මෙම වියෝගය සැමරුමක්‌ පමණි. ඒ සැමරුම ඔහු වෙත ළඟා කරන්නේ සිය පැරණි දින පොතකි. එහෙත් නිර්මලා එදා සිටම තවමත් එම වියෝවෙන් විඳින්නියකි. ඇය තවමත් දිවි ගෙවන්නේ කඳුළින්මය.

"මා හෙළුE කඳුළින් තෙමුණු

සළු පිළි තවම නෑ වේලිලා ............"

සැබවින්ම මෙය එක්‌තරා සමාජ යථාර්ථයකි. මෙවන් සබඳතාවලදී බොහෝ විට කුලීන යෑයි සම්මත අයට අවසානයේදී ඥතීන්, දේපළ, සමාජ තත්ත්වය ආදී හේතු මත අකැමැත්තෙන් හෝ හදවතට එරෙහිව ක්‍රියාකිරීමට සිදු වේ. එහිදී කුල හීන යෑයි සම්මත වූවෝම නොවෙත්ද වඩාත් අසරණ වනුයේ ...?

එහෙත් ප්‍රේමය නමැති සුනිමල අරවින්දයට කුලගරුක සමාජය නමැති පිළී ගඳ මඩ ගොහොරුවෙන් මිදී විකසිත වීමට ඉඩ නොලැබුණත් ඒ අරවින්දය කෙතරම් සුවඳවත් දැයි හැඟවීමට ද රචකයා පසුබටව නැත. අවසන තරුණයාගේ "කිළිටි ඇඳුම්" සේදීම සඳහා අතට ගත් නිර්මලාගේ මුවට නන්වන මෙම වදන් විමසන්න.

"එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ

සිත පුරා පවතින නිසා

හිමි නැතත් මට හුරු සුවඳ ඒ

ඇඳුම් අතරේ තියෙනවා ...."

රත්න ශ්‍රී විඡේසිංහයන්ගේ මෙම ගීත ත්‍රිත්වය විමසා බැලීම තුළින් ගීතය නම් ජනප්‍රිය සාහිත්‍යාංගය වඩාත් හරවත්ව සමාජ ප්‍රගමනය සඳහා යොදාගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මනා අවබෝධයක්‌ ලබාගත හැක.

ජී. ජී. සරත් ආනන්ද

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.