සිංහල ජාතික පුනරුදයට බලපෑ ආගමික පුනරුදය

වරෙක පෘතුගීසීන්ගෙන්ද වරෙක ලන්දේසීන්ගෙන්ද තවත් වරෙක ඉංග්‍රීසීන්ගෙන්ද බැටකෑ අපි කලක්‌ කිසිත් කර කියාගත නොහැකිව සිටියේ වැටී ඇති අගාධයෙන් ගොඩට එන්නේ කෙසේදැයි සිත සිතාය.

පෘතුගීසි හා ලන්දේසීන්ද අපේ ජාතිකත්වය නැති කිරීම අරබයා කටයුතු කළේ ඔවුන්ගේ ආගම හරහාය. "රෙපරමාදු" නැත්නම් ක්‍රිස්‌තියානිය ඔවුන් බලෙන්ම වාගේ ජනතාවට ඇදහීම සඳහා නියෝග කළ අතර ආගම පිළිබඳ ඉගැන්වීම් පල්ලිය මුල්කොට ගෙන ජනතාව අතරට කාන්දු කළහ. මුල් අවධියේ මුහුදුබඩ පමණක්‌ මෙසේ ගෙනගිය ආගමික ප්‍රචාරයන් පසුව රට අභ්‍යන්තරයටද ගෙන ගියේ බලහත්කාර කමින්ය.

19 වන සියවස පටන්ගත් අවධියේ මෙරට ආගම පතුරුවාහල මිෂනාරි සමාගම් කීපයක්‌ අපට හමුවේ. ලන්ඩන් මිෂනාරි සමාගම, බැප්ටිස්‌ට්‌ සංගමය, ඇමරිකානු මිෂනාරි සංගමය, චර්ච් මිෂනාරි සමාගම මේ අතර ප්‍රධාන තැනක්‌ ගත් ඒවා විය. මින් ඇමරිකානු මිෂනාරි සමාගම උතුරු පළාතේ තම ආගම් ප්‍රචාර කටයුතු ගෙන ගිය බවට තොරතුරු හෙළිවේ.

මිෂනාරි සමාගම් ප්‍රධාන නගරවල ඇති කළ පාඨශාලා මගින් ඉංග්‍රීසි භාෂාව මුල්කොට උගැන් වූ අතර දමිළ පළාත්වල දෙමළ භාෂාවට මුල්තැන දෙන ලදී. මෙහිදී ගම්බද පාසල් අධ්‍යාපන කටයුතු ගෙනයන ලද්දේ සිංහල භාෂාවෙනි. මේ අතර ඔවුන් කළ තවත් කටයුත්තක්‌ නම් බයිබලයේ කතා ඇතුළත් දේ පරිවර්තනය කර භාවිත භාෂා මාධ්‍ය මගින් ජනතාව අතට පත් කිරීමයි. මෙය බොහෝ සේ ජනප්‍රිය වූ කටයුත්තකි.

එවක ලංකාවේ පුරාණ කාලයේ සිට පැවත ආ පන්සල් අධ්‍යාපන ක්‍රමය බිඳවැටී තිබුණු අතර ඊට දැක්‌වූ සැලකිල්ලද අඩුවිය.

සමාජයේ පිළිගත් අය පන්සල් අධ්‍යාපනය අත්හැර මිෂනාරි අධ්‍යාපනයට ඇලුම්කළේ ඉංග්‍රීසියට තිබූ ආශාව නිසාය. ඒ අතරම ඒ වකවානුවේ පැවැති තාන්න මාන්න දීම් නින්දගම් ලබාදීම්, නම්බු නාම ලබාදීම් ආදී හේතු නිසා වැඩිපුරම ජනතාව ඇලුම් කළේ මේ ක්‍රිස්‌තියානි සමාජ රටාවටය.

මෙම පාලන අවධියේ රැකියා සඳහා යම් අයෙක්‌ තෝරාගැනීමේදීද විමසා බලන ලද්දේ මිෂනාරි අධ්‍යාපනය ලැබූ අයෙක්‌දැයි කියාය. මේ නිසාත් එදා මිෂනාරි අධ්‍යාපනය ලැබූවන්ට තිබූ සැළකිල්ලත් නිසා බෞද්ධ දෙමව්පියෝ තම දරුවන් සෘජු ලෙසම ගාල් කළේ මිෂනාරි අධ්‍යාපන මධ්‍යස්‌ථානයන්හිය. කෝල්බෲක්‌ කොමිෂම මගින්ද මිෂනාරි පාඨශාලාවලට විශේෂ වූ අනුග්‍රහ දක්‌වන ලදී. මිෂනාරි පාඨශාලා අතර තරගය හා උනන්දුව වැඩිවූ නිසාත් විසිවන සියවසට මුල පිරීමේදී ඉංග්‍රීසියට ලැබුණ තැන ප්‍රධානකොට සලකන ලද නිසාත් ජනතා කැමැත්ත මේ සඳහා වැඩි බවක්‌ පෙන්නුම් කළේය. පටන්ගත් මුල් අවධියේ බෞද්ධ හෝ හින්දු හෝ මුස්‌ලිම් ආගම්වලින් මිෂනාරි විරෝධතාවක්‌ ඇති නොවුනි. නමුත් පසුකාලීනව ඇතිවූ ක්‍රියාකාරකම් නිසා එළිපිටම විරෝධයන් මතුවිය. මේ නිසා එවක පැවති ඉංග්‍රීසි ආණ්‌ඩුවලට පෙත්සම් මගින් කරුණු කියාපෑමට ඉදිරිපත් වූයේ හින්දු, බෞද්ධ හා මුස්‌ලිම් ආගමික නායකයන්ය. 1860 වසරේදී ආගමික පුනර්ජීවනය පතාත් ආගම්වල ස්‌වාධීනත්වය සඳහාත් ඔවුන් පෙළගැසුනි.

මේ නිසා බෞද්ධ ඇතුළු අනෙකුත් ආගම්වල විශාල ප්‍රබෝධයක්‌ ඇතිවිය. මේ සඳහා අපේ රටේ ප්‍රධාන පෙළේ භික්‍ෂූන් වහන්සේ පෙරමුණ ගති. 1839 රත්මලානේ පරමධම්මෙච්තිය විහාරයේ මූලිකත්වයෙන් පටන්ගත් බෞද්ධ අධ්‍යාපන වැඩසටහන මුළු රටටම ආදර්ශයක්‌ දුන් එවැනි පළමු වැඩසටහන විය. මෙහි ආරම්භක කර්තෘ වලානේ ශ්‍රී සිද්ධාර්ථ නායක ස්‌වාමින්ද්‍රයන්ගේ ගෝලනමක්‌ වූ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි විසින් 1873 ආරම්භ කළ මාලිගාකන්දේ විෙද්‍යාaද පිරිවෙන මගින්ද මිල කළ නොහැකි සේවයක්‌ සිදුවිය.

එසේම රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමියන් විසින් ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන 1875 දී අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය. මෙම පිරිවෙන් මගින් අමුතුම බෞද්ධ පුනර්ජීවනයක්‌ රට තුළ පුබුදු කළේය.

ඒ අවධියේ මෙම බෞද්ධ කටයුතු පිළිබඳව අමුතුම උද්යෝගයකින් කටයුතු කළේ හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මාලිගාකන්දේ විෙද්‍යාදය පිරිවෙන මගින්ය. භික්‍ෂූ සාසනය ක්‍රියාත්මක කිරීම සඳහා වූ යාන්ත්‍රණය සකස්‌ කරන ලද්දේ එවක ප්‍රධාන නිකාය දෙක වශයෙන් තිබුණාවූ "සියම්" මහා නිකාය හා "අමරපුර" නිකායයි. එහෙත් පසුව 1865 දී පමණ ඊට "රාමඤ්ඤ" මහ නිකායද එකතු විය.

මේ අවධියේ ක්‍රිස්‌තියානිය හා බෞද්ධ දර්ශනය අතර වාද විවාද ඇති වූ කාලයක්‌ද විය. මීට හේතුවූයේ ක්‍රිස්‌තියානි පූජකයන් බෞද්ධ පොතපතේ කරුණු විවෘතකර දැක්‌වීමයි. මුලදී පත්‍රිකා හා පත්‍ර මගින් ඒවාට දුන් පිළිතුරු ප්‍රමාණවත් නොවූ නිසා ප්‍රසිද්ධ වාද විවාද මහජන හමු ඉදිරියේදී පවත්වන්නට කටයුතු යෙදීය. මෙහිදී අපේ භික්‍ෂූන්වහන්සේලා ක්‍රිස්‌තියානි පක්‍ෂයට වාද වලට සහභාගි වන ලෙස අභියෝග කරන ලදී. 1873 සිදුවූ පානදුරා වාදය එවැනි එක්‌ අභියෝගයක ප්‍රතිඵලයකි. මෙහි මූලික සිද්ධාන්ත ඉදිරිපත් කරමින් වාදයට ඉදිරිපත් වූ මොහොට්‌ටිවත්තේ ගුණානන්ද හිමියන් පූජයන් පරාජයට පත්කළේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්ය. මෙවැනි වාද බොහෝ ගණනක්‌ රටේ තැනින් තැන ඇතිවිය. මේ වාද විවාද වලදී සාක්‍ෂි පිණිස අපේ බෞද්ධ පාර්ශ්වයෙන් බෞද්ධ ප්‍රභ +පිරිස්‌ද ක්‍රිස්‌තියානි පාර්ශ්වය වෙනුවෙන් පූජකවරුන් හා එහි ප්‍රධාන පිරිසක්‌ ද පෙනී සිටියහ.

මේ කටයුතු අතරදී ලංකාවට ආ ඇමරිකන් ජාතික "කර්නල් ස්‌ටීල් ඕල්කට්‌" නම් වියතා විශාල වශයෙන් බෞද්ධ කටයුතුවලට තම සහයෝගය ලබාදුන්නේ බෞද්ධ දර්ශනය උගෙනීම නිසාය. එතුමා ප්‍රධාන පන්සල් සමග සම්බන්ධතා පවත්වාගෙන ගියේ ඉතා කුළුපග ලෙසින්ය.

1880 දී "පරම විඥානාර්ථ බෞද්ධ" සංගමය පිහිටුවීම මගින් අමුතුම බෞද්ධ ප්‍රබෝධයක්‌ අපේ රට තුළ ඇති විය. මිෂනාරි සමාගම්වලට මෙන්ම මෙයටද රටපුරා වැඩකිරීමේ හැකියාවක්‌ ඇතිවිණි. "බ්ලවැට්‌ස්‌කි" නමැති ප්‍රභූ කාන්තාවක්‌ද ඊට සහයෝගය දුන් අතර අපේ ප්‍රධාන බෞද්ධ ප්‍රභූන්ද ඊට නොමසුරුව ආධාර උපකාර කරන ලදී.

මෙම සමාගම මගින් බෞද්ධ මිශ්‍ර පාඨශාලා ඇති කිරීමත් ඒවායේ ඉංග්‍රීසි ඉගැන්වීමත් සිදුකළ අතර බඳවාගත් ගුරුවරුන් සඳහා යෑපීම පිණිස වේතනයක්‌ද ගෙවන ලදී. මේ අතර සමහර උගත් පිsරිස්‌ නොමිළයේද ඊට සේවා සපයන ලදී. ප්‍රථම වරට වර්ෂ 1886 දී පිටකොටුවේ ඉංග්‍රීසි පාසලක්‌ ආරම්භ කරන ලද්දේ පරම විඥනාර්ථ බෞද්ධ සංගමය මගිනි. අද ඉතාමත් බබලන

මහා විද්‍යාපීඨයක්‌ බවට පත්ව ඇති ආනන්ද මහ විදුහලේ ඉතිහාස කතාව එයයි.

මිෂනාරි පාසල් කරට කර තරගය පිණිස මෙම බෞද්ධ පාසල් ද සියලු විෂය ධාර උගැන්වීම පිණිස කටයුතු යෙදීය. 1880 වන විට රට තුළ තිබූ බෞද්ධ පාසල් 40 ක්‌ පමණ වූ ප්‍රමාණය 1900 පමණ වන විට 142 ක්‌ දක්‌වා වර්ධනය විය. "සරසවි සඳරැස්‌" හා "ද බුඩිස්‌ට්‌" යන සඟරා මගින් බෞද්ධ ප්‍රබෝධය නංවා කියවීමේ රුචිය වැඩිකරන ලදී. ප්‍රථම වරට වෙසක්‌ පොහෝදින රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පරිවර්තනය වූයේ "ඕල්කට්‌" තුමා ඇතුළු ප්‍රභූන්ගේ ඉල්ලීම මතය. මේ නිසාම 1885 දී අපට බෞද්ධ කොඩියක්‌ද නිර්මාණය කරගැනීමට හැකිවිය.

මේ කටයුතුවලට අනගාරික ධර්මපාල, වලිසිංහ හරිශ්චන්ද්‍ර, ඩී. බී. ජයතිලක, ආතර් වීදියෙස්‌, අමදොaරිස්‌ මෙන්ඩිස්‌, පියදාස සිරිසේන, ආර්. ඒ. මිරැන්ඩෝ, ඇෆ්. ආර්. සේනානායක යන මහත්වරුද පසු කාලීනව එකතු වූහ. බෞද්ධ පදනම මත සකස්‌වූ කෘෂි ආර්ථිකයක්‌ ගොඩනැගීම පිණිස අපේ රටේ ප්‍රභූන් ගත් උත්සාහය එදා සාර්ථක වූ අතර ඊට ජනතාවගේ සහයෝගයද ලැබිණි. 1891 අනගාරික ධර්මපාලතුමා බිහිකළ "මහාබෝධි සංගමයත්" ඩී. බී. ජයතිලක මැතිඳුන් මූලිකව බිහිකළ "තරුණ බෞද්ධ සංගමයත් මේ බෞද්ධ කටයුතුවලට විශේෂ වූ දායකත්වයක්‌ ලබාදුනි.

19 වන සියවසේ මැදභාගය වනවිට රටේ අභාවයට ගිය සිද්ධස්‌ථාන පිළිසකර කිරීමත් දේශීය පූජා නගර දියුණු කිරීම සඳහා අඩිතාලම් දැමීමත් මගින් මේ කටයුතු තවත් වර්ධනය වනු දක්‌නට ලැබුණි. කොළඹ "තරුණ බෞද්ධ සංගමය" රට පුරා ආරම්භ කර පවත්වාගෙන ගිය "දහම් පාසල්" ව්‍යාපාරය මගින් බෞද්ධ දරුවන්ගේ ආගමික දැනුම මුවහත් කරන ලදී. ඒ සඳහා තරග විභාග ආදිය පිළියෙල විය. 1912 දී සුදු පාලකයන් ඇති කළ සුරාබදු පණත ඔවුන්ට හකුළාගැනීමට සිදුවූයේ මෙම අපේ බෞද්ධ ප්‍රබෝධය නිසාවෙනි. එදා ඊට එරෙහිව මහ හඬක්‌ නැහැ. එෆ්. ආර්. සේනානායක, ඩී. එස්‌. සේනානායක, ඩී. එඩ්මන්ඩ් හේවාවිතාරණ, සී. ඒ. හේවාවිතාරණ, ඩී. බී. ජයතිලක, ආතර් වී. දියෙස්‌, පියදාස සිරිසේන, ඩබ්. ඒ. සිල්වා, එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, යන ප්‍රධානින් පසුකලෙක රටේ ජනනායකයන් බවටද පත්විය. සමහරු දේශපාලන වශයෙන් රටේ කීර්තියට පත්විය. මීට සමගාමීව යාපනයේ හින්දු ජනයාද මිෂනාරීන්ට එරෙහි සටනක්‌ ගෙන ගියේය. එහි මූලිකයාව කටයුතු කළේ "ආරුමුග නාවලර්ය" මෙම කටයුතු වර්ධනය සඳහා ඇතිකළ හින්දු අධ්‍යාපන ආයතනයවූ "වණ්‌නාර් පණණෙයිහි" නම් ඉංග්‍රීසි පාඨශාලාව පසුකලෙක හින්දු විද්‍යාලය බවට පරිවර්තනය විය. එදා ඉංග්‍රීසි මිෂනාරියට එරෙහිව සිංහලයන් හා මිත්‍රව කටයුතු කළ හින්දු පිරිස්‌ පසුකාලීනව විරසක බවට පත්කළේද සුදුපාලකයන්ගේ යම් යම් කටයුතු කාරණා නිසාය. එදා අප සමග ඉතාමත් මිත්‍රශීලීව කටයුතු කළ පොන්නම්බලම්, අරුනාචලම් පොන්නම්බලම් රාමනාදන් යන ප්‍රභූන් රටටත් ජාතියටත් විශාල ගෞරවයක්‌ ලබාදුනි.

එදා විදේශිකයන් අප රටේ ආධිපත්‍ය පිහිටෙව් පසුව උන්ගේ ඕනෑ එපාකම් මත පදනම් වූ සංස්‌කෘතියක්‌ මෙහි ගොඩනැගීම සඳහා ඔවුන් කටයුතු කළේ ඔවුන්ට ඕනෑ ලෙසය. නමුත් අපේ ජාතික අනන්‍යතාව රැකගැනීම සඳහා අවශ්‍ය කටයුතු කාරණා ගොනුකරමින් මහා සංඝරත්නයත් එවක විසූ ප්‍රභූ පිරිසත් විදේශ මතවාද වලට එරෙහි සටනක්‌ ගෙනගියේ ආගමික ප්‍රබෝධයද ජනතා සිත් තුළ පුරවාලමින්ය. අවසානයේ ක්‍රිස්‌තියානි මිෂනාරි කටයුතු ඉතා ප්‍රබලව පැවති යාපනයේද එම කටයුතු අඩාල වූයේ දිවයින පුරාම ඒකීය ලෙස මතවාද ගොඩනැගීම නිසාය. 1891 පමණ වන විට එහි මල් ඵල ගැන්වෙන සමය ලෙස අපි සටහන් කළ යුතුය.

අපේ රටේ අද පවතින මෙම මත්ද්‍රව්‍ය වෙළෙ¹මට මූලික අඩිතාලම දැම්මේ අධිරාජ්‍යවාදී පාලකයන්ය. ඔවුන් සුරාසැල් විවෘත කළහ. එසේම ගව ඝාතකාගාර පිහිටුවමින් ගවමස්‌ කෑමද අපේ මිනිසුන්ට හුරු කළේය. මේ නිසා මුහුදුබඩින් පටන්ගත් ඌරුකොටු, එළුකොටු, කුකුල්කොටු, සංස්‌කෘතිය රටේ මධ්‍ය ප්‍රදේශ කරාද විහිද ගියේය. අදත් අපට ඒවාට විරුද්ධව සටන් කිරීමට සිදුව ඇත්තේ ඇබ්බැහි කමේ ඇති බලවත් ආකර්ශණය නිසාවෙනි. කෙසේ වෙතත් එදා ඇතිවූ ආගමික පුනරුදය අපේ වර්තමාන දේශපාලන ගමන් මගේ මුල් පඩිපේලිවලින් එකක්‌ ලෙස සැලකීම වැරදි නොවේ. මක්‌ නිසාද සිංහල ජාතියත් බෞද්ධාගමත් ගසට පොත්ත සේ" අද දක්‌වාත් බැඳී පවතින බැවිනි.

ධර්මරත්න තෙන්නකෝන්

 

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.