රාජ්‍ය සේවයේ පරිහානිය හා වගකීම

දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ රැස්‌වීම් කීපයකටම සහභාගි වූ ජනාධිපතිතුමා මෙරට නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ රට වෙනුවෙන් ඇප කැපවී වැඩ කරන ලෙසයි. ජනතාවට කරුණාවෙන් සේවය කරන ලෙසයි. ප්‍රශ්නයක්‌ විස¹ ගැනීමට කාර්යාලයට එන ජනතාව ප්‍රශ්න විස¹ නොදී ආපසු නොයවන ලෙසයි. ඒ සඳහා ආකල්ප වෙනස්‌ කර ගත යුතු බවයි. එහෙත් එම ඉල්ලීම් මෙරට බොහෝ නිලධාරීන්ට බීරි අලින්ට වීනා ගයනවා වැනි වී ඇති බව පෙනේ. මේ නිසාම ජනාධිපතිතුමාට දැන් දැන් මේ කාරණය ගැන නිලධාරීන්ට තදින් කථා කිරීමටද සිදුව ඇති බව පෙනේ.

ඇතැම් නිලධාරීන් තමන්ගේ වගකීම පිළිබඳව කිසිදු තැකීමක්‌ නොමැතිව කටයුතු කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය. වරක්‌ එතුමා ප්‍රකාශ කළේ මිනිසෙකුට යහපතක්‌ සැලසීමට සද්භාවයෙන් කටයුතු කොට නිලධාරියෙකුට ප්‍රශ්නයක්‌ මතු වුනොත් තමා ඔහු වෙනුවෙන් පෙනී සිටින බවයි. එතුමා එසේ ප්‍රකාශ කරන්නට ඇත්තේ නිලධාරිවාදයෙන් පීඩාවිඳින ජනතාව ගැන කල්පනා කිරීමෙන් විය හැකිය.

කවර රජයක්‌ බලයට පත් වුවත් බලයට පත්වන රජයත් සද්භාවයෙන් යුතුව රට සංවර්ධනය කිරීමට ආරම්භ කරන වැඩසටහන් සාර්ථක ලෙස ඉටු කිරීමේ වගකීම පැවැරෙන්නේ සමස්‌ත රාජ්‍ය නිලධාරි පැළැන්තියටමය. එහෙත් කනගාටුවෙන් වුව සඳහන් කළයුතු වන්නේ ඔවුන් මෙතෙක්‌ රට පාලනය කළ හා කරන රජයන්ට උපරිම සහාය ලබාදී කටයුතු කර නොමැති බවයි. එසේ ඔවුන් සහාය දී කටයුතු කළේ නම් මේ රට මේ වන විට විශාල දියුණුවක්‌ ලබනු නොඅනුමානය.

එහෙත් එවැනි තත්ත්වයක්‌ ඇති නොවී ඇත්තේ රට පාලනය කළ හා කරන දේශපාලනඥයන්ගේ වරද නිසා නොව නිලධාරීන් ඔවුන්ට ඒ සඳහා පූර්ණ සහාය ලබා නොදී තමාගේ වාසිය තකා කටයුතු කිරීමේ වරද නිසාය. රාජ්‍ය පරිපාලනයේ නියුතු සියලුම නිලධාරීන් එසේ නොවෙතත් බොහෝ දෙනෙක්‌ දූෂිත හා අකාර්යක්‌ෂම නිසා ඒවායේ වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ අසරණ අහිංසක ජනතාවටය.

බොහෝ නිලධාරීන් රජයක්‌ බලයට පත්වූ විට ටයිපටිය මාරු කොට බලයට පත්වූවන්ට පක්‌ෂව සිටි අයට වඩා පක්‌ෂපාතී බවක්‌ පෙන්වමින් තමන් රජයේ අයිතිකරුවන් ලෙස පෙනී සිටිමින් සමහර විට පක්‌ෂව සිටි අයට විරුද්ධව කේලාම් කියමින් ඔවුන් රජය සමග බිඳවමින් කටයුතු කරන්නේ බඩගෝස්‌තර වාදය සඳහාමය. බොහෝ සංවර්ධන වැඩසටහන්වලදී යථාර්ථය නොපෙන්වා බොරු මවා පාමින් දේශපාලකයන් නොමග යවන්නේ එවැනි අයය. ඩඩ්ලි සේනානායක මහතා අගමැතිව සිටියදී වගා සංග්‍රාමය අරඹා රට කෘෂිකාර්මික අතින් දියුණු කිරීමට උත්සාහ ගත් අවස්‌ථාවේ එතුමා සමග හෙළිකොප්ටරයේ යමින් බිම තිබෙන ඉළුක්‌ ගාල් කුඹුරු ලෙස පෙන්වූ නිලධාරීන්ද මෙරට සිටි බව අපට මතකය. වැඩ සටහන්වල හැබෑ තතු නිලධාරීන්ට කලින් එතුමා දැනගෙන සිටී.

කෙසේ වෙතත් නිලධාරීන් මේ තත්ත්වයට පත්වීමට බෙහෙවින් බලපා ඇත්තේ තවමත් මේ රටේ පවතින රාජ්‍ය සේවාවේ නිලධාරීන් පුහුණු කිරීමේ හා ඔවුන් ක්‍රියා කළ යුතු පටිපාටියේ පවතින වරද නිසා යයි සිතේ. මෙරට රාජ්‍ය සේවාව සකස්‌ කළේ යටත් විජිතවාදී පාලකයන්ට රට කරගෙන යැමට සහාය වීම සඳහායි. ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට, ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව සකස්‌ කළ රාජ්‍ය පරිපාලන සේවය ද මේ වන විට රට නගාසිටුවීමට කිsසිසේත් යෝග්‍යවන්නේ නැත. රාජ්‍ය පරිපාලනයේ සමහර අයෙකු තාමත් ක්‍රියා කරන්නේ මහජනතාව දැඩිසේ පීඩාවට පත්කරමින් මහේශාක්‍ය ලීලාවෙන් වැජඹෙමින් තමන්ගේ පැවැත්ම සඳහාය.

අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය වූයේ යටත් විජිතවල ජනතාව තලා පෙලා ඔවුන්ගේ රටට විශාල ධනස්‌කන්ධයක්‌ ගෙන යාමටය. ඒ සඳහා ඔවුන්ට සුවචම කටයුතු කරන නිලධාරි පැලැන්තියක්‌ අවශ්‍ය විය. එම නිලධාරීන් ලවා ජනතාව තලා පෙලා රටේ ධනය සූරා කෑම ඔවුන්ගේ පරමාර්ථය විය. මේ සඳහා අවශ්‍ය පාලන රෙගුලාසි හා මුදල් රෙගුලාසි මෙම නිලධාරීන්ට ප්‍රගුණ කළේය. එම නීති රීති මගින් අවශ්‍ය නම් ජනතාවට සෙත සැලසිය හැකි අතර අවශ්‍ය නම් ජනතාව පීඩාවටද පත්කළ හැකිය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා නිලධාරීන් වැඩිපුරම කරන්නේ ජනතාව පීඩාවට පත් කිරීමය. මේ වකවානුවේ ද සමහර නිලධාරීන් ක්‍රියා කරන්නේ එසේ බව සාධක සහිතව දැක්‌විය හැක. මෙසේ වන්නේ ඔවුන්ට ලබාදී ඇති පුහුණුව මිනිසුන්ට වැඩ කිරීම පිළිබඳව ලබාදුන් පුහුණුවක්‌ නොවීමයි.

පුද්ගලයන්ට, කණ්‌ඩායම්වලට, ප්‍රජාවට වැඩ කිරිම පිළිබඳව උගන්වන්නේ සමාජ වැඩ අධ්‍යාපනය මගිනි. එම අධ්‍යාපනයේ මූලික අරමුණ ගැටලුවලට මුහුණ පාන අය එම ගැටලුවලින් මුදාගෙන යළිත් සාමාන්‍ය ජීවන තත්ත්වයට පත් කිරීමය. තවත් ලෙසකින් කියතොත් සාමාන්‍ය ජීවන මට්‌ටමින් පහළට වැටෙන අය යළිත් නගාසිටුවීමය. පුද්ගලයෙක්‌ ප්‍රශ්නයකට මුහුණ දුන් විට ඔහු ඉන් මුදාගත හැකි උපක්‍රමයන් කල්පනා කොට සම්පත් ළඟාකර දී ගැටලුවට විසඳුම ලබාදීමට සමාජ වැඩ කරුට සිදුවේ. මිනිසුන් සමග කටයුතු කරන සියලුම අය සමාජ වැඩකරුවන් වන නිසා නිලධාරීන්ට ලබාදිය යුත්තේ සමාජ වැඩ පිළිබඳ පුහුණුවකි. මෙම කාර්ය මෙරට කරනු ලබන්නේ ජාතික සමාජ සංවර්ධන ආයතනයයි. දැන් එම ආයතනය විශ්වවිද්‍යාල මට්‌ටමට පත්ව ඇත.

මෙරට රාජ්‍ය සේවයේ සියලුම නිලධාරීන්ට මිනිසුන් සඳහා වැඩ කිරීම ගැන දැනුම, ආකල්ප කුසලතා ලබාදිය යුතුය. දැනට නිලධාරීන් බොහෝ දෙනෙකුගේ දැනුම, ආකල්ප, කුසලතා ඇත්තේ මිනිසුන්ට ලෙඩ දැමීම සඳහාය. එම නිසා යම් කාර්යයක්‌ රජයේ කාර්යාලයකින් කරවා ගැනීමට යන අයෙකුට මොන තරම් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන්නේද? කීවරක්‌ නම් ඒ සඳහා කාර්යාල ගානේ ඇවිදීමට සිදුවන්නේද? විශ්‍රාම යන අයෙකුට සිය විශ්‍රාම වැටුප සකස්‌ කර ගැනීමට මාස කීයක්‌ නම් කාර්යාල කරා යාමට සිදුවේද? කාර්යාලයකට ලිපියක්‌ යෑව්වාට දැන්නම් පිළිතුරක්‌ ලැබෙන්නේම නැත. මෙම කියමන ජනාධිපතිතුමාට යවන ලිපිවලට පවා සාධාරණය. හේතුව එම ලිපි ගැන පවා කටයුතු කරන්නේ නිලධාරීන් වීමය.

අතීතයේ දී නම් කාර්යාලවල "තැපෑල" වැදගත් කටයුත්තකි. කාර්යාලයකට ලැබෙන ලිපි ගැන වග කිවයුත්තේ ආයතන ප්‍රධානියාය. එම නිසා ලිපි කඩන්නේ ඔහු ඉදිරිපිට දීය. කෙනෙක්‌ ලිපියක්‌ එව්වොත් දින 3 ක්‌ තුළ පිළිතුරක්‌ යෑවිය යුතුයෑයි සම්ප්‍රදායයක්‌ විය. අද වන විට එම සම්ප්‍රදායයන් නොසලකා හැරීම සම්ප්‍රදායක්‌ වී ඇත.

මේ නිසා රාජ්‍ය පරිපාලන ක්‌ෂේත්‍රය මිනිසුන්ට වැඩකරන යාන්ත්‍රණයක්‌ බවට පත් කිරීම සඳහා ධනාත්මක ආකල්ප නිලධාරීන් තුළ ජනිත කරවිය හැකි පුහුණු වැඩපිළිවෙළක්‌ ඔවුන් සඳහා ක්‍රියාත්මක කිරීමට ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය යුතු කරුණකි.

විඡේරත්න අතුරුපාන

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.