සංස්‌කරණය : නාරද නිශ්ශංක

අද කලාව ගැන සංවාදයක්‌ තියන්න
හොඳ වේදිකාවක්‌ නැහැ
- ජයලාල් රෝහණ

ජයලාල් රෝහණ... අද රංගන ක්‍ෂේත්‍රයේ සිටින දක්‍ෂතම ශිල්පියෙකි. වේදිකාවේදී සිය ප්‍රතිභාව දක්‌වමින් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි ජයලාල් අද සිනමාවේ ද හැකියාවන් ප්‍රදර්ශනය කරමින් සිටී. හේ නළුවෙක්‌ පමණක්‌ ද... නැත.. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධියත්, කැලණිය විශ්වවිද්‍යාලයෙන්ම දර්ශනය පිළිබඳ ශාස්‌ත්‍රපති උපාධියත් ලබාගත් ජයලාල් රෝහණ අද මොරටුව විශ්වවිද්‍යාලයේ සහ තවත් උසස්‌ අධ්‍යාපන ආයතන කිහිපයකම කථිකාචාර්යවරයෙක්‌ ලෙස කටයුතු කරමින් සිටී.

"බේබි මහත්තයා" ජයලාල්ගේ අලුත්ම භූමිකාවයි. මේ දිනවල වැල්ලවත්ත සැවෝයි ඇතුළු ඊ.ඒ.පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල සාර්ථකව තිරගත වන "ටිකිරි සුවඳ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකි බේබි මහත්තයා. සුනිල් අරුණ වීරසිරි "ටිකිරි සුවඳ" අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කරයි.

"ටිකිරි සුවඳ" ගැනත්, වර්තමානයේ ටෙලිනාට්‍ය පිළිබඳවත් ජයලාල් රෝහණ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා සමග කළ සාකච්ඡාවක සටහන් මෙසේ පෙළ ගස්‌වමු.

අද ඔබව දකින්න ලැබෙන්නේ "ටිකිරි සුවඳ" චිත්‍රපටයෙන් විතරද?

ඒක මමවත් දන්නේ නැහැ. ඇත්තම කියනවා නම් දැන් මම ටෙලිනාට්‍ය බලන්නේ නැහැ. මම රඟපාන ටෙලිනාට්‍යයක්‌ "දියයට ගිනි" නමින් බ්‍රහස්‌පතින්දා රෑ 8.30 ට ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා කියලා මගේ පංතිවල ළමයින් නම් කියනවා. අද යන ටෙලිනාට්‍ය බලන්න පුළුවන්ද... වර්තමාන කලාව ගැන හොඳ සංවාදයක්‌ තියන්න වේදිකාවක්‌ නැහැ. ඔබේ පුවත්පතින් වුණත් එය කරන්න පුළුවන්. මම කතා කරන්න සූදානම්... හැම වචනයකම වගකීම මම භාරගන්නම්.

"ටිකිරි සුවඳ" කුමන ආකාරයේ චිත්‍රපටයක්‌ ද?

පොඩි කොල්ලෝ, කෙල්ලෝ ටිකක්‌ දාලා චිත්‍රපටයක්‌ කරලා එය අලුත් මාවතක චිත්‍රපටයක්‌, ලෝකය පෙරළෙන චිත්‍රපටයක්‌ කියලා ප්‍රචාරය කරන තත්ත්වයක්‌ නේ අද තියෙන්නේ. ඒත් "ටිකිරි සුවඳ" එවැනි චිත්‍රපටයක්‌ නොවේ. වෙනසක්‌ සඳහා හොඳ චිත්‍රපටයක්‌ ඉඳහිට බලන්න පුරුද්දක්‌ කරගත් දෙමව්පියෝ ඉන්නවා. කිසිම හිරිකිතයක්‌ නැතිව මුළු පවුලටම බලන්න පුළුවන් චිත්‍රපටයක්‌ තමයි "ටිකිරි සුවඳ" කියා මම වගකීමෙන් කියනවා. සුනිල් අරුණ වීරසිරි කියන මිනිසා ගැනත් වචන දෙක තුනක්‌ කියන්න ඕනේ. අද බොහෝ විට ටෙලිනාට්‍ය, චිත්‍රපට මුදලාලිලා ඉන්නේ. ඒත් සුනිල් අරුණ වීරසිරිව දැක්‌කාම මට තේරුම් ගියා "ටිකිරි සුවඳ" සල්ලි ගරන්න කරන චිත්‍රපටයක්‌ නොවේ කියලා. ඔහුට මුදල් තියෙනවා. බොහෝ චිත්‍රපට උත්සවාකාරයෙන් මුහුරත් උළෙල පවත්වලා නළු නිළියන් සතුටු කරනවා. ඒත් චිත්‍රපටය අවසානයේ නළු නිළියන්ට චිත්‍රපටය එපා වෙනවා. එක්‌කෝ සල්ලි දෙන්නේ නැහැ. නැත්නම් නිෂ්පාදන කළමනාකරු කෑමවලින් යටි මඩි ගහලා. ජයලාල් රෝහණට බුරියානි දුන්නා කියලා බිල දානවා. ඒත් දෙන්නේ පොල් සම්බෝලයි බතුයි. ඒ වගේ කලාකරුවන්ට නොසලකන තුට්‌ටු දෙකේ වැඩ අද අපිට දකින්න ලැබෙනවා. ඒත් සුනිල් අරුණ වීරසිරි නිසා ඒ සියලු අදහස්‌ නැති වුණා. ඔහු තම කාර්යභාරය නළු නිළියන්ට උසස්‌ අන්දමින් සලකලා හොඳින් යුතුකම් ඉටු කළ නිෂ්පාදකවරයෙක්‌. ඒ නිසා අපට "ටිකිරි සුවඳ" රඟපාන්න ආසා හිතුණා.

"ටිකිරි සුවඳ" චිත්‍රපටයේ ඔබ රඟන චරිතය ගැන සෑහීමකට පත්වෙනවාද?

ඔව්. නිසි වයසේදී විවාපත් නොවූ සල්ලිවලට, දේපළවලට ලෝබ මිනිහෙක්‌... බේබි මහත්තයා. ගමේ වත් පොහොසත්කමක්‌ ඇති මිනිහෙක්‌. ඒත් ඔහු හැදෙන්නේ ටිකිරි නිසා. බේබි මහත්තයා ටිකිරිට හැම බාධාවක්‌ම එල්ල කරනවා. ඒ ගමේ සිටින කේළාම් කියන මිනිසුන් නිසා. බේබි මහත්තයා උගතෙක්‌ නොවේ. හරියටම අද පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මැති ඇමැතිවරු වගේ... හැම කෙනකුටම බේබි මහත්තයා රැවටෙනවා. අනුන්ගේ ඕපාදූපවලට රැවටිලා ටිකිරිට වෛර කරනවා. නමුත් බේබි මහත්තයා සියල්ල ජයගන්නේ ටිකිරි නිසා.

ඔබ කථිකාචාර්යවරයෙක්‌... ඒ පිළිබඳ තොරතුරු?

මම මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්‌තු විද්‍යා අංශයේ කථිකාචාර්යවරයෙක්‌. ඊට අමතරව තාක්‍ෂණ හා විද්‍යා කටයුතු අමාත්‍යාංශය යටතේ රත්මලානේ පිහිටුවා ඇති යුනිවෝටෙක්‌ විශ්වවිද්‍යාලයේ වෘත්තීය ඡායාරූප ශිල්පය හා ගැටෙන කලාව පිළිබඳ උගන්වනවා. මොරටුව විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ භෞතික හා රසායනික විද්‍යාවට අදාළවයි. අංග රචනය, ශරීර පින්තාරු කිරිම් වැනි විෂයයන් ඉංගී්‍රසි මාධ්‍යයෙන් තමයි උගන්වන්නේ.

ඇයි ඔබ රංගනය පිළිබඳ උගන්වන්නේ නැත්තේ ?

ඔය ප්‍රශ්නය අහපු එක ලොකු දෙයක්‌. මම නාට්‍ය කලාවේ රංගනය හා අංග රචනය ගැන වැඩමුළුවක්‌ පවත්වනවා. ඊළඟ වැඩමුළුව ජනවාරි මාසයේ. හැම මාසෙකටම එක දවසක්‌ මේ වැඩමුළුව කරනවා. ජයලාල් රෝහණ, ගනේමුල්ල යන ලිපිනයෙන් ඒ ගැන විමසන්න පුළුවන්. මේ වැඩමුළුවට පාඨමාලා තුනක්‌ ඇතුළත් වෙනවා. අ.පො.ස උසස්‌ පෙළ සහ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික විභාගයට ඇතුළත් කොටස්‌ උගන්වනවා.

මේ සඳහා ළමයින් හැත්තෑවකට අධික පිරිසක්‌ සහභාගි වෙනවා. ඊළඟට නීතිඥවරු, වෛද්‍යවරු, ප්‍රාදේශීය ලේකම්වරු සමග එක්‌ව මානසික ආතතිය දුරලීම සඳහා කලාවේ භාවිතය පිළිබඳ වැඩමුළුවක්‌ කරනවා. ඉන් පසු පහේ පන්තියේ සිට නමයේ පන්තිය දක්‌වා මපට්‌ ගැනත් උගන්වනවා. ඒ සඳහා හතළිහකට වඩා දරුවෝ සහභාගි වෙනවා. ලබන සැප්තැම්බරයේ මේ දරුවන් සහභාගි කරවාගෙන ලස්‌සන ප්‍රසංගයක්‌ කරන්න හිතාගෙන ඉන්නවා. මේ වැඩමුළු කරන්නේ ගම්පහ මිරිස්‌වත්ත පැනෝමා ශාලාවේ.

ඇයි දැන් ඔබ ඉගෙන ගන්නේ නැද්ද?

නැත්තෙ මොකද... මම ආචාර්ය උපාධියට මේ දවස්‌වල ඉගෙන ගන්නවා. ඒත් ආචාර්ය ජයලාල් රෝහණ කියලා පාවිච්චි කරන්න බයයි. බයට වඩා ලැඡ්ජයි... දන්නවනේ කාරණාව මොකක්‌ද කියලා.

අජිත් අලහකෝන්

 
Powered By -


  සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.