ජය ගොස ගල්විය

ඒ වසන්තය ලත් තැනම ලොප්වේද? මෙරට බොක්‌සිං ක්‍ෂේත්‍රයේ ගෙවී ගිය වසර 72 ක ඉතිහාසයේ උදා වූ සුන්දරම මොහොත මායාවක්‌ වේ දෝයි හිතෙන තැනට කටයුතු සකස්‌ වී තිබේ. බානි හෙන්රිකස්‌ එදා පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල අධිරාජ්‍යවාදී ක්‍රීඩා ලෙසින් හැඳින් වූ යුගයේදී 1938 වසරේ දිනා ගත් රන් පදක්‌කමින් පසු යළිත් මෙරටට එවැනි අවස්‌ථාවක්‌ හිමිකර දුන් පළමු ක්‍රීඩකයා වූ පසුගියදා නවදිල්ලියේ අවසන් වූ 19 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේදී බැන්ටම් බර පංතියේ රන් පදක්‌කම ශ්‍රී ලංකාවට දිනා දුන් මංජු වන්නිආරච්චිගේ පදක්‌කම දැන් නඩුවක්‌ වී ඇත. මංජු චූදිතයාය. චෝදනාව තහනම් උත්තේජක භාවිතයයි. පළමු නඩු විභාගය හෙවත් "ඒ" සාම්පලයේ වාර්තාවෙන් මංජු වැරදිකරු වී හමාරය.

දැන් මංජු ඇපෑලක්‌ ඉදිරිපත් කර තිබේ. ඒ "බී" සාම්පලය පරීක්‍ෂා කරන ලෙසයි. එහි තීන්දුවද මංජුව වැරදිකරු කළහොත් ගෙල දැමූ ස්‌වර්ණමය සම්මානය ගලවා ආපසු භාරදීමට ඔහුට සිදුවනු ඇත. සම්මාන වෙනුවට අවමාන විඳගැනීමට සිදුවනු ඇත. කන්දක්‌ විළිලා බිහිකරගත් රන් පදක්‌කම තිඹිරිගෙයිම මියයනවා ඇත. කුමකින් කුමක්‌ සිදුවේදෝයි කියන්නට තවම කල් වේලා වැඩිය. එහෙත් මංජු වන්නිආරච්චි මෙන්ම සෑම සැබෑ ශ්‍රී ලාංකිකයෙකුගේම දෑසින් කඳුළු බවට පත්ව දෝරෙ ගලා ගිය ඓතිහාසික ජයග්‍රහණයේ සතුට විමතියෙන් උපන් භීතියක්‌ බවට පත්ව හෙට දින කුමන තීන්දුවක්‌ ලැබේදෝයි යන වික්‍ෂිප්ත බවින් ගිලන්ව ඇත.

බී සාම්පලයේ පිහිටෙන් නිදොස්‌වූවෝ



19 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ සංවිධායකයන්ගේ දැනුම් දීමට අනුව මංජුගේ ඒ සාම්පලයේ නැන්ෙඩ්‍රාලෝන් නැමැති තහනම් ඖෂධ සංඝඨකය යහමින් තිබූ බවට වාර්තා විය. නැන්ෙඩ්‍රාලෝන් පේශී වර්ධනයට බලපාන අතරම මහන්සිය නැති කරවන්නකි. ක්‍රීඩාවෙහි තහනම් උත්තේජක ලැයිස්‌තුවේ ඉහළින්ම සඳහන් වන්නකි. මෙවැනි ප්‍රසිද්ධ තහනම් ඔසුවක්‌ මංජු වැනි ජාත්‍යන්තරය හොඳින් හඳුනන ක්‍රීඩකයකු කිසිදු වගක්‌ විභාගයක්‌ නොමැතිව ගනු ලැබීයයි සිතීම උගහටය.

එහෙත් මංජුට තහනම් උත්තේජක චෝදනාව එල්ලවීමත් සමග කුරුණෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීමක්‌ සම්බන්ධව කථාවක්‌ කරලියට පැමිණේ. මංජු කිලෝග්රෑම් 54 බර පංතියේ සිට කිලෝග්රෑම් 51 බර පංතිය දක්‌වා තම ශරීරයේ බර අඩු කර ගැනීමට උත්සහ කිරීමේදී ඔහුගේ සිරුර අසාමාන්‍ය ලෙසින් කෘෂ වීමට පටන්ගත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගත් බවත් එක්‌ තැනක කියෑවුණු අතර තවත් තැනක මංජුගේ ඇදුම රෝගී තත්ත්වයටද ඔහුගෙන් ප්‍රතිකාර ගත් බවක්‌ද සඳහන් විය.

මෙහිදී සැලකිය යුතු පළමු කරුණ වන්නේ මංජු සිය ශරීර බර අඩුකර ගැනීම පිණිස ගත් ක්‍රියාමාර්ග මොනවාද යන්න ගැනය. බර පංතිගත ක්‍රීඩාවල යෙදෙන බොහෝ ක්‍රීඩකයන් තහනම් උත්තේජක දැලේ පැටලෙනුයේ ශරීර බර අඩු කර ගැනීම පිණිස ගනු ලබන ඔසු හේතුවෙනි. එය හුදෙක්‌ ආහාර පාලනයෙන් සහ ව්‍යායාමවලින් කරනු ලබන බර පාලනයකට වඩා පහසු නමුත් අන්තරාකාරී ක්‍රමවේදයකි. දෙවනුව සොයා බැලිය යුත්තේ මංජුගේ ශරීරය කෘෂවීමට අදාළව ප්‍රතිකාර කළේ යෑයි පවසන වෛද්‍යවරයා ඒ සඳහා ලබාදුන් ප්‍රතිකාරවලදී මාංශපේශී වර්ධනය වීම පිණිස නැන්ෙඩ්‍රාලෝන් අඩංගු ඔසුවක්‌ (නැන්ෙඩ්‍රාලෝන් වල ඇති එක්‌ ස්‌වභාවයක්‌ නම් මාංශපේශී වර්ධනය කිරීම බව සටහනේ පෙර සඳහන් විය) ලබාදුන්නේද යන්නයි.

නැතහොත් ශරීරයේ මහන්සිය අවම කරන නැන්ෙඩ්‍රාලෝන් මංජුගේ ඇදුම රෝග තත්ත්වයට ප්‍රතිකාරයක්‌ ලෙස එම වෛද්‍යවරයා ලබාදුන්නේද?

මංජු වන්නිආරච්චි එම ප්‍රතිකාර ලබා ගැනීමට පෙර අදාළ වෛද්‍යවරයාව තහනම් ඖෂධ පිළිබඳ දැනුවත් කිරීමක්‌ කළ බවත් වාඩා හෙවත් තහනම් උත්තේජක නිවාරණ අධිකාරියේ තහනමට ලක්‌ව ඇති සංඝටක ලැයිස්‌තුව ඇතුළත් පොතද එම වෛද්‍යවරයාට ලබාදී එය අනුගමනය කරමින් ප්‍රතිකාර ලබාදෙන ලෙසට ඉල්ලීමක්‌ කර ඇතැයිද පැවසේ. එසේනම් මංජුගේ "ඒ" සාම්පලයට මෙකී තහනම් සංගඨකය පැමිණියේ ඔහුගේ වෛද්‍යවරයාගේ දැනුම පිළිබඳ ගැටළුවක්‌ නිසාද? ඔහු පිළිගත් එම්. බී. එස්‌. වෛද්‍යවරයකු නොවන්නේ යෑයිද කියෑවෙන නමුත් ජාත්‍යන්තර තරග අත්දැකීම් දුසිම් ගණනක්‌ හිමි මංජු පිළිගත් වෛද්‍යවරයකුගේ සේවය නොපතා තහනම් උත්තේජක පිළිබඳ ජාත්‍යන්තර තරග වලදී එලනු ලබන දැල පිළිබඳ හාන්කවිස්‌සියක්‌ නොදන්නා පරිද්දෙන් මෙවැනි අත්තනෝමතික ප්‍රතිකාර ලබාගැනීමක යෙදීම සිතා ගත නොහැකිය.

මංජු සිය පුහුණුවීම් කරනුයේ පන්නල බැවින් එහි සිට ප්‍රතිකාර පිණිස කොළඹ පැමිණීමට වඩා කුරුණෑගලට යැම ප්‍රායෝගිකව පහසුවීම මත ඔහු අදාළ වෛද්‍යවරයා වෙත ගියා විය යුතුය. එහෙත් කුරුණෑගල රෝහලේ සක්‍රීය තත්ත්වයේ පවතින ක්‍රීඩා වෛද්‍ය ඒකකයක්‌ තිබියදී මොහු ඒ පිළිබඳ විශ්වාසය නොතැබුවේ මන්ද යන්නද පැනයකි.

මේ සියළු කරුණු හෙලිවන්නේ මංජුගේ "ඒ" සාම්පලයේ නැන්ෙඩ්‍රාලෝන් තිබූ බවට චෝදනා ලැබීමත් සමගිනි. එතෙක්‌ මංජුගේ කුරුණෑගල ප්‍රතිකාර ගැන මෙරට ක්‍රීඩා වෛද්‍ය ඒකකය දැනුවත් නොකිරීම පැනයකි. මෙම තරගාවලියට යැමට ප්‍රථම අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කණ්‌ඩායම් වශයෙන් ගෙන්වා ඔවුන් ලබාගත් ප්‍රතිකාර ආදිය ගැන වෙන වෙනම විමසා ඇතත් එතැනදී මෙම ලබාගත් ප්‍රතිකාරය ගැන මංජු සඳහන් නොකළේ එම ප්‍රතිකාරය ඔහු එතරම්ම සුළුකොට තැකූ නිසාද?

කොළඹ ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් කරන ලද මෙම විමසුමේදී ජාතික සංචිතයේ තිදෙනෙක්‌ තහනම් සංඝඨක ඇතුළත් ඔසු ලබාගෙන ඇති බව හෙළිදරව් විය. ඉන් එක්‌ ක්‍රීඩකයකු අසාත්මිකතාවයක්‌ සඳහා ලබාගත් ප්‍රතිකාරයක අදාළ සංඝඨකය තිබූ අතර සෙස්‌සන්ද සාධාරණ හේතු ඉදිරිපත් කර තිබිණි. එවැනි අවස්‌ථාවක අදාළ ක්‍රීඩකයන් පිළිබඳ වෛද්‍ය ලිපි ගොනුවේ ඒ බව සඳහන් කරන අතර සාධාරණ හේතුවක්‌ මත මෙය ලබාගෙන ඇතැයි එහිදී විශේෂ සඳහනක්‌ (ටී.යූ.ඊ.) මෙරට ක්‍රීඩා වෛද්‍ය ඒකකය විසින් කරනු ලබයි. එහෙත් මෙය තරගයේ තහනම් උත්තේජක දැල එලන කමිටුවෙන් එක එල්ලේ සමාවක්‌ ලැබෙන්නක්‌ නොවන අතර ඔවුන් එම උත්තේජකයේ ප්‍රබලත්වය, එම ඔසුව ලබාදුන් වෛද්‍යවරයාගේ සුදුසුකම්, එම ඔසුව ලබාදුන්නේ සුදුසු ස්‌ථානයක සාධාරණ හේතුවක්‌ වෙනුවෙන්ද යන කරුණු කාරණා රැසක්‌ සැලකිල්ලට ගනිමින් අවසන් නිගමනයට එලඹේ.

මෙරට පිහිනුම් ක්‍රීඩක හේෂාන් උනම්බෝවට ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේදී මෙවැනි තහනම් උත්තේජක චෝදනාවක්‌ එල්ල වූ නමුත් ඇදුම රෝගය සඳහා හදිසි අවශ්‍යතාවක්‌ මත මෙම ඔසුව ලබාගත් බව සඳහන්ව තිබීමෙන් එය පිළිගත් තහනම් උත්තේජක නිවාරණ කමිටුව හේෂාන්ව චෝදනාවෙන් නිදහස්‌ කළේය.

ඒ අනුව තම කුරුණෑගල ප්‍රතිකාර පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය ඒකකය කල්තියා දැනුවත් නොකිරීමෙන් මංජුට සාධාරණය මත සමාවක්‌ ලබාගැනීමට තිබූ අවස්‌ථාවක්‌ අහිමිකරගෙන ඇතැයි සිතිය හැක. ඒ කෙසේ වෙතත් අප තවමත් සිටින්නේ සියළු බලාපොරොත්තු අතහැර මංජුගේ චෝදනා ඔප්පුවී ඔහුගේ පදක්‌කම ආපිට භාරදීමට සිදුව ඇති තත්ත්වයක නොවේ. තවත් බලාපොරොත්තුවක්‌ අපට ඉතිරිව ඇත. එනම් "බී" සාම්පලයයි. එම "බී" සාම්පලය පරීක්‍ෂාව නොවැම්බර් 1 දා හෙවත් හෙටට යෙදී තිබේ. මෙය පරීක්‍ෂා කර බැලෙන අවස්‌ථාවට නිරීක්‍ෂකයන් ලෙසින් මෙරට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා, නීතිඥ කාලිංග ආරියදාස මහතා සහ ජාතික ආධුනික බොක්‌සිං සංගමයේ ලේකම් ලුතිනන් කර්නල් හේමන්ත වීරසිංහ යන මහත්වරු දිල්ලිය වෙත යැමට නියමිතව තිබිණි. මෙම "බී" සාම්පලය මංජුට අදාළ චෝදනාවෙන් නිදහස්‌ වීමට හේතුවක්‌ වනු ඇතැයි බලාපොරොත්තු රඳවා ගත හැකි කරුණක්‌ නම් ඉන්දියාව මෙම පරීක්‍ෂණ සඳහා තවමත් කෝඩුකාර රටක්‌ වීම සහ මෙම පොදුරාජ්‍ය මණ්‌ඩල තරගාවලියේ තහනම් උත්තේජක පරීක්‍ෂාව සඳහා මුල සිටම ක්‍රියා කළ ආකාරයේ ඇති පටලවා ගැනීමේ ස්‌වභාවයයි.

19 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙල ඇරඹීමට පෙරාතුව අනෙකුත් සාමාජික රටවල ක්‍රීඩා වෛද්‍ය ඒකක සමග ක්‍රීඩකයන්ගේ වෛද්‍ය ප්‍රතිකාර ඉතිහාසය විමසීම ආදී කරුණු තොරතුරු තාක්‍ෂණය ඔස්‌සේ ඔන්ලයින් ක්‍රමයට විමසීමට සංවිධායකයන් කටයුතු කළද පසුව එම ක්‍රමවේදය අවුල් ජාලයක්‌ වී අදාළ විස්‌තර අතේ ගෙනවිත් භාරදෙන ලෙස රටවල නියෝජිතයන්ට උපදෙස්‌ ලැබිණි. එපමණක්‌ නොවේ මෙහිදී තහනම් උත්තේජක පරීක්‍ෂාවට දරාගත හැකි පමණ ඉක්‌මවා සාම්පල ලබාගැනීමක්‌ එම කමිටුව විසින් සිදුකළ බවටද කියෑවේ. ශ්‍රී ලංකාවෙන් පමණක්‌ මංජුට අමතරව (මංජුගේ මුත්‍රා සහ ලේ සාම්පල ලබාගැනුනේ රන් පදක්‌කම් දිනන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්‌ම එම පරීක්‍ෂාවට ලක්‌කිරීමේ පදනම යටතේය) මීටර 1500 ඉසව්වේ සිව්වැනි ස්‌ථානයට පත් චමින්ද විඡේකෝන් මෙන්ම ෂෙහාන් අඹේපිටිය මූලික ඉසව්වේ සිය හොඳම කාලය වාර්තා කළ විටද අදාළ පරීක්‍ෂාවට යොමු කරනු ලැබීය.

මේ අනුව මෙම ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක පරීක්‍ෂණ රාශියක්‌ (ජයග්‍රාහකයන් සහ අහඹුලෙස තෝරාගනිමින්) සිදුකර ඇති අතර ඉතිහාසයේ පළමු වරට මෙවන් කාර්යයක විද්‍යාගාර පරීක්‍ෂණ තම රටේදී කරනු ලබන ඉන්දියාවට අත්වැරැද්දක්‌ හෝ අඩුපාඩුවක්‌ සිදුවීමේ යම් සම්භාවිතාවක්‌ නොවේ යෑයි කිව නොහැක.

ඉතා දියුණු යෑයි සම්මත විද්‍යාගාර තත්ත්ව යටතේද "ඒ" සාම්පලයේ නිගමනය සහ "බී" සාම්පලයේ නිගමනය පරස්‌පර වූ අවස්‌ථාද තිබේ. වරෙක කෙටි දුර ධාවන ක්‍ෂේත්‍රයේ අගතැන්පත් වූ (නමුත් පසුව තහනම් උත්තේජක භාවිතය හේතුවෙන්ම සමාජයේ අවතැන්වූ) මේරියන් ජෝන්ස්‌ ඇමරිකානු ජාතික ශූරතා තරගාවලියේදී තහනම් උත්තේජක චෝදනාවට ලක්‌වූ නමුත් ඇයගේ "බී" සාම්පලය නිදොස්‌ වීම මත ඇය චෝදනාවෙන් නිදහස්‌ වූවාය. 2002 වසරේ මීටර් 1500 ඉසව්වෙන් ලෝක ශූරයා වූ කෙන්යාවේ බර්නාඩ් ලගාඩ්ටද වරෙක තහනම් උත්තේජක චෝදනාව එල්ල වූ නමුත් පසුව "බී" සාම්පලයේ පිරිසිදු බවින් හෙතෙම නිදහස්‌ වුණි. බෙයිජිං ඔලිම්පික්‌ උළෙලේ බර එසවීමේ තරග අංශයේ කිලෝග්රෑම් 53 බර පංතියේ 5 වැනි ස්‌ථානයට පත් ඩොමිනිකන් රාජ්‍යයේ යුදෙල්ස්‌කි කොටරොස්‌ "ඒ" සාම්පලයෙන් චූදිතයකු වුවද ඔහු "බී" සාම්පලයේ පිහිටෙන් චෝදනාවෙන් ගැලවී ගත්තේය.

මෙම වසරේ අප්‍රේල් මාසයේ ඉතාලියේ ජාතික ශූරතා දිනූ පාපැදි ධාවන ශූරිනි චානියා රෝසී තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌ වූයේ "බී" සාම්පලයේ "සාක්‍ෂි" නොවූ බැවිනි. මේ අනුව ඉන්දියාවේ පරීක්‍ෂණ තත්ත්ව වල අඩුපාඩුවක්‌ නොවේ යෑයි සිතිය නොහැකි බැවින් රන් පදක්‌කමක සුජාත අයිතිය පිළිබඳව තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට නැතුවා නොවේ.

එහෙත් යම් හෙයකින් මෙහි "බී" සාම්පලය විසින් "ඒ" සාම්පලයේ වාර්තාව තවදුරටත් තහවුරු කළහොත් මංජුට සිදුවන්නේ පදක්‌කම ආපිට භාරදීමට පමණක්‌ නොවේ. ඔහුට තරග තහනමක්‌ද පැනවෙනු නියතය. එය සාමාන්‍යයෙන් වසර 4 ක තරග තහනමකි. එහෙත් නිදහසට කරුණු ඉදිරිපත් කිරීම මත එම දඬුවම් කාල සීමාව අඩු විය හැකිය.

ඒ කෙසේ වෙතත් රටේ ජය පතන සියල්ලෝ මංජු නිදොස්‌ වේවායි පතති. "අපරාදෙ කොල්ලට වෙච්ච දේ" යෑයි ඔවුන් පවසනුයේ එසේ වුවහොත් රටට පදක්‌කමක්‌ අහිමිවීමේ පාඩුවටද වඩා ඒ ස්‌වර්ණමය මොහොත උදාකරදුන් "ආදරණීය මංජු"ට සිදුවන අනර්ථය පිළිබඳ වේදනාවෙනි.

හෙට දවස කෙසේ වෙතත් අටලෝ දහමේම යස සහ අයස අතර අරුත ප්‍රායෝගිකව දැන ගැනීමට මංජු සහ මංජු වන්නිආරච්චි කෙනෙකු බිහි කිරීමට යත්ත දැරූ ඩයන් ගෝමස්‌ ප්‍රමුඛ සියල්ලන්ටම මේ වන විටත් හැකිව තිබෙනවා නොඅනුමානය.

මංජු ගැන මේ ආරංචිය සමහරෙක්‌ට කාලකන්නි ආශ්වාදයක්‌ වූ බවද නොරහසකි. අයෙක්‌ මෙම ප්‍රවෘත්තිය තළු මරමින් විඳගත්හ. අවස්‌ථාවාදීකමින් මෙන්ම ඉරිසියාවෙන්ද තැලෙමින් මේ ජයග්‍රහණය දෙස බලා ඇතුළතින් පිච්චෙමින් සිටි කුහකයන්ට මංජුගේ මුත්‍රා සාම්පලය දහසකුත් එකක්‌ රස නහර පිනායන දිව්‍යමය පානයක්‌ වනු නියතය. එහෙත් මේ මගේ රටේ ජයය. මේ ලක්‌ මෑණියන්ට දාව උපන් මා වැනිම සහෝදරයකුගේ ජයය යන හැඟීමෙන් මෙම ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වූ ලක්‌මවගේ සුජාත දරුවන්ගේ පපුව මත ඒ මුත්‍රා සාම්පලය රාජ අම්ලය තරම් දරුණු ඇසිඩ් දහරකි.

ඉන්ද්‍රජිත් සුබසිංහ





 

 

 
Powered By -



සීමාසහිත උපාලි පුවත්පත් සමාගම

අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.