අපිත් කොන්ත්‍රාත් දෙනවා!

දැන් බෝලෙ තියෙන්නෙ ඒගොල්ලන්ගෙ අතේ. අපේ අතට බෝලෙ එනකං බලන් ඉන්නවා. මේ බෝල කතාව "ඉරිදා දිවයින" ට පැවසුවේ වත්මන් රග්බි සංගමයේ ලේකම් ෂේන් දුල්ලෑව මහතා.

ඕනෑම ක්‍රීඩාවක ජාතික සංචිතයට ක්‍රීඩා කිරීම එම ක්‍රීඩාව නියෝජනය කරන්නන්ගේ එකම අභිප්‍රාය වෙයි. එහෙත් මෙරට ජාතික රග්බි සංචිතයට ක්‍රීඩකයන් නම් කළ විට ඔවුන් එය කිසිදු තැකීමක්‌ නොකොට පුහුණුවීම් පවා මග හරින තත්ත්වයකට පත්ව තිබේ. එහෙත් එම ක්‍රීඩකයන්ට කිසිදු චෝදනාවක්‌ කිරීමට හෝ කෙළින්ම ඔවුන්ව විවේචනය කිරීමේ ශක්‌තියක්‌ මෙරට රග්බි සංගමයට නොමැත. රග්බි සංගමයට ඇති එකම අවිය රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු යෑයි පැවසීම පමණි.

දැන් ක්‍රියාත්මක බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලිය ඉලක්‌ක කරමින් ක්‍රීඩකයන් 53 කුගෙන් පමණ සංචිතයක්‌ ශ්‍රී ලංකා රග්බි තේරීම් කමිටුව නම් කළද සංචිතයේ පුහුණුවීම්වල පැමිණ ඇත්තේ ක්‍රීඩකයන් 15 කටත් අඩු සංඛ්‍යාවකි. එය මෙරට රග්බි ක්‍රීඩාවේ කඩා වැටීම කෙසේ වෙතත් ජාතික රග්බි සංචිතයේ කඩා වැටීම බවට විවේචනය කිරීමේ හැකියාවක්‌ ඇත. ඒ මෙරට ක්‍රියාත්මක රග්බි ක්‍රීඩා සමාජවලින් ලැබෙන සාත්තු සප්පායම් ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට නොලැබෙන හෙයින් ක්‍රීඩකයන්ට පළමුව රට විය යුතු වුවද ඔවුන්ගේ පැවැත්ම උදෙසා පළමුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් පෙනී සිටීමට පෙළඹී සිටියි. නැතිනම් වෙළෙඳසේවා තරගාවලියේදී තමන් ක්‍රීඩා කරන ආයතනය වෙනුවෙන් ජාතික කණ්‌ඩායමෙන් පවා ඉවත්වීමේ ශක්‌තියක්‌ ක්‍රීඩකයන් සතුව ඇත. එසේ නම් පළමුව ශක්‌තිමත් විය යුත්තේ ජාතික රග්බි සංචිතය බව පැහැදිලිව දිස්‌වේ.

මීට පෙරද "ඉරිදා දිවයින ක්‍රීඩා සංග්‍රහයෙන් රග්බි ක්‍රීඩාවේ වත්මන් අඳුරු පැතිකට පිළිබඳව රටට පැහැදිලි කළද තවමත් ඒ සඳහා නිසි පියවරක්‌ ගැනීමට මෙරට රග්බි පාලනාධිකාරිය කටයුතු කර තිබේද? නැතිද? යන්න පිළිබඳව සොයා බැලීමට රග්බි සංගමයේ වත්මන් ලේකම් ෂේන් දුල්ලෑව මහතා සමග යෙදුණු සාකච්ඡාවකදී මෙසේ කරුණු අනාවරණය විය.?

ප්‍රශ්නය - ජාතික රග්බි සංචිතයෙන් ක්‍රීඩකයන් කට්‌ටි පැනීම නවත්වන්න ක්‍රියා මාර්ගයක්‌ ගෙන තියෙනවද?

පිළිතුර - ඔව්. අපි දැන් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට වගේ ජාතික රග්බි සංචිතයේ ක්‍රීඩකයන්ව කොන්ත්‍රාත් පදනම මත ගිවිසුම් ගත කරන්න කටයුතු කරගෙන යනවා.

ප්‍රශ්නය - ඒ කොන්ත්‍රාත් පදනම කුමන පදනමක්‌ සහිතව විය යුතුද?

පිළිතුර - ඒ පිළිබඳව සියලු ලිපි ලේඛන මේ දිනවල සකස්‌ කරමින් ඉන්නවා. ඒක කරන්නෙ කොහොමද යන්න කියල ඉක්‌මනින්ම තීරණය කරනවා.

ප්‍රශ්නය - ජාතික සංචිතයට ක්‍රීඩකයන්ව කොන්ත්‍රාත් පදනමට තියාගන්න ක්‍රීඩා සමාජ වලින් ලැබෙනවාට වැඩි මුදලක්‌ ඔවුන්ට ගෙවිය යුතුයි නේද?

පිළිතුර - ක්‍රීඩා සමාජවලට තරම් ජාතික රග්බි සංචිතයට මුදල් නැහැ. ඒත් අපි ක්‍රීඩකයන්ට සාධාරණයක්‌ වෙන විදිහට ඔවුන්ව කොන්ත්‍රාත් පදනමකට ගිවිසුම් ගත කරන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - ක්‍රීඩා සමාජවලට වඩා ජාතික රග්බි සංචිතය වෙනුවෙන් හොඳ අනුග්‍රහකයන් ලබා ගන්න පුළුවන්නෙ?

පිළිතුර - ඔව් අපිට අනුග්‍රකයන් ඉන්නවා. ඒත් විදෙස්‌ සංචාරවලදී කණ්‌ඩායමේ ගුවන් ගමන් ගාස්‌තු පවා හොයා ගන්න වෙන්නෙ අපිට. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශයත් අපිට උදව් කරනවා.

ප්‍රශ්නය - ජාත්‍යන්තර රග්බි සංගමයෙන් වාර්ෂිකව මෙරට රග්බි ක්‍රීඩාව වෙනුවෙන් මුදල් පිරිනමනව නේද?

පිළිතුර - ඒ මුදල් ගිය වසරේ ඉදල ලැබිල නැහැ.

ප්‍රශ්නය - මොකද්ද හේතුව?

පිළිතුර - අපේ නිලවරණය පවත්වල නැහැ කියල ජාත්‍යන්තර රග්බි සංගමය මුලින්ම සල්ලි දුන්නෙ නැහැ. පසුව එක්‌තරා පාර්ශ්වයක්‌ අපේ නිල මඬුල්ලට එරෙහිව උසාවි ගිය හින්ද මුදල් ලැබුණෙ නැහැ.

ප්‍රශ්නය - දැන් ජාත්‍යන්තර රග්බි සංගමයෙන් මුදල් ලැබෙන්න ඕන නේද?

පිළිතුර - ඔව් අපි බලාපොරොත්තුවෙනවා ගිය අවුරුද්දෙ සහ මේ අවුරුද්ද ලබා දෙන මුදල් ලබා දෙන්න. ඒ ගොල්ලන්ට අපි ඉදිරිපත් කරල තියෙනව අපේ ජාතික රග්බි ක්‍රීඩාවේ තත්ත්වය. අපේ ක්‍රීඩා සමාජ සහ ක්‍රීඩකයන්ගේ තත්ත්වය යහපත් වෙන්න වෙන්න ඔවුන් දෙන මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් බෝලෙ තියෙන්නෙ අයි.ආර්.බී. එක අතේ. අපි බලන් ඉන්නෙ අපේ අතට බෝලෙ එනකම්.

ප්‍රශ්නය - කොන්ත්‍රාත් පදනමට ජාතික රග්බි සංචිතය නම් කිරීමට තව කොපමණ කාලයක්‌ ගත වෙයිද?

පිළිතුර - අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩකයන් 50 ක්‌ පමණ ජාතික සංචිතයට ගිවිසුම් ගත කරල ඇතුළත් කරගන්න. අනිවාර්යෙන්ම ලබන ජනවාරි ඉදල මෙය ක්‍රියාත්මක වෙනවා.

අසේල විතාන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.