මම මුල අමතක කරන කෙනෙක්‌ නෙමෙයි
අජන්ත මෙන්ඩිස්‌

පන්දුවෙන් පිතිකරුවන් මවිත කිරීමට හැකි පන්දු යවන්නන් අපට ඉන්නේ අතළොස්‌සකි. ඒ සුපිරි පන්දු යවන්නන් අතරින් අජන්ත මෙන්ඩිස්‌ට හිමි වන්නේ සුවිශේෂී ස්‌ථානයකි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමට ඔහු නැතිවම බැරි යුගයක්‌ තිබිණි. එහෙත් මෙවර ඕස්‌ටේ්‍රලියානු සංචාරයට අජන්ත සහභාගි වූයේ නැහැ. මේ අතරතුර අපිට අජන්තව හමුවුණා. පහත දැක්‌වෙන්නේ ඔහු සමග කළ කතා බහකි.

කොහොමද අජන්ත?

හොඳින් ඉන්නවා.

ඕස්‌ටේ්‍රලියානු සංචාරය මඟ හැරුණා නේද?

ඔව්....

ඇයි එහෙම වුණේ?

මම හරියටම දන්නේ නැහැ එහෙම වුණේ ඇයි කියලා. මම හිතනවා ඉදිරියට තියෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්‌ වෙන්න පුළුවන් වෙයි කියලා. මේ සංචාරය අහිමි වීමත් සමග මම වෙනදාටත් වඩා උනන්දුවෙන් පුහුණුවීම් කටයුතු කරන බව නම් කියන්න ඕනා.

ඔබගේ පන්දු දැන් පිතිකරුවන් හඳුනාගෙන පහර දෙනවා නේද?

මම නම් එහෙම හිතන්නෙ නැහැ. ඉන්දීය පිතිකරුවෝ නම් මගේ පන්දු සමාන්‍ය දුරකට හඳුනගෙන ඉන්න බවක්‌ පේනවා. වෙනත් රටවල පිතිකරුවන් තවම මගේ පන්දු හඳුනාගෙන නැහැ. එහෙම හඳුනාගෙන පහර දෙනවා නම් මට තරග 44 කට කඩුලු 78 ක්‌ ගන්න බැහැනේ. මම හිතනවා මුල් තරගවලට වඩා පස්‌සෙ තරගවලදී මගේ දක්‍ෂතා අඩු වුණා කියලා. ඒ අඩුපාඩුත් හදාගෙන ඉදිරියට එන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී නැවත සුපුරුදු දක්‍ෂතා පෙන්වනවා.

ප්‍රේක්‍ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරවලටද ඔබ වඩාත් කැමැති?

ප්‍රේක්‍ෂකයෝ මට ගොඩක්‌ ආදරෙයි. තරගයකට පිට්‌ටනියට බහිනකොට ඒක මට හොඳින් තේරෙනවා. මට විතරක්‌ නෙවෙයි අනිත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ටත් ප්‍රේක්‍ෂකයෝ අසීමිත ලෙස ආදරය කරනවා. මිනිස්‌සු මාව පාරෙදි දැක්‌කත් හිනාවෙලා ළඟට ඇවිත් කතා කරලා යනවා. ඒකට මම ගොඩක්‌ කැමතියි.

ක්‍රිකට්‌ කියන්නේ මුදල් ගලන ක්‍රීඩාවක්‌. අතමිට සරුවනකොට ඔබ වෙනස්‌ වුණාද?

එහෙම වෙලා නැහැ. කවදාවත් එහෙම වෙන්නෙත් නැහැ. මුල අමතක කරන කෙනෙක්‌ නෙමෙයි මම. අදටත් මම ගමේ මිනිස්‌සු එක්‌ක එදා වගේම හොඳින් කතා බහ කරගෙන ඉන්නවා. ගමේ යාළුවොත් සමග කතා බහ කරලා කාලා බීලා විනෝදෙන් ඉන්න ඒක තමයි මගේ සතුට. ඒ වගේම අහිංසක දුප්පත් මිනිස්‌සුන්ට උදව් කරනවා. එක තමයි සල්ලි තියෙන අයගෙන් වෙන්න ඕනා. කවුරු හරි කියනවා නම් මට මුදල් ලැබුණාම වෙනස්‌ වෙලා කියලා ඒක අමූලික බොරුවක්‌.

හොරෙන්ම කසාද බැන්දා නේද?

අපෝ නැහැ... ඇයි දැම්ම අමාරුවේ දාන්න හදන්නේ. ලබන අවුරුද්දෙ විතර වෙඩින් එක ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පෙම්වතියගේ නම?

යෝෂිණි ද සිල්වා. එයාගේ ගෙවල් තියෙන්නෙ කොළඹ.

ඔබට යෝෂිණි හමු වුණේ කොහොමද?

මම තරග කරන මැච් එකක්‌ බලන්න ඇවිත්, තරගය අතර තුර එයා මගේ ළඟට ඇවිත් කතා කළා. ඊට පස්‌සේ අපි ටික දවසක්‌ යාළුවෝ වගේ කතා බහ කළා. අන්තිමට අපට නොදැනුවත්වම පෙම්වතුන් බවටත් පත් වුණා.

ඒ තරගය මොකක්‌ද?

මට මතක හැටයට ඉන්දියාවයි අපියි තරග කරපු මැච් එකක්‌.

යෝෂිණි හමුවෙලා ගොඩක්‌ කල්ද?

අවුරුදු එකහාමරක්‌ දෙකක්‌ විතර වෙනවා.

යෝෂිණිත් එදා ඔබගේ ප්‍රේක්‍ෂිකාවක්‌ ද?

ඔව්... නමුත් එයා ක්‍රිකට්‌ තරග නරඹන්න එච්චර කැමැත්තෙන් ඉඳලා නැහැ. දැන් නම් එයා ගොඩක්‌ම කැමති ක්‍රිකට්‌ තරග නරඹන්න. විශේෂයෙන්ම මම තරග කරන මැච් බලන්න.

ලෝක කුසලාන තරගාවලියේදී ඔබව දකින්න පුළුවන් වෙයි නේද?

අනිවාර්යෙන්ම මම ක්‍රීඩා කරනවා. දැනටමත් මම පියල් විඡේතුංග යටතේ පන්දු යෑවීම පිsළිබඳ පුහුණුවීම් කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියට තියෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියට ද මම ක්‍රීඩා කරනවා. මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවන් ගැන අවධානය යොමු කරලා තමයි පුහුණුවීම් කටයුතු කරන්නෙත්. ඒ තරගාවලියේදී මෙන්ම ලෝක කුසලාන තරගාවලියේදී ද හොඳින් තරග කරලා උපරිම දක්‍ෂතා පෙන්වන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.

ඔබ සංචාරය කරන්න කැමති රට?

විශේෂයක්‌ නැහැ. සෑම රටකටම කැමතියි. එංගලන්තයේ තණතීරුවල ක්‍රීඩා කරන්න ගොඩක්‌ කැමැතියි. මොකද ඒ තණතීරුවල හොඳින් පන්දු යවන්න පුළුවන් නිසයි. මම ඒ තණතීරුවල හොඳින් දක්‍ෂතා පෙන්වලත් තියෙනවා.

ඔබ ක්‍රීඩා කරන්න කැමැතිම ක්‍රීඩාපිටිය?

ලංකාවේ තියෙන ඕනෑම තණතීරුවක ක්‍රීඩා කරන්න මම කැමැතියි. එහෙමම කියලා විශේෂ නැහැ. ඕනෑම තණතීරුවක පන්දුවෙන් දක්‍ෂතා පෙන්වනවා.

කණ්‌ඩායමේ හොඳම යහළුවා කවුද?

ඇන්ජලෝ එක්‌ක තමයි මම ගොඩක්‌ වෙලාවට කාලය ගත කරන්නේ. අපි ගොඩක්‌ ළඟින් ඇසුරු කරනවා.

ගෙදර අය ගැන මතක්‌ කළොත්?

අම්මා අක්‌කලා සමග සතුටින් කාලය ගත කරනවා. කියන්න කියලා විශේෂ දෙයක්‌ නැහැ.

ඔබ යුද හමුදාවෙන් ඉවත් වෙලාද?

නැහැ. මගේ වෘත්තිය මම දිගටම කරගෙන යනවා.


තරංග රත්නවීර
ඡායා - නිශාන් එස්‌. ප්‍රියන්ත

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.