ටොරින්ටන් පෙන්ටගනය

කිරීඩා මාධ්‍යවේදියෙක්‌ ගියා සෙල්ලම් අමාත්තියංසෙ පැත්තට

"අප්පට සිරිගජ

යකඩෝ පෙන්ටගනය වගෙයිනේ"

ආරක්‍ෂක කැමරා අටෝලා හතර අතේ

සිකිරුටි ඇත්තන් සීරුවෙන්

"සෙල්ලම් අමාත්තියංසෙ වෙනින් තැනකට ගෙනිහිල්ලා වෙන්න ඇති. ආරක්‍ෂක අමාත්තියංසෙ මෙතෙනට ගෙනල්ලා වගේ. කොයිකටත් වෙඩි කන්න හරි ලංකරලා බලනව. සැකය දුරුකරගෙන මැරුණත් සැපයි." කියලා හිතලා මාධ්‍යවේදියා පොඩ්ඩක්‌ ක්‌ලෝස්‌ ඈන්ගල් එකකින් බැලුවා.

"තමුසෙ මොකද කරන්නේ. මොනවද කෙරෙන්න ඕනේ" ගේට්‌ටුවේ සිකිරුටි ජෙනරාල් තවත් තරු ගණනක පවර් එකක්‌ පෙන්නුවා

"මේක තාම සෙල්ලම් අමාත්තියංසෙද" කියලා මාධ්‍යවේදියා අර සිකිරුටි ජෙනරාල්ගෙන් ඇහුවා.

"ඔව් ඇයි මොකද"?

සිකුරුටි ජෙනරාල් පුල් රැස්‌පොට්‌

"මට මේ ඇතුළතට එන්න" මාධ්‍යවේදියා එහෙම කියන ගමන් තමන්ගේ මාධ්‍ය හැඳුනුම්පත පෙන්නුවා.

"මේ මොකද්ද මේ"

සිකුරුටි ජෙනරාල් තම දැනුම පෙන්නලා ඇහුවා

"මේකත් රජයෙන්ම දීපු එකක්‌" කියලා මාධ්‍යවේදියා ඒකෙ රාජ්‍ය ලාංඡනේ පෙන්නුවහම පොඩ්ඩක්‌ සිකුරුටි ජෙනරාල්ගේ සැර බාලවුනා

"ඇමැතිතුමා හම්බවෙන්න නම් අද බෑ"

සිකිරුටි ජෙනරාල් එහෙම කිව්වෙ මාධ්‍යවේදියාගේ උරහිසට උඩින් ඔලුව දාලා. මාධ්‍යවේදියා පස්‌ස හැරිලා බැලින්නම් වලපනේ පැත්තේ ගොවියෙක්‌ පිටිපස්‌සේ.

"අපි බොහොම දුර ඉදලා ආවේ. පොඩ්ඩක්‌ ඇමැතිතුමාත් එක්‌ක කථා කරන්න බැරිවෙයිද? අපිට මේ කිරි ප්‍රශ්නයක්‌" කියලා ගොවියා කිව්වා

එතුමා කිරි ප්‍රශ්න විසදුවේ ඉස්‌සර. දැන් විසදන්නේ කිරි-ඩා ප්‍රශ්න. එහෙම ප්‍රශ්නයක්‌ තියෙනවා නම් බදාදාවක එනවා. අනිත් දවස්‌ වලට බෑ."

"ඇයි කෙම්මුර දවස්‌ වලට එහෙම බැරිද"? කියලා පොඩි නෝන්ඩි ටෝක්‌ එකක්‌ දාගෙන ගොවියා පසු බැස්‌සා.

ඒ එක්‌කම පෝලිමට එකතුවුනේ ක්‍රීඩකයෙක්‌ගේ පෙනුම තියෙන හාදයෙක්‌.

ඇයි කොහෝ යන්නද? කියලා සිකුරිටි ජෙනරාල් සුපුරුදු වචන ලැයිස්‌තුවෙන් එයාව පිළිගත්තා.

"අපි විල ළඟ කමිටුව පැත්තට යන්න" කියලා ඒ හාදයා කිව්වා.

"මෙහෙන් බෑ මෙහෙන් බෑ, වටෙන් වටෙන්" කියලා සිකුරුටි ජෙනරාල් කැටයම් දැම්මා

"ඇයි මොකද ටොරින්ටන් වල සිරිය බලන්නද වටෙන් යන්න කියන්නේ? අනික ක්‍රීඩකයෙකුට සෙල්ලම් අමාත්තියංසේ හරහා විල ළඟ කමිටුව පැත්තට යන්න බැරිනම් මොකාටද යන්න පුළුවන්" කොළුවට අසූ හාරදහසට තදවෙලා.

"ඉස්‌ස වගේ නෙමෙයි දැන් මේක අධි ආරක්‍ෂිත කලාපයක්‌ දැක්‌කනේ කැමරාත් හයි කරලා තියෙනවා."

සිකිරුටි ජෙනරාල් ක්‍රීඩකයට ආරක්‍ෂිත කැමරාවක්‌ පෙන්නුවා.

"ඇයි මොකද ඔය අමාත්තියංසෙට කවදවත් නැති තරම් වටින පදක්‌කම් කුසලාන එහෙම ලැබුනද පසුගිය දවස්‌වල. සමහරවිට ඒවා ආරක්‍ෂා කොරගන්න වෙන්නඇති මේ තරම් සිකිරුටි එකක්‌."

කොළුවා තර්ක දදා ඉන්දැද්දි සෙල්ලම් අමාත්තියංසෙ පැත්තෙ ඉදන් කළු වීදුරු වාහනයක්‌ විල ළඟ කමිටුව පැත්තෙන් එළියට ගියා.

"ඉස්‌සරහ කැලෑව එලිපෙහෙළි කරලා විල ළඟ කමිටුව පාර පාදල දුන්නට පස්‌සෙ ඔහේලට පුළුවන් ලැඡ්ජාවක්‌ නැතිව ඒකෙන් යන්න. අපිට ඔහේලගේ පාරෙන් විළ ළඟ කමිටුවට යන්න විදිහක්‌ නෑ." කොල්ලා ගේම ඉල්ලද්දි සෙල්ලම් අමාත්තියංසෙ ඉඳල සෙල්ලම් පෙනුම තියෙන නෑම්බියෝ දෙන්නෙක්‌ ගේට්‌ටුව පැත්තට ආව. බොටම් ඇඳලා දඟකාර විදිහට කැප් තොප්පි දාගත්ත මේ නෑම්බියෙක්‌ "අංකල් අනේ එයාව ඇතුලට ගන්න. එයා මගේ යාළුවෙක්‌" කියලා කිව්වා විතරයි සිකුරුටි ජෙනරාල් කීකරු බලල් පැටියෙක්‌ වගේ ගේට්‌ටුව ඇරලා කොළුවව ඇතුලට ගත්තා.

"මාර සිකුරුටියක්‌ තියෙන්නේ"

මාධ්‍යවේදියා තමන්ටම කියාගන්න ගමන් වටපිට බැලුවා. අමාත්තියංසෙට නම් අද යන්න ලැබෙන එකක්‌ නෑ කියලා හිතලා "එහෙනම් මට වොලිබෝල් එකටවත් යන්න දෙනවා" කියලා මාධ්‍යවේදියා සිකුරුටි ජෙනරාල්ගෙන් ඉල්ලීමක්‌ කළා.

හා එහෙනම් මේ පැත්තෙන් එනවා.

පයින් එන අය ඇතුළුවෙන ගේට්‌ටුවේ හිටපු මාධ්‍යවේදියාව වාහන ඇතුළුවෙන ගේට්‌ටුවෙන් ඇතුළට ගන්න සිකුරුටි ජෙනරාල් කාරුණික වුනා. මේකත් මාර තැනක්‌ වෙලා. ක්‍රීඩකයෙකුට ක්‍රීඩා වැඩකට මේක ඇතුළෙන් යන්න බෑ. පයින් එන අය ඇතුළුවෙන ගේට්‌ටුව වහලා වාහන ඇතුළුවෙන ගේට්‌ටුවෙන් පයින් එන අයව ඇතුළු කරනවා. කැමරා 6 ක්‌ මානගෙන ෆුල් සිකුරුටි ඇලර්ට්‌ එකක්‌. යකෝ යුද්දෙ කාලෙවත් නැහැනෙ මෙහෙම සමයං. මාධ්‍යවේදියා හිමීට වොලිබෝලෙට මුවාවෙලා සෙල්ලම් අමාත්තියංසෙට ඇතුළු වුනා.

ෂේප් එකේ ඇමැතිතුමාගෙ වාස බවනට ඔළුව දැම්මා.

"නැත"

කියලා බෝඩ් ලෑල්ලක්‌ ගහලා තිබුණා

රටෙත් නැ

කියා මාධ්‍යවේදියා සම්බන්ධීකරන ලේකම්ගෙ කාමරයට එබුනා.

එයත් රටේ නැත

යකෝ මොකෙක්‌වත් නැතිනම් මේ සිකුරිටි කැමරා අටවගෙන ඉන්නේ අහවල් කෙන්ගෙඩියකටද?

ෂෝ එක දැකපු මාධ්‍යවේදියාට කියවුනා

චකර්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.