පාර්ලිමේන්තුව : දෙපැත්තෙම කුණු

"ඔක්‌කොම කුණු බේරුවල් බොක්‌කට" කියා කියමනක්‌ ඇත. ඒත් මේ කතාව ඊයේ මැති සබයේදී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වෙනස්‌ කළේය. ඔහු කීවේ "ඔක්‌කොම කුණු ආණ්‌ඩුවට" කියා ය.

කොළඹ නගරයේ කුණු ගැන රවි කරුණානායක මන්ත්‍රීවරයා ප්‍රශ්නයක්‌ අසා තිබිණි. මේ ප්‍රශ්නයට උත්තර දුන්නේ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක ය. ඔහු ද එජාපයේ සිට පසුගිය කාලයේ ආණ්‌ඩුවට ගිය මන්ත්‍රීවරයෙකි.

"කොළඹ හැම තැනම කුණු........

දෙපැත්තෙම කුණු

මට්‌ටක්‌කුලියේ පිදුරුතලාගල කන්ද තරම් කුණු කන්දක්‌ තියෙනවා." රවි කරුණානායක මන්ත්‍රිවරයා කීවේය.

"ඉස්‌සර තරම් කුණු අද කොළඹ නගරයේ නැහැ. අද කුණු ප්‍රශ්නය විසඳිලා." ඉන්දික ඇමැතිවරයා ද උත්තර දුන්නේය.

මේ සංවාදය අසා සිටි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා "මේ පැත්තේ හිටපු කුණු ඔක්‌කොම දැන් ඔය පැත්තට ගිහිල්ලා. එහේ කුණු කන්ද දැන් ලොකුවෙලා" යෑයි කෑ ගසා කීවේය. එය ඇසුණු පැරැණි එජාප මන්ත්‍රීවරයකු වන ඒ. එච්. එම්. අස්‌වර් මන්ත්‍රීවරයා ආණ්‌ඩුවේ පසු පෙළ අසුනක සිට කෑ ගසා යමක්‌ කීවේය.

දයාසිරි මන්ත්‍රීවරයා යළි නැඟී සිටියේ ප්‍රශ්නයක්‌ අසන්න කථානායක චමල් රාජපක්‍ෂ මහතාගෙන් අවසරයක්‌ ද ලබා ගනිමිනි.

"කථානායකතුමනි, කුණු ඉවත් කරන්නත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ පත් කළොත් හොඳයි නේද?......." දයාසිරි මන්ත්‍රීවරයා සිනාසෙමින් අසද්දී "නෑ නෑ. මෙතැන කුණු ප්‍රශ්නයක්‌ නැහැ. මේක මවාගත්තු ප්‍රශ්නයක්‌" යෑයි ඉන්දික බණ්‌ඩාරනායක නියෝජ්‍ය ඇමැතිවරයා කීSවේය.

ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පිළිබඳ පසුගිය දින කීපයේ ම මැති සබයේදී විවිධ කතා ඇතිවිය.

එජාපයේ තිස්‌ස අත්තනායක මන්ත්‍රීවරයා ටෙලිකොම් සමාගමට අදාළ ප්‍රශ්නයක්‌ තැපැල් හා විදුලි සංදේශ ඇමැතිවරයාගෙන් අසා තිබිණි. අදාළ ප්‍රශ්නය විමසිය යුතු අමාත්‍යාංශය වෙනත් එකක්‌ යෑයි ආණ්‌ඩුවේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අත්තනායක මන්ත්‍රීවරයාට කීවේය.

""ඇයි........ ඒකටත් දැන් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ ද ඉන්නේ........" තිස්‌ස අත්තනායක මන්ත්‍රීවරයා විමසා සිටියේය.

"නෑ....... නෑ.... ඒකට හොඳ සක්‍රීය ඇමැතිවරයෙක්‌ ඉන්නවා." යෑයි දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා සිනාසෙමින් උත්තර දුන්නේය.

මේ දවස්‌වල මැති සබයේ පැවැත්වෙන්නේ අය වැය විවාදයයි. උදැසන දහය හමාරේ සිට සවස හයහමාර හත දක්‌වා මේ විවාදය පැවැත්වේ. අය වැයක්‌ ඉදිරිපත් කළ පසුව විවාදයක්‌ ලබා දෙන්නේ විපක්‍ෂය වෙනුවෙනි. ඒ අය වැයක ප්‍රධාන කාර්යභාරය සිදු කරන්නේ විපක්‍ෂය නිසා ය. ඒත් පසුගිය දින කිහිපය තුළදී අය වැය විවාදය දෙස අවධානය යොමු කළ ඕනෑම අයෙකුට මේ විවාදය දියාරු ස්‌වභාවයක්‌ දැකගත හැකි විය. උදේ වරුවේ තරමක්‌ උණුසුම් වුවද දිවා ආහාරයෙන් පසු ආණ්‌ඩුවේ පමණක්‌ නොව විපක්‍ෂයේ මන්ත්‍රීවරු ද සභා ගැබේ නැත. කථක මන්ත්‍රීවරයා නොව ඇමැතිවරයට අමතන්න සිදුව තිබෙන්නේ ඉදිරිපස තිබෙන හිස්‌ අසුන්වලටය. කතා කරන මන්ත්‍රීවරයකු තම කතාවෙන් පසු ලිපි ගොනු ටික රැගෙන අසුනෙන් නැගිට පිටව යයි. සමහරු සභා ගැබට එති... විනාඩියකින් දෙකකින් මුලසුනට හිසනමා පිටව යති. සභා ගැබෙහි වැඩිම වේලාවක්‌ දැක ගත හැකි පුද්ගලයෙක්‌ සිටී. හේ ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධනය. ඔහු හැකි සෑම අවස්‌ථාවකම සිය අසුනට වී විපක්‍ෂයේ චෝදනාවන්ට පිළිතුරු දෙයි.

පෙරදා විපක්‍ෂයේ මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා කදිම කතාවක්‌ කළේය. මේ පාර්ලිමේන්තුවේ බොහෝමයක්‌ සිටින්නේ නවක තරුණ මන්ත්‍රීවරුන් බැවින් රාජපක්‍ෂ මහතා වැනි අයගේ කතාවලින් මේ මේ නවකයන්ට බොහෝ දේ ඉගෙන ගත හැක. ඒත්..... රාජපක්‍ෂ මහතාට කතා කරන්න වූයේ හිස්‌ අසුන්වලටමය.... මන්ත්‍රීවරුන්ට හැන්සාඩ් වාර්තාවෙන් නම් ඒ කතාව කියවිය හැකිය.

අජිත් අලහකෝන්
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.