විමලධර්ම රජුගේ හපන්කම්

මාරස්‌සන ඩී. පී. වික්‍රමසිංහ සූරීන් (වර්ෂ 1920-1974)

ගුරුවරයෙකි. විදුහල්පතිවරයෙකි. සිංහල ගැමි සංස්‌කෘතිය (විශේෂයෙන් ගැමි ජනශ්‍රැතිය) පිළිබඳව ප්‍රාමාණික විද්වතෙකි. ජනශ්‍රැතිවේදියෙකි. පර්යේෂකයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. සංස්‌කාරකවරයෙකි. පුවත්පත් - සඟරා ලිපි රචකයෙකි. දේශකයෙකි. ප්‍රකට සමාජ සේවකයෙකි. මෙතුමා විsසින් රචනා කරන ලද මාහැඟි කෘතිය වූයේ "මගදිගට ජනකතා - 1970" නම්වූ කාණ්‌ඩ දෙකකින් යුතු වූ ලංකාවේ පුරාණ දුර්ලභ ගණයේ ජනකතා එකතුවයි. (මෙම මාහැඟි කෘතිය මෙම විෂයය අරභයා සිංහල භාෂාවෙන් රචනා කරන ලද විශිෂ්ටතම කෘතිය ලෙස අවිවාදයෙන් පිළිගැනේ)

මෙතුමා විසින් රචනා කරන ලද මෙම දුර්ලභ ගණයේ ලිපියේ වර්ෂ 1966 දෙසැම්බර් මස රසවාහිනී සඟරාවෙහි පළවිය.

සටහන සමගින් මෙම ලිපිය තෝරා සියපත වෙත එවන ලද්දේ මහදිසාවේ බණ්‌ඩාර ඇටිපොල විසිනි.

රටක ජාතියක සංස්‌කෘතික විපර්යාසයන් දැන ගැනීමට එම රටේ ඉතිහාස පත පොත හා ශිලාලේඛනද ජන කතා ද ඉවහල් වේ. අප රටේ ඇති ඓතිහාසික වංශ කථාවන්හි බෙහෙවින් විස්‌තර කර ඇත්තේ රජුන් පිළිබඳවත්, ඔවුන් ආගමික දියුණුව සඳහා කරන ලද පුණ්‍යක්‍රියා සම්බන්ධ විස්‌තර හා වර්ණනා වෝත්ය. පොදු මිනිසාගේ සිතුම් පැතුම් සිරිත් විරිත් හා ආර්ථික තත්ත්වයන් පිළිබඳ විපර්යාසයන් ගැන වංශ කතාවන්ගෙන් ලැබෙන පිහිට ඉතා ස්‌වල්ප වේ.

ලංකාව පුරා විසිරී පවත්නා මුඛ පරම්පරාගත ජනකතාවන්ගෙන් පුරාණ ලක්‌වැසියාගේ සිතුම් - පැතුම් සිරිත් විරිත් හා ජීවනෝපායන් පිළිබඳ සංස්‌කෘතික ලක්‌ෂණයන් හා විපර්යාසයන්ද දැනගත හැකිවේ. එම නිසා රට පුරා විසිර පවත්නා ජනකතාවන් විනාශ වී යා නොදී ආරක්‌ෂා කිරීම ජාතියට කරන විශාල සේවයක්‌ යෑයි සිතමු. ජනකතා කීම සම්ප්‍රලාපයක්‌ යෑයි සැලකූ සමහරු තමන් දත් කතාවන් අන්‍යයන්ට කීමට අසතුටු වෙති. ඒ අනුව අප කෙරෙන් අහෝසි වූ ජනකතා බොහෝය. ශෘංගාරාදී නව නාට්‍ය රසයෙන් අනූන වූ සමහර ජනකතාවෝ නවකතා මෙන්ම අසන්නන්ගේ සිත් රසයන්ගෙන් ප්‍රීතිමත් කෙරෙත්. ඒවා කියවීමෙන් ලබාගත හැකි ඓතිහාසික හා සංස්‌කෘතික දැනුම ද බොහෝය.

සෙංකඩගලපුර, ශ්‍රී වර්ධන පුර යන නාමයන්ගෙන් ව්‍යවහාර වූ මහනුවර, අති පුරාණ කාලයේ සිට පැවතෙන රාජධානියක්‌ බව ජනකතාවන්ගෙන් අවබෝධ වේ. "සෙංඛණ්‌ඩ" නම් තාපසයෙකුගේ අවවාද පරිදි එතුමාගේ නමින් එක්‌ අප්‍රසිද්ධ කුමාරයෙකු විසින් මේ නගරය ගොඩනගන ලද බව එක්‌ ජනකතාවක සඳහන් වේ. එම අප්‍රසිද්ධ කුමාරයා අනෙකකු නොව කැලණිතිස්‌ස රජුගේ සොහොයුරු උත්තිය කුමරු බව තවත් ජන කතාවකින් ඔප්පු වේ.

උත්තිය කුමරු පලායයි

නිවැරදි රහතන්වහන්සේ නමක්‌ උණුතෙල් තටාකයක දමා පිරිනිවන් පෑමට සැලැස්‌වීමෙන් රටින් විශාල කොටසක්‌ මුහුදුබත් වීමටත්, රජ පවුලේ විනාශයටත්, හේතු භූතවූ මහා අපරාධයට වගකිය යුත්තා උත්තිය කුමාරයා බව වටහාගත් රටවැසියෝ ඔහුගෙන් පලිගැනීමට සූදානම් වූහ. ඒ බව දැනගත් උත්තිය කුමරු තමා හට හිතවත් සේනාව හා හස්‌ත සාර ධනය සහිතව තමා සැඟවී උන් මාදම්පා ප්‍රදේශය අතහැර කන්ද උඩරටට පැමිණ ඉහත කී සෙංඛණ්‌ඩ තවුසාගේ අවවාද පරිදි සෙංකඩගල පුරය ගොඩ නගා එහි පදිංචි වූ බව එම ජනකතාවෙන් අනාවරණය වේ.

දුටුගැමුණු රජු ද්‍රවිඩ සංහාරය සඳහා මයියන්ගනයෙහි කඳවුරු බැඳ සිටි කාලයේදී විහාරමහා දේවිය පුත් කුමරාගේද අනුමතිය ඇතිව යුද සේනාවක්‌ පිරිවරා මහවැලි ගඟේ දකුණු ඉවුර දිගේ ගමන්කොට මහනුවරට පැමිණ තම සුළුපියා හමුවූ බව සඳහන් ජනකතාවක්‌ද ඇත්තේය. තමා විසින් කුඩා කාලයේදී හැදූ වැඩූ තම දෙටු සොහොයුරාගේ දියණිය තමා හමුවීමට එන බව සැලවූ උත්තිය කුමරු බලවත් ප්‍රීතියෙන් ඈට පෙරගමන් කළ බවත් එම දෙසේනාව ගෝනාවත්ත නම් ප්‍රදේශයේදී සම්මුඛවූ බවත් එම ජනකතාවෙහි සඳහන් වේ.

මෙම ජනකතා අනුව සෙංකඩගල නගරය දුටුගැමුණු රාජ්‍යෙන්ද යටත් පෙරසිට පැවත එන බව සිතා ගත හැකිය. එහෙත් සෙංකඩගල නගරය ප්‍රධාන රාජධානිය කර ගත්තේද විමලධර්ම මහ රජු විසිනි. විමලධර්ම, සෙනරත්, දෙවෙනි රාජසිංහ, විමලධර්මසූරිය, වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් නව දෙනාගේ ප්‍රධාන රාජධානිය වූයේ මෙම සෙංකඩගල පුරයයි. මෙහි සඳහන් අන්තිම රජවරු සිව්දෙනා මදුරාපුර නායක්‌කර් වංශිකයෝ වූහ.

රාසිං දෙයියෝ

මෙම රජුන් නවදෙනාගෙන් තේජෝබල පරාක්‍රමයෙන් හා සෞරවීර්ය භාවයෙන් අගපත් වූයේ දෙවැනි රාජසිංහ රජුතුමාය. සීතාවක රාජසිංහයන්ගෙන් පසුව ප්‍රතිකාල්බලය බිඳ දමන ලද්දේ දෙවෙනි රාජසිංහයන් විසිනි. එබැවින් මේ රජුන් දෙදෙනොටම "රාසිංදෙවියෝ" නමින් ආමන්ත්‍රණය කිරීමට රටවැසියෝ පුරුදු වූහ. පහතරට ප්‍රදේශවල රාසිං දෙයියෝ නමින් ව්‍යවහාර වූයේ සීතාවක රාජසිංහ රජතුමාය. උඩරට ප්‍රදේශවල රාසිංදෙයියෝ නමින් ව්‍යවහාර වූයේ දෙවෙනි රාජසිංහ රජතුමාය. එතැන් පටන් රජවූ සෑම රජුන්ටම සාමාන්‍යයෙන් "රාසිංදෙයියන්" යන නම ව්‍යවහාර වූ බව සිතන්නට පුළුවන. "දුටුවම බිය නැද්ද රාසිංහ දෙයියන්" යනුවෙන් ගම්බද ගෙවිලියක්‌ රාජාධි රාජසිංහ රජුට කියා තිබීමෙන් ඒ බව ඔප්පු වේ.

අපරිමිත බලපරාක්‍රමයෙන් හා යුද්ධ ශිල්පයෙන්ද කාය බලයෙන්ද අනූන වූ දෙවන රාජසිංහයන් පමණ ලංකාව පුරා ප්‍රසිද්ධ වශයෙන් හා අප්‍රසිද්ධ වේශයෙන් සංචාරය කළ අන්‍ය රජෙක්‌ නොවීය. උතුරු දෙසින් අනුරාධපුරය හා යාපනය දක්‌වාද නැගෙනහිරින් මඩකලපුව, පානව හා තිරිකුණාමලය දක්‌වාද, දකුණේ ගාල්ල, මාතර හා හම්බන්තොට දක්‌වාද, බටහරින් කොළඹ හා පුත්තලම දක්‌වාද මේ රජතුමා වරින් වර සංචාරය කර තිබෙන බව ජනකතා මගින් ඔප්පු වේ. කාය බලයෙන් මෙතුමා දක්‌වා තිබෙන සූරවීර ක්‍රියා බොහෝය. මේ රජතුමා කඩු සරඹයෙහි ඉතා දක්‌ෂයෙකි. දසට රියනක්‌ උස අහසට පැන කරනමින් ගොස්‌ සතුරන් පෙති ගැසීමේ හැකියාවක්‌ මෙතුමාට තිබුණ බව කියනු ලැබේ. එතුමා එම ශිල්පය උගත් අන්දම පිළිබඳ ජනකතාව අද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

සීතාවක රාජසිංහයන් විසින් කන්ද උඩරට ආණ්‌ඩු කළ ප්‍රදේශ රජෙක්‌ වූ කරල්ලියද්දේ බණ්‌ඩාර යුද්ධයෙන් පරදවන ලද්දේය. කරල්ලියෑද්දේ රජු තම දියණියද පුත්‍රස්‌ථානයෙහි සිටි කුමාරයෙකුද කැඳවාගෙන ජීවිතාරක්‌ෂාව සඳහා පලාගොස්‌ ප්‍රතිකාලුන්ගේ රැකවරණ ඇතිව මන්නාරමෙහි වාසය කළේය. කන්ද උඩරට යුද්ධයේදී තමාට උදව් කළ දෙනුවර මේණවර වංශික උරුලෑවතු ගම්පසේ වීරසුන්දර බණ්‌ඩාර පෙළපතින් පැවත ආ සුන්දර බණ්‌ඩාර නම් ප්‍රභූවරයා කෙරෙහි සැකසිතූ පළමු වැනි රාජසිංහ රජු ඔහුට ගම්වරක්‌ ප්‍රදානය කිරීමට යෑයි සීතාවකට කැඳවා එන අතර ගොලෑබොක්‌කේදී බොරුවළක හෙළා මැරවූයේය.

මේ ගැන අතිශයින් කෝපයට හා ශෝකයට පත් සුන්දර බණ්‌ඩාරගේ පුත් කොණප්පු බණ්‌ඩාර "පියාගේ ලේවල පලිය ගනිමි"යි වෛරානුබද්ධ සිතින් යුක්‌තව කොළඹට පලා ගොස්‌ ප්‍රතිකාලුන් යටතේ දොන් ජෝන් නමින් කුලවැද්දුම් (බවුතිස්‌ම) ලබා වාසය කළේය. පසුකලකදී දොන් ජෝන් විසින් කරන ලද පෙරළියක්‌ නිසා කිපුණු ප්‍රතිකාලුන් විසින් දඬුවම් පිණිස දොන් ජෝන්ව ගෝවට පිටත් කර හරින ලද්දේය. දොන් ජෝන් වනාහි යුද්ධ ශිල්පයෙහි හා කඩු සරඹයෙහිද මල්ලව පොරයෙහිද ඉතා දක්‌ෂ වූ මහත් කාය ශක්‌තියක්‌ ඇති ශෝභන පෙනීමකින් යුත් උෙද්‍යාගිමත් තරුණයෙක්‌ විය.

මේ කාලයෙහි ගෝව ආසන්න ගමක "ගජාබාහු" නම් ලත් සූරවීර දක්‌ෂ යෝධයෙක්‌ සිටියේය. මේ යෝධ පුරුෂයාගෙන් ප්‍රතිකාලුන්ට නිතර නිතර හිරිහැර ඇති විය. තමා සමග මල්ලව පොරයට හා කඩු සරඹයට ඕනෑම දක්‌ෂ ප්‍රතිකාල් සෙන්පතියෙකු එවත්වායි ඔහු ප්‍රතිකාල් විසුරේට අභියෝග කළේය. එසේ එම අභියෝග පිළිගෙන යවන ලද සෑම ප්‍රතිකාල් සෙන්පතියෙක්‌ම ගජාබාහු විසින් පරදවන ලද්දේය. මෙයින් උෙද්‍යාගිමත් වූ ගජබාහු තමා හට අසුවන සෑම ප්‍රතිකාල් ජාතියෙකු මැරුවේය. එම නිසා ගජාබාහු ප්‍රතිකාල් විසුරේට මැඩ පැවැත්විය නොහැකි බලවත් පුරුෂයෙකු විය. මොහු පරාජය කරන්ට නොලැබීම ප්‍රතිකාල් විසුරේට බලවත් නින්දාවක්‌ විය. එම නිසා ගජාබාහු නම් යෝධයා පරදවන ඕනෑම කෙනෙකුට ඉතා අනර්ඝ තෑගි දෙන බවට විසුරේ ප්‍රසිද්ධ කර තිබුණේය.

ගෝවට ගිය නොබෝ දිනකින් දොන් ජෝන්ට මේ බව ආරංචි විය. ඔහු රහසේ ගජාබාහුගේ කඩු සරඹ ක්‍රමය ගැන පරීක්‌ෂා කළේය. වරක්‌ ගජ බාහු සහ වෙනත් දක්‌ෂ සේනාපතියෙකු අතරේ වූ බලවත් ද්වන්ද්ව සටහනක්‌ බලා සිටි දොන් ජෝන්ට ගජබාහු පැරදවීම තමාට කළ හැකි බව හැඟී ගියේය. ඔහු ප්‍රතිකාල් විසුරේ වෙත ගොස්‌ තමාට ගජාබාහු පැරදවිය හැකි බව සැළ කළේය. මින් ප්‍රීතිමත් වූ ප්‍රතිකාල් විසුරේ ගජාබාහු මරා දැම්මොත් වටිනා තෑගි සහිතව නැවත ලංකාවට දොන් ජොන්ව යවන බවට පොරොන්දු විය.

මේ අනුව ද්වන්ද්ව යුද්ධයකට කැඳවා ගජාබාහුට පණිවිඩයක්‌ විසුරේ විසින් යවන ලදී. ගජාබාහු ද පළමු වාරයන්හි මෙන්ම මෙවරද ජයග්‍රහණය සිකුරු යෑයි සිතා විසුරේගේ අභියෝගය පිළිගත්තේය. නියමිත දිනයේදී තරග භූමිය ප්‍රතිකාලුන්ගෙන් හා ස්‌වදේශීකයන්ගෙන්ද පිරී ගියේය. සාදන ලද විශේෂ මණ්‌ඩපයක විසුරේ ප්‍රධාන සේනාපතීහු ආසනාරූඪව සිටියහ.


ලබන සතියට...‍

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.