අලි අපරාධ (ඇතා මැරීම!)

වරද කොතැන වුවද දැන් විපත සිදු වී හමාරය. එයට වගකිවයුත්තෝ නිදහසට කරුණු සුදානම් කරමින් සිටිනුද විය හැකි වෙති. ඒ කුමක්‌ වුවත් තට්‌ටුව කඩා වැටෙන ලොරි කබලකින් ඇතෙකු තබා ගවයකු වත් රැගෙන යා නොහැකි බව තේරුම් ගන්නට මොළයක්‌ නොතිබීම නිසා මේ විපත සිදු වූ බව අපගේ චෝදනාවයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස්‌ ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ සැරි සරමින් සිටියදී වන ජීවී නිලධාරීන් විසින් අල්ලා ගන්නා ලද බව කියන දුර්ලභ ගනයේ ඇතෙකි. මේ ඇතා පිළිබඳ දැනටමත් විවිධ කතා ඇසෙයි. ඇතා මියගොස්‌ සිටි ආකාරය දැක්‌වෙන ඡායාරූප අප පුවත්පත (25) ඇතුළු පුවත්පත් කීපයකම පළ වී තිබිණි. රූපවාහිනි නාලිකා මගින්ද ඇතා පිළිබඳ රූපරාමු සහිත විස්‌තර විකාශය කළේය. ඒවා සැබැවින්ම හද සසල කරවන සුළු විය.

අලි ඇතුන් යනු අපට තිබෙන සම්පතකි. ඒ නිසාම ඒ දුර්ලභ සම්පත රැක ගැනීම සඳහා ජාතික ආදායමින්ද කොටසක්‌ වෙන් කෙරේ. එහෙත් මේ අලි ඇතුන් රැකෙන හැටිය ෘ අලි ඇතුන්ගේ විනාශයට හේතු වූයේද මිනිසා හෙවත් අපම ය. හීලෑ කරගත් අලි ඇතුන් හැරුණු විට අනෙක්‌ සියලු අලි ඇත්තු වනාන්තරවල ජීවත් විය යුත්තාහ.

මේ අලි ඇතුන්ට අයත් වනාන්තර එළි කරමින් මිනිසුන් ඒවා වෙන් කර ගැනීම නිසා අලි යන එන මං නැතිව ගම් වදිති. ගම්වලට එන අලි මිනිසුන්ගේ ගොවිතැන් බත් පමණක්‌ නොව උන්ට හසුවන ඕනෑම කෙනෙක්‌ වුවද මරා දමති. මේ තත්ත්වය දවසින් දවස නරක අතට හැරෙමින් අද වන විට එය ඩෙංගුවලටත් වඩා හානිදායක විපත් සාදන්නක්‌ වී තිබේ.

අලි මිනිස්‌ ගැටුම යනුවෙන් හැඳින්වෙන එම සමාජ ෙ€දවාචකය හොඳ විවාදාත්මක මාතෘකාවක්‌ මෙන්ම ඇතැම් කෙනෙකුට ජීවන මාර්ගයක්‌ද වී තිබේ. ඒ නිසාම අලි ඇතුන් වෙනුවෙන් කටයුතු කරන අය හා මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන අය යනුවෙන් කොටස්‌ දෙකක්‌ද සිටිති. මේ දෙගොල්ලන්ම කියන්නේ ඇත්තය. එහෙත් මේ ඇත්ත නෑසූ කන්වලින් සිටින වගකිවයුත්තන් නිසා අලි තරමටම, නැත්නම් ඊටත් වඩා පොදු ජනතාව විපත්වලට මුහුණ දෙන බව අපට පෙනෙන ඇත්තය.

අලියෙක්‌ හෝ ඇතෙක්‌ විනාශ වූ විට ඒ වෙනුවෙන් හඬ නැගීමත් වල් අලි ප්‍රහාරයකින් කෙනෙක්‌ මිය ගිය විට ඒ වෙනුවෙන් ලිවීම හා කතා කිරීමත් හැර මේ අලි මිනිස්‌ ගැටුම ලෙස හැඳින්වෙන විපතට විසඳුමක්‌ ලබා ගැනීමට මෙතෙක්‌ හැකිවී නැත.

ගම්වලට වැදී අලින් විසින් කරනු ලබන විනාශයද නොවේ. ගෙවල් දොරවල් බිඳිමින් ඒවායේ තිබෙන, අටුවල තිබෙන වී හා ලුණු වැනි දේ ආහාර සඳහා සොයා ගැනීමට පුරුදු වූ හොර අලිද සිටිති. ඒ හැර වගා පාලු කරන වගාපාලු අලිද සිටිති. එසේ ගිය ගමන්වලදී වගා ළිංවලට වැටී මිය යන අලිද බොහෝය. එබඳු අනතුරුවලට පත්වූ වල් අලින් යළි කරුණාවන්ත මිනිසුන්ගේ ආධාරයෙන්ම ජීවිත බේරාගත් අවස්‌ථා ද බොහෝ විය.

තමන්ට විපත් කරන සතුරකු සේ සැළකිය යුතු අලින් පිළිබඳ කරුණාවෙන් හා උපේක්‍ෂාවෙන් බලන මිනිස්‌සු අපට සිටිති. එසේම වනජීවී නිලධාරීන් අතරද එබඳු යහපත් අය සිටිති. එහෙත් මේ ඇතා රැගෙන ගියෝ කෙබඳු නිලධාරිහුද?

වනජීවී නිලධාරීන් කරන්නේ පහසු කටයුත්තක්‌ නොවේ. අලි මෙල්ල කිරීම ජීවිතය ඔට්‌ටුවට තබා කරන බිහිසුණු සෙල්ලමක්‌ වැනිය. එහෙත් එහිදී මේ වර්ගයේ විපත් සිදුවීම කිසිසේත් අනුමත කළ හැකිද?

වල් අලියා යනු ස්‌වභාවයෙන්ම දරුණු සතෙකි. තමන් අබියසට එන අය පමණක්‌ නොව තමන්ගේ ජීවිතය රැක ගැනීමට උපකාර වන අයකු වුවද අලියකුට හසු වුවහොත් නිසැකයෙන්ම මරා දැමෙයි. ඒ තිරිසන් ගතිය මිනිස්‌සු දනිති. පසුගිය කාලයේ ළිඳක වැටුණු අලියෙක්‌ ඉන් ගොඩ ගත් විට, අලියා ලුහුබැඳ ගොස්‌ තම ජීවිතය බේරා ගැනීමට දායක වූ මිනිසෙක්‌ද මරා දැමු පුවත තවමත් අපට මතකය.

මේ හැරුණු විට දැව හොරුන් නිසා මෙන්ම ඇත් දළ වෙනුවෙන්ද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අලි ඇතුන් පිළිබඳවද වාර්තා වී තිබේ. ඒ කුමක්‌ වුවත් මේ ඇතාගේ මරණය නොසැලකිල්ල නිසාම සිදු වූවක්‌ බව අප ඉදිරියේ තිබෙන කරුණුවලින් පෙනී යයි.

අපගේ අදහස වන්නේ මිනිසුන් වෙනුවෙන් අලි මැරීම මෙන්ම අලි වෙනුවෙන් මිනිසුන්ට මැරෙන්නට සිදුවීමද නොවිය යුත්තක්‌ බවය. එසේම මිනිසුන්ගේ නොසැලකිල්ලෙන් මේ විදිහට අලි ඇතුන් මිය යැමද අපරාධයකි.

මේ අවස්‌ථාවේ සිට හෝ මේ අලි අපරාධ වළක්‌වා ගැනීමට රජය විධිමත් පියවරක්‌ ගත යුතුය. අලින් නිසා මරුවා සමග වාසය කරන අහිංසක ජීවිත ගැන කොළඹ රටේ සුවඳ බොජුන් හා සැප සයනා විඳිමින් මාළිගාවල ජීවත්වන්නෝ නොදකිති. විසඳුම සොයා ගත යුත්තේ යළිත් මෙවන් විපත් නොවන්නටය.

මේ දළ ඇතාගේ නමින්වත් ඒ ආරක්‍ෂණ ක්‍රියා දාමය ඇරැඹිය යුතුය. එසේම ඒ ඇතා රැගෙන ගිය නොසැලකිලිමත් අන්දම පිළිබඳවද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

 

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.